Chat with Star – උදයකුමාරි රණසිංහ.

බොහෝ දෙනා ඇයව හඳුනන්නේ හාස්‍යමය රංඟන ශිල්පිනියක් ලෙසයි.නමුත් ඇය වේදිකාවේත්, පුංචි තිරයේත්, සිනමාවේත්, පෙම්වතියගේ චරිතය අපූරුවට රඟපෑ කලාකාරියක්.දිගු කලා ඉතිහාසයකට හිමිකම් කියන උදයකුමාරි ඇගේ ජීවිත කතාවෙන් මඳක් smartlady එක්ක බෙදා ගත්තේ මෙහෙමයි.

අපි උදයකුමාරිගේ පවුලේ විස්තර හා ලමා කාලයත් එක්ක මේ කතාබහ පටන් ගමු?

ඔව්.මගේ ළමා කාලය ගෙවුණේ අංගෝන ප්‍රදේශයේ.මගේ අම්මා,තාත්තා එක්ක මගේ පවුලේ හත් දෙනෙක් ඉන්නවා.අයියා වැඩිමලා. අක්කල තුන්දෙනෙක්ට පස්සේ තමයි බාල ගෑණු ලමයා විදිහට මම පවුලට ඉපදුණේ. ගෑණු ලමයි හතරදෙනෙක් එක්ක පවුලේ හත් දෙනෙක් ඉන්න පවුලේ රස්සාවක් කලේ අපේ තාත්තා විතරයි. ඒ කාලේ එක රස්සාවකින් ලැබුණ වැටුපකින් හත් දෙනෙක් ජීවත් වෙන එකත් හීනයක්. ඒත් අම්මා තාත්තා අපිට ඒ අමාරුව නොදැනෙන්න කටයුතු කලා.

උදයගේ පියා රැකියාව කලේ කොහේද?

මගේ තාත්තා සේවය කලේ brown and company  එකේ. අම්මා රැකියාවක් කලේ නෑ. හැබැයි අම්මා හොඳ උගත් බුද්ධිමත් ගැහැණියක්. අපේ අම්මට ඉංග්‍රීසි, සිංහල, දෙමල භාෂා තුනම හොඳට පුළුවන්. තාත්තයි අම්මයි විවාහ වෙලා ඒ කාලේ තාත්තාගේ රැකියාව නිසාම ටික කාලයක් යාපනේට ගිහින් තිබුණා. ඒ නිසාම තාත්තාට වගේම අම්මටත් හොඳට දෙමල පුලුවන් වෙලා තියෙනවා. අම්මා රාජගිරිය හේවාවිතාරණ විදුහලේ ආදි ශිෂ්‍යාවක්. ඒ කාලේ ඒ පාසලේ ඉංග්‍රීසි අධ්‍යාපනය තිබිලා තියෙන්නේ. සිංහලෙන් කතා කලොත් සත පහක් දඩයක් ගහලා තියෙනවා. ඒ නිසා අම්මට ඉංග්‍රීසි කතා කරන්න ලියන්න හොදටම පුළුවන්. ඒත් අම්මා රස්සාවක් කරලා නැහැ. හැබැයි දරුවන් පස්
දෙනෙක් බලා ගැනීමත් එක්තරා විදිහක රස්සාවකටත් වඩා බැරෑරුම් කටයුත්තක්.

පුංචි කාලේ උදය මොනවගේ චරිතයක්ද?

කිසිම තේරුමක් නැති චරිතයක්. අපි කාලා බීලා හරිම සැහැල්ලුවෙන් ජීවත් වුණා. අක්කාලා එක්ක රංඩු වුණා. මම බාලයා නිසා අක්කල තුන්දෙනායි අයියයි මට හරි ආදරෙයි. ඒ කාලේ හරිම විනෝදයෙන් හිටපු කාලයක්.

ඒ කාලේ උදය ජීවත් වුණු ඒ පරිසරය ගැන අද උදයට මොකද හිතෙන්නේ?

ඒක අද හාත්පසින්ම වෙනස් පරිසරයක්. ඒ කාලේ අපි ජීවත් වුණු ඒ පරිසරය හරිම ග්‍රාමීයයි. හරිම නිදහස් පරිසරයක්. අද තාප්ප උසට ගෙවල් දොරවල් හදලා පර්චස් ගාන වෙන් කරලා තිබුණට ඒ කාලේ එහෙම නැහැ. ඉස්සර අපේ වත්තෙන් මේ වත්තට පනින්න, එහා වත්තට පනින්න, වෙල් දිගේ දුවන්න නිදහස තිබුණා. අද එහා ගෙදර විපත්තිය මේ ගෙදර දන්නේ නැති වුණාට ඒ කාලේ එහෙම තිබුණේ නැහැ. ඒ කාලේ තිබුණු ග්‍රාමීය ලස්සන ගතිය දැන් ඔක්කොම නැති වෙලා ගිහින්.

දරුවන් පස් දෙනෙක් හිටපු ඒ ගෙදර ඒ කාලේ තිබුණු ආර්ථික පසුබිම කොහොමද?

තාත්තාගේ වැටුපෙන් තමයි අපි හැමදේම කලේ. තාත්තාගේ පඩියෙන් පස්දෙනෙක් ඉගෙන ගත්තා. ආර්ථික අපහසුතා නොතිබුණාම නෙවෙයි. හැබැයි ගෙදර ආදරය, සමගිය තිබුණා. කාලයකට පස්සේ අයියා නැවක රස්සාවකට පිටරට ගියා. මම අවුරුදු අටේදී ඉදන් රඟපෑවා. මම හරිම සතුටින් කියන කතාවක් තියෙනවා. මම ඒ පුංචි වයසේ ඉදන්ම රඟපෑමෙන් ලැබෙන හැම රුපියලක්ම දුන්නේ මගේ ගෙදරටයි. ඒ නිසා ඒකත් ගෙදරට ලොකු හයියක් වුණා. ඒ කාලේ මම   ගෙයක් නඩත්තු කරපු ලාබාලතම නිලියක් වුණා. ඒ ගැන අද කියද්දී දැනෙන්නේ ලොකු සතුටක්. මට අවුරුදු අටේදී ඉදන් මම හම්බ කලා. මට ඒ කාලේ ලැබුණේ රුපියල් පනහයි . ඒකත් අපේ පවුලට ලොකු හයියක්.

අවුරුදු අටේදී උදය රංඟනයට එකතු වුණේ කොහොමද?

ඒ කාලේ පුවත්පතක නලු නිලියන් ගන්නව කියලා දැන්වීමක් පලකරලා තිබුණා. ඒ කාලේ ඒවට ලියන්න මට එච්චර දැණුමක් තිබුණේ නැහැ. මම පොඩියිනේ. මම ඒකට යන්න ඕනේමයි කියලා ගෙදර කරදර කලා. ඒ නිසා මගේ අක්කලා මගේ අයදුම්පතක් ඉදිරිපත් කලා.ඒ පුවත්පත් දැන්වීම පලකරලා තිබුණේ සුනිල් විමලවීර මහතායි. ඒ කාලේ බොහෝ දෙනා ඩුබායි යන කාලේ. ඉතින් ඒ කාලේ “බයි බායි ඩුබායි ” කියලා වේදිකා නාට්‍යයක් කලා. ඒක ඒ කාලේ හරි ජනප්‍රිය වුණා. මගේ මුල්ම වේදිකා නාට්‍ය වුණේ ඒකයි. ඒ වෙද්දි මම වැඩිවියට පත් වෙලා හිටියෙත් නැහැ. එතැන් සිට මම වේදිකා නාට්‍ය බොහොමයක රඟපෑවා. ඒ ලැබෙන හැම සතයක්ම මම ගෙදරට දුන්නා. ඒ කාලේ මුලින්ම ලැබුණේ රුපියල් පනහයි. ඒක රුපියල් එකසිය පනහ කරගන්නට ලොකු කාලයක් ගත වුණා.

උදය ඉගෙන ගත්තු පාසැල මොකක්ද?

මම මුලින්ම කලපලුවාව ශ්‍රී සිද්ධාර්ථ මහ විදුහලෙන් අධ්‍යාපනය හැදෑරුවා. ඒ කාලේ වරු දෙකක ඉස්කෝලයක් තිබුණේ. උදේ වරුවේ අක්කල අයියලා ගියා. දවල් වරුවේ මම පාසැල් ගියා. මට තාම මතකයි ඒ එක දවසක අපේ අම්මා අසනීප වුණා. අක්කාලා උදේ ඉස්කෝලේ ගිය නිසා අම්මට උයා ගන්න හයියක් තිබුණේ නැහැ. අම්මට කන්න ගෙදර දෙයක් නැති නිසා මට දුක හිතිලා මම තනියම පොල් සම්බෝලයක් හදලා දර ලිපේ බතක් ඉව්වා. ඒක තමයි මගේ ජීවිතේ තනියම මම උයපු දවස. අදටත් මට ඒක හොඳට මතකයි.

ඒ කියන්නේ පුංචි කාලේ ඉඳන් අම්මගේ උයන පිහන වැඩ වලටත් උදයා උදවු කරලා තියෙනවා?

අම්මෝ ඔව්. මම අමතක නොවන සිදුවීමක් කියන්නම්කෝ. එතකොට මම ගොඩක් චූටියි. කුස්සියේ අම්මා බෝංචි හෝද හෝදා හිටියා. ඒ වෙලාවේ අපේ වැට අයිනේ ඉඳන් අම්මට කවුදෝ කතා කලා. අපේ අම්මා බෝංචි සෝදන එක නතර කරලා වැට අයිනට ගිහින් අර ගෑණු කෙනා එක්ක ලොකු කතාබහක. මම චූටියි. චීත්ත ගවුම් පොඩියක් ඇඳගෙන හිටපු මම කුස්සියට ගිහින් අම්මට උදව්වට බෝංචි ටික හේඳුවා. අපි අත හොඳට හෝදන්නේ සබන් දාලනේ. ඉතින් මම බෝංචි ටික හොදට හෝදන්න ඕන නිසාම දෙපාරක්ම හොදට සබන් දාලා හේදුවා. අම්මා කුස්සියට ආවම “ඔන්න අම්මේ මම සබන් ගාලා බෝංචි හොඳට හේදුවා “කියලා කිව්වා. ඒ වෙලාවේ අම්මා මුකුත් කිව්වේ නැහැ. අම්මාට කේන්ති යන්නත් ඇති . ඒ කාලේ අපේ ආර්ථික ප්‍රශ්නත් එක්ක ආයෙත් තව එලවලුවකට අමතර මුදලක් යට කරනවා කියන්නෙත් ලොකු වියදමක්. ඒත් අම්මා මුකුත් කිව්වේ නැහැ. ඒක තමයි මගේ මතකයේ හැටියට අම්මට දීපු මුල්ම උදව්ව. මරු නේ…

වේදිකා නාට්‍ය රඟපාමින් සිටි උදයාගේ මුල්ම ටෙලි නාට්‍ය මොකක්ද..?

වේදිකා නාට්‍ය බොහොමයක මම රඟපෑවා. ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ “අත් “වේදිකා නාට්‍ය, බන්දුල විතානගේ මහතාගේ “වැනීසියේ වෙළෙන්දා ” ටෝනි රණසිංහ මහතාගේ “ජුලියස් සීසර් ” වගේ දැවන්ත වේදිකා නාට්‍ය වල රඟපෑවා. “ජුලියස් සීසර්” නාට්‍යයේ ගාමිණී ෆොන්සේකා මහතාත් රඟපෑවා. ඒ වගේම එන්. ජේ. කුරේ මහතාගේ  “මොකද මුදලාලි ” නාට්‍යයේත් මම රඟපෑවා. මම පුංචි කාලේ අම්මලා එක්ක නාට්‍ය බලන්න ගිහින් ඒ නලු නිලියන් රඟපානවා දැකලා මේ රංඟනයට ආස කරපු කෙනෙක්. ඉතා ප්‍රවීණ කලාකරුවන් එක්ක දැවැන්ත නිර්මාණ වලට පුංචි කාලේම සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ අතින් මම හරිම වාසනාවන්ත නිලියක්. මම මේ කලාවට මාර ආදරයක් තියෙන්නේ. මගේ නම මම නැති වුණදාකත් මේ කලාවේ කොතනක හෝ පොඩි තැනක හෝ රැදේවා කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ. මට හරි  අපූරු අතීතයක් තියෙනවා. මම කලාවට කවදාවත් වැරද්දක් කරන්නේ නැති කෙනෙක්. වේදිකා නාට්‍ය වල රඟපාපු මට ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශනය වුණු පළමු ටෙලි නාට්‍ය වුණු “වජිරා” ටෙලි නාට්‍යයේ රඟපාන්න මට අවස්ථාව ලැබුණා. වජිරාටයි එයාගේ පෙම්වතාටයි දුෂ්ට කම් කරන “මැණික් “ගේ චරිතය තමයි මම කලේ. ඒක ස්වාධීන නාලිකාවේ විකාශනය වුණු මුල්ම ටෙලි නාට්‍ය වගේම මගේත් මුල්ම ටෙලි නාට්‍ය.

අද බොහෝ විට හාස්‍යජනක චරිත රඟපෑවත් උදයා පුංචි තිරයේ බොහෝ පෙම්වතියගේ චරිත රඟපාපු නිලියක්?

අම්මෝ ඔව්. පුංචි තිරයේ විතරක් නෙවෙයි වේදිකාවේත්, සිනමාවේත් මම ඕනතරම් පෙම්වතිය වෙලා හිටියා. “එකගෙයි කුරුල්ලෝ “ටෙලි නාට්‍යයේ මගේ පෙම්වතා වුණේ චන්න පෙරේරායි. “සීතල ගිනි කඳ” චිත්‍රපටයේ මගේ පෙම්වතාට රඟපෑවේ ප්‍රියංකර පෙරේරායි. ඔන්න ඔහොම කෙල්ලට රඟපාපු අතීතයක් මටත් තියෙනවා. මම වීදි නාට්‍ය වල, පොල් කොටන් උඩ හදපු වේදිකාවලත් ඇතිපදමට රඟපාපු නිලියක්. ඒ අතීතය මට හැමදාමත්ම මතකයි.

අද හරි අපූරු නිවසක හිමිකාරියක්. එදා පුංචි ගෙයක් ඇතුලේ ඉදන් මේ ජීවිතය පටන් ගත්තු ඒ අතීතයත් උදයට අමතක නැතිව ඇති?

අම්මෝ ඔව්. හොඳට මතකයි. මම පුංචි තැනින් පටන් ගත්තු කලාකාරියක්. අද මම තරම් සතුටු වන කලාකාරියක් නැති තරම්. මට මේ ලෝකේ මේ හැමදේම ලැබුණේ කලාව නිසයි. අද මම මේ හැමදේම කරන්නේ මේ කලාව නිසයි. කලාව කියන්නේ මාර පූජනීය තැනක්. අපි එදා හිටියේ පුංචි පැල්පතක. ඒත් ඒ පැල්පත ඇතුලේ හත්දෙනෙක්ගේ  ආදරය උපරිමයෙන්ම තිබුණා. කාමර තුනක් එක්ක ගේ තිබුණට ඒක පොල්අතු සෙවිලි කරපු මැටි ගහපු ගෙයක්. ගෙදර තිබුණේ කුප්පි ලාම්පු. අපි ඉගෙන ගත්තේ කුප්පි ලාම්පු එලියෙන්. කාලයක් ගියාට පස්සේ තමයි අපිටත් විදුලිය ලැබුණේ. කුප්පි ලාම්පුවෙන් ඒ පොල් අතු ගෙදර හිටිය අපිට ඒ කාලේ ප්‍රශ්න තිබුණේ නැහැ. මට ඒ අතීතය අමතක නැහැ. අද මම මගේ සැමියා එක්ක,දරුවන් දෙදෙනා එක්ක හරිම ආදරණීය ජීවිතයක් ගත කලත් අදටත් මට ඒ කුප්පි ලාම්පු එලියෙන් ජීවිතය දැක්ක අතීතයට හරි ආදරෙයි.

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles