“හොඳට ඉගෙන ගන්න..”
මේ ඕනෑම ගැහැනු ළමයෙකුට ඉගැන්විය යුතුම කතාවක්.”ඉගෙන ගන්න.හොඳටම ඉගෙන ගන්න.අත් නොහැර ඉගෙන ගන්න.” ජීවිතයේ රිදීම් බිඳීම් එක්ක ඉන්න ගැහැනු ළමයින්ට මුලින්ම ඒ කතාව කියන්න.
“ඉගෙනීම කටු අත්තකි.එහි ඵලය මල් ඉත්තකි”
ඔය කතාව අපි හිච්චි කෙල්ලො කාලේ ඔටෝග්‍රාෆ්වල ලිව්ව කතාවක්.ඒක සහතික ඇත්තක්.ඉගෙන ගන්න එක කටු අත්තක්ම නොවුණත් තමන් යම් දෙයක් ඉගෙන ගෙන ලබා ගන්නා මාවත මල් ඉහිරුණු එකක්.මම මේ කියන්නේ හැම දුවෙකුම දොස්තර,ඉංජිනේරු,ගුරු වෘත්තීන් කරා මෙහෙයවන්න කියලා නෙවෙයි.තමන්ට ගැළපෙන සහ තමන් වඩාත් ආසා කරන දේ ඉගෙන ගන්න ඔවුන්ට ධෛර්යය දෙන්න කියලා.එය තමයි ඇගේ මාවත හෙළි පෙහෙළි කරන්නේ.දියණියකට වඩා ස්වාධිනව නැගී සිටින්නට ඉඩ කඩ සලසන්නේ.
මම අසංක සමඟ විවාහ වනතුරු ළූණු ගෙඩියක්වත් සුද්ධ කළ කෙල්ලක් නෙවෙයි.ඔහු සමඟ විවාහ වුණු මට උයන්න පිහින්න වුණා.එහි කිසිම වරදක් නැහැ.විවාහයෙන් පස්සේ ගෑනු ළමයෙක් කුස්සියට කොටු වුණත් නැතත් ගෙදර වැඩ දැන ගන්න ඕනෑ.
ඒත් ඉවීමට මහා ආසාවක් නැතිව හිටිය මම චෙෆ් කෙනෙක් වෙන්න තීරණය කළේ නුවර අතහැර එන්න සාධාරණ හේතුවක් හදා ගන්න.ගැලවීම පිණිස ගත් තීරණයට සැබෑවටම ආදරය කිරීම මාව චරිතයක් කරන්න පටන් ගත්තා.එතකොට ජීවිතේ මට හැම සිහිනයම අහිමි කරලා නැහැ.හිමි සිහිනත් තියනවා.ස්මාර්ට්ලේඩි කණ්ඩායම හරියටම හරි.මගේ කතාවට සුදුසුම නම (අ) හිමි සිහින.මට වෙලාවකට හීන හිමි වෙනවා.ආයේ ඇසිල්ලකින් අහිමි වෙනවා.
ජීවිතේ කියන්නේ ඒකට!
පාඩම් කළා නැතා දක්ෂ ළමයෙක් හැටියට මං ඉස්කෝලේ කාලේ ප්‍රසිද්ධියට පත් වුණා.මට එක පාඩමක් එක වතාවක් කියෝගත්තම විභාගෙට රෝලක් ගහ ගන්න එක හරිම සිම්පල් වැඩක්.ඇත්තටම අවුරුදු දහතුනේ ඉඳන් ආදර සම්බන්ධයක් පටන් අරන් ඒ හින්දා ගුටි කකා හිටිය මම උසස්පෙළ දක්වාම හොඳින් ඉගෙන ගැනීමත් එතැනින් එහාට උසස් අධ්‍යාපන ලැබීමත් අරුමයක් නො වුණේ ඒ නිසා.මොන දේවල් ඔළුවේ තිබුන මොන ප්‍රශ්න ඔළුවට ගැහුවත් මට ඉගෙනගන්න එක එකහිත් දරාගෙන කරන්න පුළුවන්.
ඒකත් මට දෛවයෙන් ලැබුණු ආශිර්වාදයක් වෙන්න ඇති.
මම මගේ chef course එක ඉතාම ඉහළින් හදාරන්න පටන් ගත්තා.ඒ වගේ පාඨමාලාවක් මම ඒ කාලෙ හිටපු මානසිකත්වයෙන් හදාරන්න අමාරු නොවුනෙ කොහොමද කියලා ඔබට හිතෙනවා ඇති.ජීවිතය කලකිරිල රිදිලා බිඳිලා තියෙන වෙලාවට මොනවා හරි දෙයක් අලුතින් ඉගෙන ගන්න පටන් ගන්න.ඒ වෙනුවෙන් තදින් කැපවෙන්න.ජීවිතයට තදබල අරමුණක් තියෙනකොට රිදෙන්න බිඳෙන්න වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ.
මම පාඨමාලාව අවසන් කළේ රන් පදක්කමක් දිනා ගනිමින්.මම ක්ෂේත්‍රයේ නිවැරදිව පියනගන්න සුදුසුකම් ඉතාම ඉහළින් සම්පූර්ණ කරගත්තා.නමගිය හෝටල්වලින් මට රැකියාව සඳහා ආරාධනා ගලා ආවා.
මේ කියන්නේ චෙෆ් කෙනෙකුගේ කතාව.එහෙම ලියැවුණු තැනකදිම සමහරු මම කවුද කියලා අනුමාන කරපු බව මට ස්මාර්ට්ලේඩි කණ්ඩායම කියන්නේ සතුටින්.එක වෘත්තියක ඉන්න ගැහැනියක් ගැන කියනකොටම එක නමක් මතක් වෙන්න තරමට ඇය සාර්ථකනම් තවත් මොනවද? හැඳුනුකම් හෝ ගැහැනුකම පාවිච්චියට නොගෙන වැඩෙහි යෙදෙමින් මහන්සියෙන් මම ආව ගමන ගැන මට මේ තරම් සන්තෝස ඒකයි.
ඉගෙන ගනිද්දී,රැකියාවේ යෙදෙන විට තරුණ ගැහැනියක හැටියට මට තනිකමක් නොදැනුණා නෙවෙයි.දැනුණා.උද්‍යානවල තුරුළුව සිටින ජෝඩු, බස් රථයේ ප්‍රේමයෙන් වෙළී ගමන් කරන ජෝඩු මගේ ලෝකය එක තැනක හිස්ව ඇති බව මට මතක් කළා.නොනවත්වාම වැඩ කරන ගමන් මම පාලුව නැතිව යනතුරු විවිධ දේ ලිව්වා.
ඒත් සුධාරක සහ අසංක නිසා හෙළවී ගිය මගේ ලෝකය තවත් තුන්වැන්නෙකුට පවරන්න ඕනෑද කියලා නම් මම හිතුවේ තිගැස්මකින්.