හසරැලි වැස්සේ – 63

මගේ වෙනත් ස්වරූපයක් මතු වන්නට පටන් ගත්තේ ඉනික්බිතිව ය.මම උස් හඬින් හිනැහෙන්නට පටන් ගත්තේ තේරුමක් නැති හේතුවලට ය.මා සෑම මොහොතකම සතුටින් සිටින බව හඟවන්නට මට උවමනා වූ බව මට හැඟිණ.නමුත් මම දිගටම ඒ රඟපෑමේ යෙදුණෙමි.

“කෙල්ලො ලව් කරල නාස්ති වෙනවනෙ.මේ යකා නාස්ති වුණේ ලව් කරන්නෙත් නැතිව..”

වසර අට නවයක්ම මගේ මිතුරියන්ව සිටි දෙමිතුරියෝ වහාම මා කියවා ගත්හ.මම එය නෑසුණු සේ හුන්නෙමි.නමුත් මා ආදරය කළේ නැති බව පහසුවෙන් කියන්නට නොහැකි ය.මම ආදරය කළෙමි.මට ආදරය නොකළ තරුණයෙකුට ආදරය කළෙමි.ඔහු නිසා හමන සියළු කුණාටු දැන් මා තනිව දරා ගත යුතු වේ.

“අපේ පන්තියේ හිටිය සීයට පනහකටත් වඩා මේ වෙලාවේ තිබ්බනම් හොඳයි කියල හිතෙන දේ හසීට තියනව.ඒත් ඔයා දුකින්..”

යෙත්මි කියන්නී ය.එය සත්‍යයකි.අපේ පාසල වැනි ප්‍රමුඛ පෙළේ පාසලකට ඇතුළු වෙන බොහෝ දැරියන් දෙමාපියන් මෙහෙයවන්නේ දොස්තර ඉංජිනේරු සිහිනය වෙනුවෙනි.ඒ සිහින දිනා ගැනීම ජීවිතය දිනා ගැනීම බව දෙමාපියන් සහ දරුවන් තරයේ සිතන්නකි.නමුත් ජීවිතය ඉහළම දේ දිනා දුන් දැරියන් පවා කුමක් හෝ සිහිනයක් අහිමි වූ අය ය.

“තමන්ගේ හීන අහිමි වුණු කෙල්ලො කියල සංගණනයක් තිබ්බොත්..කොහොමද ප්‍රතිඵල ගන්නේ?”

මම ඇසිමී.මිතුරියන් මුහුණට මුහුණ බලා ගත් අතර මම දිගටම කතා කරන්නට පටන් ගතිමි.

“ඒ හීනෙට ලෝකෙ ඉන්න සල්ලිකාරයන්ගෙ දූලාගෙ ඉඳලා දුප්පත්ම ළමයි වෙනකන් අයිති.ලෝකෙ ඉන්න හැම ගෑනියෙක්ම අයිතියි.ගෑනු පිරිමි කියන්නත් බෑ.හැමදේම ලැබුණා කියන මිනිස්සුත් ඉන්නෙ මොකක්ම හරි හීනයක් අහිමි කරගෙන..”

ඒ ජීවිතය ගැන යථාර්ථය ය.අප සියල්ලන්ම ලැබූ දේවල් අමතක කළ අය ය.නොලැබුණු සිහින වෙනුවෙන් හැල්මක් නැතිව දුවන අය ය.එහෙත් සැනසීම ලබා ගන්නට නම් අප ලැබූ දේ සම්බන්ධයෙන් සතුටු විය යුතු නොවේදැයි මටද නොසිතුණා නොවේ.

නමුත් ජීවිතය කුමක් හෝ හිස්කමකින් පිරී ගොස් අවසන් ය.

“සූකිරිගෙ ප්‍රශ්නෙ මොකක්ද?

මගේ පිළිවෙල සහමුලින්ම මවා ගත් එකක් බව වැටහෙද්දී තාත්තා විමසී ය.මා සෑමවිටකම ඔවුන් අසලම දැවටීම ම තනිකම මකා ගන්නා ක්‍රමයක් බව තාත්තාට වැටහෙන්නට ඇත.මම තාත්තා දෙස නොබලා බොරු ඇද බාන්නට පටන් ගතිමි.

“මට කොහෙ කැම්පස් එයිද දන් නෑනෙ තාත්තා.තව ටික දවසකින් දුරට යන්න වුණොත්..”

තාත්තා එය නොපිළිගන්නට ඇත.නමුත් ඔහු මා වැළඳ ගෙන මොහොතක් සිටියේ ය.අනතුරුව මගේ හිස සිප මට වඩා ආරක්ෂාකාරී හැඟීමක් ගෙනෙන වදනක් පැවසී ය.

“ඔයාට ඕනෑම දෙයක් තාත්තට කියන්න පුලුවන් හොඳද පුතේ..”

දෙනෙත් මගේ ජීවිතයෙන් යන්නට ගොස් ඇත්තේ මා රැඳෙන්නට තිබූ හොඳම තැන මට අහිමි කිරීමෙන් පසුව බව තාත්තාට තබා අයියාටවත් පවසන්නට මට නොසිතේ.ඒ සියල්ල සිදු වී අවසන්‍ ය.යළි ඒවා ගැන සෙවීම බැලීම ම ගැටළු නිර්මාණය කරන්නට සමත් වන්නකි.එනිසාම මම නිහඬවත ද මා තුළ ගිලී යාම ද තෝරා ගතිමි.මා සිටින්නේ බිඳුවක්වත් වේදනාවකින් නොවන බව කියන්නට උස් හඬින් හිනැහෙන්නට පටන් ගතිමි.නොනවත්වාම කියවන්නට පටන් ගතිමි.රඟපෑම සම්බන්ධයෙන් මට වෙහෙසක් නොදැනුණාම නොවේ.දෙනෙත් ගැහැනු ළමයෙකු සමඟ ප්‍රේමාන්විත ඡායාරූප ෆේස්බුක් පළකිරීම් ලෙස මුදා හරිද්දී මම ඒවා දෙස උපේක්ෂා සිතුවිල්ලෙන් බලා හුන්නෙමි.

මම සැබෑවටම හිඳින්නේ අයිස් කැටයක් ව බවත් දියව යා හැකි බවත් මට දැනුණේ සචිර අයියා දිගු කාලයකට පසු අපේ නිවසට ආ මොහොතේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles