තරු පිරි අහසක් හැරෙන්නට ඔහු දෙස බලා උන් වෙනකෙකු නැත. ටෙරස් එකේ වන හාන්සි පුටුවෙහි වැතිර ගත් දිසත් ගේ දෑසට කෙළින් ම හසු වන්නේ අඳුරු ගැඹුරු අහස හා අතුරු සිදුරු නැතිව එහි කෝලිත්තම් කරනා තරු කැට ය. අවසාන දුම් උගුරත් ඇද ගත් දිසත්, සිගරට් කොටය ඈතකට විසි කොට දැමුවේ ය. මේ ඔහු කාලයකට පස්සේ සිගරට්ටුවක් බීවා ම ය. ඒ කවර හැඟීමක් නිසා දැයි ඔහු ට නිරවුල් නැත. මේ අප්‍රමාණිත තනි කමෙහි ඔහු නිමග්න වී ගෙන වසරකට එහා ගත වී ගෙන එයි. ඒ උමතු කරවනා තනියෙහි දිගක් පළලක් ගැන කියන්නට ඔහු ට වැටහීමක් නැත.
ඒ සියල්ල අතරින් කහ කොළ වර්ණ වලින් කොටු වැටුණ අත් පිස්නාවකින් ඔතා තිබූ කෑම පෙට්ටිය ද, මඳක් ඉහලට මුහුණ ඔසවා ගෙන සිනා සෙන අමාරසී ගේ මූණ ද විටින් විට ඔහු ට මැවී පෙනේ.
කේෂි තවමත් ගෙදර පැමිණියේ නැත. අද නොව විවාහයට මාස දෙක තුනක් පිරුණ තැන් සිට ම, සිය ජීවිතය මෙබඳු බව කේෂි දිසත් ට ඔප්පු කොට පෙන්වූවා ය. සැබවින් විවාහයට පෙර,ඔහු විශ්ව විද්‍යාල සිසුවෙකු ව හිඳියදී ඇගේ දිවියෙහි මෙහෙව් පැති කඩක් ඔහු දුටුවේ ම නැත. එය ඇගේ පැත්තෙන් ප්‍රකාශ වූ කැමැත්තකි. බටහිර පන්නයට හැදුණ යුවතියක සේ පෙනුණ ඇගේ පැලැන්තිය ඔහු ට පෑහිය නො හැකි එකක් සේ දැනුණ ද, කේෂි ගෙන් ගැලවෙන්නට දිසත් සමත් වූයේ නැත. අවසානයේ එය විවාහයකින් කෙළවර විය.
විවාහය කියන්නේ එවැනි දිනුම් කණුවක් ද කියා දිසත් තවමත් සිතයි. දුවගෙන දුවගෙන විත් එතැනට පැමිණි පසු ඒ තරඟය නිමා වේ. නමුත් සැබැවින් සියල්ල පටන් ගන්නේ එතැන් පටන් යයි නො සිතිය හැකි ද?
කේෂි ට විශ්ව විද්‍යාල සමයේ දිසත් කෙරේ වූ ආකර්ශනය අඩු වෙමින් යන්නට ගත්තේ එතැන් පටන් ය. විවාහය එහෙම දෙයකි. එය යථාවට බලයෙන් හෝ ඔබ ඇද දමනා දෙයකි. ආදරය දෑස් අඳ කළත් විවාහය ඔබේ දෑස් පාදනු ඇත. ඔවුන් මොන තරම් නො ගැලපෙන අඹු සැමි යුවළක් දැයි ඔවුන් ඉදිරියේ නිරාවරණය වන්නට ගති.
කේෂි ට තව දුරටත් දිසත් ගෙන් ලද හැකි ජීවන මිහිරක් නො විණ. ඇයට දැනුණේ ඔහු අසල මහා කම්මැළි කමකි. කිසිදු ප්‍රබෝධයක් නැත. කිසිදු වෙනසක් නැත. විවාහයක් කියන්නේ එහෙම දේකට ද?
කේෂි සිය සතුට ඇය රිසි පරිදි සොයා යන්නට ගත්තේ ඉනික්බිති ය. දවල් දවස පුරා නිදන ඇය රෑට ක්ලබිං ය!
පියා ගේ ව්‍යාපාර වලින් ඇයට උවමනා තරම් මුදල් ලැබිණ. සතුට තියෙන්නේ ලෝකය පුරා විසිරී මිස ගෙදරක් තුළ ට කේන්ද්‍රගත ව නොවේ යයි ඇය විශ්වාස කළා ය. දිසත් ඔහු ගේ ලෝකයෙහි හුදෙකලා විය. නැතහොත් ඇය ට ඔහු අත්හැරිණ.
මුලදී මේ ගැන ආරවුල් සිදු වූ බව ඇත්ත ය. වරක් දෙකක් ඔහු ඈ මට්ටු කරනු වස් පහරක් දෙකක් ගැසුවේ ය. නමුත් ආයේ අත ඉස්සුවොත් පොලීසි යන බවට කේෂි තර්ජනය කළා ය.
“මොකද්ද මේකෙ තේරුම කේෂි..අපේ ලයිෆ් එක මේකද…මං උදේට ඔෆිස් යනව. එතකොට ඔයා නිදි. මං හවස ඔෆිස් ඉවර වෙලා එද්දි ඔයා නෑ. රෑ ජාමෙක ඔයා ගෙදර එනකොට මං නිදි. මේකද අපේ ජීවිතේ…”
අන්තිමට ඔහු ඇයට ඉතා ආදරයෙන් කරුණු පැහැදිලි කර දෙන්නට උත්සාහ කළේ ය. ඇය කට ඇද කළේ සමච්චලයට ය.
“ඉතිං ඔයත් ක්ලබිං යං”
මේ දැනුත් පෙනහලු වල අන්තිම පත්ලේ තිබී දිසත් ගේ පපුවෙන් සුසුමක් බැහැර විණි. ජීවිතය කියා ඇය විසින් මවා ගෙන හිඳිනු ලබන ෆැන්ටසිය සැබෑවක් නොවන බව කෙතෙක් ඇයට පැහැදිලි කර දෙන්නට ඔහු උත්සාහ කළ ද එය ගඟට කැපු ඉණි සේ අපතේ ම ගියේ ය. අන්තිමට ඇය රිසි සේ ඇය ට ජීවත් වන්නට හැර ඔහු ගේ පාඩුවේ ඔහු ජීවත් වන්නට පටන් ගත්තේ ය.
දිසත් ගේ සියල් හීන ද මතු බලාපොරොත්තු ද සුණු විසුණු කර දැමූ දිනය කිසි දා ක ඔහු ට අමතක නොවනු ඇත. ඒ මීට පස් මසකට පෙර දිනයකි. හදිසියේ ම කේෂි ගිලන් වූවා ය. වෛද්‍ය පරීක්ෂණයකින් සනාථ වූයේ ඇය ගැබ් ගෙන ඇති බවයි. දිසත් ගේ ප්‍රීතිය නිම් හිම් නැති විය. ඒ වූ කලී ඉතා ශුභ ආරංචියකි. කේෂි ගේ ජීවිතය මින් පෙර කෙබඳු වී ද මේ ආරංචියත් සමග ඇය මුළුමනින් වෙනස් වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වූයේ ය. ඔවුන් ට යළිත් ඔවුන් ගැන සිතිය හැකි වනු ඇත. එන්නට යන්නේ ඔවුන් දෙදෙනා ගේ දරුවෙකි. නමුත් එදා රාත්‍රියේ ගෙදර ආ කේෂි බෙහෙත් පෙති පැකට් එකක් අතට ගත්තා ය.
“ඇයි බෙහෙත් බොන්නෙ…ඔයාට ෆෝලික් ඇසිඩ් විතරක් දැනට ගන්න කියලනෙ ඩොක්ට කිව්වෙ. අපි හෙට වීඕජීව කන්සල්ට් කරමු…”
ඔහු දයාවෙන් ඈ හිස පිරිමැද්දේ ය. පැකට් එකෙන් පෙත්ත පිටතට ගන්නා ගමන් කේෂි කට කොනකට සිනහවක් නගා ගත්තා ය.
“අපිට දැන්ම ළමයි ඕන නෑ දිසත්”
“මොකද්ද…”
යහන මත හිඳ උන් ඔහු කලබලයෙන් නැගිට ගත්තේ ය.
“දැම්මම ළමයි බමයි එල්ලගෙන ජීවිතේ පනිශ්මන්ට් එකක් කර ගන්න මට ඕන නෑ”
ඇය ගිලින්නට ගිය බෙහෙත් පෙත්තට ඔහු අතින් ගැසුවේ ය. නමුත් කේෂි එය වැටෙන්නට නොදී රැක ගත්තා ය.
“එපා කේෂි..ප්ලීස්…ඔය පව්කාර වැඩේ කරන්න එපා”
දිසත් බැගෑපත් වූයේ ය.
“අනේ නිකං ගොඩේ විදිහට හැසිරෙන්න එපා දිසත්. ළමයි හදා ගන්න පුළුවන් පස්සෙ..ඊට කලින් අපි ලයිෆ් එක එන්ජෝයි කරන්න ඕනෙ”
“ඔය දරුව මගේ..තමුන්ට තනියම තීරණේ කරල ඒ දරුවව මරල දාන්න බෑ”
ඇය වියරු සිනහවක් පෑවා ය.
“පිස්සු නටන්න එපා. මං ලෑස්ති නෑ දැන්ම ළමයි හදන්න”
“එපා කේෂි එපා. එයාට එන්න දෙන්න කේෂි. ඔයාට තේරෙන්නෙ නැද්ද…එයා අපේ ජීවිත වෙනස් කරයි. අපේ ජීවිත වලට දැනෙන මේ පාළුව නැති කරන්න එයාට පුළුවන් වෙයි”
නමුත් ඇය එක් වරම ඒ බෙහෙත් පෙති ගිල දැමුවා ය. අත් දෙකේ මූණ ඔබා ගත් දිසත් ඉකි ගගහා හැඬුවේ ය.
ඔහු ට ඔහු ගේ ම දරුවාට ජීවිතය දිය නො හැකි විය. ඇය ඒ අයිතිය ඔහු ගේ ඇස් පනාපිට ම උල්ලංඝණය කොට දැමුවා ය.
දිසත් මිය ගියේ එදා ය. ඒ වහළය යට හුස්ම ගත්තා ට ඔහු හිටියේ හදවතින් මිය ගොස් ය. ජීවත් වන්නට තිබුණ අවසාන බලාපොරොත්තුවත් මිය ගියාට පස්සේ ද ජීවත් වන්නට සිදු වීම කෙතරම් ලොකු වේදනා කන්දක් දැයි තේරුම් ගත හැක්කේ එවන් තත්වයකට මුහුණ දුන් කෙනෙකුට පමණි.
සැබවින් ඔහු ට ඔහු දැනුණේ ඇවිදිනා වේදනා කන්දක් පරිද්දෙනි. හදවතින් නාය ගිය මිනිසෙකු පරිද්දෙනි. එහෙව් මිනිස්සු ද ජීවතුන් අතරේ සිටිති. ඔවුහු ද උදේ ට අවදි වෙති. වැඩ කරති. කති බොති. නිදති. නමුත් ඔවුහු ආත්මීය වශයෙන් මිය ගොස් සිටිති.
දිසත් කාමරයට ගොස් යහනට වැටුණේ ය. කේෂි පැමිණෙනවා දැනුණත් ඔහු නිදි සේ ම සිටියේ ය.
පුරුදු වෙලාවට ඔහු උදේ අවදි වෙයි. තේ එකක් හදා ගෙන බොන ගමන් ඇඳ ගෙන යන ඇඳුම් මැද ගනී.
“නැගිටල තේ එක හරි හදන්නකො අනේ”
මුලදි මුලදී දිසත් කිහිප වරක් ම කේෂි ට එසේ කීවේ ය.
“තේ එකක් හදා ගන්න ඕන තමන්ට ඕන විදිහටනෙ. සීනි කිරි ටික දාල ටී බෑග් එකට හොට් වෝටර්බදා ගන්න මං ඕනද…”
ඇය ට කියන්නට තිබුණ නිදහසට කාරණය අතිශය රැඩිකල් ය කියා අඅය සිතුවා ය.
“එහෙනං ඉතිං මොන මගුලටද කසාද බැන්දෙ…මිනිහට තේ එකක් වත් හදල දෙන්න බැරිනං ඒ ගෑනිංගෙං ඇති වැඩේ මොකද්ද…”
“ආ..එතකොට මං මේ ඔයාව බැන්දෙ ඔයාට තේ හද හද බත් උය උය ඉන්නද…කුස්සි අම්ම කෙනෙක්වනෙ බැඳ ගන්න තිබුණෙ”
කේෂි ගේ අදහස් එක්ක තර්ක කරන්නට ගියොත් වෙන්නේ විවාහය කඩා ගෙන දෙපැත්තට වන්නට වීම බව දන්නා දිසත් ඉනික්බිති ඇගෙන් එවැන්නක් හෝ බලාපොරොත්තු නොවී සිය කටයුතු ඔහු ම කර ගත්තේ ය. ගෙදර වැඩට කාන්තාවක පැමැණියා ය. ඇය අස් පස් කොට රෙදි සෝදා වේලා නවා, උයා පිහා තියා ගියා ය. දවල් වෙන තුරු නිදා ගන්නා කේෂි හවසට මිතුරු සමාගමය සමගින් සමාජ ශාලා වල විනෝද වූවා ය. දිසත් ටික ටික ඇගෙන් ඈත ක ඔහු ගේ ලෝකය ගොඩ නගමින් සිටියේ ය.
ඉනික්බිති දිවා ආහාරය වෙනුවෙන් ගෙන එන කෑම පෙට්ටිය දිසත් වෙනුවෙන් වෙන් කොට තබන්නට අමාරසී පුරුදු වූවා ය. ප්‍රතික්ෂේපයකින් තොර ව කෑම ශාලාවට ගොස් ඒ කෑම එක ගෙන කන්නට දිසත් ද පුරුදු වූයේ ය. කෑම පෙට්ටිය ඔතා තිබෙනා සර්වියට් එකේ පාට දිනෙන් දින වෙනස් වුව ද, කෑම පෙට්ටිය මාරු වුව ද දිසත් ඒ හැඳින ගත්තේ ය. ඒ සර්වියට් එක ඔතා තිබෙනා රටාවෙනි.
ජීවිතය එහෙම ය. සමහර දේවල් අප හැඳින ගන්නේ කිසිදු පූර්ව දැනුම් දීමකින් නොවේ. ඉවෙන් වාගේ ය.
හවසට අමාරසී කෑම පෙට්ටි දෙක ම බෑග් එකේ දමා ගෙන යයි.
අමාරසී ට නිතර ම දිසත් සමගින් කාර්යාලයේ වැඩ ගැන කතා බහ කරන්නට තිබිණි.
“පීඕ එකක් තියෙනව මිස්ට දිසත් සයින් කර ගන්න”.
කියමින් ඇය ට ඔහු වෙත යන්නට නිතර හේතු හැදුණේ ය. ඉතා සුළු තත්පර ගණනකට හෝ විනාඩි ගණනකට සීමා වන එවන් ඇසුරක් තුළ වුව ඇය ට මොකක්දෝ අමුත්තක් දැනිණ. නමුත් ඒ දැනෙන දේ ගැන ඕ කොහෙත් ම හිතුවේ නැත. තහනම් ඉසව් ගැන ඉවක්, සහජයෙන් ම ගැහැනු හදවත් වල වේ.
එසේ ඔවුන් ට කතා කරන්නට ලැබෙනා අවස්ථාවක වුව දිසත් ඇයගේ දිවා ආහාරය ඔහු ට පුද කිරීම ගැන වචනයකුදු කතා කළේ නැත. වඩාත් ම මිහිරි හැඟීම් හදවතක ඉතිරි කරන්නේ කවදාවත් කතා කරන්නට ඉඩ නොලද දේ ය.
ගිනුම් අංශයේ කොල්ලෝ සිකුරාදා හවසට අංශ ප්‍රධානියා වෙනුවෙන් සාදයක් සංවිධානය කළහ. එය පැවැත්වෙන්නට නියමිත ප්‍රකට අවන් හලක බව දැන ගන්නට ලැබිණ.
“හරි අසාධාරණයි. පිරිමින්ට විතරක් පාටි දාන්න ඔට්ටු නෑ”
අමාරසී විරුද්ධත්වය ප්‍රකාශ කළා ය.
“මාත් විරුද්ධයි. ස්පෙෂලි මට තියෙන්න ඕන ඔය පාටියට ජොයින් වෙන්න ඉඩක්. මොකද මං එයත් එක්ක දැනටමත් ප්‍රේමයෙන් වෙළිලයි ඉන්නෙ”
තරුෂි ගේ කතාවට අමාරසී හඬ නගා හිනැහුණා ය. දිසත් ට ඇගේ දිවා ආහාරය තබා එන බව දිලිනි ඇරෙන්නට තරුෂි හෝ නො දැන සිටිම අමාරසී ට සහනයක් විය.
“උඹට එහෙනං වේලි වේලි ඉන්න තමයි වෙන්නෙ. දන්නවද බොස් බැඳල ඉන්නෙ කාවද කියල…”
නිරෝෂන් ගේ අලුත් ම ඕපාදූපය දැන ගන්නට කාන්තා පාර්ශවය මුව ද අයා ඔහු දෙස බලා ගත්හ.
“කාව බැඳල හිටියත් මං එයාට ක්‍රෂ්”
“ස්කයි හෝල්ඩිංස් අයිතිකාරයගෙ දුවව යකෝ. සෙල්ලං පොරක් නෙවෙයි මෙයා”
“තරුෂි”
අමාරසී තරුෂි දෙස බලා ඉඟි කළා ය. ඇගේ පෙනුමට ඊළඟට සිනහා වූවා ය.
“පව් අනේ අපේ තරූ”
“තරුෂි විතරක් නෙවෙයි මෙතන ඉන්න ගෑනු ඔක්කොම එක සැරේකට හරි හිතෙං පොරට ලව් කරල නෑ කියන්න බෑනෙ”
“විකාර”
දීපානි නිරෝෂන් දෙස රවා බැලුවා ය.
“ආ…ඒ මොකද ඒ..”
අමාරසී නොදැන ම නැවත ද ඇගේ සිනහව පිට පැන තිබිණ.
“මේ මේ දැන් ඕක නෙවෙයිනෙ ප්‍රශ්නෙ. ඔය සෙට්විල්ලට අපිටත් සෙට් වෙන්න ඕනයි කියන එකනෙ”
“ඉතිං සෙට් වෙයල්ල.හැබැයි බොන්න ඕන. අනික අපි ගෙවල් වලට යන්නෙ රෑ වෙලා හතර ගාතෙං. එකඟයිනං සෙට් වෙමු නංගිල ආ…”
සිකුරාදා දිසත් ගේ කියුබිකල් එකට ගිය වෙලාවේ අමාරසී මේ කතාව ඇද ගෙන ඔහු ට නෝක්කාඩු කීවා ය.
“මිස්ට දිසත් ගෑනු ළමයි අයිං කරල පාටි දෙන එක ගැන කට්ටිය තරහෙං ඉන්නෙ හොඳේ”
එවර හඬ නගා සිනහ වූයේ ඔහු ය. අමාරසී මොහොතකට ඒ සිනහවේ ඇය ම නො දන්නා තැනෙක අතරමං වන්නට වූවා ය. නමුත් වහා ම සිහි එළවා ගත් ඕ, ඔහු අත්සන් කළ ලිපි ගොනුව අතට ගත්තා ය.
“දැං ඉතිං මොකද්ද මගෙං වෙන්න ඕන…පාටියක්ද…”
“ඔව් ඉතිං…නැත්තං හරි අන්ෆෙයානෙ”
“හරි ඉතිං ඕගොල්ලො දාගන්නකො තැනක්. මං ඕන වෙලාවක රෙඩී”
ඇය ගියේ ඉක්මනින් ඒ සුබ ආරංචිය කෙල්ලන් ගේ කනේ තබන්නට ය. නමුත් මේසය මත වූ ජංගම දුරකතනය යොහාන් ගේ නමින් හැඬවෙමින් තිබිණ.
“රසී. අම්මල හඳහන් බලල. වෙඩින් එකට දින තියෙන්නෙ තව මාස තුනකින්. ඕෆ් වෙන වෙලාවට මං ඔයාව ඔෆිස් එකෙන් පික් කරන්නං. කතා කරගන්න දේවල් ගොඩක් තියනව”
“හා”
උදාසීන ලෙස එසේ පැවසූ ඕ දුරකතනය යළි මේසය කොනක තැබුවා ය.