(අ)හිමි සිහින -205

තනිවම ජීවිතයේ ඇති පමණ හඬාවැටී ඇති නමුත් පිටස්තරයන් ඉදිරියේ කිසිදා මගේ කඳුලු නොපෙන්වන්නට පරෙස්සම් වූවත් සුධාරකගේ ප්‍රධානියා අමතන විට මගේ ස්වරයේ තිබූ කඩාවැටුනු ස්වභාවයත් වේදනාබර බවත් සඟවන්නට මට ඒ වෙලාවේ හැකියාවක් තිබුණේ නැහැ.මා අමතනවිටත් ඔහු සුධාරකගේ මරණය ගැන දැනුවත්ව සිටීම ඔහු සමග කතාකරන්නට මට පහසුවක් වුණා.

“සර් ගුඩ්මෝනිං….මම බොහොම අපහසුවෙන් මේ අඬන්නේ නැතිව කතා කරන්නේ. සුධාරක මීට විනාඩි කීපයකට කලින් නැතිවුණා.සර් දන්න බව මම දන්නවා.දැන් මරණයේ වැඩ කටයුතු කොහොමද වෙන්නේ.මට එක ඉල්ලීමයි කරන්න තියෙන්නේ. සුධාරකගේ මේ ගෙදරට එයාගේ දේහය ගේන්න සර්.මේක එයා දුක් මහන්සියෙන් හදාගත්ත එයාගේ ගෙදර.මේ වහල යට එයාගේ අවසන් කටයුතු ඉටු කිරීම එයාට කරන ගෞරවයක්.”

ඔහු දිගු සුසුමක් හෙලුවා.මා සුධාරක ගලවා ගන්නට කළ සටන ඔහු හොඳින්ම දන්නවා.ඒ නිසා ජේෂ්ඨ නිලයක් දැරුවත් ඔහුගේ හඬේද තිබුණේ බිඳුනු ස්වභාවයක්.

“මුලින්ම මට හරිම කණගාටුයි මිසිස් අනුරාධා.එක අතකට සුධාරක තව ලොකු කාලයක් ඔහොම විඳවමින් ඉන්නවාට වඩා ඕක එයාට සහනයක්.ඔයා එයා වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කළා.ඒක අපි දන්නවා.ඒ ගැන හිතලා හිත හදාගන්න.මරණ කටයුතු කරන විදිය ගැන හොයල බලන්න කියල මම අවශ්‍ය උපදෙස් දුන්නා.පූර්ණ ගෞරව ඇතුව ඒ සියල්ල අපි කරනවා.සුධාරක රට වෙනුවෙන් විශාල සේවයක් කල දක්ෂ නිලධාරියෙක්”

ඔහු එසේ පැවසුවා.

“සර් මේතරම් කාලයක් ඔහුව හැකි පමණ හොඳින් බලාගත්තට සර්ටත් අනික් සියලුදෙනාටත් ගොඩක් පින්.ඒ හැමදේම කලේ විශාල ගැටලු මැද බව මම දන්නවා.මගේ අවසාන ඉල්ලීම ඔහූගේ දේහය මේ ගෙදරට ගේන්න එච්චරයි මම ඉල්ලන්නෙ”

මම හැඬුම වාවාගෙන ඉල්ලා සිටියා.

“ඔයා දන්නවනේ අපිට මොනතරම් ගැටලු ආවද කියලා. මේකටත් මොන මොන ප්‍රශ්න දාවිද දන්නෙ නෑ.පවුලේ තීරණය කියල මොනවහරි කිව්වොත් අපිට ඒක සිදු කරන්න වෙනවා.ඔයා එයාගෙ පවුලේ අයට කතා කරල බලන්න.ඒ මිනිස්සු ලෙඩ දාන්නම නෙ ඉන්නෙ.දන්නවනෙ”

ඔහු කියන කතාවේ සත්‍යයක් නැතුවාද නොවෙයි.

“සර් මම එයාලට කතාකරන්නෙ නෑ.සුධාරකගේ ජීවිතය බේරගන්න කිසිම දෙයක් නොකළ එයාව හිරකාරයෙක් කරගෙන හිටපු මිනිස්සු එක්ක එයාගේ මලකඳ වෙනුවෙන් මම කතාකරන්නේ නෑ. ආයතනය පැත්තෙන් ඔබට ගතහැකි තීරණයක් තිබෙන නිසා මම කීවේ. මට ඒ පවුලේ අය සමග ගනුදෙනුවක් නෑ. ඔබතුමා කරන්නේ මොකක්ද කියලා මට කියන්න.ඒ සියලුදේට මගේ සහයෝගය දෙනවා.අවසාන වරටත් මගේ ඉල්ලීම මේ ඔහුගේ නිවස.ඔහු මේ නිවසට ආදරේ කළා
ඔහුගේ මරණය ඔහුගේ වහල යට සිදුකරන්න”

පුනපුනා එසේ කියූ මම දුරකථනය විසන්ධි කළා.ඉන් අනතුරුව මා කළේ මගේ විශ්වාසය අනුව මගෙන් පසු සුධාරකට මේ ලෝකයේ වැඩියෙන්ම ආදරය කළ කෙනාට මේ සංවේගජනක පුවත කියන්නට දුරකථන ඇමතුමක් ගැනීමයි.එය පහසු දෙයක් නෙවෙයි. ඒ අන් කිසිවෙක් නෙවෙයි,මගේ දියණියයි.තමන්ගේ පියා නොවන බව දැන දැනම කොන්දේසි විරහිතව සුධාරකට ආදරය කළ ඈ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “අප්පච්චී” කියූ නමට වටිනාකමක් ගෞරවයක් ලබා දුන්නා.

එවකට සත්හැවිරිදි වියේ සිටි කුඩා දරුවෙකු වුණත් ඇයට ඕනෑම දෙයක් අවබෝධ කර ගැනීමට තරම් සියුම් ඥානයක් තිබුණා.ඒ හැම දේටම වඩා ඇයට ආදරය, කරුණාව හඳුනන සංවේදී හදවතක් තිබුණා. තමන්ගේ ලෙයින් උපන් වැඩුණු දරුවන් සුධාරක ගැන අහස පොළොව නුහුලන සාපරාධී කතා කියද්දී මේ කුඩා දරුවා ඔහුගේ පෑරුණු සහ බිඳුණු හදවත හරි අපූරුවට සුවපත් කරන හැටි මම දෑසින්ම දුටුවා.ඇය කොයිතරම් කුඩා වුවත් මම ඇයට මෙය පැවසිය යුතුයි.

මගේ මව ඇමතූ මම දුවට කතාකරන ලෙස පැවසූවා.ඒ වනවිටත් හිමිදිරිය වූ නිසා ඇය සිටියේ නින්දට වැටී බව මා දැන සිටියා. ඇය අවදි කරන ලෙස පැවසූ මා ඇගේ පුංචි හිත ජීවිතයේ පළමුවෙනි වතාවට කඩාබිඳදමන්නට සමත් ඒ පුවත පවසන්නට හිත හදාගත්තා

“මගෙ සුදු මැණිකට ගුඩ් මෝනිං ඔයාට කොහොමද”

මම ඇගෙන් පුරුදු ආදරයෙන් විමසා සිටියා.

“Good morning අම්මා.මට හොඳයි මං දැන් නැගිට්ටේ.”

ඇය හුරතල් හඬින් පවසා සිටියා.

“සුදුමැණික මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.මං දන්නවා ඔයා හරිම දක්ෂ හරිම ලස්සන අහිංසක ආදරණීය බබෙක්. ඒ වගේම ඔයාට ගොඩක් දේවල් දරා ගන්න පුලුවන්.ඒ නිසා මගෙ මැණිකට දෙයක් කියන්න තියෙනවා.පුතේ අප්පච්චි අපි දෙන්නව දාලා ගියා.අප්පච්චි දැන් ටිකකට කලින් මැරුණා පුතේ”

මැරුණා කියන වචනයේ තේරුම ඒ පුංචි හිතට තේරුම් යන්නට තප්පර දෙක තුනක් යන්නට ඇති. පැවති නිහඬ බව බිඳිමින් ඒ පුංචි දැරිවිය දුරකථනයේ එහා පැත්තෙන් මහා හඬින් හඬන හඬ මා කඳුලු වගුරමින් අසා සිටියා.

“කමක් නෑ පුතේ දැන් අප්පච්චිට දුකක් නෑ.එයා ඒ දුක් කන්දරාවෙන්ම ගැලවුණා පුතේ.දැන් එයාව අපෙන් ඈත් කරන්න කාටවත් බෑ.අපි දෙන්නා එක්ක එයා සතුටින් හිටියානෙ.අප්පච්චිට ආදරේ කළාට ඔයාට ගොඩාක් පින් පුතේ ඔයා නිසා එයා හරි සතුටින් හිටියා”

මම හදවත ගැලවී යන තරම් වේදනාවකින් දියණියට පැවසුවා.

මඳ වෙලාවක් අපි දෙන්නාගේ දුක බෙදාගත් මම දුරකථනය තැබුවත් ඊට පසුවත් කාමරයේ මුල්ලකට වී කිසිදු අයෙකු සමග කතා කිරීම ප්‍රතික්ෂේප කළ ඈ දවසම හඬා වැලපී තිබුණා.

මගේ දියණිය පියෙකු අහිමි දියණියක බවට පත් වී තිබුණා.ඇගේ ජීව විද්‍යාත්මක පියා සිටියත් ඇගේ ආදර අප්පච්චි වෙනුවෙන් අදටත් ඇගේ ඇස කඳුළු නැඟෙන තරමක්.

සත් හැවිරිදි දැරියකට ඒ වේදනාව එතරමට දැනුණත් ඔහුගේ අනෙක් සමීපතමයන් එතරමට ඉන් කම්පා වුණේ නෑ.

අපි ඒ ගැන හෙට කතා කරමු.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles