මේ හැබෑවක් ද නැත්නම් මායාවක් ද යන ද්විත්ව සිතිවිලි අතරේ අමාරසී දෝලනය වන්නට වූවා ය. වට පිටේ සියලු නෙත් ඈ වෙත යොමු වී ඇති බව ඇය ට දැනේ. එය වූ කලී නම් දැරූ ඇඟළුම් ආයතනයකි. දහස් ගණනක සේවක ප්‍රජාවක් ඒ පරිශ්‍රයේ ගැවසෙති. කාර්යාලයට අදාල සේවක පිරිස ගත්තත් අති විශාල ය. කාර්යාල සේවක සමූහය ම වැඩ නිම වී ගෙදර යන්නට පිටතට එන වෙලාව මේ ය. කඩිනමින් එහෙ මෙහෙ යන පිරිස අතරේ, නැවතී ගෙන මේ නාටකය දෙස බලා ඉන්නට වූ පිරිස බොහෝ ය. එසේ වූයේ දිසත් මෙතැනට මැදිහත් වූ නිසාවෙනි.
“මේ මේ…මේක අපි දෙන්නගෙ පුද්ගලික ප්‍රශ්නයක්. මිස්ට කවුරු වුණත් මට කමක් නෑ. කරුණා කරල අපේ ප්‍රශ්න අපිට විසඳ ගන්න දීල පාඩුවෙ පැත්තකට වෙන්න”
දිසත් වචනයක් හෝ කතා කරන්නට පෙර ම යොහාන් ඉස්සර වී කීවේ ය. අමාරසී මාරුවෙන් මාරුවට තරුණයන් දෙදෙනා ගේ මුහුණු දෙස බලන්නට වූවා ය.
“ඕගොල්ලංගෙ පෞද්ගලික ප්‍රශ්නයක් නං එළියෙදි විසඳ ගන්න වෙනව මිස්ට”
දිසත් බෝ වැදගත් ලෙසත්, දැඩි ලෙසත් කීවේ ය. යොහාන් සිය වත මතට සමච්චල් සිනහවක් කැඳවා ගත්තේ ය.
“මේ මං මැරි කරන්න ඉන්න කෙනා. මං හිතන්නෙ තමුන් ඒක දන්නෙ නැතුව ඇති”
“මේ ඉන්නෙ අකවුන්ට්ස් ඩිපාට්මන්ට් එකේ මගෙ යටතෙ වැඩ කරන ගෑනු ළමයෙක්. මං හිතන්නෙ තමුන් ඒක දන්නෙ නැතුව ඇති. අපේ සීමාවෙදි මං මගෙ යටතෙ වැඩ කරන අය ගැන බලා ගන්න ඕන. කරුණාකරල මිස්ට දැන් යන්න. මැරි කරන්න ඉන්න ගෑනු ළමයනං එයාගෙ ගෙදරට ගිහිං ප්‍රශ්න විසඳ ගන්න මෙහෙම පාරවල් ගානෙ ගෑනු ළමයින්ට බලපෑම් කරන්න හදන්නෙ නැතුව”
අමාරසී සිය අතක් තදින් අල්ලා ගෙන සිටින දිසත් දෙස බැලුවා ය. ඔහු තවම ඒ ග්‍රහණය ලිහිල් කළේ හෝ නැත. මේ මොහොතේ ඇය පුදුම සැනසිල්ලකට පත් ව හිඳින්නී ය. මීට ටික වෙලාවකට පෙර උත්සන්න වී පැවති ඇගේ හෘදය ස්ඵන්දනය දැන් සාමාන්‍ය තත්වයට පත් ව ඇති බව දැනේ. එය හරියට තාත්තා ළඟ ඉන්නවා වගේ සැහැල්ලුවට පත් විය හැකි හව්හරණය ගැන හැඟීමකි. ආයතනයේ සේවක පිරිස වට වී බලා ඉන්නවා කියා කිසිදු ලැජ්ජාවක් හෝ අපහසුවක් ඇය ට දැනුණේ නැත. ඒ වෙනුවට එය කොන්දේසි විරහිත සුරක්ෂාව ගැන හැඟීමකි.
“එහාට වෙනව අයිසෙ රසීගෙ අත අත්ඇරල. මේක ඇතුළෙ තමුසෙ කවුරු වුණත් මට කමක් නෑ. හැබැයි මේ මං බඳින්න ඉන්න කෙනා”
එවර යොහාන් ගේ කතාව අතිශය නොවැදගත් හා ග්‍රාම්‍ය වූයේ ය. දිසත් මේ වාගේ මිනිසෙකු සමගින් පැටලෙන්නට යාමත් ව්‍යසනයක් විය හැකි බව අමාරසී ට වහා සිහි විය.
“අපේ අම්මයි තාත්තයි දෙන්නම ඔයාට කිව්ව මේ යෝජනාවට කැමති නෑ කියල..ප්ලීස්..තේරුං ගන්නකො ඒක. රටේ වෙන ගෑනු ළමයි නැතුව නෙවෙයිනෙ. ඔයාට කැමති කෙනෙක්ව බඳින්නකො”
පිරිස ඉදිරියේ ම අමාරසී එසේ කී විට යොහාන් යම් අපහසුවකට පත් වූයේ ය.
“ආ එහෙමද ළමාතැනී…එනවකො තමුසෙ”
කියා ගෙන යතුරුපැදිය වෙත ගිය යොහාන් හෙල්මට් එක ලහි ලහියේ හිස පැළඳ ගෙන බයිසිකලයට නැග ගත්තේ ය. ඔහු එය හරවා ගෙන ගියේ අමාරසී ගේ හා දිසත් ගේ ඇඟේ වදින්නට ඔන්න මෙන්න ව සේ ය.
පිරිස අතරින් මිමිණුම ඇරඹුණේ එවිට ය. දිසත් හෙහිහිට අමා ගේ අත අත්හැරියේ ය.
යොහාන් කියන්නේ අමාරසී වෙත ඉදිරිපත් වූ විවාහ යෝජනාවක් බවත් ඇය ඊට මනාප නැති බවත්, ඒ ගැන නොදැන සිටි බොහෝ අය දැන ගත්හ. ඉක්මන් කොට ගෙවල් දොරවල් වලට යා යුතු ව පවතින බව ඔවුන් ට හදිසියේ ම සිහිපත් වන්නට ගත්තේ ඒ විනාඩි ගණන අනුන් ගේ ඕපාදූපයක් වෙනුවෙන් වැය කළාට පස්සේ ය.
“තෑන්ක් යූ මිස්ට දිසත්”
අමාරසී හෙමිහිට මිමිණුවා ය.
“මං..යන්නං”
ඔහු ගෙන් ප්‍රතිචාරයක් ලැබෙන්නටත් පෙර ඇය සමු ගන්නට හැරී සිටියා ය.
“අමා”
අමාරසී ගේ දෙපා එහෙම ම නතර විය. ඇය සිය යෙහෙළිය දිලිනි දෙස බැලුවා ය.ඊළඟට හැරී දිසත් දෙස බැලුවා ය.
“දිලිනි එක්ක එක බස් එකේද ඔයා යන්නෙ…”
“මිස්ට දිසත් මන්නං මෙතන නතර වෙනව. හස්බන් මාව පික් කරනව. අමා යන්නෙ අපේ ගෙවල් පැත්තට නෙවෙයි කොහොමත්”
අමාරසී ට පෙර පිළිතුර ආවේ දිලිනි වෙතිනි.
“ඉතින් අමා ඔහොම තනියම යන එන හොඳද…අර පිස්සු මනුස්සය ඔය කොහෙ හරි නතර වෙලා ඉන්න පුළුවන්නෙ”
“ඒක තමයි මාත් හිතුවෙ”
එවර ද උත්තර දුන්නේ දිලිනි ය.
“අමා නගින්න මගෙ කා එකට. මං ගේ ළඟින් ඩ්‍රොප් කරන්නං”
‘මං හිතුවෙත් හස්බන් ට කියල රසීව ගෙදරට දාං යන්න’ යයි කියන්නට දිලිනි පමා වූවා වැඩි ය. ඒ නිසා ඕ ඒ කොටස නො කියා උගුරේ ම තියා ගත්තා ය.
“අනේ..කරදර වෙන්න එපා මිස්ට දිසත්…මං…”
“නෑ නෑ කරදරයක් නෑ. නගින්න”
එය ඉල්ලා සිටීමක් නොවේ. තීන්දුවක් දැනුම් දීමකි. ඇගෙන් කැමැත්ත විමසීමේ හෝ අවසර ඉල්ලීමේ කිසිදු උවමනාවක් දිසත් පෙන්නුම් කළේ නැත. අමාරසී දිලිනි දෙස බැලුවා ය. ඇස් වලින්වත් යමක් කිව නො හැකි තරමට ඇය ද ගොළු ගැසී සිටියා ය. ප්‍රතික්ෂේප කිරීමකට තරම් දිරියක් නොමැති ඒ අසීමිත පෞරුෂය ඉදිරියේ අමා ට කළ හැකි වූයේ ඔහු පසු පස ගොස්, ඔහු විසින් විවර කරන්නට යෙදුණ රියෙහි ඉදිරි දොරෙන් ඇතුළු ව අසුන්ගත වන එක පමණකි.
ඇය ද රැගත් දිසත් ගේ රිය දෙස යොමු වූ ඇස් ගණනාවක් තිබිණි. ඒ ඇස් වල එක එක විදිහේ කතා ගොඩක් ලියැවී ගෙන ද තිබිණි. අමාරසී ට දැනුණේ රාත්තල් ගණනක බරක් ඇගේ පපුව මතින් තබා ඇතිවාක් මෙනි. දිලිනි යන්තම් අතැඟිලි සෙලවූවා ය. අමා කළේ බර වූ ඇස් වලින් ඇදෙස බලනා එක පමණකි.
දිසත් ගුවන් විදුලිය ක්‍රියාත්මක කළේ ය. ඉතා හෙමිහිට බටහිර ගීතයක් විකාශය වන්නට විය. අමාරසී එහි වචන වෙන් කොට හැඳින ගැනීමට උත්සාහ කරන්නට වූවා ය. ටික වෙලාවක දී ඇගේ පපුව මත පැටවී තිබි බර නිදහස් ව ගිය බවක් දැනිණ.
ඒ වෙනුවට දිසත් ගැන අපරිමිත භක්තියක් ඇගේ හදෙහි හිස් තැන් අවුරා පිරෙන්නට විය. ඒ වගේ සෙනග ගොඩක් මැද්දේ ඔහු ඈ සුරක්ෂිත කරනු වස් ඇගේ අතින් අල්ලා ගැනීම ගැන සිතන විටත් දැන් අමාරසී විශ්මිත වෙයි. එහෙම කරන්නට තරම් ආත්ම ශක්තියක් පිරිමියෙකු හට ඇතැයි සිතිය නො හැකි තරම ය. වසර ගණනාවක් තිස්සේ ඇය රැකියා ස්ථාන වල දී පිරිමින් ඇසුරු කරන්නී ය. ඔවුන් ගේ ගති ස්වභාවයන් හැඳින ගනිමින් සිටින්නී ය. ඇතුළාන්තයේ මොනවා තිබිණි ද ඒ බොහෝ පිරිමි පිටතින් ශුද්ධවන්තයෝ වෙති. හොරෙන් රහසින් කාන්තාවන් ස්පර්ශ කරන්නට දෙවරක් සිතන්නේ නැති වී ද ප්‍රසිද්ධියේ එසේ කරන්නට නම් දහස් වතාවක් සිතා ද සිත එකඟ කර ගන්නේ නැත. මේ වාගේ ‘කුණු’ වලට අත දැමීම ඔවුන් ට අනුව මහත් අනුවණ කමකි. එහෙම සුවහසක් පිරිමි අතරේ දිසත් වාගේ එක් අයෙකු කියන්නේ අනන්ත තරු පිරුණු අහසක් එකළු කරනා පුන් සඳක් වාගේ වස්තුවකි.
“එක පුන් සඳින් දුරු වෙයි ලොව ගණ අඳුරූ..නෙක තරු රැසින් එලෙසට නොම වේ ය දුරූ”
ඇගේ හිත සුභාෂිතයේ එන ඒ කවියේ පද සිතින් මිමිණුවේ ය. සිය ළමා වියේ දී නගර මධ්‍යයක දී මානසික රෝගී මිනිසෙකු ඇයට පහර දෙන්නට ගිය සිද්ධියක් හදිසියේ ම අමාට සිහි විය. ඒ වෙලාවේ ඇය කෙතරම් බිය වූවා ද යත් ඇගේ හදවත පිටතට ද ඇසෙන සේ ගැහෙන්නට ගත්තේ ය. දෙතොල් කට කට ගා වෙව්ලී ය. නමුත් ඒ වෙලාවේ තාත්තා ඇගේ අතේ මැණික් කටුව ළඟින් තද කොට අල්ලා ගත්තේ අද දිසත් අත අල්ලා ගත් ලෙසට ම ය. අමා ඒ අත සිය දෑස් ඉදිරියට ගෙන හොඳින් බලන්නට වූවා ය.
“ඔහොම කතා නොකර යන්නෙ මං ගේ දන්නව කියල හිතාගෙනද නැත්තං…අපේ ගෙදර ගෙනිච්චත් කමක් නෑ කියල හිතාගෙනද…”
වායු සමීකරණ තත්ව යටතේ මිහිරි ගීතයක් පසුබිමෙන් විකාශය වෙමින් තිබියදී සුව පහසු රියක කල්පනා ලෝකයේ ගිලී උන් අමාරසී, සිනහවකින් පිපී ගෙන හිස හරවා බැලුවා ය. ඒ සිනහවෙහි වූ ප්‍රභාෂ්වරය තුළ ඔහු මොහොතකට අතරමං වූයේ ය.
“මං කල්පනා කර කර ආවෙ මිස්ට දිසත් ගැන. ඒ වගේ වෙලාවක මැදිහත් වෙන්න ගොඩක් අය කැමති නෑ. අනවශ්‍ය කරදර ඇඟේ දා ගන්නෙ මොකටද කියලනෙ හිතන්නෙ..මිස්ට දිසත් දන්නවද ඊයෙ හවස් වෙනකොට මං පුදුම බයකින් හිටියෙ. කිසි දෙයක් කරන්න බෑ. නිදා ගන්නත් බෑ..පුටුවක ඉඳන් ඉන්නත් බෑ. පිස්සුයි වගේ. එහෙට මෙහෙට ඇවිදින එක තමයි කළේ..කොයි වෙලේ හරි යොහාන් ඇවිත් රණ්ඩු කරයි කියන බය මට පුදුම විදිහට වද දුන්නා. එහෙම රණ්ඩුවකට බීල ඉන්න වෙලාවක තාත්ත පැටළුණොත්…කොහෙන් කෙළවර වෙයිද කියල හිතා ගන්න බෑ. තාත්ත මේකට පැටලෙයි කියන බය තමයි මාව බාගෙට මරල වගේ තිබුණෙ. හවස තාත්ත ඔෆිස් ගිහිං ආපු වෙලාවෙ අද බොන්නෙපා මට බයයි කියල මං කිව්වහම…මං ඉන්නකං බය වෙන්නෙපා පුතේ කියල තාත්තා මගෙ ඔළුව අත ගෑව. කිව්ව වගේම බිව්වෙත් නෑ. දැං ටිකකට කලින් මිස්ට දිසත් මගෙ අතිං අල්ලගෙන යොහාන් ඉස්සරහ හිට ගත්ත වෙලාවෙත් මට දැනුණෙ ඒ හැඟීමමයි…”
අමාරසී ඒ හැම වචනයක් ම කීවේ අවංකව ය. එහි කිසිදු මවා පෑමක් වූයේ නැත. දිසත් මඳ වෙලාවක් නිහඬ ව සිටියේ ය. ඒ වෙලාවේ අමාරසී ඔහු දෙස බලා ගෙන ම සිටියා ය. සමහර හමු වීම් හරි පුදුම ය. ඒ හමු වීම් ජීවිතයට මේ තරම් සමීප අත්දැකීම් වේවි කියා හෝ මතක ඉතිරි කරාවි කියා හෝ අප කොහෙත් ම සිතන්නේ නැත.
“දැන් මොකද්ද මෑන් කියන්නෙ..”
“එයා වෙඩින් එකේ දේවල් වලට ඇඩ්වාන්ස් පේ කළාලු. මගෙං වන්දියක් ගන්න ඕනලු…”
“ඉතිං අපි දෙමු”
අමාරසී ගේ මුවේ තිබූ මඳහස, දිසත් එසේ කියත්දී ක්ෂණික ව වියැකිණි. නමුත් ඇය ඔහු දෙස බලා සිටියදී මුව විවර ව තිබිණ. කියවුණු කතාවේ වන දෝෂ සහගත බව දිසත් ට වහා පසක් වූයේ ය.
“මං කිව්වෙ ඉතිං…සල්ලි දීල හරි ඕකෙං නිදහස් වෙන එක ලොකු දෙයක්”
සල්ලි කියන්නේ ජීවිතයේ හිස් තැන් පියවිය හැකි දෙයක් නොවන බව දිසත් තරම් හොඳින් දන්නා කෙනෙකු නැති තරමි. කේෂි ගේ පියා කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහු ගේ එක ම දුව ට ඒවා දිනෙක නියත වශයෙන් හිමි වන බව දැන සිටියත් ඔහු තුළ ඒවා ගැන කවදාවත් කිසි ඇල්මක් ඉපදී නැත. අඩු තරමින් ඔහු සිය මාමණ්ඩියගේ ව්‍යාපාර වලට වෘත්තීමය වශයෙන් හෝ සම්බන්ධ නොවී සිය උගත්කම මත පිටස්තර රැකියාවක් කරන්නේ ය.
“මිස්ට දිසත් ගෙදරට ගොඩ වෙලා යමු. තේ එකක්වත් බීල. දැං තාත්තත් එයි”
ගේ ළඟ දී රියෙන් බසින්නට පෙර අමාරසී දිසත් ට ඇරයුම් කළා ය. නමුත් ඔහු ඒ යෝජනාව පිළිගත්තේ නැත.
“වෙන දවසක එන්නං අමා”
කියා රිය හරවා ගෙන නික්ම යන ඔහු දෙස ඇය ගේට්ටුව ළඟට වී බලා සිටියා ය. අමාරසී මෝටර් රථයකින් බහිනු දුටු නිර්මලා විමසුම් සහගත වූවා ය. ආයතන ප්‍රධානියා ගේ රියෙහි පැමිණීමට හේතුව සාධාරණීකරණය කරනු වස් අමා ට යොහාන් ගේ පැමිණීම ගැන සියලු තතු පවසන්නට සිදු විය.
“බොස් මාව එක්කගෙන ආවෙ යොහාන් මග ඉඳල ආයෙමත් මට කරදර කරන්න හදයි කියලයි”
“අනේ මන්දන්නෑ දරුවො මොනවද මේ සිද්ද වෙන්න යන්නෙ කියල”
නිර්මලා නිකටේ අත ගසා ගත්තා ය. මේ සිද්ධිය ගැන දැන ගත හොත් අජිත් ගෙන් විසුමක් නොවන බව ඇය දනී. අමාරසී ට මහ මගදී අඩන්තේට්ටම් කරන්නට හැදූ යොහාන් ගේ අඬු කඩා මිස ඔහු නතර වුණොත් පුදුම ය. නමුත් ඔය ආරවුල් එතකොට එතනින් නවතින්නේ නැත. යොහාන් නැවතත් පළි දරනු ඇත. අමාරසී දුර දිග බලන්නේ නැතිව දුන් තීන්දුවක් නිසා මේ සියල්ල සිදු වූ බව නිර්මලා සිතුවේ කම්පාවෙනි.
“තාත්තට කියන්නැතුව ඉමු ඕක. නැත්තං මෙතන බීගෙන දැන්ම යයිද දන්නෑ යොහාන්ව මට්ටු කරන්න”
අමාරසී යන්තම් හිස සැලුවා ය. සිදු ව ඇත්තේ සුළුවෙන් තැකිය හැකි අර්බුධයක් නොවේ. මේ විදිහට දිගට ම යොහාන් මග දී ඇය ව අල්ලා ගන්නට තැත් කළ හොත්…ඇය දිගට ම දිසත් ගේ රියෙහි එන්න ද?
“තාත්ත දැන ගත්තොත් අම්මෙ…අපි හංගල විසුමක් වෙන එකක් නෑ”
“අනේ මන්දා දරුවො”
නිර්මලා දිගු හුස්මක් හෙළුවා ය.
එදා ගෙදර යනු වෙනුවට දිසත් කෙලින් ම ගියේ කේෂි ගේ පියා හමු වීමට ය. දවාලේ ෆේස් බුක් සමාජ ජාලයෙහි තිබී ඔහු ට කේෂි ගැන අලුත් ඔත්තුවක් ලැබී තිබිණි. මීට පෙරත් ඔහු ඇගෙන් වෙන් වීමට තැත් කළ අවස්ථාවේ එය වැළකූයේ මාමණ්ඩිය ය. මේ වතාවේ ඔප්පු කොට පෙන්වන්නට සාක්ෂි දිසත් සතු වේ.
සිය බෑණා ඔහු ගේ කුටියට එත්දී ස්කයි හෝල්ඩිංස් අධිපති පරාක්‍රම සේනානායක ගේ පපුවේ වෙනස් විදිහේ ගැස්මක් ඇති විය.