ඔබ දකින තුරා – 14

සුපර් මාකට් එකක් ළඟ රථ ගාලේ දිසත් ගේ රිය නැවතිණ.

“මං ඉක්මන්ට එන්නං” කියා ගෙන ඔහු රියෙන් බැස්සේ අමාරසී ගේ ඇස් මත ඔහු ගේ දෑස් පතිත වත්දී ය. දිසත් ඉක්මන් අඩි තබා සුපර් මාකට් එක දෙසට යන හැටි, දෑස් පා කොට අමා බලා ගෙන සිටියා ය. රිය දොර හැර ගෙන අජිත් ඉන් බැස ගනු ඇය ට දැනුණේ එසේ සිටියදී ය. අමා වහා හිස හැරවූවා ය.

“ඔයා ඔය කොහෙද යන්නෙ තාත්තෙ..ඉන්න”

“හරි හරි මං එන්නං”

කියමින් අජිත් ද ඔෆිස් බෑග් එක එල්ලා ගෙන සුපර් මාකට් එක දෙසට යන්නට වූයේ ය. ඔවුන් දෙදෙනා යළි පැමිණියේ කාලයක සිට දන්නා අය පරිද්දෙන් සිනහ වෙවී කතා කර කර ය. දෙදෙනා ගේ ම අත් වල සුදු පාට සිලි සිලි බෑග් විය. ඔහු ගේ අතේ තිබි කුඩා බෑග් එකක් දිසත් අමා වෙත දිගු කළේ ය. ප්‍රශ්නාර්ථයෙන් එය අතට ගත් ඕ බෑග් එකට එබී බැලුවා ය. ඇය ආශා කරන මිලාධික වෙළෙඳ නාමයකින් යුත් අයිස් ක්‍රීම් එකක් එහි විය.

උදේ දිසත් වෙත වූ ශෝක ප්‍රාප්ත බව මේ වෙත්දී පලා ගොස් තිබිණ. ඔහු ක්‍රමයෙන් සැහැල්ලුවට පත් වෙමින් සිටියා සේ ය. නමුත් ඇතුළාන්තයේ ගිනි පුපුරක් වන බව ඔහු ට දැනිණ. ඒ ගින්දර යටපත් කොට දමන්නට, මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නට ඔහු ට ඕනා කළා යයි සිතිය හැක.

දිසත් මිල දී ගත් භාණ්ඩ සහිත බෑග් කිහිපය ගෙට ගෙනාවේ අජිත් ය. ඔහු ගේ මුහුණේ සුවිශේෂ සතුටක දීප්තිය විය.

“මෙන්න මේ ටික හදල ගන්න ඉක්මනට”

බෑග් ටික කුස්සියේ මේසය මතින් තබනා ගමන් අජිත් කලබලයකින් වාගේ නිර්මලා ට කීවේ ය. ඇගේ ඇස් වල ප්‍රශ්න පෝලිමක් විය. නමුත් ආලින්දයේ සිටින්නේ අමාරසී ගේ අංශ ප්‍රධානියා යයි කී නිසාවෙන් ඒ එක ප්‍රශ්නයක් හෝ විචාලන්නට ඇය ඉක්මන් වූයේ නැත.

“මිස්ට දිසත් අදනං ඔන්න තේ එකක්වත් බීල යන්න ඕන හොඳේ”

කියමින් අමාරසී කුස්සිය දෙසට යන්නට හදත්දී අජිත් කුස්සියේ සිට එමින් ඈ ඉදිරියේ හිට ගත්තේ ය.

“තේ නෙවෙයි. අර කෑම ජාති දෙක තුනක් ඇති. අපිට බයිට් එකට හදල ගන්න. මිස්ට දිසත් තමයි ගත්තෙ”

පියා ගේ ඒ අන්තිම ප්‍රකාශය නිසා, කියන්නට ගිය කිසි දෙයක් කියා ගත නොහී ගොළු වූ බවක් යුවතියට දැනිණ. කාර්යාලයක පිරිමින් සමග රැකියාව කරනා යුවතියක ලෙස, පිරිමින් හා මී විත අතර වන නො බිඳිය හැකි සම්බන්ධය ගැන අමාරසී දනී. ඔවුන් අජිත් වාගේ නිරතුරු මත් වී ගෙවල් වල කෝලාහල කරතැයි ඇය නො සිතුව ද, බොහෝ පිරිමින් තුළ මේ අමා පාණය ගැන වන්නේ මහත් අභිරුචියක් බව නම් ඇය ට විශ්වාස ය  

අමා කිසි දාක තාත්තා ට බයිට් තනා ඇති දුවක නොවේ. තාත්තා නිසා ම ඇය කුඩා කල සිට ම මත් පැන් වලට වෛර කළා ය. නමුත් ඉඳ හිට නිර්මලා අජිත් ට හැන්දෑකරේ බිත්තරයක් බැද දෙන හැටි ඇය දැක තිබේ. අජිත් මත් පැන් බොන විට අප්පිරියාවකින් මෙන් කට හදා ඉක්මනින් කට ගැස්මක් කටට දා ගන්නා බව ද ඇය දැක තිබේ. ඔය තරම් අමාරුවෙන් ඔය පාණය තොල ගාන්නේ ඇයි කියා පමණක් ඇය තවමත් නො දන්නී ය.

කෙසේ වෙතත් මේ මොහොතේ අමාරසී මුළුතැන් ගෙට ගොස් තාත්තා ගෙනා බෑග් දිග හැර බැලුවා ය. සොසේජස් හා චිකන් බදින්නට නිර්මලා ට දී, ලූනු හා තක්කාලි පෙති කපා දීසි වලට සැරසිලි කළා ය. ඇපල් පෙති කපා ලස්සනට දීසියක අසුරා ලුණු හා ගම්මිරිස් කුඩු ඉස්සා ය. ප්‍රමාද මොකදැයි බලන්නට කුස්සියට ආ අජිත් අමා ගේ සැරසිලි දෙස බැලුවේ තරමක පුදුමයෙනි.

“මේ මගුල් මේසෙකට වගේ ගානිශ් ඕන නෑ. ඔන්න ඉක්මන් කරල ඕක දාල ගේන්න”

“ඉන්නකො ඉතිං…”

අමා දීසි වල හැඩ බැලුවා ය. කටගැස්ම දීසි ඉස්සරහා ට ගෙන ගියේ අජිත් ය. ඉස්තෝප්පුවේ ස්ටූල් එකක් වට කොට පුටු දෙකක් තබා ඔහු ඔවුන් ට ‘සෙට්’ වෙන්නට තැනක් පිළියෙල කොට තිබිණි.

ඒ වගේ මිලාධික යයි සිතිය හැකි මත් පැන් බෝතල මීට පෙර අජිත් ගෙනෙනු දැක නැතියෙන්, එය අමාරසී ගේ අංශ ප්‍රධානියා විසින් මිල දී ගත්තකැයි නිර්මලා අනුමාන කළා ය. අද ඉතින් අජිත් බොනවා නොව නානු ඇතැයි  ඇය ට සිතේ. දවස් දෙක තුනක් යොහාන් ගැන දෙගිඩියාව නිසා ඔහු පියවි සිහියෙන් නිදා ගත්තේ ය. ඒකටත් එක්ක අද!

අමාරසී ගේ මූණේ නෝක්කාඩුවක් වන බව දිසත් දැන සිටියේ ය.

“මිස්ට දිසත් ඩ්‍රයිව් කරන්න ඕනෙ තාත්තෙ. ඔයා මේ සෙල්ලං කරනවනෙ”

වතාවක් ඇය නෝක්කාඩු කීවේ තාත්තා ට ය. නමුත් දිසත් ගේ වීදුරුවේ අඩියේ වූ රන් පැහැ දියරය අවසානය තෙක් එසේ වූ බව ඇය දුටුවා ය. අජිත් නම් “සිහින දෙව්දුවේ ඔබට තුන් ලොවේ එක ම නමයි මා දන්නේ…ඒ නම…” යන ගී පදය දහ දොළොස් වර මිමිණුවේ ය.

අජිත් ප්‍රීති ප්‍රමෝදයට පත් ව සිටියේ මත් පැන් නිසාමත් නොවේ. කාලයකට පසු ඔහු ට කතා කරන්නට කෙනෙකු හමු වී තිබූ නිසා ය. ඔහු කියනා දේවල් වලට, නිර්මලා සේ බාධා කිරීමකින් තොර ව ඉවසීමෙන් සවන් දෙන්නට කෙනෙකු හමු වී තිබූ නිසා ය. රටේ ලෝකේ ආර්ථික සමාජයීය හා සංස්කෘතික වියවුල ගැන කතා කරන්නට අපමණ දේවල් ඔහු සතු ව තිබිණ. ඒවා නිකං මූණිච්චාවට කියනා කතා නොව සැබවින් ම හද තුළ කකියමින් තිබි සැබෑ කැක්කුමක් විසින් ඇති කරනු ලැබුවා වූ කතා ය.

“තාත්තෙ…ඔයාට අමතක වුණාද ඩියුටි එකක් තියෙනව කියල..”

අවසානයේ අමා මැදිහත් වූයේ තාත්තා සීමාව පන්නනු ඇතැයි බියෙනි.

“අනේ අර හෝතම්බුවට කවුද බං බය”

දිසත් කලිසම් සාක්කු දෙකෙහි දෑත් රුවා ගෙන නැගිට ගත්තේ ඒ වෙලාවේ ය.

“මාත් යන්න ඕන. හවසට දා ගත්ත වැඩක් තියනව අංකල්”

“මිස්ට දිසත් මේ අපේ එකී කියන ඒව නිසා නේද නැගිට්ටෙ…ගෑනු මොනාද දන්නෙ මිස්ට…”

දිසත් සිනහ වෙවී එතැනින් නැගිට ආවේ ය. අමාරසී ඉදිරියේ හිට ගත් ඔහු කෙළින් ම ඇගේ දෑස් දෙස බැලුවේ ය. අමා ට දැනුණේ දෙපා වල සිට ඇය මිදී යන්නට ගත් බවකි. අම්මා වැරදි ලෙස සිතාවී කියන බිය ද ඊළඟ මොහොතේ ඇගේ හිතට දැනිණ. නමුත් ඒ සියල්ල තුළ වූ තිගැස්ම මුසු රසයට ඇය ආශා නො වූවා යයි කිව නො හැක.

දිසත් ඔවුන් ගෙන් සමු ගෙන රිය වෙත ගියේ ය. අමාරසී ඔහු සමගින් පසු ගමන් ගියා ය.

“එහෙනං…මං යන්නද…”

“පරිස්සමෙං මිස්ට දිසත්…පුළුවන්නං ගෙදර ගිහිං මට මෙසේජ් එකක් තියනවද…”

අමාරසී රිය කවුළුව ළඟ පහත් වී සිටියා ය. දිසත් තත්පර කිහිපයක් එක දිගට ඇගේ මුහුණ මත සිය දෑස් නතර කර ගෙන සිටියේ ය.

“මං ඩිවෝස් එක ඉල්ලනව අමා”

කීරි ගැසීමක් ඇති වූයේ අමා ගේ පපුවේ ය.  ඇය ඒ දරා ගෙන ඔහු ගේ රිය නො පෙනී යන තුරු බලා සිටියා ය. ටික වෙලාවකට පස්සේ, “ඇට් හෝම්” යනුවෙන් ඉංග්‍රීසි අකුරෙන් ලියැවුණ කෙටි පණිවිඩයක් දිසත් විසින් අමාරසී ගේ දුරකතනය ට එවා තිබිණ.

එදා කේෂි මිතුරන් සමග සමාජ ශාලාව වෙත නො ගොස් දිසත් ගෙදර පැමිණෙන තුරු බලා සිටියා ය. ඒ ඔහු හවසට ගෙදරින් නික්ම යනවා කියා කී නිසාවෙනි. ඔරලෝසුවේ කටු කැරකෙන්නේ නැතිද කියා පවා ඇය ට සිතිණ. ඔහු වෙනදාටත් ගෙදර එන්නේ මෙතරම් ම පමා වී ද? ඔහු ඇගෙන් ඉල්ලා සිටින්නේ මේ විදිහට ඉතා අසීරුවෙන් හෝරා ගෙවමින්, හැන්දෑවට සැමියා එන තුරු බලා සිටිනා බිරියක් ද?

ඇය ට එහෙව් බිරිඳක විය නො හැකි බව කේෂි ඉඳුරා දැන සිටියා ය. මිතුරන් ඇසුරු කළා ට, බීර ටිකක් වයින් ටිකක් තොල ගෑවා ට, ලිංගික සම්බන්ධතා ගැන අදහස සම්ප්‍රදායික නොවූවා ට ඇය ට අනුව එය ‘නරක ගැහැනියක’ යයි ලේබල් ගත කරන්නට හේතුවක් නොවේ. මිනිසුන් ට එක එක විදිහට හිතන්නට පුළුවන. එක ම විදිහට හිතා එක ම විදිහට හැසිරිය යුතු නැත. ඇගේ ක්‍රමය අනුව ඇය ජීවත් වන්නී ය. දිසත් එසේ නොවන බව ඇත්තකි. නමුත් ඔහු ඇගෙන් දික්කසාදය ඉල්ලා සිටිතැයි ඇය කිසි දා සිතා තිබුණේ නැත.

“ඔයා දැං මට මොකද්ද කියන්නෙ..බත් තම්බ තම්බ හොදි ඒද ඒද ගෙදරට වෙලා ඉන්න ගෑනියෙක් වෙන්න කියලද”

දිසත් සන්සුන් ලෙස ඔහු ගේ ඇඳුම් අසුරත්දී කේෂි නොසන්සුන් ව කාමරයේ ඔබ මොබ සක්මන් කරමින් විමසුවා ය.

“ඔයා කැමති විදිහට ඉන්න”

“දිසත් මෝඩයෙක් වගේ ගොඩයෙක් වගේ හිතන්න එපා. ගෑනියෙක් ක්ලබිං යනව කියන එක යාළුවො ආශ්‍රය කරනව කියන එක මහ මැජික් එකක් නෙවෙයි”

“හපෝ නෑ. පොෂ් එකට ඇඳ ගෙන ක්ලබ් වලට ගිහිං බිව්වෙ නැතුවට බොන ගෑනු මං අපේ ගමේදිත් දැකල තියෙනව. දවස තිස්සෙ හේන් වලයි කුඹුරු වලයි බිම කොට කොට නැහිල ඇඟේ පතේ අමාරුවට කාලක් ගහන ගෑනු හද්ද වන්නියෙත් ඉන්නව කේෂි. උං බොන්නෙ ඔයාල වගේ බ්‍රෑන්ඩඩ් ඒව නෙවෙයි. ගොඩක් වෙලාවට ගමේම පෙරන ඒව. අපේ ගම් වල සිගරට් බොන බීඩි බොන ගෑනු මං දැකල තියෙනව. ගෑනු කියල මේ සමාජෙ ඇඳල තියෙන කොටුවෙන් පැනල ගිහිං ජීවත් වෙන ගෑනු මං දැකල නෑ කියල හිතන්න එපා”

“ඉතිං ඒකනෙ”

“ඒත් ඒ මොන ගෑනියෙක්ට වුණත් ගේ ඇතුළෙදි තමන්ගෙ මිනිහත් එක්ක එක ජීවිතේකට එන්න පුළුවන් කම තියෙන්න ඕන. එහෙම වුණොත් විතරයි එතන පවුලක් තියෙන්නෙ. ඒ ගෑනියි මිනිහයි දෙන්නම ඒ ට්‍රැක් එකේ යන්න කැමතිනං විතරයි එකට යන්න පුළුවන් වෙන්නෙ. එහෙම නැත්තං හොඳම දේ තම තමන්ට හරි යන ට්‍රැක් එක තෝර ගෙන තමන්ගෙ ගමන යන එක”

මේ විදිහට දිසත් කවදා වත් ඇය ට කතා කොට තිබුණේ නැත. කේෂි මොන විදිහට හැසිරුණත් ඔහු ඇය දෙස බැලුවේ ඈ ඔහු ගේ බිරිඳ ය යන මානසිකත්වයෙනි. කේෂි ට ද ඕනෑ වූයේ පවුල තුළ අන්න ඒ ස්ථාවරත්වය ය. ඇගේ නිදහසට අසීමිත ව ඉඩ දෙන ස්වාමියෙකි. ඔහු කඩවසම් ය. උගත් ය. ඇගේ යෙහෙළියෝ පවා ඔහු ට වන උන්මාදය ගැන ප්‍රසිද්ධියේ ම කියති. දිසත් නිසා කේෂි ආඩම්බර වූවා ය. ඇය ඔහු ව මැනවින් වටහා ගත් සැමියෙකු බව ලෝකයට පෙන්වන්නට ඇය බෙහෙවින් කැමති වූවා ය. නමුත් ඇගේ නූල් සූස්තර වලට අනුව රඟන්නට දිසත් සූදානම් ව සිටියේ නැත.

“ඒ කියන්නෙ කොහෙං හරි නැට්ටිච්චියක් හොයං ඇති දැං”

කේෂි ද්වේශයෙන් යුතු ව කීවා ය. දිසත් ගේ පිළිතුර වූයේ සන්සුන් සිනහවකි.

“මෙච්චර කල් හිටිය මිනිහට දැං ගෙදරිං යන්නයි ඩිවෝස් වෙන්නයි ඕන වුණේ ඒකයි. හොයා ගන්නංකො මං ඕකි කවුද කියල”

“අර පොශ් කේෂි ඇතුළෙ හද්ද ගොඩේ ගෑනියෙකුත් ඉන්නව නේ…ඔන්න ඕකයි පිළිගන්න ඕන දේ. ඔයත් සාමාන්‍ය ගෑනියෙක් කේෂි. ඒක තේරුං අරං ගෑනියෙක් විදිහට ජීවත් වෙන්න බලන්න. මං යන්නං. ගුඩ් ලක්!”

“දිසත් මං තමුසෙට ඩිවෝස් එක දෙන්නෙ නෑ නෑමයි”

කේෂි කෑ ගෑවා ය. විවාහයෙන් සමු ගන්නවා කියා සිතත්දී උදේ දැනුණ පීඩනය, ඒ අපහසුතාවය දැන් ඒ තරම් නො දැනෙන බව දිසත් ට සිතිණ. විවාහයත් එක්ක වූ පෙකණි වැල බැඳීම කඩා දමන්නට හිත හදා ගන්නා එක ඔහු ට පහසු වූයේ නැත. නමුත් නො ගැලපෙන සම්බන්ධයක් නඩත්තු කරනවාට වඩා එය තරමක් හෝ පහසු ය.

උදේ අවදි වන විට හදවත මත සැහැල්ලුවක් පා වෙමින් තිබි බව දිසත් ට දැනිණ. නමුත් ඊට යටින් ශෝකයක රල බිඳිති බිඳෙමින් පැවති බව ද පිළි ගත යුතු ය. ජීවිතයේ එක පරිච්ඡේදයක් එසේ සමාප්තියට පත් විය. දැන් ඉතින් ඉදිරියට මුහුණ දෙන්නට ඔහු සූදානම් ය. මදින්නට දුන් ඇඳුම් ලැබෙනා තෙක් දිසත් අන්තර්ජාලයෙහි සරමින් නවාතැනක් සෙව්වේ ය. මතු මහල් කිහිපයක් වූ අතර, ඔහු ගේ සිත් ගත් එක ට ඔහු මුලින් ම ඇමතුමක් දුන්නේ ය. ඉක්මනින් එය බලන්නට ද කතිකා කර ගත්තේ ය. හෝටල් කාමරයක ජීවිතයට වඩා එවැන්නක් වඩා සුවදායක වනු ඇත.

ඔහු කුමක් කර ගත්තේ ද කියා දැන ගන්නට අමාරසී ගේ හිත නො ඉවසිල්ලේ තිබිණි. දික්කසාදය කියනා තීරණාත්මක පියවර තබන්නට ඔහු තුළ දෙගිඩියාවක් වන බව ඇය ට පෙර දා දැනිණ. ගෙදර ම නවතින්නට හෝ ඔහු හිත හදා ගත යුතු ය. කෙසේ වෙතත් රාත්‍රියේ ඔහු ට ඇමතුමක් දී එවැන්නක් විමසා සිටින්නට තරම් දිරියක් නොවූ ඕ උදේ ම ෆයිල් එකක් ද ගෙන දිසත් වෙත ගියා ය.

“මං හොටේල් එකකට ගියා”

ඒ ලිපි ගොනුවේ කටයුතු අවසන් කොට ඈ අතට පත් කරනා ගමන් දිසත් සුසුමකින් කීවේ ය. ඔහු ගේ හද හැඟීම් වලින් රළ නගන සයුරක් සේ විණි. අමාරසී නිරුත්තර ව බලා සිටියා ය. ඇය අර රළ නගන සයුරේ වෙරළ සේ වූවා ය.

“හවසට තාත්ත එනවද..”

“ඔවි”

“ඇනෙක්ස් එකක් බලන්න මං ටිකක් වේලාසන යනව. තාත්ත එනකල් ඔයා උඩට වෙලා ඉන්න”

ස්ත්‍රී වාදිනියන් මොනවා කීව ද පිරිමියෙකු මේ විදිහට ජීවිතය ඉහත්තාවේ හව්හරණ හදනකොට ගැහැනු පපුවක පණ ගැහෙනා සුරක්ෂිත හැඟීම, කෙතරම් ඉහළ රැකියාවකින් හෝ නිදහසකින් උපයා ගත නො හැකි බව අමාරසී ට දැනී නො දැනී ගියේ ය. ඇගේ ඇස් ඔහු ගේ මුදු ඇඟිල්ල මත නතර වූයේ නිරායාසයෙනි. ඒ මංගල මුදුව පෙර දා රාත්‍රියේ  දිසත් කේෂි ගේ කණ්ණාඩි මේසය මත තියා ඇවිත් තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles