අවශ්‍යතාවයක් සඳහා මෝටර් රථය වෙත ගොස් යළි කාර්යාල පරිශ්‍රය වෙතට යමින් සිටි දිසත් ට, පිය ගැට පෙළ පාමුල දී අජිත් ව හමු විය. දෙදෙනා ගේ ම මුහුණු මත උනුන් හැඳින ගත් ගමන් ඇඳුණේ ලොකු සිනහවකි. දිසත් ඒ ළෙංගතු කමෙන් ම විත් අජිත් ළඟ නතර විය.
“අංකල්”
“කොහොමද මිස්ට දිසත්..”
“අංකල් තාම ඩියුටි නේ…”
අජිත් හඬ නගා හිනැහුණේ ය. ඒ සිනහ හඬ කාර්යාල පරිශ්‍රයේ නිදහස් අවකාශය පුරා නිදහසේ ඉතිර පැතිර ගියේ ය.
“තාත්තලට ඉතිං දුවලගෙ ඩියුටි වලිං ඕෆ් වෙන්න වෙන්නෙ මැරුණහම තමයි..අද ටිකක් වේලාසන පැන ගන්න පුළුවන් වුණා”
“අමා මට කිව්ව උදේ අංකල් කිව්ව කියල…”
“කේලම කනේ තියල..”
නැවතත් සිනහවකි.
“ඒක කරදරයක් නෙවෙයිනං සෙට් වෙමු ඉතිං”
“මෙ..මොන කරදරයක්ද මිස්ට දිසත්”
“අංකල් ඉන්නකො”
දිසත් දුවගෙන වාගේ පිය ගැට පෙළ නැග ගොස් සිය කුටියට පිවිසුණේ ය. පහට වැඩ නිම වී ඇඟිලි සලකුණු තැබීම නීතිය වූවාට හතරයි තිහේ සිට ම කට්ටිය පිටත් වීම සඳහා සූදානම් වෙති. මුහුණු සෝදති. හිස පීරති. පවුඩර් දමති. ඒවා නතර කිරීම පහසු නැති බව දිසත් දනී.
වෙනදා නොවන උනන්දුවකින් දිසත් සිය ලිපි ගොනු අදාල ස්ථාන වල තබා මේසය හිස් කළේ ය. ඔහු ගේ කුටියේ විදුලි පහන් නිවෙත්දී, ගිනුම් අංශයේ සේවක පිරිස නො බිය ව ගොස් ඇඟිලි සලකුණු තැබූහ.
අමාරසී පිය ගැට පෙළ ඉස්මත්තට එන විටත් දිසත් අජිත් සමගින් කතාවේ ය.
“තාත්ත ඇවිත්”
ඇය තමාට ම සේ මුමුණා ගත්තා ය.
“අංකල් අදත් මිස්ට දිසත් එක්ක සෙට් වෙන්න හදයිද දන්නෑ”
දිලිනි කීවා ය. අමාරසී යන්තම් තොල් ඇද කොට කෘතිම සිනහවක් පෑවා පමණකි. කෝච්චියක් එත්දී දුම්රිය පාරක් සේ අනියත ගැස්මක් ඇගේ හදේ විය.
“යමු නේ..”
අමාරසී දුටු විට දිසත් කීවේ ය. අජිත් ඔහු පසු පස වැටුණෙන් ඇය ට ද ඒ අනුව යන්නට සිදු විය. නමුත් රිය වෙත යන්නට පෙර අමා තාත්තා ගේ අතකට ඇඟිල්ලෙන් ඇන මුහුණෙන් ‘ඇයි’ කියා ඇසුවා ය. ඔහු සිය සිහින් සිනහව පා හිසෙන් ඇය ට ‘යං’ කියා ඉඟි කළේ ය. නමුත් දිසත් ගේ රියට ගොඩ වෙත්දී අමාරසී ගේ හිත මත අමුතු විදිහේ බරක් පැට වී තිබිණ. එක හේතුවක් නොව ඊට හේතු විය හැකි කාරණා බොහොමයක් විවිධ මුහුණුවර වලින් ඇය තුළ මනස් රූප මවන්නට ද විය.
ගුරු පාරේ ඔවුන් රැගත් රිය ඇදී යත්දී, කාර්යාලයේ- ගිනුම් අංශයේ පමණක් නොව වෙනත් අංශ වල අය ද රිය තුළ සිටින්නන් දෙස බැලූහ. අමා හිස බිමට හරවා ගෙන ඇඟිලි පිරිමදිමින් සිටියා ය.
“යුක්‍රේන් රෂියා ප්‍රශ්නෙ කොහොම විසඳෙයිද අංකල්…”
මග දී දිසත් ඒ ප්‍රශ්නය යොමු කළේ ටික වෙලාවක් කතාව ඇදී යන්නට එය හොඳ මාතෘකාවක් බව දන්නා නිසා ය. අමාරසී දුරකතනය ගෙන ෆේස් බුක් වෙත ගියා ය.
“ලෝකෙ කොතනක හරි මේ කරුම යුද්දෙ සිද්ද වෙන එක පපුවෙ කීරි ගැහිල්ලක් ඇති කරන සිද්දියක් මිස්ට දිසත්. මිනිස්සු විදිහට ඇයි අපිට තාමත් බැරි වෙලා තියෙන්නෙ යුද්දෙ හැම දේම අහිමි කරනව මිසක්ක ලබල දෙන්නෑ කියල තේරුං ගන්න…ලෝකෙ කොතනක හරි මිනිස්සුම හදපු බෝම්බ වෙඩි උණ්ඩ වලින් මිනිස්සුන්ගෙම ජීවිත කුඩු පට්ටං වෙලා යනව නේද කියල හිතනකොටත්….අනේ මන්ද…”
අජිත් කියන්නේ සැබෑ මානව වාදියෙකි. ඔහු ට ජාතියක් ජන්මයක් නැතැයි කාර්යාලයේ අන්තවාදී මිනිස්සු කියති. සිය ජාතිය මිනිස්කම යයි අජිත් එතකොට කියන්නේ ආඩම්බරයෙනි.
“අපි අවුරුදු තිස් ගාණක යුද්දෙකින් බැට කාපු මිනිස්සුනෙ මිස්ට දිසත්…යුද්දෙ ඉවර වෙලත් අවුරුදු ගාණකට පස්සෙ ආපහු හැරිල බලනකොට මොනාද ඉතුරු වෙලා තියෙන්නෙ…මිනිස්සුන්ගෙ හදවත් වල සනීප කරන්න බැරි තුවාල ටිකක් විතරයි. ඒ කියන්නෙ කවුද දිනල තියෙන්නෙ…යුද්දෙකින් කවුරුවත් දිනන්නෙ නෑ මිස්ට. යුද්ද කරන දෙපැත්තම පරාදයි. අවුරුදු ගාණකට ආත්ම ගාණකට පරාදයි”
දිසත් අජිත් ගේ අදහසට කොන්දෙසි විරහිත ව එකඟ වෙමින් සිටියේ ය. ඔහු රිය පදවන ගමන් එකඟතාවය හඟවනු වස් හිස සැළුවේ ය. හ්ම් මිටි තැබුවේ ය. නමුත් වැඩි පුර කතා නොකළේ ය. ඊනියා ජාති වාදී හා ආගම් වාදී මිනිසුන්ට වහ කදුරු වන ඒ කතා මේ තරුණයා මේ විදිහට අසා සිටීම මත උදම් වූ අජිත් හිතේ හැටියට ඔහු ගේ හිත නිදහස් කර ගන්නට වූයේ ය. ඒ අතරේ දිසත් සුපිරි වෙළෙඳ සැලක රථ ගාලේ රිය නතර කරමින් සිටියේ ය.
“අමා…යමුද සුපර් මාකට් එකට”
ගියරය නියුට්‍රල් කරන ගමන් දිසත් ඉදිරි කැඩපතින් ම යුවතිය දෙස බැලුවේ ය.
“අනේ මට බෑ”
ඇය නෝක්කාඩු වූයේ මත් පැන් සම්බන්ධයෙන් කොහොමටත් ඇගේ වන විරෝධය, මෙහෙම දේවලට අනුබල දීමෙන් ඔවුන් වරදවා වටහා ගනු ඇත කියා සිතමිනි. රියෙන් බට දිසත් අනිත් පසින් විත් අමා අසුන් ගත් පැත්තේ දොර ඇරියේ ය.
“අනේ ඉතිං හොඳ ළමයනෙ…එන්නකො”
“රසී ගිහිං එන්න ඉතිං”
තාත්තා ඉදිරියේ ඔහු එහෙම බැගෑපත් කරවන්නට හොඳ නැති බව දැනුණෙන් ඇය රියෙන් බැස ගත්තා ය. නමුත් හිතේ වන යමක් ඔහු ට කිව යුතු ම බව ඇගේ හිත කීවේ ය.
“මොන ප්‍රශ්න තිබුණත් ඩ්‍රිංක්ස් වලට පුරුදු වෙන්න එපා මිස්ට දිසත්. අපේ තාත්තලත් පොඩියට ඕක පටං ගත්ත අය තමයි. ඒත්…බොන පිරිමියෙක් එක්ක ජීවිතේ මොන තරං දරුණු විඳවිල්ලක්ද කියල දන්නෙ එහෙම කෙනෙක් එක්ක ජීවිතේ බෙදා ගන්න අය තමයි. අම්ම ගැන මේ මොහොතෙත් මට දුකයි. තාත්තගෙ බීම නිසා බලං ඉන්න බැරි තැන අයිය දොට්ට බැහැල ගියා. අදටත් ඉන්නෙ බෝඩ් වෙලා. මට මතකයි පොඩි කාලෙ ඉඳල මාත් බයේ වෙව්ල වෙව්ල රෑ ගත කරපු හැටි. අනේ ප්ලීස් මිස්ට දිසත්…එහෙම තැනකට වැටෙන්න පාර කපා ගන්න එපා”
“පිස්සුද ළමයො…”
ඒ වචන දෙකේ තිබුණේ අසීමිත ආදරයකි. දිසත් කතාව අතරේ ම ට්‍රොලියට බඩු දමා ගනිමින් සිටියේ ය. මස්, එළවළු, බිත්තර, පළතුරු….
“එහෙම බොන්නෙ නෑ. නිකං කතා කර කර ඉන්න ඕන නිසානෙ”
හදවත ඇතුළේ දුක් විඳිමින් හඬනා පාළුවක් වන බව දිසත් නොකියා හිටියේ ය..අමා ගේ ගෙදර දී, අජිත් එක්ක දොඩමළු වෙමින් හිඳිය දී ඒ පාළුව ඈතකට පලා ගිය බවක් එදා ඔහු ට දැනිණ.
“කතා කරන්න බොන්න ඕනයැ”
ඇගේ ළදරු නෝක්කාඩුවට ඔහු පරිනත සිනහවකින් පිළිතුරු දුන්නේ ය.
“ගෑනුයි පිරිමියි කියන්නෙ වර්ග දෙකක්..එයාලගෙ ආසාවලුත් විදි දෙකක්. ඒ විදි දෙක තේරුං ගන්න යාම කොහොම වුණත්…අපි ඒ විදි දෙකට ම ගෞරව කරන්න ඕනෙ. තේරුණාද ඔයාට…මං මේ කියන්නෙ පිරිමි බීල ගෙදර ඉන්න ගෑනුන්ටයි ළමයින්ටයි වදයක් වෙන එක වීර කමක් හරි පිරිමි කමක් හරි කියල නෙවෙයි. හැබැයි…පිරිමි ඒ තත්වෙට වැටෙන්න…ළඟින් ඉන්න අය එයාලව තේරුං නොගැනීම හේතුවක් වෙන්න පුළුවන්”
අමා ගේ ගැහැනු හිත මහ බලයක් ඇති කාන්දමක් වෙතට ඇදෙනා අල්පෙනෙත්තක් සේ දිසත් ගේ සුවිසල් පිරිමි ආත්මය කෙරේ ඇදී යන්නට වූයේ ය. ඒ වසඟ වීම මතුපිටින් ඇති වන්නක් නොවේ. හදවත ගැඹුරින් ම ඇති වන්නකි. යන්තම් ඔහු ගේ අතක එල්ලී ඒ අත් ගොබයේ හිස තියා ගන්නට තරම් හැඟීමක් ද ඇය යට කර ගන්නට බැලුවේ ය. අමාරසී අසීරුවෙන් මුත් සිහි එළවා ගත්තා ය. ජීවිතය කියන්නේ අපට හිතෙනා හැම දෙයක් ම කළ හැකි තැනක් නොවේ. නමුත් අපට අත්‍යවශ්‍ය ම දේ ටිකවත් මේ කෙටි ජීවිත කාලයේ දී හිතේ හැටියට සපුරා ගත යුතු බව නම් ඇය විශ්වාස කළා ය.
“අපි මිස්ට දිසත් ට ඩිනර් රෙඩි කරමුද…”
අජිත් නිර්මලා සොයා කුස්සියට ගොස් ඇසුවේ ය. ඇගේ මූණේ අමනාපයක් සටහන් නොවීම ඔහු ට සහනයක් විය.
“ඉඳීද…”
“ඉඳී ඉඳී. කිව්වොත් ඉඳී”
අමාරසී දෙතුන් වරක් ම ඉස්තෝප්පුවට එබුණා ය. අජිත් ඒ හොර බැලුම් නිරීක්ෂණය කොට තිබිණි.
“අපි මේ කතා කරනව විතරයි කෙල්ලෙ. බෝතල් ගණං බොන්නෑ. මිස්ට දිසත් කියන්නෙ එහෙම බොන මනුස්සයෙක් නෙවෙයි”
මේ ටිකට දිසත් ව අවබෝධ කර ගෙන තිබුණ ආකාරය ට, අමාරසී ගේ බිය නැති වන්නටත් එක්ක අජිත් එසේ කීවේ ය. දිසත් ඇදෙස බැලුවේ ආදරයෙන් පිරීතිරී ගිය දෑසකිනි. මෙතෙක් කියා ගන්නට බැරි වූ බොහෝ කතා ඔහු ගේ ඇස් වල විය.
සිය විවාහයෙන් වෙන් වීම ගැන ද දිසත් අජිත් සමගින් කීවේ ය. ඒ වගේ අතිශය පුද්ගලික කාරණාවක් කතා කළ හැකි වැඩිහිටි පුද්ගලයෙකු තරමට අජිත් දිසත් ගේ විශ්වාසය දිනා ගන්නට ද සමත් ව සිටියේ ය. අජිත් තුළ මේ තරුණයා ගැන ඇති වූයේ කණගාටුවකි. ඔහු ගේ පාළු ආත්මය හැඳින ගන්නටත් එය විනිවිද දකින්නටත් තාත්තා කෙනෙකු වශයෙන් හෙතෙම සමත් වූයේ ය. සානුකම්පිත වූයේ ය.
“මං හිතන්නෙ පුතා අරං තියෙන්නෙ හොඳම ඩිසිෂන් එක. අවුරුදු හැත්තෑවක් මිට මොලෝගෙන අපි මේ ලෝකෙට එන්නෙ නොගැලපෙන තැන් වල දුක් විඳල මැරිල යන්න නෙවෙයි. අනිත් එක දරුවෙක් හිටියනං දෙපාරක් හිතන්න වෙනව වුණත්…දැන් තියෙන්නෙ එක පාරක් හිතුවම හොඳටම ඇති සිටුවේශන් එකක්. ඔන්න ඕව අමතක වෙලා යන්නත් එක්ක කියමු සින්දුවක්”
අසලක වූ බිස්කට් ටින් එකක් ගෙන තට්ටු කරමින් අජිත් හදවතේ නැවතුණ ගීතයකට මුල පිරුවේ ය.
“සුරැකීමට හෝ නැති වී යනු පිණිස මා කෙරේ…එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ…”
දිසත් ද තාල ඇල්ලුවේ ය. අජිත් ගේ ගැඹුරු ගීතවත් හඬින් ගී කියනවා අහන්නට ආශාවෙන් බලා උන් අතීතය සිහි ව නිර්මලා ගේ දෙතොල් අතරේ ආඩම්බරකාර මඳහසක් නලියන්නට ගති. අමාරසී ඒ සිනහව දුටුවා ය.
“අපරාදෙ…තාත්තට ගායකයෙක් වෙන්න තිබුණෙ”
“අනේ ඕන නෑ. අපිට විතරක් ඇහෙන්න සින්දු කිව්වම මදෑ”
නිර්මලා ගේ ඇස් වල සතුට දිළිසෙන හැටි අමාරසී දුටුවා ය. ජීවිතයේ මේ සුන්දර ම නිමේශයන් ගැන ඈ තුළ ඇති වූයේ ලෝබ කමකි. ඒ තැන් අපට අහිමි ව යන්නේ ඇතැම් විට අපිව ම තේරුම් ගන්නට අප තුළ ඇති වන පසුබෑම නිසා යයි ඇය ට සිතිණ. අතැඟිලි අතරින් ජීවිතයත් ජීවිතයේ සතුටත් යන දෙක ම ගිලිහී යන්නට පෙර අත් මිට මොළවා ගන්නට සමත් වන්නේ කීයෙන් කී දෙනා ද?
“මගෙ ජීවය ගල් ලෙනකී එහි පහන ඔබ තමා..එය දල්වනු මැන හිනැහී හද පෙම් ගිතෙල් දමා…සුරැකීමට හෝ…”
ගී හඬ කුස්සියට ද පා ව එයි. නිර්මලා ගේ මඳහස දිගට ම නො වෙනස් ව පවතී.
“තරුණ කාලෙත් තාත්ත සින්දු කිව්වද අම්මෙ..”
“හප්පේ…කටේ සින්දු කෑල්ලක් නැති වෙලාවක් නෑ. මිල්ටන් පෙරේරයි මල්ලවාරච්චියි ජෝතිපාලයි…ගෙදර ඈයො වගේ. අපේ මහ ගෙදරට අල්ලපු ගෙදර තමයි මේගොල්ලො කුළියට හිටියෙ..මං ඉතිං අහං ඉන්නව මෙයාගෙ සින්දු…වශී වෙලා වගේ..”
ලස්සන අතීත කතා වර්තමානයෙන් විනිර්මුක්ත නොවිය යුතු ය. අතීතයේ ජීවත් විය යුතු නැති වී ද අතීතයේ රස මුසු තැන් වර්තමානයට ගෙන ආ යුතු ය.
“අද හෝ හෙට කරුණා කොට වියළුණ දෙතොල් තෙමා…දිව ගෑමට සැනසීමට ඔබ දිය යුතුයි අමා…ඔබගේ නෙත කඳුළැලි මත පාවෙන තරම් ප්‍රියේ…දරුණූ නැත මගෙ හදවත හොඳ සිහිය මට තියේ…සෙලවීමට නොහැකී වැද බාධක සුළං සැරේ..එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ…”
“අම්ම තාමත් වශී වෙලයි ඉන්නෙ..”
අමාරසී ට එසේ කියවුණේ නිර්මලා ගේ මුහුණේ සඳ එළිය සේ දෝරෙ ගලනා හැඟීම් රළ පහර දුටු නිසා ය. නමුත් එසේ කී එක ගැන පසු තැවීමක් ඇය ට නොවිණ.
“රසීට පිස්සු”
“එ් වශීය වෙන්නැති මොන දුක විඳගෙන වුණත් අම්ම තාත්තව අත් ඇරල ගියේ නැති වෙන්න හේතුව…දෙන්නෙක් අතරෙ එහෙම වශීයක් තියෙන්නම ඕනෙ අම්මෙ”
නිර්මලා සිය ගවොම් උරහිසෙන් මුහුණ පිස ගත්තා ය. අමා ඔය කියනා තරම් දේවල් ඇය දන්නේ නැත. නිර්මලා ට ආදරය යනු හදවතට දැනුණ දෙයක් මිස උගත් දෙයක් නොවේ.
“මිස්ට දිසත් බැඳල නේද…”
අම්මා ගේ පැනය අමා තුල ගැස්මක් ඇති කළ ද ඇය ඒ බවක් නො පෙන්වන්නට සමත් වූවා ය.
“හ්ම්”
“ඉතිං රෑ වෙලා යන එක හොඳද මන්දා…මෙහෙං කාල බීල…වයිෆ් දොස් කියයිනෙ…කොයි සමාජ මට්ටමක වුණත් ගෑනුන්ට තියෙන්නෙ එක ම හිතක්නෙ”
අමා හ්ම් කීවේවත් නැත. දිසත් බිරිඳ ගෙන් වෙන් වී වෙනම ජීවත් වන්නට ගත් බවක් හෝ දික්කසාද වීමට සැරසෙන බව කීවොත් අම්මා කලබල වන බව අමාරසී දනී. ඒවා නො කියා ඔය තත්වයෙන් සියල්ල පවතින්නට හරිනා එක හොඳ යයි ඇය ක්ෂණික ව සිතුවා ය.
දික්කසාදය කියනා දේ ගැන හදවතේ වූ අවිනිශ්චිත බව හා භීතිය අතික්‍රමණය කරනට ඔහු ට හැකි වූයේ අමා නිසා දැයි දිසත් ට සිතේ. කේෂි ඔහු ට නො ගැලපෙන බව දැන ගෙන ද ඔහු ඒ ජීවිතය තුළ රැඳී සිටියේ ය. දික්කසාදයක් කරා යන්නට තරම් අවශ්‍යතාවයක් ඇති වූයේ පය ගහන්නට තැනක් ඇතැයි යන විශ්වාසය යටි හිතේ වූ හින්දා ද?
“සුරැකීමට හෝ නැති වී යනු පිණිස මා කෙරේ…එක කී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ…”
ගීතයේ අවසාන මොහොතේ නිර්මලා ඉස්සරහා ට ආවා ය. අමාරසී මව් ගේ පිටුපසට වී ඇගේ උරයට මත්තෙන් සන්දර්ශනය දෙස බලා සිටියා ය. දිසත් ගේ ඇස් වලත් සිනහවේත් බැල්මේත් අමුතු ම දීප්තියක් තිබිණ. එය ගැහැනු හිතක් ඇද බැඳ වසඟ කරනා පෞරුෂයකි. කේෂි ගේ සමාජශාලා මිතුරියන්, ඒ වසඟය ගැන ඇගේ මූණට ම කීහ. එතකොට කේෂි කළේ තරහා ගන්නා එක නොව ආඩම්බර වෙන එක ය.
“හරි..දැං පුතා සින්දුවක් කියමු”
“පුතාලු”
අමා අම්මා ගේ කනට කෙඳිරුවේ පුදුමයෙනි. ඒ පුදුමය ඇගේ මුව ද මඳක් විවර කරවා තිබිණ. මිස්ට දිසත් පුතා වන්නට තරම් ඔය රන් වන් දියරයේ වන අරුම පුදුම බලය කුමක්දැයි පෙරපර ගලපා සිතන්නට ඇය ට උවමනා විය.
දිසත් ලැජ්ජාශීලී බැල්මක් පා කොට එව්වේ ය. අමා ගේ යටි හිත ඔහු ව තදින් බදා වැළඳ ගත්තේ ය. නමුත් උඩු හිත මඳහසක් පාන්නට අවසර දුන්නා පමණකි.