ජීවිතය වෙනසක් නොවී ගලාගෙන ගියා.මම රැකියාව සහ දූගේ වැඩ නොපිරිහෙලා ඉටු කරමින් මගේ කුඩා ලෝකයක් ගොඩ නගා ගන්න පටන් ගත් කාලයක් ඒ.දූ දවසින් දවස මලක් වී වැඩෙමින් හිටියා.කුඩා රෝස මල් පෙත්තක්ව මගේ අතට ආ එයා දැන් හැඩ වැඩ වෙන පුංචි දඟ මල්ලක්.ඇය වෙනුවෙන් කළ හැකි හොඳම දේ කරමින් මම මගේ ජීවිතය දූගේ කිරි සුවඳින් පුරවා ගන්න පටන් ගත්තා.
දූගේ උපන්දින වෙනුවෙන් මහා විසාල උත්සව ලෑස්ති කරලා උපන්දින මාසය පුරා බොන්න බියර් කෑන් උස්සන් ආව තාත්තා කෙනෙක් මගේ දූට ඉන්නවා.ඔබත් අප්‍රමාණ කෝපයට පත් කරන ගමන් ඔහුගේ විකාර වැඩ ලියන එක දැන් ඇති කියලා මමත් SmartLady කණ්ඩායමත් හිතුවා.ඔහු වෙනම කමරයකත් මම දූ එක්කමත් ජීවිතේ ගෙවා දමනකොට ඉර වේගයෙන් පොළොව වටේ කැරකුණා.අප එතැනම ඉන්න වෙලාවක කාලය ලොකු ගමනක් යන්න පටන් අරන් තිබුණා.
මගේ ජීවිතය තවත් මහා සංක්‍රාන්ති සමයකට මාව ඇදලා දැම්මේ දෙදහස් දාසයේදී.මෙතරම් කාලයක් මම මහා මෝඩ ගෑනියෙක් බවට වැටුණු කමෙන්ට්ස් දෙගුණ තෙගුණ වී නොව දස ගුණයකින් වැඩිවිය හැකි බව මම දන්නවා.නමුත් මම මේ කතාව බිඳුවක්වත් නොසඟවා ඔබට කියන්න හිතුවා.මගේ කතාවේ අවසානයක් දකින දවසක ඔබට මා ගැන විනිශ්චයක් දිය හැකියි.
නමුත් මේ ආදරය වෙනුවෙන් අප්‍රමාණව කැප කිරීම් කළ මගේ කතාව.
දෙදහස් දහසයේ දවසක මට මිතුරෙකුගෙන් ඇමතුමක් ලැබුණා.ඒ කරදරයේ වැටුණු මිතුරෙකුගේ ඇමතුමක්.යුධ හමුදාවේ සිටින ඔහු යම් ගැටළුවක සිටි වෙලාවේ සුධාරක මගේ සමීපතමයෙකුව සිටි බව ඔහුට සිහි වෙලා තිබුණා.මට ඇමතූ ඔහු ඒ උපකාරය සුධාරකගෙන් ලබාදෙන මෙන් මගෙන් ඉල්ලා සිටියා.මිතුරා අන්ත අසරණ මට්ටමක සිටි නිසා මට ඒ ඇමතුම මඟ හරින්න හිතුණේම නැහැ.මම සුධාරකට දුරකථන ඇමතුමක් ලබා ගත්තා.ඔහු ඒ වන විට යුද්ධය අවසන් කරලා දියතලාව කඳවුරේ තමයි රාජකාරි කළේ.අපේ ආදරේ මුල්ම දවස් වල ඔහු හිටිය දියතලාවේම අපි පරිණත මිනිසුන් වෙමින් පැවති කාලයේත් ඔහු රාජකාරියට නික්ම ගොස් තිබුණා.මා ළඟ ඔහුගේ දුරකථන අංකය තිබුණත් කිසිම දවසක ඔහුට කතා කරන්න නොහිතපු මම එදා ඔහුට ඇමතුමක් ගත්තා.ඒ මගේ මිතුරා වෙනුවෙන්.
දුරකථනය අංකනය කරපු මම දුරකථනය සවනේ තියාගත්තෙ ගැහෙන පපුවකින් නෙවෙයි.අතීතයේ රහස් ඇමතුම් අනන්ත ප්‍රමාණයක් ලබා දුන්නත් ඒවා ලබා දුන්නේ මගේ ආදර පෙම්වතාට.මේ මා අමතන්නේ පැරණි මිතුරෙකුට.ඔහුට දියණියන් තිදෙනෙකු සිටින බවත් මට එක් දියණියක සිටින බවත් මම අමතක නොකරන්නට ඇති.
“මට බ්‍රිගේඩියර් සුධාරක විතානගේට කතා කරන්න පුලුවන්ද?”
මම එහෙම ඇහුවේ ඉංග්‍රීසි භාෂාවෙන්.මීක් හඬක් නැතුව තත්පර කිහිපයක් ගෙවී ගියා.ඔහු ළඟ මගේ ජංගම දුරකථන අංකයත් නැහැ.තත්පර කිහිපයකින් පසු අමතන්නේ බ්‍රිගේඩියර් සුධාරක විතානගේ බව ඔහු ද ඉංග්‍රීසි භාෂාවෙන්ම හෙළි කළා.තවත් මිනිත්තු කිහිපයක් තදබල නිහැඬියාවක ගිලී ගියා.
“අනූ.”
ඔහුගේ ගැඹුරු කටහඬ එසේ කියන හඬ මට ඇසුණා.ආදරය සමුගැනීමකින් තොරව අවසන් වූ පසු හදවතක් මොනතරම් රිදුම් දෙනවාද යන්න ඔබට මා පැවසිය යුතුද නැහැ.නමුත් මම ඒ රිදුම සඟවාගෙන ඒ හඳුනා ගැනීම ගැන පුදුමයට පත් වුණා.
“මාව අඳුනාගත්තද?” මම ඇහුවේ පුදුමයත් සමඟ.
“ජීවිත කාලෙම ආදරේ කරපු කටහඬ මම කොහේ හිටියත් අඳුනා ගන්නවා අනූ..එහෙම වෙන්න බැරිද?”
ඒ ප්‍රශ්නයට මම මොනව කියන්නද? නමුත් මම ආවේගයන් සහ හැඟීම් පාලනය කරගෙන මිතුරාට වී ඇති කරදරය හෙළි කළා.ඔහු බොහෝ හොඳ මිනිසෙකු නිසා හිරිහැරයක් හෝ ගැහැටක් නොවී ගැටලුව විසඳා දෙන්නට මට සුධාරක පොරොන්දු වුණා.ඔහුගේ පොරොන්දු කවමදාවත් බොල් ඒවා වුණේ නැහැ.සුළු වෙලාවකින් මට ඇමතුමක් පැමිණියේ මිතුරාගෙ ගැටළුව සම්පූර්ණයෙන් විසඳුණු බව කියන්නයි.
“ඉතින් දැන් කොහොමද ඔයාගේ ජීවිතේ?”
ඔහු ඒ රාජකාරිමය කතාව අවසන්ව මගෙන් විමසුවා.අතීතයේ ළතෙත් හඬ නැවත පැමිණ මගේ සුවදුක් විචාරන විට මා ගල් ගැසී ගියේ බියකට ද සන්තෝසයකට ද කියා මට අදටත් සිතා ගන්නට බැහැ.