හිමගිරි අරණ – 64

“මට පුතේ රවිඳු කියන දරුවා කතා කරලා ටික දවසක්”

අම්මා එසේ කියන්නේ හිමාෂා ඇයට ඉවුම් පිනුම් කටයුතුවලට උදව් වෙද්දී ය.මේ පලා යා හැකි ප්‍රශ්නයක් නොවන බව දන්නා හිමාෂා අම්මට ඇහුම්කන් දෙන්නට සිතා ගත්තා ය.

“නංගි ගැන පිරිමි ළමයෙක් ඇවිල්ල අහනවා වගේ කතාවක් නෙමෙයි පුතේ ඒ.ඒක ඔයත් දන්නවා ඇති කියලා මං හිතනවා.”

අම්මා මෙසේ කියන්නේ තමා රිදවන්නට නොවන වග දන්නා හිමාෂා අහිතකින් තොරව ඇය හා හිනැහුණා ය.ඉතාම පවුලකින් විවාහ යෝජනාවක් පැමිණ ඇතැයි ප්‍රීතිමත් ව හෙළි කරමින් එය කළ යුතුම කටයුත්තක් බවට බල කළ අම්මාට  වඩා මේ අම්මා වෙනස් ය. අම්මා දැන් හිඳින්නේ අතීතය ගැන පසුතැවෙමින් ය.

“අම්මා මොකද එයා ගැන හිතන්නේ?”

දියණියක වඩා විවෘත විය යුත්තේ අම්මා ළඟ බව සිතමින් හිමාෂා අම්මාගෙන් එසේ ඇසුවා ය.අම්මාගේ කැමැත්තක් හෝ චකිතයක් ඇත්නම් මේ මාවත දිග ඇවිද යාම කළ හැක්කක් නොවන බව ඇය සිතන්නට වූවා ය.

“ඉස්සරල.පාරමී දුව කතා කරාම නම් මට ටිකක් බය හිතුණා තමයි.පාරමී කතා කරපු විදියෙන් ඔයාට කෙනෙක් ඉන්න එක හොඳ වුණත් ප්‍රශ්න තියෙන්න පුළුවන් කියලත් මට හිතුණා.”

තමන් ගිනි ගන්නා අතරම අනුව ගිනි තැබීම පාරමී නවතා දමන නවතා දමන්නේ නැති බව දැන් හිමාෂා දන්නී ය.මේ ගැන සිතමින් තැවීම තේරුමක් නැති කාර්යයකි.නමුත් පාරමීගේ සැබෑ කතාව අම්මට පැවසීම ඵල රහිත බව ඇය තීරණය කළා ය.

“සමහර වෙලාවට කෙනෙකුට ආපහු ඔළුව උස්සගන්න පුළුවන් කියලා තේරෙනකොට වැඩියෙන්ම අකැමති වෙන්නේ ලඟින්ම ඉන්න මිනිස්සු පුතේ.”

අම්මා පාරමී ගැන තේරුම් ගෙන ඇතැයි හිමාෂා සිතුවේ ඒ වචන වලිනි.නමුත් දැන් සැබෑ ගැටලුව පාරමී නොවේ.රවිඳු ය.ඔහු තමන්ට ආදරය ප්‍රකාශ කරන්නට පෙර මාවත හෙළි පෙහෙළි කර ගැනීම ගැන හිමාෂාට සොම්නසක් ඇති විය.ඔහු හදන්නේ සැබෑවටම තමන්ගේ අත් අල්ලා ගන්නට මිසක රවටන්නට නොවන වග තේරුම් ගන්නට මේ සාධකයට ඕනෑවටත් වඩා වැඩි තරම් ය.

“අපි බොහොම සාම්ප්‍රදායික අම්මලා ලොකු පුතේ.ඔයාලා නම් මේ ප්‍රශ්න දිහා මීට වඩා වෙනස් විදියට හිතයි.කවදහරි ඔයාට පුළුවන් වෙයි ඔයාගේ දුව දික්කසාද වුණු කෙනෙක් කසාද බඳිනවට හිත හදා ගන්න.ඒත් නංගි එක කරන්න ගියා නම් මට ඒකට ඉඩ දෙන්න අමාරුයි.අන්න ඒ හින්දා මට රවිඳුගේ අම්මා ගැන නම් හරියට හිතට බයයි පුතේ.ඒ අම්මා මේ කටයුත්තට විරුද්ධ වුණොත් ඔන්නඔහේ අකමැත්තෙන් හරි ඕකම කරගන්න කියලා ඔයාලට කියන්නේ කොහොමද කියලයි මම මේ හිතුවේ.”

අම්මා කෙනෙකු තරම් අම්මා කෙනෙකු වටහා ගන්නා කෙනෙකු නොවේ.පාරමීගේ අම්මාට නොරිදෙන්නට ප්‍රශ්නය විසඳන්නට රවිඳුගේ අම්මා කළ උත්සාහය නිසා තමන් ඔහු සමඟ අමනාප වූ අන්දම පවා හිමාෂා සිහි කළා ය. තමන්ගේ දියණියගේ ජීවිතය සුඛිත මුදිත වීම වෙනත් අම්මා කෙනෙකුගේ ආශිර්වාදය රහිත සිතුවේදැයි බියකින් දැන් හිමාෂාගේ අම්මා පෙළෙන්නී ය.

“ඒ දරුවා ඔයාවයි පුංචි එකීවයි බලාගන්න බොහොම කැමැත්තෙන් ඉන්නවයි කියන එක මට තේරුම් ගියේ චූටි බබාගේ උපන්දිනේ දවසේ.තාත්තට අමතක වෙලා ගිය දරුවාව ඒ ළමය ළං කරගෙන හිටියේ පුදුමාකාර ආදරේකින්.එහෙම තමයි පුතේ සමහර බැඳීම් සංසාර බැඳීම්.ඒවට හරස් වෙන්න අපි කාටවත් බෑ. ඔයාගෙ ජීවිතේ මේ විදිහට ආපහු පිරෙන්න යන එක ගැන අම්මා හැටියට මට මහා සන්තෝසයක්.ඒත් රවිඳුගේ අම්මා ඔයාව පිළිගන්නකම් සම්බන්දෙකට නොයා ඉන්නවානං තමයි හොඳ.”

අම්මට තමන්ගේ රිදීම් ගැන කිසිදු වේදනාවක් නැතැයි සහන් සම්බන්ධ සිදුවීම් වලදී සිතීම ගැන පාරමී තමන්ට ම දම දොස් නගා ගන්නට වූයේ ඒ කතාව ඇසෙද්දී ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles