(අ)හිමි සිහින -80

මම මේ ඔබට කියන්නේ හින්දි චිත්‍රපටයක කතාව නොවේ.ජනප්‍රියම ආදර කතා රචකයෙකුගේ ප්‍රසිද්ධ නවකතාවක කොටස් ද නොවේ.ඒ කතන්දරවල පැරණි ප්‍රේමවන්තයා නැවත තමන්ගේ පැරණි ආදරය සොයා ඒම බොහොම සුලභ සිදුවීම් .නමුත් මේ සැබෑ ජීවිතයක කතාවක්.ඔහු දියණියන් තිදෙනෙකුගේ තාත්තා කෙනකු වීමත් කියන කාරණාව තුළින් ඔබ මේ කතාව දෙස බලන්නට ගත්තොත් ඔබට මෙතැන් පටන් මේ කතාව බොහෝ අප්‍රසන්න එකක් වේවි දැයි මම දන්නේ නෑ.ආදරේට සීමාමායිම් තිබෙනවාද? ආදරය නියම් සහ අනියම් ලෙස වෙන් කරන්න පුලුවන්ද? සමහරවිට පුළුවන් ඇති.ඒ නිසාම කොටස් ගණනාවක මා සමග කෝප වූවා මෙන්ම ඔබට මෙතැන්සිට මා සමග වැඩිපුර කෝප ගන්නටත් පුළුවන්.

නමුත් මේ මගේ ආදරයේ කතාව.සංසාරික ප්‍රේමයක් බවට මම දැඩි ලෙස විශ්වාස කරන මගේ ආදරේ කතාව.

සුදාරකගේ ඇමතුම් දවසින් දවස වැඩි වෙන්නට පටන් ගත්තා.ඔහු මට ඇමතුවෙ මිතුරුකමින් නොවේ.ඒ ඇමතුම් එකකවත් මිත්‍රත්වය රැඳී තිබුණේ නැහැ.වරදවා වටහා ගන්න එපා ඔහු මට කිසිම දෝෂයක් නැඟුවේ නැහැ.ඒ වෙනුවට ඔහු දිගින් දිගටම මට ආදරේ ප්‍රකාශ කළා.මම චමල් සමග සතුටින්ද දුකින්ද යන්න අසන්නේවත් නැතිව ඔහු මට ආදරබස් කියන්නට පටන් ගත්තා. සමහර කතන්දර පාසල් පෙම්වතෙක් ඔහුගේ ළපටි පෙම්වතියට කියන කතා වගේ.එහි අරුමයක් නැහැ.සුදාරක මුලින්ම ආදරය කළේ දහතුන් හැවිරිදි පුංචි කෙල්ලකට.ජීවිතයේ හතරවැනි දශකයටත් ළඟාවෙමින් සිටින මම ඔහුට ඒ වෙද්දිත් අර දඟකාර පුංචි කෙල්ල ලෙස පෙනුණාද කියන්න මම දන්නෙ නැහැ.

“මට ඔයාව බලන්න ඕනේ”

ඔහු නොනවත්වා ම ඉල්ලා සිටියේ අන්න ඒ ඉල්ලීමයි.

බොහෝ පෙම් කවි ලියූ පසුවද
සියුම් කැපුමක් මෙන් රැදී
නොලී කවියක් තිබිය නොහැකිද
හදේ යම් රිදුමක් දිදී

තියුනු රුදු සැත් ලෙසින් සැමරුම්
සෙමෙන් පාරන මුත් ඇනී
සිදිනු හැකි වෙද කෙලෙස, කිකලෙක
එවන් හද පාරන බැමී

ඉතින් එබැවින් නවතිමී
හදින් පිටමන් නොකරමී

සෞම්‍ය සඳරුවන් ලියනගේ විසින් කවි සිතුවිල්ලක් කළ පසුව ගීයකට නැඟුණු මේ පද ඇසෙන සෑම මොහොතකම මට ඒ සිදුවීම මැවී පෙනෙනවා.මගේ කතාවත් සම්පූර්ණ අවසානයක් ළඟා නොවී තිබු කතාවක්.මම ඔහු හදින් පිටමං නොකළ බවත් මට ඔහුව දකින්නට ඔහුටත් වඩා අවශ්‍ය බවත් මට දැනෙන්නට පටන් ගත්තා.සුධාරක හදවත තුළ තවමත් ලැගුම් ගෙන හිඳින බවත් ඔහුව මට තවම උවමනා බවත් මගේ හදවත කෑගසා කියන්නට පටන් ගත්තා.

“අනිත් කාරණාව තමයි අනූ,සුධාරක මොකක්හරි ලොකු දුකක් හිතේ තියන් ඉන්නෙ.එයාට ඒ කතාව කියන්න ලෝකෙන්ම විශ්වාස ඔයා විතරයි කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?”

මගේ හදවත මගෙන් නොනවත්වාම විමසන්නට පටන් ගත්තා.ඔහුව මුණ ගැසී ඔහු සිටින මානසිකත්වය අවබෝධ අවබෝධ කරගත යුතු බව මට තේරුම් ගියා.ඔහු මේ හදන්නේ මාව අවුල් කරන්නට නොවේ.රැකියාව බොහෝ විනයක් ඇති එකක් වූ නිසාම නොවේ ඔහු සතුව හොඳ විනයක් තිබුනේ ඔහු කොහොමත් හොඳ මහත්මයෙක්.ඔහු මේ මා දකින්නට අවශ්‍යයි කියන්නෙත් මට මෙහෙම අමතන්නේත් ජීවිතය සරල සැහැල්ලුවක් උදෙසා නොවන බව මට තදින්ම දැනෙන්නට පටන් ගත්තා.

Side view of happy teenager couple dating and flirting hugging and facing on the beach while the wind moves her hair

“මෙන්න මේ දවසේ මේ රෙස්ටොරන්ට් එකට එන්න පුලුවන්ද?”

මම ඔහුට යෝජනා කළේ රහස් තැනක පිහිටි රහසිගත අවන්හලක් නොවේ.ලංකාව පුරා ප්‍රචලිත ජනප්‍රිය සන්නාමයක් හිමි මිනිසුන් නිතර දෙවේලේ ගැවසෙන අවන්හලක නමක්. රහසේ සැඟවෙමින් කතා කරන්නට දෙයක් මට සහ ඔහුට ඇති බව මට සිතුනේ නැහැ.ඕනෑම ප්‍රශ්නයක් අපට කතා කරන්න පුළුවන්.ඒත් සැඟවීමට අවශ්‍යතාවයක් නැහැ.කොළඹට තදාසන්න නගරයක පිහිටි ඒ අවන්හලට ඔහු එනතුරු මම මග බලා සිටියා.කෙළවරක් නැතුව ඒ තුළට ඇතුළු වන සෙනග අතරින් කාලයක් සේ නොදුටු ඔහු දකින්නට මම ඇස් රිදෙන තුරු මග බලා සිටියා.දෑස් තුළ වැලිකැට සිර වී ඇත්තාක් මෙන් රිදුම් දෙන බව මට දැනුණා.හදවත මත මහා පර්වතයක් ඇති තරමට හදවත මහා බරක් දරා සිටියා.පුංචි අනුරාධා මා තුළ සිටියාද කියන්නට මම දන්නේ නැහැ.මම නොනවත්වාම මග බැලුවා.

හදවත කඩා වැටෙන දර්ශනයකට මුහුණ දෙන්නට මට සිදු වූයේ විනාඩි කිහිපයක් තිස්සේ මග බැලීමෙන් පසුවයි

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles