මනමාලියක් බලන්න යන්න ඕනෑම තරුණයෙක් බොහොම උනන්දුවෙන් සූදානම් වෙනවා.ඒ ඉතින් සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේ.ඒත් සුධාරක මනමාලිය බලන්න ගිහින් නැහැ.ගෑනු ළමයා මොනවගේ කෙනෙක්ද බලාගෙන එන්න ඔහුගේ කිට්ටුම මිතුරෙකු යවන්න ඔහු වගබලාගෙන තිබුණා.ඒ සමහරවිට ඊටකලින් මනමාලියෝ හත අටක්ම බලන්න ගිහින් එපා වෙලා හිටිය නිසාද දන්නෙත් නැහැ.ඔහු ඒ හැම මනමාලිටම කියන සාම්ප්‍රදායික බොරු ටික කියලා යෝජනා ප්‍රතික්ෂේප කරලා තිබුණා.
“සුදු නෑ.කළු වැඩියි.ඒ ළමයා මහත වැඩියි.අපෝ එයා කෙට්ටු වැඩියි.එච්චර දිග කොණ්ඩ වලට මම කැමති නෑ.අපෝ ඒ ළමය මටත් වඩා උසයි.”
පත්තරෙන් හොයා ගන්න මනමාලියෝ,යාළු මිත්‍රයෝ යෝජනා කරන මනමාලියෝ ඔක්කොටොම ඒ තැටිය වාදනය කර කර හිටිය සුධාරක මේ මනමාලි හොඳයි ද කියලා බලාගෙන එන්න ඔහුගේ ළඟම මිතුරාව පිටත් කරලා තිබුණා.ඒ කාලයේ අපේ ආදර කතාවටත් පුදුමාකාර සහයෝගයක් දුන්නු ඒ මිතුරා මනමාලිව බලන්න සුධාරක වෙනුවෙන් ගිහින් තිබුණේ යාළුවාගේ අදහස් හොඳින්ම දන්න නිසා වෙන්න ඇති.
සමාජයේ පිළිගත් රැකියාවක් කරන,තමන්ට කියලා දේපළක් උපයා ගත් මහන්සියෙන් දියුණු වෙමින් ඉන්න සුධාරකට ඒ පවුලේ අය නම් ඉහළින්ම කැමති වෙලා තිබුණා.ඒ විදියට තමයි සුධාරකට දිල්හානිව මුණ ගැහිලා තිබුණේ.ඒ සංසාරගත ආදරයක් ද නැතිද කියන්න මම දන්නේ නැහැ.නමුත් අපිට ඕනෑම කෙනෙකු මුණ ගැහෙන්නේ ඒ අය අපිත් එක්ක ජීවිතේ බෙදා ගන්නේ අපේ මොනවාම හෝ සංසාර ගනුදෙනුවක් නිසා.ඒ නිසා මට අසංකත් චමලුත් මුණ ගැහුණා වගේම ඔහුටත් දිල්හානිව මුණ ගැහෙන්න ඇති.
ජීවිතේ කියන්නේ අන්න එහෙම දේකට!
දිල්හානි සම්බන්ධයෙන් විවිධ ආරංචි සුධාරකගේ ගෙදරට ඇවිත් තිබුණේ යෝජනාව ස්ථිර වූ කාලයේ.ඒත් සාමාන්‍යයෙන් යෝජිත විවාහවලදී ඒ වගේ ආරංචි දෙපැත්තට බෙදා හරින නිහීන මිනිසුන් ඕනෑතරම් ඉන්න නිසා ඒ කතා වැඩි ගණනකට නොගන්න සුධාරකගේ පවුලේ අය තීරණය කරලා තිබුණා.නිර්නාමික ලියුම් සහ දුරකථන ඇමතුම් කියන දේවල් ලංකාවේ මිනිස්සු කොහොමටත් කරන නිහීන ක්‍රියා වගේ දේවල් නම් තඹ සතයකට මායිම් කරන්න සුධාරක හිතන්නත් නැතුව ඇති.දිල්හානි ගැන අහන්න ලැබුණු ඒ කතා ගැන අකුරක් නෑර විස්තර කරන්න මට පසුකාලීනව සුධාරකගේ අම්මා වග බලාගත්තා.ඒ වුණත් මම ඒවා වැඩිය විශ්වාස කරේ නැහැ.මගේ පළමු විවාහය දික්කසාද කරන්න කටයුතු කරේ ඇය.ඒ නිසා මට ඒ අම්මාගේ කතාත් ඕනෑවට වඩා විශ්වාස නැහැ.වෙන කාන්තාවක් ගැන තවත් කාන්තාවක් දෙන චරිත සහතික විශ්වාස නොකරන්න මම තීරණය කළා.
ඒත් මම නුවරදී අසංකගේ අම්මා එක්ක රෝහල්ගත වෙලා මහා මානසික පීඩාවකින් ඉන්න කාලයේ සිදු වූ සිදුවීමක් සිහිපත් වුණා.මම මහා කලබලයකින් රෝහලට සහ ගෙදරට දුවමින් ඉන්න කාලයේ අපේ අම්මාගෙන් දුරකථන ඇමතුමක් ආවා.
“අර සුධාරක ඉන්නෙ.අන්න එයාගෙ ගෙදරින් කෝල් එකක් ආවා.එයාලට එක එක කෝල්ස් නොදී පාඩුවෙ ඉන්න කිව්වා.”
මට එදා ඇති වුණේ පුදුම කේන්තියක්.මම අසංක එක්ක ජීවත් වෙන්න පටන් ගත්තේ සුධාරකව සහමුලින්ම අමතක කරලා.ඔහුව හදිසියේ පුවත්පතකින් හෝ රූපවාහිනියකින් දැක්කොත් මිසක මම ඔහුට කතා කරලාම නෑ.අසංක එක්ක පාඩුවේ ජීවත් වෙනවා මිසක මට පැරණි පෙම්වතා පසුපස යන්න ඇත්තටම උවමනා වුණේම නැහැ.ඒත්,මට පස්සේ තමයි වැටහුණේ දිල්හානි ගැන බොරු ආරංචි කියමින් ඇමතුම් ලබා දෙන්නේ මම කියලා ඒ දවස්වල සුධාරකගේ දෙමාපියන් හිතන්න ඇති.නමුත් ඒ කාලයේ මම හිටියේ මගේම සටනක.රෝගී අම්මා කෙනෙක්ට තවත් දවසක් හෝ සතුටින් ජීවත් වෙන ඉඩ හදන්නේ කොහොමද කියලා තුන්තිස් පැයේම හිතමින් හිටිය මම සුධාරක විවාහ වෙන බවක්වත් ඇත්තටම දැනගෙන හිටියේ නැහැ.
වෙන්න තියන දෙයක් කිසිම දවසක නොවී තියෙන්නේ නැහැ.සුධාරක සහ දිල්හානි අතර විවාහයත් අන්න ඒ විදියට සිද්ධ වෙලා තිබුණා.ඔහු සමහරවිට අතීතයේ ඔහු ආදරය කළ පුංචි කෙල්ල අමතක කරලා මේ අලුත් බිරිඳ සමඟ ආදරයෙන් ජීවත් වෙන අන්දම ගැන සැනසිල්ලේ හිතන්න ඇති.ඒත් ඇත්තටම ජීවිතය කියන්නේ අපට උවමනා දෙයම දෙන දේකට නෙවේ.
හිමි වෙමින් අහිමි වෙන සිහින සහ බලාපොරොත්තු පිරුණු ජීවිතයක් හිමි සුධාරකටත් ලැබීම් සහ නොලැබීම් සමසමව ගලා ගෙන එන්න ඒ විවාහය හේතු වෙලා තිබුණා.ඔහු වචනයක් නෑර ඒ කතාව කියනකොට මම ඒ හැම දේම අහගෙන හිටියේ ඔහුට මේ හැමදෙයක්ම කියන්න මේ ලෝකයේ ඉන්නේ මම විතරක් බව හොඳින්ම දන්නා හින්දා.