කදෝකිමි ඇස් -56

0
3977
කදෝකිමි ඇස්

“සුදු පුතේ..”

ආරණ්‍යා ඒ හඬ අසා සිටියේ සන්සුන්ව ය.ඇය අතිශයින් කැළඹෙන සමහර අවස්ථාවන් වලදී සන්සුන් වෙන්නට ඇති එකම වචනය අප්පච්චිගේ හඬින් ඇසෙන “සුදු පුතා” ය.ඔහු එතරම් සන්සුන් ස්වරයකින් තමන් අමතන්නේ නම් කතා කරන්නට බොහෝ දේ ඇති බව ද ආරණ්‍යා දන්නී ය.

“අප්පච්චි..”

ජාලිය දියණිය දෙස මොහොතක් බලා හුන්නේ ය.ඇය මේකලාගේ කුඩා අනුරුවකි.නමුත් ඇය දරා හිඳින්නේ තම හදවත බව ජාලිය විශ්වාස කරන කාරණාවකි.මේ කතාබහ බුද්ධියෙන් මිසක හදවතින් කළ යුතු නොවන බව සිතමින් ජාලිය තම ප්‍රාණ සම දියණිය තුරුලට ගත්තේ ය.ශල්‍යාගාරයේ දී ඈ මුලින්ම තුරුලට ගත් දිනයේ දැනුණු හැඟීම ම ඔහුට තවම දැනේ.නමුත් විසි එක් වසක් ගෙවී අවසන් ය.ආරණ්‍යා තවදුරටත් අම්මාටත් අප්පච්චිටත් මල්ලිටත් අයත් දියණිය නොවේ.

“පුතේ, ඔයා හිතනවද ඔයාට හොඳම කෙනා මේඝ කියලා.”

තාත්තා සමඟ ප්‍රේමවන්තයා ගැන කතා කිරීම මොනතරම් අපහසු දැයි සිතූ ආරණ්‍යා එය මොනතරම් පහසුදැයි ඊළඟ මොහොතේ දී සිතුවා ය.මේ ඇයට ජීවිතය තුළ හමු වූ විශ්වාස කළ හැකිම මිනිසා ය.එනිසාම ආරණ්‍යා අප්පච්චිට සියල්ලම කියන්නට සිතුවා ය.

“ඔව් අප්පච්චි.මට දැනෙන්නේ ඒ මගේ සෝල් මේට් කියලා.ඔයා තරමට,මල්ලි තරමටම මෝක්ෂ අයියා තරමට එයා මට හුඟක් දැනෙනවා.ඔයාලා එක්ක තරමටම මට ජීවිතේ පහසුවක් දැනෙනවා එයා එක්ක.එයාව නැති කරගන්න තියන එකම හේතුව එයා මහේන් සේනාධීරගේ පුතා වුණු එක නම් මම ඒකට අකමැති අප්පච්චි.”

නීතිය හදාරන දියණිය කතා කරන්නේ නිවැරදි කරුණු ගොනු කරමින් නොවේදැයි ජාලිය සිතී ය.නමුත් මේ තමන් සම්බන්ධයෙන් සාධාරණය ඉල්ලීමක් බව ද ජාලිය දනියි.ආදරය කරන තරුණයා නොලැබීම යුවතියකගේ ජීවිතය සහමුලින්ම අඳුරු වන බව ඔහු සිතුවේ මේකලා ගැන සිතමිනි.

“මේඝ එක්ක කවදාහරි කසාදෙකට යන්න මට පුලුවන් වෙයිද කියලා මං දන් නෑ අප්පච්චි.ඇත්තටම අපි කසාදයක් බඳින්න කලින් ඒ මනුස්සයා එක්ක ජීවිතේම එකට ඉන්න පුලුවන්ද කියලා බලන්න ඕන නේද? මම මේඝට හරි ආදරෙයි.එයත් මට ආදරේ බව මට දැනෙනවා.ඒත් ඒ ආදරේ ඉවර වෙන දවසක්,අපිට අපිව නුරුස්සන දවසක් ආවොත් මට පුලුවන් එයාගෙන් අයින් වෙන්න.ඒ අයින් වෙලා හිත රිද්දාගන්නේ නැතුව ජීවත් වෙන්න.අම්මා හිතන්න ඇති එයාට මහේන් අංකල් නැතුව ජීවත් වෙන්න අමාරුයි කියලා.ඒත් අප්පච්චි මම හිතන්නේ අපි කෙනෙකුට ආදරේ නම් එයා එක්ක සතුටින් ඉන්න මාර්ගයක් හොයා ගන්න ඕන.ඒත් ඒ පාරේ බාධක ඕනවටත් වඩා මුණ ගැහෙනවානම්,අපිට අපි නොගැළපෙනවා කියලා හිතනවානම් අපි හිත රිද්දා ගන්නෙ නැතුව අයින් වෙන්න ඕන..”

ආරණ්‍යා පැහැදිලි ස්වරයකින් කතා කරමින් හිඳ ගැඹුරු හුස්මක් ගත්තා ය.මේකලා මායාදුන්න ඇගේ වචන අවියක් කරගත් ගැහැනියකි.ඇය ඒ වචන ලියා තබන්නියකි.ලියා තබා බොහෝ දෑ උපයා ගත් ගැහැනියකි.එහෙත් ආරණ්‍යා වචන අවියක් කරගෙන කතා කරන්නියකි.ඒ ඇගේ අනාගත රැකියාවට ද රුකුලක් වන හැකියාවක් බව සැබෑවකි.නමුත් ඇය ඈ වෙනුවෙන් කතා කරන්නටත් නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටින්නටත් ඉගෙන ගැනීම ම ජාලියට සතුටකි.සැනසීමකි.

“අප්පච්චි.මට මේකට අවසර දෙන්න.මං අප්පච්චිට පොරොන්දු වෙනවා සතුටින් ජීවත් වෙන්න.මගේ සතුට නැති වෙන ඕනෑම මොහොතක මං මේඝගෙන් අයින් වෙන්නම්.”

ජාලිය දියණිය දෙස දෑස් නොපියා බලා හුන්නේ ය.ඒ වචන ඔහුගේ හිතේ බර ඉවත් වන්නට හේතුවකි.

“මට ඔයා ගැන හරි බයක් තිබ්බා පුතේ.ඔයා අම්මා වගේ හුඟාක් සංවේදි වෙයිද,ජීවිතේ අවුල් කරගනීද කියලා මං බය වුණා.ඒත් මට ඒ බය දැන් දැනෙන්නෙම නැති තරම්.”

ආරණ්‍යා ඇගේ දඟකාර සිනාව නඟමින් මොහොතක් කල් ගත්තා ය.අනතුරුව අප්පච්චි තදින් වැළඳ ගත්තා ය.

“ඔයාට එක බබෙක් බලාගන්න තිබ්බම මදැයි අප්පච්චි.අම්මා ඔයාගෙ සදාතනික බබානෙ.මට පුලුවන් මං ගැන බලා ගන්න.මං පැරදෙන්න බයත් නෑ.අඬන්න බයත් නෑ.ඔයයි මල්ලියි අම්මයි ඉන්නකම් ඇයි මං ඒකට බය.”

යහපත් පවුලකට දිය නොහැකි ධෛර්යයක් නැති බව ආරණ්‍යා තරයේ විශ්වාස කරන්නී ය.ඇය ඒ විශ්වාසය අතැතිවම අප්පච්චි වැළඳගෙන මොහොතක් ගෙවූවා ය.එහෙත් පිය දියණි බැඳීමට බාධා කළේ දුරකථනය ය.එය නොනවත්වාම නාද වෙමින් තිබිණ.ඒ මේඝගේ ඇමතුමකි.

“මට ඔයාගෙ සුදු සීයාගෙ වචන ටිකක් මතක් වෙනව.එයා හරිම හොඳ මනුස්සයෙක්නෙ.ඒ වුණාට වෙලාවකට මට ටිකක් තදින් හිටිය කෙනෙක්.එයා අසනීපෙන් ඉන්න කාලෙ මං එයාව හොස්පිටල් එකෙදී බලාගන්නකොට සීයා මට මහා පුදුම කතාවක් කිව්වා.”

ජාලිය එසේ කීවේ දුරකථනය නිහඬ කර මේඝගේ ඇමතුම පිළි නොගත් ආරණ්‍යා වෙනුවෙනි.ආරණ්‍යා සිනාමුසුව අප්පච්චිට ඇහුම්කන් දුන්නා ය.

“එයා කියනව තිසර මල්ලිත් නැති නිසා එයා මට තමන්ගෙම පුතාට වගේ ආදරෙයි.හැබැයි කිසිම හතුරෙක් නොහිටිය එයා වැඩියෙන්ම තරහ ගන්න ඇත්තෙත් මායි මහේනුයි එක්ක කියලා.එයාට අයිති වස්තුවක් පැහැර ගන්න ආව මංකොල්ලකාරයො වගේ එයාට අපිව පෙනුණලු.සාර්ථක වුණු මංකොල්ලකාරයා මමනෙ.ඉතින් මට ආදරේ තරමටම ඉරිසියයිලු.ඒ වචන ටිකේ ඇත්ත මට තේරුණේ මේ වෙලාවෙ.”

ආරණ්‍යා හඬ නඟා හිනැහී අප්පච්චි වැලඳ ගත්තේ ය.ඔහුගේ ළය මත හිස තබා ගත් ඇයට ඒ හදවත ඇය වෙනුවෙන් ගැහෙන අන්දම අසන්නට හැකි විණ.පිය දියණියන්ට එසේ බොහෝ වෙලාවක් හිඳින්නට නොහැකි විණ.සඳරැස් කාමරයට කඩා වැදුණේ අනවසරයෙනි .ඔහුගේ මුහුණ අන්ධකාරයකින් වැසී තිබිණ.

අවසන් කොටස හෙට බලාපොරොත්තු වෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here