අම්මා, පුංචී හා නදීරා විසල් ගේ ගෙදර තත්වය ගැන තව නොයෙක් දේ කතා කළහ. එ් සියල්ල මට ඇහුණේ සිහිනයකින් සේ ය. එතැනින් නැගිට ඒ කිසිත් නෑසෙන තැනකට යාමේ උවමනාවක් ගැන යටි හිත කෑ ගසා කියමින් තිබිණ. අවසන මම ඒ හඬට කන් දුනිමි.
කාමරයට ගිය මම අතට හසු වූ ඇඳුමක් දමා ගෙන බෑග් එක පිටේ එල්ලා ගතිමි. යළි පහළ මහළට ඇවිද එත්දී,
“රෑ වේගෙනයි එන්නෙ කිසා”
කියා අම්මා කීවා ය. මම හිස හෝ නො සලා පිටතට ආවෙමි.
අම්මා මට යමක් සිහිපත් කොට දෙන ක්‍රමය එයයි. තාත්තා ඉන්න කාලයේ දී සියල්ල සඳහා අප ඔහු ගෙන් අවසර ගත යුතු ව තිබිණ. තාත්තා අකාලයේ මිය යාමේ වේදනාවට යටින්, නිදහස ලැබීම පිළිබඳ සැනසිලිදායක බවක්, අඳුරු වළාවක් පිටුපස වන රිදී රේඛාවක් සේ දිස් විය. අම්මා හිර බත් කා පුරුදු තැනැත්තියක වූවා ය. එනිසා දෝ ඇය මා හිර කරනු වෙනුවට හැකි තාක් මා පතන නිදහස ලබා දෙන්නට සිතුවා ය. මා වැරදි පාරක නො යනු ඇතැයි නිතර ම විශ්වාස කරන්නට කැමති වූවා ය. මට අවවාද කළේ අවශ්‍ය ම වෙලාවක පරිස්සමෙනි. හිරු එළිය සහ මව් කිරි, ලෝකයේ සියල්ල බිහි කරන්නේ ය!
මා පාර දිග ඇවිද ගියේ අරමුණකින් තොර ව ඉබාගාතේ සරණා විහඟක සේ ය. පපුවේ මහ බරක් විය. විහඟක නම් එවන් බරක් දරා ගෙන පියාසල නොහී බිම පතිත ව පපුව දැදිරි ව මිය යා යුතු ය! නමුත් මම ඇවිද ගියෙමි. සිතිවිලි මුළුමනින් පැටලී අවුල් ව තිබුණේ ය. ඒ අතරින් එක් එක් සිතිවිල්ල ගෙන නිවැරදි ව ඒ ගැන සිතන්නට මා තැත් කළාද කියා දන්නේ නැත. මට එක එක ඒවා කල්පනා විය. එසැනෙන් ඒවා අමතක ව ද ගියේ ය. නමුත් විසල් ගේ මුහුණ සියලු සිතිවිලි වලට පෙර ද පසු ද හිතේ පැහැදිලි ලෙස දිස් වෙමින් තිබිණි.
අහස තැඹිලි පාට ට මට පෙනිණ. වෙනදා නම් නතර වී චමත්කාරයට පත් ව බලා සිටිනා කිසිත් මට අද විශ්මිත නැත. චමත්කාර නැත. මුළු ආත්මය ම එක ම තුවාලයක් සේ දැනේ. තුවාල වූ හිතකට වේදනාව මිසක් ලස්සන විඳ ගත නො හැකි ය. මම තව දුරටත් ඉදිරියට ඇවිද යමින් සිටියෙමි.
මම මා තුළට ම නැඹුරු වූ යුවතියක බව ඔබට මීට පෙර ද කියන්නට ඇත කියා සිතමි. ලෝකය දෙසට විවර වූ කෙනෙකුට වඩා තමන් තුළට ම නැඹුරු වූ කෙනෙකුට ජීවිතය පහසු ය කියා කෙනෙකු සිතන්නට පුළුවන. නැත. ඔවුන් ට ජීවිතය වඩාත් අසීරු ය. දුෂ්කර ය. සාමාන්‍ය මිනිසුන් ජීවිත් වීමේදී සාමාන්‍යයෙන් නො සිතනා කාරණා ගැන ද ඔවුන් ගැඹුරෙන් සිතන්නට ගන්නා නිසාවෙනි.
මම ද කුඩා කල පටන් අනවශ්‍ය ගැඹුරකට කිමිදෙමින් මගේ ජීවිතය සෙව්වෙමි. සොයා ගත්තා ද නැතිද කියා හෝ ඇතැම් විට මා දන්නේ නැත. බාලිකාවක ව සිටියදී පිරිමි රුවක් අස නලියනා සම වයස් මිතුරියන් සේ මට කැළඹෙන්නට කාරණා වූයේ නැත. කට කැතයි, නහය කැතයි, ඇස් කැතයි, බැල්ම කැතයි යනාදි වශයෙන් නොයෙක් ‘කැත’ ගැන ගැන කියා මම ඔවුන් නො තකා හැරියෙමි. නමුත් ඒ ‘කැත’ යන අකුරු දෙකේ වචනයෙන් මා අදහස් කළේ මගේ වයසේ අනිත් බාලිකාවන් අදහස් කළ අරුත නොවේ ය කියා කිසි සේත් ඔවුන් දැන සිටියේ නැත.
බොහෝ පිරිමි ඇස් මගහැර විත් මම විසල් කෙරේ පෙමින් ආතුර වීමි. එය වූ කලී උමතුවකි.
“ඔහොම ගියොත් මෙයාට කොල්ලො මාරු කර තමයි හැමදාම ඉන්න වෙන්නෙ. එක කොල්ලෙක්ගෙවත් කැත නැති තැනක් නෑ. නස්රුදීන් ට වෙච්ච දේ නොවුණොත් තමයි පුදුම වෙන්න ඕනෙ”
මිතුරියන් මට අභියෝග කළා මතක ය. නස්රුදීන් සර්ව සම්පූර්ණ ගැහැනියක සොයමින් සිටියේ ය. කාලාන්තරයකට පසු ඔහු ට ඇය හමු විය. ඉතින් සියල් අර්බුධ එතෙකින් සමාප්ත විණැයි ඔබ සිතන්නෙහි ද? නැත. ඇය ද සොයමින් සිටියේ සර්ව සම්පූර්ණ මිනිසෙකි!
කවුරුත් නො දන්නා කාරණය නම් මා සර්ව සම්පූර්ණ පිරිමියෙකු නො සෙවූ බවයි. මා බලා සිටියේ සර්ව සම්පූණයෙන් මට දැනෙනා පිරිමියෙකු වෙනුවෙනි. මගේ සිරුරේ ඇට මස් ලේ විනිවිද යා හැකි, ස්නායු තන්තු සංවේදනයට පත් කළ හැකි, එක බැල්මකින් මා තිගස්සවිය හැකි මිනිසෙකි. එහෙම මිනිසෙකු එක්කෝ තව ම ඉපදී නැතිවා හෝ දැනටමත් මිය ගොස් ඇතිවා විය හැක. නමුත් මම ඒ ගැන කම්පා නොවුණෙමි.
පොත් කියවන ලියන ගැහැනුන් භයානක යයි කොහේ හෝ තිබී මම කියැවීමි. ඒ වෙලාවේ මගේ දෙතොල් අතරට සිනහවක් එන්නට කාරණා මේ දැන් වුව මට වැටහෙන්නේ නැත. කෙසේ වෙතත් ඔවුන් ට ඇත්තේ සිතක් මිස ගතක් නොවේ යයි දැන් මට සිතේ. සියල්ල වන්නේ ඔවුන් ගේ සිත් වල ය. ඇතැම් විට ඒ කිසිත් ප්‍රායෝගික නොවන්නට පුළුවන. භයානක ඒ නිසා වන්නට ද පුළුවන.
ලියනා මිනිසුන් අකුරු අස්සේ දවටනා දේවල් පවතින්නේ, ඉපැරණි නිධාන වන් ඔවුන් ගේ හදවත් ඇතුළේ ය. ඒවා සංසාරයක් තරම් පැරණි ඒවා ය. ආත්ම ගණනක් තිස්සේ නිදන් ගත වූ ඒවා ය. නමුත් ඒවා ප්‍රායෝගික ජීවිතයෙහි සොයන්නට යාම විහිළුවකි. එසේ සොයන්නට යන්නා සිය ජීවිතය තුළ අසාර්ථකත්වයට පත් වේ.
දැන් මට සිදු වී තිබෙනා දේ ගැන අමාරුවෙන් පැහැදිලි කර ගෙන මා පැමිණි නිගමනය එසේ ය. ගුප්ත ආත්මයක් සේ තැන තැන සැරිසැරූ මම විසල් ව සොයා ගතිමි. මගේ මනෝ ලෝකය තුළ ජීවත් කළ, මා තැන් තැන් වලින් ඇහිඳ විවිධ කොටස් එකට පාහා තනා ගෙන සිටි මනඃකල්පිත පිරිමියා සතු, ගැහැනියක ගේ පපුව පසාරු කළ හැකි ඇස් දෙක ඔහු ට තිබුණේ ය. ගැහැනියක සත පහකට ගණන් නො ගන්නා බව හඟවන අහංකාරය ඔහු ට තිබුණේ ය. අඩු තරමින් මට ආතුර විය හැකි ප්‍රේමයක් මම ඔහු වටා ආරෝපණය කර ගතිමි. නමුත් ඔහු වෙනත් ස්ත්‍රියක වෙනුවෙන් ඒ වන විටත් වෙන් කරනු ලැබ තිබිණ. ඛේදවාදකය ඇරඹෙන්නේ එතැනිනි.
සාමාන්‍ය ගැහැනියක නම් මෙවන් තැනක හිත රැඳුණත් වහා නැගිට නික්ම යනු ඇත. ප්‍රේමය වෙනුවෙන් පැටලිල්ලක් ඇති කර ගැනීමේ අනුවණ කම ඔවුහු සහජයෙන් දනිති. පරම්පරා ගණනක් තිස්සේ ඒ ඔවුන් පුහුණු කොට ඇති දෙයකි. ඔවුන් ට අනුව ඕනෑ ම පිරිමියෙකු යනු පිරිමියෙකි. කා සමගින් විවා පත් වුව අවසානයේ සිදු වන්නේ එක දෙයකි. දරුවන් හදමින් ගෙදර බලා කියා ගනිමින් සැමියා ගේ නොපනත් කම් ඉවසා දරා ගෙන මාතෘ ජීවිතයක් ගෙවීම ය. එසේ කොට මිය යාම ය. ඒ නිසා අනවශ්‍ය කරදර වල පැටලෙන්නට ඒ ගැහැනුන් ඉදිරිපත් වන්නේ නැත. අනුන් ගේ දේවල් වලට අත තැබීම පාපයක් සේ ඒ ශුද්ධවන්ත ගැහැනු සලකති.
භයානක ගැහැනිය වෙනස් වන්නේ එතැනින් ය කියා මම සිතමි. භයානක ගැහැනිය ඒ කිසිදු සීමා මායිමක් සලකන්නේ නැත. සම්ප්‍රදාය තුළ මිය යාමට වඩා අරගලයක් කොට සිය සිහිනයට වැද මිය යාම ට ඒ ගැහැනුන් ලොබ වෙති.
මම ද ඒ අරගලය කළෙමි. නමුත් වෙනත් ගැහැනියක මගේ අරගලය ඉදිරියේ හරස් වී ඔහු ට අභියෝග කරයි. ඒ විසල් ගේ මව් ය. මට දැනෙනා මේ පරාජිත බවට හේතුව ඒක ය. මට දැනෙනා මේ අසරණ කමට හේතුව ඒක ය.
ඇස් දෙකෙන් ගිලිහී යන කඳුළු දෙකොපුල් මුළුමනින් තෙතබරිත කොට ඇති බව මට දැනුණේ දැන් ය. මම හඬමින් සිටිමි. දුකටත් කේන්තියටත් ආත්ම අසරණ කමටත් ගැහැනුන් සතු වන එක ම අවිය හා සවිය කඳුළු ය. මම කෑ ගසා හඬන්නට ගත්තෙමි. පාරේ පදික වේදිකා පඩියක හිඳ ගෙන මම ඉකිලමින් හඬන්නට ගතිමි.
අවට වූ අය උදව්වක් අවශ්‍ය දැයි විමසා සිටියහ. මම ප්‍රතික්ශේප කළෙමි. කෙනෙකු කඳුළු සලන්නේ උදව් ඕනෑ වූ විට නොව හිත සවිමත් කර ගන්නට ඕනෑ වූ විට ය කියා තවමත් අපි නො හඳුනන්නෙමු. ලංකාව වගේ රටක මිනිස්සු අනෙකා ට තනිව හඬන්නට හෝ ඉඩ නොදෙති.
දෙදණහිසෙහි මුහුණ හොවා බොහෝ වෙලා හඬා වැටීමෙන් පසු මම ආපසු ගෙදර එමින් සිටියෙමි. නමුත් කඳුළු මුළුමනින් වියැකී ගොස් තිබුණේ නැත. මම බලයෙන් හඬන්නට හෝ බලයෙන් නො හඬා ඉන්නට උත්සාහ නොකොට විය යුතු ලෙස වෙන්නට හැරියෙමි.
“මං යාළුවෙක් එක්ක කාලයි ආවෙ”
කෑම මේසයට කෑම තබා තිබෙනු දුටු නිසා මම කල් ඇතිව ම කීවෙමි. මා විරංග හමු වන්නට ඇතැයි කවුරුත් සිතා ගන්නට ඇත. නමුත් මා එවැනි බොරුවක් කීවේ කෑම මේසයට හිඳ ගන්නට හෝ කාටවත් මුහුණ දී සිටින්නට මා තුළ වූ පසුබෑම නිසා ය.
කාමරයට රිංගා දොරගුළු ලා ගැනීමෙන් පසු සුරක්ෂිත බවක් මට දැනිණි. වීදුරු ජනේලයට මෙපිට සිට මම විසල් ගේ කුටිය දෙස බලා සිටියෙමි. හදවත හෑරී පෑරී යන වේදනාව යළිත් මට දැනෙන්නට ගත්තේ ය.
විසල් දැන් සිටින්නේ දෙලොවක් අතරේ ය. ඉෂිනි ව ප්‍රතික්ෂේප කළ හැකි වී ද ඔහු ට අම්මා ප්‍රතික්ෂේප කළ නො හැකි ය. ඇය තර්ජනය කොට සිටින්නී ය. ඇය ට කීකරු නොවුව හොත් වස පාණය කොට දිවියෙන් සමු ගන්නා බවට තර්ජනය කොට සිටින්නී ය. හිතුවක්කාර වන්නට පුත්‍රයාට පුළුවන. නමුත් මව මරා ගත් පුතෙකු ලෙස ඉන් පසු ඔහු ට සැනසීමක් වන්නේ ද? අම්මා මරා ගෙන මා තෝරා ගත්තත් ඔහු ට ඉනික්බිති සතුටෙන් ජීවත් විය හැකි වනු ඇත් ද? මා දකින දකින වාරයක් පාසා ඔහු ට මිය ගිය මව් සිහි වනු නොමැති ද? ඒ හැම වතාවක ම ඔහු ගේ අම්මා මැරුණේ මා නිසා යයි ඔහු ට නො සිතෙනු ඇත්ද? එතැන් හි දී ප්‍රේමය ක්ෂය වී කළකිරීමක් හෝ හිස් කමක් එතැනට ආදේශ වනු නැති ද? අන්න ඒ අවස්ථාවේ සිට ඔහු සමගින් පැතූ ප්‍රේමණීය දිවිය තව දුරටත් මා ඉදිරියෙහි පවතී යයි පිළිගන්නට කොහෙත්ම මට නුපුළුවන. ඉනික්බිති අපි අප ව නුරුස්නා, අප ව වදයක් වූ, අප ව පේන්නට බැරි මානසික තත්වයක් මත උනුන් ප්‍රතික්ෂේප කරනු නැති ද?
ඒ සංකීරණ සිතිවිලි මා ආතතියට පත් කොට තිබිණි. නමුත් මම පොත් කියවනා, සිතිවිලි කුරුටු ගානා භයානක ගැහැනිය වශයෙන් සාමාන්‍ය ගැහැනු ළමයෙකු ලෙස ඔහු අත් පත් කර ගැනීමේ පටු සිතිවිල්ලෙහි පිහිටන්නට අපොහොසත් වීමි.
මේ වගේ අවස්ථාවක අප දැන හෝ නො දැන, සිතා හෝ නො සිතා, ඉච්ඡානුග ව හෝ අනිච්ඡානුග ව අපෙන් ම පළි ගන්නට සිතමු. එසේ පළි දැරිය හැකි මාවත් දෙකකි. එකක් සනෝජා පුංචී කළ සේ විවාහය මුළුමනින් ප්‍රතික්ෂේප කොට තමන් ගෙන් පළි දැරීම ය. දෙවැන්න ප්‍රේමණීය හැඟීමක් කියා දෙයක් අංශුවකිනුදු නො දැනෙණ මිනිසෙකු හා විවාහ වී තමන් ගෙන් පළි දැරීම ය. මා ඇවිද ආ මාවත ඉදිරියේ දී දෙපසට බෙදී විහිද ගොස් තිබුණේ ඔයාකාරයෙනි. මා එක මගක් තෝරා ගත යුතු ය. නමුත් ඒ තෝරා ගැනීම ගැන මේ මොහොතේ මට කිසිදු අදහසක් නොමැත්තේ ය.
විසල් මට කතා කළේ නැත. එවැන්නකට හෝ හිත හදා ගන්නට ඔහු ට බැරි වෙන්නට ඇත. සියලු ප්‍රශ්න වලට වැරදි කරුවා මා ලෙස ඔහු ට දැනුණා නම් මම ඒ ගැන පුදුම නොවෙමි. ලෝකය කැරකෙන සාමාන්‍ය ආකාරය වෙනස් කරන්නට හදනා අප වාගේ ගැහැනුන් නිසා ඇති වන්නේ ම වියවුල් ය.
ගෙදර අයට වෙනසක් නො දැනෙනු වස් මම කාමරයට වැදී ගෙන පොතකට මූණ ඔබා ගෙන සිටියෙමි. පොතක් ඇතුළේ ජීවත් වන්නට ගත් කල මට මා අවට ජීවිතය අමතක වී යන බව ඔවුහු දනිති. නමුත් පොතත් එක්ක මේ වතාවේ නම් මා කිසිදු ගනු දෙනුවක් නොකළ බව ඉඳුරා පැහැදිලි ය. පලිහක් ලෙස පමණක් මා ඉදිරියෙහි පොත තබා ගෙන සිටියා පමණකි.
දවස් හතරකට පස්සේ හැන්දෑවක විසල් ආවේ ය. ඔහු ආ බව දැනුණ ගමන් පුංචී මගේ කාමරයට දිවැවිත් සඳැල්ලෙන් ඔහු ට කතා කළා ය.
“ඉෂිනි නදීරාට කියල තිබුණා කරදර ගොඩක් වුණා කියල. අපි විසල් ට කෝල් කළේ නැතුව හිටියෙ ඒකත් කරදරයක් වෙයි කියලයි”
දෙදණහිස අතරෙහි මුහුණ ඔබා හැඬීමේ උවමනාවක් මේ මොහොතේත් මට දැනිණ.
“පිස්සු හැදිල අක්ක මං හිටියෙ. තේරෙන්නෑ අප්ප”
මට ඔහු ගේ හිස මගේ ළයෙහි හොවා සනසන්නට ඕනෑ විණි. තදින් ඔහු ව වැළඳ සැනසෙන්නට ඕනෑ විය. නමුත් මගේ ප්‍රායෝගික නොවන සිතිවිලි දැනටමත් කොට ඇති ව්‍යසනය ප්‍රමාණවත් ය.
“විසල් එන්නකො. කෑම කාලද ඉන්නෙ…”
“කාල ආවෙ”
“එහෙනං මං තේ ලෑස්ති කරන්නං. මහන්සිත් ඇතිනෙ. අපි තේ බොන ගමන් කතා කරමු”
පුංචී ඉක්මන් අඩි තබා කාමරයෙන් නික්ම ගියා ය. බිත්තියෙහි කකුල් දෙක තබා ගෙන යහනේ පෙරළී පපුව මත්තෙහි වන පොතින් සංසාරයක බර දරා උන් මම, පොත පපුව මත්තේ ම අත්හැර ඇස් දෙක තද කොට පියා ගතිමි.