මේ දවස්‌වල රෙදි මෝල වත්තේ “අනා” හරි ජනප්‍රියයි. චණ්ඩියෙක්ට මේ තරම් ආදරයක් කොහෙන්ද..? අපි ඒ ගැන “අනා” ගෙන්ම අහලා බලමු…
යෂ්,කොහොමද ජීවිතේ..?
ආසාවෙන්, ආදරයෙන් හිටපු රට පාලකයන්ගේ ක්‍රියාවන් නිසා අර්බුදකාරී තත්වයකට පත් වෙලා තියෙනවා. එහෙව් රටක අසරණ වුණු බහුතර මිනිසුන් කොටසක් අතරේ මාත් ඉන්නවා. ඉතින් එහෙව් පාලකයන් ඉන්න රටේ පුදුමාකාර අමාරුවෙන් කොහොම හරි ජීවත් වෙනවා.
අනා හෙවත් අනර්ඝ දැන් හරි ජනප්‍රියයි?
අම්මෝ ඔව්. අනර්ඝ කියන්නේ මගේ ජීවිතේ වෙනසක් ඇති කරපු චරිතයක්. මාව බොහෝ ප්‍රේක්ෂක පිරිසක් අනර්ඝ තුලින් එකතු වුණා. ඒ වෙනුවෙන් “කියා දෙන්න ආදරේ තරම් “ටෙලි නාට්‍යයේ තිරපිටපත් රචක මහේෂ් රත්සර මද්දුම ආරච්චි අයියාට සහ එහි අධ්‍යක්ෂ ධනුෂ්ක රත්නායක අයියා ඇතුළු නාට්‍යයේ හැම කෙනෙකුටම ස්තූති කරන්න ඕනේ. ඒ හැම දෙනෙක්ගේම එකතුවෙන් තමයි අනර්ඝ බිහි වුණේ. ඒ බිහි වුණු අනර්ඝට මිනිසුන් ආදරේ කරන්න පටන් ගත්තා.
යෂ්…මේ පුංචි කාලේ දැකපු හීනය හැබෑ වීමක්ද..? ඔයා නළුවෙක් වෙන්න ආස කලාද..?
ඔව්. ඒ ආසාව පුංචි කාලේ ඉදන් මගේ හිතේ තිබුණා.පවුල් පසුබිමත් එක්ක ඒ ආසාව මගේ හිතට ආවා. අපේ ලොකු අම්මට (ගීතා කාන්ති ජයකොඩි )අක්කට (පබෝධා සංදීපනී)අයියට (බිමල් ජයකොඩි )මිනිස්සු ආදරය කරනවා දකිද්දී මටත් ඒ ආදරය ලැබුණා නම් මරු කියන හැඟීම මගේ හිතේ තිබුණා. ඒ ආසාව මගේ ඇඟේ පොඩි කාලේ ඉඳන්ම තිබුණා. මට තාම මතකයි ඉස්සර ලොකු අම්මා ඉස්සරහ ටිවී එකෙන් මම දැකපු කොටස් රඟපාලා පෙන්නුවා. සිංදු කියලා පෙන්නුවා. ඒක අදටත් අපි ලඟ තියෙනවා. අපි ඔක්කොමටම සිංදු කියන්න, වාද්‍ය භාණ්ඩ වාදනය කරන්න පුලුවන්. ඉතින් අදටත් අපි එකතු වුණාම සිංදු කියලා විනෝද වෙනවා.
යෂ් පුංචි කාලේ මොන වගේ චරිතයක්ද?
පොඩි කාලෙත් අද වගේ වෙනසක් නෑ. මේ වගේම තමයි. එක තැන වැඩි වේලාවක් ඉන්න බැරි ගතියක් තිබුණා. ලොකුවට දඟ නැතත් දඟ වැඩත් කලා. මම මුලින්ම කුමාරතුංග මුනිදාස විද්‍යාලයේ ඉගෙන ගත්තේ. ඊලඟට බෝමිරිය මධ්‍ය මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. පාසලේදීත් මම දඟයි. හැබැයි පොඩි කාලේ ඉඳන්ම පාසැලේදී නායකත්වය ලැබුණා. පන්තියේ නායකයා, පාසැල් ශිෂ්‍ය නායකයා වගේ වගකීම් එකතු වෙද්දී ඒ දඟ චරිතය මම පොඩ්ඩක් පාලනය කර ගත්තා.
පුංචි කාලේ ඉඳන්ම දැකපු හීනය හැබෑ වුණේ කොහොමද..? ඒ හැරවුම යෂ් දකින්නේ කොහොමද..?
2015 අවුරුද්දේ හඬකැවීම් ශිල්පියෙක් විදිහට මගේ ලොකු අම්මා මාව ජාතික රූපවාහිනියට එක්කරගෙන ගියා. මුලින්ම හඬ පරීක්ෂණයක් තිබුණා. ඒකෙන් මම සමත් වුණා. එතනින් කට්ටියව දැන හඳුනාගෙන තමයි මම රංඟන ජීවිතයට අවතීර්ණ වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ නිසා මගේ කලා ජීවිතේ මුල්ම හැරවුම සනිටුහන් කලේ මගේ ලොකු අම්මයි.
අද යෂ් හඬ කැවීම් ශිල්පියෙක් වගේම රංඟන ශිල්පියෙක්. මේ ක්ෂේත්‍ර දෙකෙන්ම යෂ් වැඩිපුරම කැමති ක්‍ෂේත්‍රය මොකක්ද..?
මට එහෙම එක ක්ෂේත්‍රයක් තෝරා ගන්න අමාරුයි. මම මේ ක්ෂේත්‍රයට ආවේ හඬ කැවීම් ශිල්පියෙක් විදිහටයි. අද රංගන ශිල්පියෙකුත් වෙලා තියෙනවා. ඒ ක්ෂේත්‍රය දෙකටම අදටත් මම එක වගේම ආදරෙයි.
හිතනා විදිහට මැර අනර්ඝට මිනිස්සු මේ තරම් ආදරය කරන්නේ ඇයි..?
අනර්ඝ චණ්ඩියෙක්. හැබැයි මිනිහා හිත හොඳ චණ්ඩියෙක්. චණ්ඩියා වුණත් ඒක ඇතුලේ සාධාරණත්වයක් තියෙනවා. ඒ වගේම අනර්ඝ අම්මාට සහ ගෙදර අයට දක්වන ආදරය මේ රටේ මිනිස්සුන්ට දැනෙනවා. ඒ නිසා චණ්ඩියාට තියෙන අකමැත්ත යට ගිහින් ආදරණිය පුතෙක්ට, සහෝදරයෙක්ට, මාමාට තියෙන ආදරය වැඩිවෙලා තියෙනවා. ගෙදර අයට දක්වන ආදරය බැඳීම නිසා අනර්ඝ මිනිස්සු අතරට ගියා.
“කියා දෙන්න ආදරේ තරම් ” youtube එක හරහා නරඹන අයගේ අදහස් යෂ් කියවනවද..?
ඔව්. හැමදාම youtube එකෙන් විකාශනය වන හැම කොටසක්ම මම බලනවා. ඒ හැම අදහසක්ම මම කියවනවා. ඒ හැම අදහසක්ම හරි ආදරණීයයි. ඔවුන් ආදරය කරන විදිහට මම හිස නමා ආචාර කරනවා. අපේ මුහුණේ වෙනස් වන එක සියුම් තැන් පවා ඔවුන් හඳුනනවා. ඔවුන්ගේ ඒ ආදරය මුදල් වලට වඩා වටිනවා.
යෂ්…ප්‍රථම ප්‍රේමයත් අමතක කරන්න බැහැ. එහෙම නේද..?
ඔව්. ඒක පාසැල් ප්‍රේමයක්. මම මුලින්ම ගැහැණු ලමයි දෙන්නෙක් ගෙන් විතර ඇහුවා. ඒත් ඒ අය මට කැමති වුණේ නැහැ. ඊට පස්සේ අහපු කෙනා එක්ක යාලු වුණා. එතකොට මම නවය වසරේ. ඒක දහය වසර මැද වනතුරු තිබුණා. ඒ ආදරයත් හරි අපූරුයි. මට ලියුම් ලියන්න තේරෙන්නේ නැහැ. ඒ ලමයා මට ලියුම් දෙකක් විතර දුන්නා. තුන්වෙනි ලියුමේදී එයාගේ තාත්තාට අහුවුණා. ඉතින් කුළුදුල් ප්‍රේම කතාව නතර කලා. ඒ කාලේ හරි ෂෝක්. එයා ඉස්සරහිදී මම චණ්ඩියෙක්. පහුකාලෙදී හිතට දැණුණ ආදර කතා දෙකක් තිබුණා. අදටත් ඒ අය මාත් එක්ක කතා කරනවා. ඒ අය හොඳින් ජීවත් වෙනවා.
“කියා දෙන්න ආදරේ තරම් ” ටෙලි නාට්‍යයේ දිගැසිට රඟපාන සචින්තනී සැබෑ ජීවිතේ යෂ් ගේ පෙම්වතිය කියලයි ආරංචිය..?
නැහැ. සචින්තනී කියන්නේ මට හොඳ යාලුවෙක්. නාට්‍යයේ ප්‍රචාරණ වැඩසටහන් කිහිපයකට අපි දෙන්නා එකට සහභාගි වුණා. සචින්තනි දක්ෂ, උගත් කෙනෙක්. ඇය තුල හොඳ ගතිගුණ තියෙනවා. අපි තවම හොඳ යාලුවන්.
අද ඉන්න තැන ගැන ආපස්සට හැරිලා බලද්දී අද යෂ්ට මොකද හිතෙන්නේ..?
ගොඩක් සතුටක් දැනෙනවා. මම සෑහෙන කට්ටක් කාලා ආපු කෙනෙක්. ඒක දන්න අය දන්නවා. සෑහෙන දුකක් වින්දා. මාව ප්‍රතික්ෂේප වුණු තැන් තිබුණා. මට ලැබෙන්නම තිබුණු අවස්ථා මගේ ඇස් ඉදිරියේදීම නැති වෙලා ගියපු අවස්ථා තිබුණා. එදා වගේම අදටත් ගැරහුම් කියන දේ සෑහෙන වැඩියි. ඒ ඇයි කියලා මම දන්නේ නැහැ. මම කා එක්කවත් තරහ නැහැ. මට ලැබුණු චරිතවලට උපරිමයෙන්ම ඒ මහන්සිය ලබලා දෙනවා. හැබැයි මම කවදාවත් චරිත ඉල්ලගෙන අධ්‍යක්ෂකවරුන් පස්සේ ගිහින් නැහැ. මට වැඩක් තිබුණොත් මම කරනවා. නැත්නම් නිකං ඉන්නවා. ඒ ගැරහුම් මැද්දේ ආපු ගමන ගැන මට අද සතුටුයි.
මෙහෙම හිත රිදෙද්දී මේ ක්ෂේත්‍රය දාලා යන්න හිතුනේ නැද්ද..?
හිතුණ තැන්, අවස්ථා ගොඩාක් තිබුණා. හැබැයි මට හොඳ යාලුවෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම ධනුෂ්ක රත්නායක අයියාවත් ආදරෙන් මතක් කරන්න ඕන. 2016 අවුරුද්දේ තමයි ධනුෂ්ක අයියව මට මුලින්ම මුණ ගැසුණේ. එදා සිට මගේ ජීවිතේ හැමදේකදීම මගේ පිටිපස්සෙන් හිටියේ ඔහුයි. අයියා මගේ හිත සෑහෙන්න හැඳුවා. මම අතහරින්න හදපු ගොඩාක් අවස්ථා වලදී “උඹේ වෙලාව තවම ආවේ නැහැ. උඹ දවසක පත්තු වෙනවා. පොඩ්ඩක් ඉවසලා ඉදපං මල්ලී සැලෙන්න එපා. “කියලා කිව්වා. ඒ හැම වචනයක්ම මාව හයියක් කලා.