ශරදාකාසේ – 01

ශරදාකාසයට සඳ නැගී ආවේ ය. පොල් අත්තට මත්තෙන් රත් පැහැ විසල් සඳ අහසට එන හැටි නිශාමනී බලා සිටියා ය. නිශාමනී වූ කලී සඳට කියනා පර්යාය පදයක් බව ඇය දැන ගත්තේ සාමාන්‍ය පෙළ පන්ති වලදී ය. 

සමහර දේවල් පෑහෙන්නේත් හමු වන්නේත් හරි පුදුම විදිහට ය. උසස් පෙල අවසන් කොට පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයකින් ව්‍යාපාර කලමණාකරණ උපාධියක් හදාරමින් සිටි නිශාමනී  ඇගේ පෙම්වතා ලෙස තෝරා ගන්නේ ශාරද ව ය. ශාරද කියන්නේ ශරත් ඍතුවට පර්යාය පදයක් බව ඇය දැන ගන්නේ ඔවුන් ගේ පොරොන්දම් ගලපන්නට යන ජ්‍යෝතිර්වේදියා වෙතිනි.

“ශරද සඳ…නැත්තං සරත් සඳ කියන්නෙ ඉතාම පැහැදිලි අහසක පායන සඳක්. සරත් කාලෙ අහස ඒ තරං පැහැදිලියි. දෙන්න රන් රස සේ පෑහිල ඉඳියි”

ඒ වචන ටික නිශාමනී තුළ ජනිත කළා වූ ප්‍රහර්ශය තවමත් තුනී වී නැත්තේ ය. නමුත් දැන් දැන් ශාරද ගේ ඇතැම් පැවතුම් සරද අහස තරම් පැහැදිලි නැති බවක් ඇය ට දැනේ.

දකුණු අතෙහි වේදනාවක් නිශාමනී ට දැනිණ. පන්සල් යන්නට ඕනේ යයි කියමින් කන් කෙඳිරි ගගා උන් සිඟිති දියණිය ඇගේ දෑත් මත ම නින්දට වැටී සිටියා ය. සුසුමකින් පපුව පුරවා ගන්නා ගමන් ඕ දියණිය ගේ මුහුණ දෙස හොඳින් බැලුවා ය. සිනහවකට ද හැඬුමකට ද සූදානම් බවක් ඒ සිඟිති තොල් කොනක සනිටුහන් ව තියේ. ඇගේ ළපටි කියඹු සහිත නළල් තලාවෙහි ද උඩු තොලට මත්තෙහි ද දහදිය බිඳු කිහිපයක් නැංවී ඇත. ඇස් කෙවෙනි ළඟ වියළී ගිය කඳුළු පාරකි. 

“තාත්ති එයි පන්සල් යන්න”

ඇය අපැහැදිලි ලෙස නින්දෙන් කියවූවා ය. යළිත් සුසුමක් හෙළමින් නිශාමනී සිඟිත්තිය ගේ කොපුලක් තදින් සිප ගත්තා ය. ඇය ට කඳුළු සුවඳ දැනිණ.

“පව් කෙල්ල”

ඇය ඉසිහින් ව මිමිණුවේ මව්වත් හද කකියත්දී ය.

“ශාරදට ඔච්චර කිව්ව යනකොට. පෝය නිසා ඉක්මනට එන්න කියල. ඒ මදිවට ෆෝන් එකත් ඕෆ් කරගෙන මොනව කරනවද මන්දා”

එවර ඇය තනිව දෙඩුවේ මඳ නො රිස්සුම් ස්වරයකිනි. අද කාර්යාලයේ වැඩ නැත. ශාරද උදේ ගියේ ‘යාළුවෙක් හම්බ වෙන්න තියෙනව’ යි කියා ගෙන ය. ඒ යාළුවා කවුදැයි නිශාමනී අහන්නට ගියේ නැත. ශාරද කීවේත් නැත. 

දැරිය යහන මතින් තබන්නට ගෙන යනු වස් අතට ගෙන නැගිටින්නට හදත්දී ම ආකාස ගේ රිය පැමිණ  රථ ගාලෙහි නැවතිණ. නිශාමනී තත්පරයක් කල් ගන්නට හිතුවා ය. ගෙතුළට ඉක්මන් ගමනින් එමින් සිටි ආකාස, නිශාමනී දැක ගමන් වේගය මඳකින් බාල කළේ ය.

“අයිය කතා කළේ නැද්ද මල්ලි…”

ඇය ඇසුවේ බලාපොරොත්තු සහගත කට හඬකිනි. පිළිතුරක් දෙනු වෙනුවට කල්පනා කරමින් ආකාස නිශාමනී හා ඈ තුරුලේ නිදන එසඳි දෙස බැලුවේ ය. නිශාමනී ගේ ප්‍රශ්නය ට කෙබඳු පිළිතුරක් දුන්නොත් ඇගේ හිත වැඩිපුර හැදේ දැයි හිතන්නට ඔහු ට ඕනෑ වූයේ ය. ඇගේ ඇස් මත වූයේ එතරම් ම සංවේගයකි.

“පන්සල් යන්න ඕන කියල අඬ අඬ ඉඳල එසඳිට එහෙම්ම නින්ද ගියා. ෆෝන් එක කන්ටැක් කර ගන්නත් බෑනෙ”

ඇගේ ස්වරයේ වේදනාත්මක කේන්තියක් වන බව ආකාස ට නො දැනුණා නොවේ. ආකාස මලවිආරච්චි යනු ශාරද මලවිආරච්චි ගේ වසරක් බාල සොයුරා ය. මේ මහ ගෙදර, සොයුරා ගේ විවාහයෙන් පසුවත් ඔහු ජීවත් වූයේ යන්නට කියා වෙන තැනක් නොවූ බැවිනි. ගියත්, ඉන්නට වෙන්නේ තනිව ය. අම්මා මිය ගොස් පස් මසකට පසු තාත්තා ද මිය යාමෙන් අනතුරු ව ශාරද හා ආකාස මේ මහ ගෙදර ජීවත් වූයේ තනිව ය. ඒ තනි කම කෙතරම් වියරු ද කියා ලියා කියා පැහැදිලි කළ නො හැකි තරම ය. ශාරද ට ද වඩා ආකාස තමන් වෙතට නැඹුරු වූ හුදෙකලා ජීවිතයක් ගත කළ අයෙකි. ඔහු කතා කළේ අඩුවෙනි. සිනහ වූයේ කලාතුරකිනි. ශාරද විවාහ වී නිශාමනී ව ගෙදරට ගෙන ආ පසු අයියා ගේ ජීවිතයේ වූ පාළුව පමණක් නොව මහ ගෙදර පුරා තැවරී තිබි අඳුර ද පහව ගිය බවක් ආකාස ට දැනී තිබේ. සිඟිති එසඳි ගේ ආගමනයත් සමග ආකාස ගේ හිත් අහස චමත්කාර රටා වලින් පිරිණ.

“එසඳිට පන්සල් යන්න ඕනනං ලෑස්ති කර ගන්න. මං එක්කං යන්නං”

අයියා වෙනුවෙන් සිය යුතුකම ඉටු කොට නිශාමනී ව පමණකුදු නොව දියණිය ව ද සන්සුන් කරන්නට ආකාස සිතුවේ ය.

“ඕන්නෑ මල්ලි. නින්ද ගියානෙ දැං ඉතිං”

නිශාමනී දියණිය දෝතින් ගනිමින් අසුනෙන් නැගී සිටින්නට ගියත් ඇය ට එක වර එසේ කර ගත හැකි වූයේ නැත. ආකාස වහා විත් නිශාමනී අතින් දියණිය ගත්තේ ය. ඔහු ට ඉස්සර වී කාමරයට ගිය ඇය දියණිය ගේ කොට්ටය දමා ඇය ව තබන්නට යහන සූදානම් කළා ය. ආකාස ඒ පුළුන් කොට්ටය මත්තේ මලක් සේ එසඳි ව තැබුවේ ය. 

යහනින් නැගිට ගත්දී ඔහු ට නිශාමනී ගේ ඒ ගැහැනු සුවඳ දැනිණ. ඉතාමත් හෙමිහිට එසුවඳින් පපුව පුරවා ගනිමින් ඔහු යහනින් බැස්සේ ය. කාමරයට වැදී දොර වසා ගත් ආකාස යළි රෑ කෑම ට නිශාමනී විසින් දොරට ගසා කතා කරන තෙක් පිටතට ආවේ නැත.

“දරුවට බත් ටිකක්වත් කවා ගන්න නැති වුණා. පව්. අඬල අඬල බඩ ගින්නෙම නිදා ගත්ත”

කෑම කන ගමන් ද නිශාමනී ට හීල්ලිණ. ආකාස යන්තම් ඇස් ඔසවා ඇදෙස බලා යළි බිම බලත්දී ම ශාරද බෙරිහන් දුන්නේ ය.

“හරි ඉතිං ඔය ඇති. ආපු වෙලාවෙ ඉඳලම ඕකමනෙ කියවන්නෙ. මට එන්න බැරි වුණා තමයි. ඉතිං මැරෙන්නද කියන්නෙ…”

එහඬින් නිශාමනී වෙව්ලා ගියා ය. ඇගේ ලොකු ඇස් තවත් ලොකු වූයේ ය. ඒ ඇස් කඳුළු පටලයකින් වැහී යන්නට ඒ හැටි වෙලා ගියේ නැත. ඕ බිම බලා ගෙන බත් පත අනන්නට වූවා ය. දොඹ ගෙඩි තරම් ලොකු කඳුළු ගුලි දෙකක් ‘ටක්’ ගා පිඟාන මතට වැටුණේ ය. 

ශාරද මේසයෙන් නැගිට ගොස් අත සෝදා ගෙන කෑම කාමරයෙන් නික්ම ගියේ ය. නිශාමනී බිම බලා ගෙන බත් පත අත පත ගෑවා ය. නමුත් එක කටක් හෝ ගිල ගන්නට ඇය ට හැකි වූයේ නැත. මඳ වෙලාවක් එසේ සිට සන්සුන් වූ ඕ, ඉන්පසු මේසයෙන් නැගිට ගොස් කුස්සිය අස් පස් කළා ය. කෑමක පිරියක් ආකාස ට ද දැනුණා නොවේ. නමුත් ඔහු කල්පනාවේ නිමග්න ව බත් කටවල් කිහිපයක් ගිල දැමුවේ ය. 

නිශාමනී ආකාස ට මල්ලී යි ඇමතුවාට සැබවින් ඔහු ඇයට වඩා වසර කිහිපයක් වැඩිමහල් වූයේ ය. ඇය මල්ලී කීවේ ඔහු ශාරද ගේ මල්ලී වන නිසාවෙන් නෑ කමට ය. නමුත් ඇය මල්ලී කියන වාරයක් පාසා ආකාස ට දැනුණේ නො ගැලපීමකි. ඔහු නම් කිසි දා ක අක්කා කියා ඇය අමතා නැත. නිශාමනී ලෙස නමින් අමතන්නට ද අපහසුවක් දැනුණේ ඇය කට පුරා මල්ලී කියනා බැවිනි. ආකාස ඇය ට යමක් කීවා නම් ඒ ආමන්ත්‍රණයකින් තොරව ය. 

පිඟාන ගෙන කුස්සියට ගිය ආකාස, නිශාමනී ගවුම් උරහිසින් ඇසක් පිසලනු දුටුවේ ය. ඔහු පිඟාන අතැති ව සින්ක් එක ළඟ සිට ගෙන සිටියදී ඇය ඔහු දෙස බලන්නේ හෝ නැති ව අත පා පිඟාන ඉල්ලුවා ය.

“මං හෝදන්නං”

ඔහු සිය ගැඹුරු හඬින් කීවේ ය. නමුත් නිශාමනී පිඟාන ගත්තා ය. 

අත සෝදා ගන්නට ආකාස වැඩි කාලයක් ගත කළේ ය. නිශාමනී ව තනි කොට යාම ගැන සංකා හැඟීමක් ඔහු පෙළයි. ඇය පව් කියා ඔහු ට සිතෙයි.

මඳ වෙලාවක් කාමරයේ ඒ මේ අත සක්මන් කළ ශාරද, දියණිය පසෙකින් යහනේ වැතිරුණේ ය. ඔහු ටික වෙලාවක් එක දිගට ඇගේ මුහුණ දෙස බලා සිටියේ ය. වේදනාත්මක බරක් ඔහු ගේ පිරිමි හදෙහි ලැගුම් ගෙන නැත ය කීවොත් මුසාවකි. මහත් වැරදිකාර හැඟීමකින් හෙතෙම ආත්මීය විඳවුමක රිදුම් ලැබුවේ ය. ඔහු ට එහෙම නො කර ඉන්නට තිබිණි. නමුත් එහෙම නො කර ඉන්නට නො හැකි වූයේ ය. එසඳි හා නිශාමනී පන්සල් යන්නට බලා ඉන්නා බව දැන උන්නා වී ද ඒ බව අමතක කරන්නට ඔහු ට සිදු විය. ඔහු දුරකතනය පවා ක්‍රියා විරහිත කර ගත්තේ නිශාමනී දුරකතන ඇමතුම් ගනු ඇති බව ඉඳුරා දැන උන් නිසාවෙනි. 

පපුව පිරෙන්නට හුස්මක් ගත් ශාරද ඇසිල්ලකින් ඒ පිට කොට හැරියේ ය. සමහර දේවල් කෙතරම් වැරදි බව දැන උන්න ද ඒවා පාලනය කිරීමට නො හැකි වේ. 

කුස්සිය පිරිසිඳු කොට උදේ ට අයියා මලෝ දෙදෙනා ට ගෙන යාම සඳහා කෑම පිසීමට අවශ්‍ය කලමණා සකස් කොට තැබූ නිශාමනී, ඇඟ සෝදා රාත්‍රී ඇඳුමකින් සැරසී යහනට පිවිසියා ය. වෙනදා ඇය ළඟින් හමනා සුවඳ නො වෙනස් වී ද ඒ වත මල මැලවී ගොස් තිබිණ. ඕ හෙමිහිට ශාරද අසලින් වැතිරුණා ය. මඳ වෙලාවක් වෙනස් නො කර ගත් බැල්මෙන් සිවිලිම දෙස ම බලා සිටින්නට වූවා ය. ශාරද ගල් පිළිමයක් සේ සිටියේ ය. ඇය ට මුහුණ දී ගත නො හැකි හැඟීමක් ඔහු පෙළයි. කෑම මේසයේ දී ද ඔහු කෑ ගැසුවේ එබැවිනි. වැරදිකාර ආත්මයක් වසා ගත හැකි හොඳ ම වෙස් මුහුණ කේන්තියයි.

“මට මහා අමුත්තක් දැනෙනව ශාරද”

අන්තිමට ඇය බිඳුණු හඬකින් කියා ගත්තා ය. දෙපා ඉදිරියේ ම බෝම්බයක් පුපුරා ගිය සෙයින් ඔහු ගැස්සුණේ ය. 

“ඔයා අමුතු වෙලා ශාරද…ඔයා වෙනස් වෙලා”

“මොනාද අනේ මේ කියවන්නෙ…”

ශාරද නො සැලකිලිමත් ලෙස ඇලයට හැරී ඇස් දෙක පියා ගත්තේ ය.

“කොල්ලො සෙට් වුණාම ඉතිං දන්නැද්ද…ඔච්චර යන්නම ඕන වුණානං මල්ලි එක්ක පන්සල් යන්න තිබුණනෙ”

“මල්ලි එනකොටත් දරුව හොඳටම අඬල මගෙ උකුලෙම නිදි”

එසඳි ගේ මූණට එබුණ  නිශාමනී මොහොතක් ඒ අවිහිංසක වත දෙස බලා සිටියා ය. අනතුරු ව කොට්ටයෙහි හිස තියාන ශාරද ගේ සිරුර මත්තෙන් සිය සුරත දමා ගත්තා ය. ඔහු සෙල් පිළිමයක් සේ ම නො සැලී සිටියේ ය.

“ඔයා වෙනස් වෙලා”

තත්පර කිහිපයක ඇවෑමෙන් ඇය යළි කොඳුරා ගත්තේ හීල්ලුමක් සමග ය. ඒ සමග ම ඇගේ අත ද ඔහු ගේ පපුව මතින් යළි ඇය වෙතට ම ආවේ ය. 

“එහෙම දෙයක් නෑ ශාමි. මට ටිකක් ටයර්ඩ්”

ශාරද සිය පියඹ ගේ හිස කේ අතරින් අතැඟිලි යවා ඈ හිස පිරිමදින්නට ගත්තේ ය. නිශාමනී මද සුවයකින් ඇස් පියා ගත්තා ය. නමුත් ඒ පිරිමැදුම විනාඩි දෙක තුනකට වඩා පැවතියේ නැත. ඔහු ගේ අත කඩා වැටී ඔහු නින්දකට එළඹෙමින් සිටියේ ය. සුසුමක් මුදා හළ නිශාමනී දියණිය ගේ පසට හැරී ඇස් දෙක තද කොට පියා ගත්තා ය.

නමුත් අළුයම හතරට දුරකතනයේ අලාම් එක හැඬවෙත්දීත් ඇය සිටියේ නො නින්දක ය. ඒ මුළු රෑ පුරා ම, ඇය ම නො දන්නා හේතුවක් මත නිශාමනී වෙත නිදි සුව ළඟා වූයේ නැත. සිතද ගත ද බරපතල කෙඩෙත්තුවකට පත් ව තිබිණ. නමුත් ඕ අවදි වී සුපුරුදු දින චර්යාව ඇරඹුවා ය. උදේ කෑමත් දවල් කෑමත් පිළියෙල කළා ය. තේ සෑදුවා ය. කෑම බඳුන් වලට බත් මාළු පිණි බෙදා ලේන්සු වලින් ගැට ගැසුවා ය. ශාරද ගේ ඇඳුම් මැද තැබුවා ය. සියලු ආවතේව කොට ඔහු ව පිටත් කොට, ආකාස ද නික්ම ගිය පසු, සේදීම සඳහා රෙදි එකතු කරන්නට ගියා ය. ශාරද පෙර දා ඇඳ ගෙන ගිය කලිසමේ සාක්කුවේ බරට යමක් දැනුණේ ඒ වෙලාවේ ය. කාසියක් වන්නට ඇතැයි සිතා ඇය සාක්කුව තුළට අත දැමුවා ය. නමුත් අතැඟිලි වලට හසු ව පිටතට ආවේ කාසියක් නොවේ. ප්ලැටිනම් පිරිමි මුදුවකි. නිශාමනී විමසිල්ලෙන් එය නිරීක්ෂණය කළා ය. ඉංග්‍රීසි එස් හා පී අකුරු දෙක හදවතකින් එකට  බැඳී තිබෙනු එහි කැටයම් කොට තිබිණි. එස් වලින් කියවෙන්නේ ශාරද ද? එතකොට මේ පී කවුද? ඇගේ හිත අවුල් ජාලයක් වන්නට ගත වූයේ නිමේශයකි. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles