දශක හතක් පසු කරනා රාජකීය පෙම් අන්දරය

බ්‍රිතාන්‍යයේ රාජකීය පවුල ගැන නොදන්නා අයෙක් නැත. දෙවන එලිසබත් රැජින සහ පිලිප් කුමරු ලොව වටා ප්‍රසාදයට ලක්වන යුවලකි. ඔවුන්ගේ ප්‍රේම කතාව එලෙසින්ම ජනාදරයට පත්වූවකි.

දෙවන එලිසබත් රැජින (Queen Elizabeth II) එරට ඉතිහාසයේ දීර්ඝතම කාලයක් කිරුල දැරූ රාජ්‍ය නායිකාව හැටියට ඉතිහාසයට එක වී සිටින්නීය. දෙවන එළිසබෙත් රැජිණ  නිදහස් ජනපද දහසකද, මුහුදෙන් එතෙර යටත් විජිතයන්වලද පාලිකාවයි. ඇගේ පියාවූ හය වන ජෝර්ජ් රජු 1952 පෙබරවාරි මස මියයාමෙන් පසු ඇය සිහසුනට පත්වුවාය. එක්සත් රාජධානියට අමතරව ඇය කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජැ‍මෙයිකාව, බර්බඩෝසය, ග්‍රෙනාඩාව, පැපුවා නිව්ගිනියාව, සොලමන් දූපත්, තුවාලූ, ශාන්ත ලුසියා, ශාන්ත වින්ස්ටන් සහ ‍ග්‍රෙනඩ්න්ස්, ඇන්විගුවා සහ බාබුවා, බෙලිසය සහ ශාන්ත කෙට්ස් සහ හෙවිස් යන රටවලද රැජිණ ලෙස කටයුතු කරයි. එම සෑම රටකම අග්‍රාණ්ඩුකාර තනතුර දරනු ලබන්නේ එතුමිය විසිනි.

1947 එළිසබෙත් රැජිණ පිලිප් කුමරු (Prince Philip, Duke of Edinburgh) සමඟ විවාහ වුවාය. ඔහු උපත ලැබුවේ ග්‍රීසියේ සහ ඩෙන්මාකයේ කුමරු ලෙසය. පිලිප් කුමරුට මුලින්ම එළිසබත් කුමරිය මුණගැසෙන විට ඇය දහතුන් වෙනි වියේ පසුවූ යෞවනියකි. මේ වන විට පිලිප් කුමරුගේ වයස අවුරුදු දහඅටකි. එවකට Darth mouth Royal Naval Collage හි කැඩෙට්‌ භටයකු ලෙස කටයුතු කළ පිලිප් කුමරුට මුලින්ම එළිසබෙත් කුමරිය මුණ ගැසුණේ එම විද්‍යාලයේ පැවැති උත්සවයකදීය. එළිසබෙත් මෙම උත්සවයට සහභාගි වී සිටියේ සිය දෙමාපියන් සහ මාගරට්‌ නැගනිය සමගය. එළිසබෙත් කුමරිය නෑකමින් පිලිප් කුමරුගේ  නෑනාය. මෙම මුණගැසීමෙන් පසු පෙම්වතුන් බවට පත්වූ එළිසබෙත් සහ පිලිප් නිතර නිතර ලිපි හුවමාරු කරගත්හ. වසර කීපයක්‌ම පෙම්වතුන් ලෙස ඇසුරු කළ නමුත් ඔවුන්ගේ ප්‍රේමය බාධක වලින් තොර නොවූවකි. පිලිප් කුමරු උපතින් රාජකීය ජන්මයක් ලද්දෙකු වූවත් ඔහුට වත්කම් හෝ නිලතල නොතිබුණි. ඔහුගේ සහෝදරියන් විවාහව සිටියේ නාසි සබඳතා අැති ව්‍යපාරිකයන් සමඟ වීම දෙවන ලෝක යුද්ධයෙන් බැට කෑ බ්‍රිතාන්‍යයට එතරම් රුස්සන්නක් නොවිණි. පුවත්පත් පිලිප් කුමරු හැඳින්වූයේ රාජධානියක් නොමැති රජෙක් ලෙසය. රාජකීය උපදේශකයන් පිලිප් කුමරු එළිසබෙත් කුමරියට නොගැලපෙන්නෙකු බව පැවසූහ. මෙම සියලු බාධක මැද පිලිප් කුමරු සහ එළිසබෙත් කුමරිය 1947 දී විවාපත්වූහ.

වර්තමානය වනවිට මෙම දෙපළට දාව දරුවන් හතර දෙනකු ද මුනුපුරු මිනිපිරියන් අටදෙනකු ද වෙති. බ්‍රිතාන්‍ය රාජ්‍ය පාලන ඉතිහාසයේ ඇයගේ පාලන කාලය තුළ ඇයට සහභාගීවීමට නොහැකි වී ඇත්තේ උත්සව දෙකකට පමණි. ඒ 1959 දී සහ 1963 දී ඇය ගර්භිණී ව සිටිද්දීය.

පිලිප් කුමරු විහිළු තහළු කීමේ රුචියෙක්. විවාද සම්පන්න ප්‍රකාශන නිසාත් මාධ්‍ය අවධානයට ලක් වෙන චරිතයකි. මෙයින් අවුරුදු හැත්තෑවකට ආසන්න කාලයකට පෙර එලිසබත් කුමරියගේ අතගත් දිනයේ අඳින ලද නිල ඇඳුම තවමත් කදිමට ගැළපෙන බව කුමරු පසුගිය දිනෙක් පවසා තිබුනා. ගුණදායක ආහාර අනුභව කරන, මඳ පමණට සුරා පානය කරන, නිරතුරුව ශාරීරික ව්‍යායාමවල යෙදෙන පිලිප් කුමරු තවමත් ආධාරයකින් තොරව තරප්පු පේළි නගින බවයි බ්‍රිතාන්‍ය වාර්තා පවසනුයේ. පිලිප් කුමරු මේ වසරේ අගෝස්තු මාසයේ පටන් පොදු මහජන කටයුතු සඳහා සහභාගී නොවන බව බකිංහැම් මාළිගය පවසයි. සිය සැමියා විසින් ගන්නා ලද තීරණයට එලිසබත් රැජිනගේ පූර්ණ අනුමැතිය සහ සහයෝගය ලැබී ඇති බවත් එම රාජකීය නිවේදනයේ දැක්වෙයි.

පිලිප් කුමරාගේ හා එළිසබෙත් රැජනියගේ 70 වැනි විවාහ සංවත්සරය නොවැම්බර් මාසයේදී සැමරීමට නියමිතය. දිය බුබුළු ලෙස විසිරෙන විවාහයන් ඇති ලොවක මෙවන් ප්‍රේමයන් ලබා දෙනුයේ මහඟු ආදර්ශයකි.

කල්හාරී

Related Articles

Don't Miss


Latest Articles