(අ)හිමි සිහින -119

පවුලක් ලෙස එක් වී කටයුතු කරන්නටත් එහි සතුට විඳ ගන්නටත් මට ලැබුණේ සුධාරක සමඟ එක්ව ජීවිතය ඇරඹීමෙන් පසුවයි.හැම පවුලක් ම සතුටින්ම සමරන උත්සවය මහත් ඉහළින් සහ ඉමහත් සතුටින් අපිත් සමරනු ලැබුවා.

“ඒ සිංහල අලුත් අවුරුද්ද”

සිංහල අලුත් අවුරුදු වෙනුවෙන් මම සෑම කැවිලි වර්ගයක්ම පිසින්නට අමතක කළේ නෑ.සුධාරක මා අසලට වී ප්‍රශ්න අසමින් ඒවාගේ රස බලමින් කැවිලි පිසින මට අත් උදව් සැපයුවා.

“සුන්දර පවුල් ජීවිතයක් කියන්නේ මොනතරම් මිහිරි අත්දැකීමකට ද?”

ඒ මොහොතකදී මට එහෙම අනන්ත වාරයක් සිතෙන්නට ඇති.ඉතින් මම සතුටින් අලුත් අවුරුද්දට සූදානම් වුණා.ගෙවල් අස්පස් කර අලුත් තිරරෙදි යොදමින් අලුත් අවුරුද්ද මහත් ඉහළින් පිළිගන්නට මට ඕනෑ වුණා 

මම ඒ ලේන් එකේ ඇති හැම ගෙදරකටම කැවිලි වට්ටියක් සකසන්නට අමතක කළේ නෑ.කැවිලි යහමින් එකතු කර අරලිය මලින් සැරසූ පන් වට්ටි රැගෙන මම ඒ හැම ගෙදරකටම අලුත් අවුරුදු මිත්‍රත්වය රැගෙන ගියා.සුධාරක ද මා සමඟ එකතු වුණේ බොහොම කැමැත්තෙන්.

“අවුරුදු ගාණක් මේ ලේන් එකේ ජීවත් වුණාට අද තමයි මිස්ට සුධාරක අපේ ගෙදරට ආවේ.”

ඒ හැම ගෙයකින්ම අපි පිළි ගත්තේ එසේ කියමින්.ඔවුන් මට සැලකුවේ ද මහා ඉහළින්.විවාහ නොවී අපි එකට ජීවත් වීම ඒ කිසිවෙකුටත් ගැටළුවක් වුණේ නැහැ.ඒ වගේම ඔවුන් දිල්හානි ගැන කියමින් මට ඇනුම් පද හෝ රිදවීම් කරේත් නැහැ.ඒ වෙනුවට ඇය කිසිම මිත්‍රශිලි ස්වරූපයක් නොදැරූ හැටිත් ඔවුන් සමඟ ගැටුම් ඇති කරගත් ආකාරයත් කියමින් හිනැහෙන්නට අසල්වැසි මිතුරියන් අමතක කළේ නැහැ.

මගේ ජීවිතයට තවත් හොඳ මිතුරන් පිරිසක් එකතු වුණේ ඒ ආකාරයෙන්.

එපමණක් නෙවෙයි,අලුත් අවුරුදු සාදයට මම සුධාරකගේ හැම ඥාතියෙකුටම අපේ නිවසට ආරාධනා කළා.ඒ හැම කෙනෙකුටම ත්‍යාග මිලට ගන්නටත් මම අමතක කළේ නැහැ.රස මසවුළු පිස ඔවුන් සඳහා සාදයක් මහ ඉහළින් පවත්වන්නට මම වග බලා ගත්තා.ඒ විතරක් නෙවෙයි, අපි සියල්ලන්ම එකතු වී අවුරුදු උත්සවයක් පවා පවත්වන්නට කටයුතු කරා.

මට අවශ්‍ය වූයේ ඥාතීන් සහ සුධාරක අතර හොඳ හිත වර්ධනය කරන්නට‍යි.ඒ වාගේම අතීතයේ එක් කාලයක මඟ හැරී නැවත මට මුණ ගැසුණු නෑදෑ පිරිස සමඟ ආදරයෙන් සහ සමගියෙන් ජීවත් වන්නටත් මට ඕනෑ වුණා.මම ජීවිතයේ දිගු කාලයක් අසතුටු ජීවිතයක් ගෙවා වෙහෙසට පත් වූ ගැහැනියක්.එනිසාම මට ආදරය කරන මා වඩාත් ආදරය කරන මිනිසා ඇසුරේ සන්සුන් ජීවිතයක් ගෙවමින් ජීවිතය ඉසිඹු ලන්නට මට ඕනෑ කළා.

ආදරය උතුරා යමින් තිබූ නිවහනක් නිර්මාණය කරමින් සුධාරකගේ හදවතේ වූ වේදනා හැකි පමණ අඩු කරන්නට මට ඕනෑ කළා.ඔහු වේදනා ඉහිලිය යුතු මිනිසෙක් නොවේ.රටට විශාල මෙහෙයක් කළ වටිනා මිනිසෙක්.ඔහුට දීප්තිමත් අනාගතයක් සහ සුන්දර ජීවිතයක් හිමි විය යුතු වග මම තරයේම ඇදහූ ජීවන දහමයි.මගේ සුධාරකගේ සතුට වෙනුවෙන් මම මට කළ හැකි සියල්ලම කරමින් සිටියා.

සැනසිල්ල සහ ආදරය අතර අපේ ජීවිත ගලා යමින් තිබුණා.ආදරය සහ සතුටම පිරුණු ජීවිතය එතැනින් මා රැගෙන යමින් තිබු තැන මම ඔබට කියන්නම්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles