මතක දිගහැරුම 119 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය දහ නමවන දිගහැරුම

වැඩිමහල් පුතුන් දෙදෙනා මෙන්ම අපගේ බාල පුතු ද ක්‍රිකට් කෙරෙහි විශාල දක්ෂතා දැක්වීම හෂාන්ගේ මෙන්ම මගේ ද සතුටට හේතු වෙමින් ඇත.ඉතාම අඩු වයසක පසුවන ඔහු පාසලේ Big match සඳහාද සහභාගි වූයේ ය.මේ වන විට ඔහුගේද තේරීම වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව ය.ඔහුගේ වයස මට්ටම සමග බලන විට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පවතින ඔහුගේ දැනුම වැඩිමහල් පුතුන් දෙදෙනා සතුව පවතින දැනුමටත් වඩා වැඩිය.ඔවුන් දෙදෙනාට ක්‍රිකට් පිළිබඳව හෂාන් කියා දෙන සියලුම දෑ කුඩා කල සිටම බාල පුතු ඉතා උනන්දුවෙන් අසා සිටියේය.ඒ හේතුව නිසා ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව ඔහුගේ දැනුම ඉතාම වැඩිය.

අපගේ වැඩිමහල් පුතු පසුගිය අවුරුද්දේ එංගලන්තයේ පැවති ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග වාරයන් දෙකක ක්‍රීඩා කළේය.ඇත්ත වශයෙන්ම දරුවන්ට ක්‍රිකට් ක්‍රීඩා කිරීම පහසු නැත . මන්ද , ක්‍රිකට් ලෝලීන් බලාපොරොත්තු වන්නේ හෂාන් මෙන්ම අති දක්ෂ ලෙස අපගේ පුතුන් ද ක්‍රීඩාවේ නියැලෙයි කියාය. නමුත් ඔවුන් තුළ පවතින පරාසයන් එකිනෙකට වෙනස් නිසා සමහර අවස්ථාවලදී ක්‍රිකට් ලෝලීන්ගේ එම බලාපොරොත්තු දරුවන්ට පීඩනයක් වන අවස්ථාද ඇත.විශේෂයෙන්ම ඔවුන් පාසල් යන කාලයේ දී මා හට ඒ පිළිබඳව වැටහුණි.

හෂාන් අති දක්ෂයකු ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළුණු නිසා ඔහුගේ දරුවන් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළිය යුතු නැත යනුවෙන් සිතන ආකල්ප අතින් බොහොම පහළ මට්ටමක සිටින පිරිසක්ද සිටිති.සමහර අවස්ථාවලදී දරුවන්ට ලැබිය යුතු අවස්ථා නොලැබෙන තැනට කටයුතු කළ මිනිසුන් ද වූහ.තමන්ගේ අරමුණු වලට යාගත නොහැකි වූ මිනිසුන්ගේ වෛරයට අපගේ දරුවන් ගොදුරු වූ අවස්ථා ද ඒ අතර තිබුණි.නමුත් බහුතරයක් දෙනා අපගේ දරුවන්ට ඔවුන්ගේ ගමන ඉදිරියට යාම සඳහා සහයෝගය දැක්වීම සතුටට කරුණකි .එසේ සහයෝගය දැක්වූ සහ දැනමුතුකම් ලබාදුන් පිරිස අතර කුමාර ධර්මසේන ,චමින්ද වාස් අර්ජුන රණතුංග ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. නම් වශයෙන් කිව නොහැකි තරමේ පිරිසක් දරුවන්ගේ දස්කම් දෙස බලා වැරදි අඩුපාඩු පෙන්වා දෙමින් අවවාද සහ අනුශාසනා ලබා දෙන අතර මේ වන විට අපගේ බාල පුතුට ද එම සහයෝගය නොඅඩුවම ලැබෙමින් පවතී.

කෙසේ වුවත් හෂාන් දරුවන්ගේ කටයුතු වෙනුවෙන් සහයෝගය දැක්වූ වත් කිසිම විටක දරුවන්ගේ ගමනට අනවශ්‍ය ආකාරයෙන් මැදිහත් වන්නේ නැත.වරෙක අප දරුවන් දෙදෙනා වයස අවුරුදු දහ නවයෙන් පහළ ක්‍රිකට් කණ්ඩායමට තේරී පත්විය.ඒ අවස්ථාවේදී තේරීම් කමිටුවේ සාමාජිකයෙක් ලෙස හෂාන් කටයුතු කරමින් සිටියේය.පුතුන් දෙදෙනා සිටින බැවින් එම තේරීම් වලට හෂාන් සහභාගි වූයේ නැත.කිසිම අවස්ථාවකදී හෂාන් ඔහු සතු බලතල පාවිච්චි කරමින් දරුවන්ව ඉදිරියට ගෙන ගෙන යාමට කටයුතු කළේ නැත.සමහර අවස්ථාවන් වලදී අප සතු බලතල භාවිතා කරමින් දරුවන්ව ක්‍රිකට් කණ්ඩායමට ඇතුළු නොකරන්නේ මන්දැයි බොහෝ දෙනා අපගෙන් විමසයි.නමුත් හෂාන්ට සහ මට අවස්ථාවකදී අපගේ බලතල සහ හැඳුනුම්කම් භාවිතා කරමින් අපගේ දරුවන්ට යම් යම් අවස්ථා ලබාදීමට වත් , ඔවුන්ව ඉදිරියට ගෙන යාමට වත් අවශ්‍ය වූයේ නැත .

” influence පාවිච්චි කරලා යන්න ඕනේ නැහැ .කාගෙවත් push එකකින් ගිහිල්ලා වැඩකුත් නැහැ.ග්‍රවුන්ඩ් එකේ boundary line එකෙන් ඇතුලට ගියාට පස්සෙ සෙල්ලම් කරන්නේ තමන් තනියම .කවුරු push කරලා ටීම් එකට දැම්මත් තමන් සෙල්ලම් කරන්න ඕනේ.එතකොට තමන් සුදුස්සෙක් නෙමෙයි නම් , ඒ ලැබෙන අවස්ථාවේදී තමන් හොඳට සෙල්ලම් කරලා දක්ෂතාවය පෙන්වන්නේ නැත්නම් ,තමන් ඒකට සූදානම් නැත්තම් ඒක මුළු ලෝකෙටම පේනවා.එතැනදීම ඔයා පරාද වෙනවා. ඒ කියන්නේ ඔයාලගේ ගමන කෙටියි.නමුත් ඔයාලා කැපවෙලා ඔයාලගේ දක්ෂතාවයන් ඔස්සේ ඉදිරියට ගිහිල්ලා, ඔයාලගේම අනන්‍යතාවයන් හදාගෙන හොඳට සෙල්ලම් කරනවා නම් අන්න එතකොට ඔයාලගේ ගමන දිගයි “

හෂාන් අපගේ දරුවන්ට අවවාද කරන්නේ එලෙසින්ය .අප ජයග්‍රහණ කරා යා යුත්තේ අපගේ දක්ෂතා වලින් මිස වෙනත් කෙටි මාර්ග වලින් නොවේ . එවැනි කෙටි මාර්ග ඔස්සේ ජයග්‍රහණ කරා යාමට උත්සාහ කළ අයද අප ඕනෑ තරම් දැක තිබේ.නමුත් ඔවුන්ගේ ගමන කිසිවිටෙක ස්ථාවර සහ දීර්ඝ ඒවා නොවේ.එම නිසා නිරන්තරයෙන්ම හෂාන් අපගේ දරුවන්ට උපදෙස් දෙන්නේ තමන්ගේ මහන්සියෙන් සහ කැපවීමෙන් ජයග්‍රහණ ලබාගත යුතු බවයි.ඒ සඳහා අප අපගේ දරුවන්ව හුරු කළේ ඔවුන් කුඩා කාලයේ සිටම ය.එම නිසා විවිධ අවස්ථාවන් ලබාදීමට කටයුතු කරන ලෙස හෝ ඒවාට මැදිහත් වන ලෙස කෙදිනකවත් අපගේ දරුවන් අපගෙන් ඉල්ලා නැත.සමහර ගැටළු වල දී, එනම් අසාධාරණයන් වූ අවස්ථාවලදී අප මැදිහත් වීමට අසන විට ඒ සඳහා ද ඔවුන් කැමැත්තක් දක්වන්නේ නැත.ඔවුන්ට අවශ්‍ය ඔවුන් සතු පෞරුෂයෙන් , උත්සාහයෙන් සහ කැපවීමෙන් ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට ය. කුඩා කල සිටම ඔවුන්ට ඔවුන්ගෙ ගමන යෑම පහසු වූයේ නැත.ඒ සඳහා විශාල ලෙස කැප වීමට ඔවුන්ට සිදු වූහ.එම නිසා වර්තමානයේ දී ද එය ඒ ආකාරයෙන්ම ආකාරයෙන්ම නොවෙනස්ව ඔවුන් ඔවුන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් කැප වෙති.අපගේ වැඩිමහල් පුතුන් දෙදෙනා යම් දිනවල දී ඔවුනට සවස් කාලයේ දී වෙනත් කටයුත්තක් වෙතට යාමට සිදුවෙනවා නම් ,ඔවුන් දවසේ වේලාවේදී හෝ ව්‍යායාම් කිරීම පුහුණුවීම්වල නිරත වීම සිදු කරති.ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කෙසේ හෝ කාලය කළමනාකරණය කරගන්නේ ඒ ආකාරයටය .ඔවුන් මේ වන විට ලබාගෙන ඇති සියලුම ජයග්‍රහණ වලට හේතු වන්නේ ඒ අසීමිත කැපවීම ය.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles