“අපි දෙන්නම ජීවිතේ ලොකු මානසික කඩා වැටීමකට ලක් වුණු මිනිස්සු දෙන්නෙක්.ඒ නිසා අපිට අපිව තේරුම් ගන්න ලේසි.”
රවිඳු එසේ කියද්දී හිමාෂා කිසිවක්ම නොකියා අඳුර සමඟ හිනැහුණා ය.ඔහු කියන්නේ සත්‍යයක් විය හැකි ය.එහෙත් පිරිමියෙකු සමඟ සමීප මිත්‍රත්වයක් හෝ පවත්වා ගැනීමට ඇයට දැන් රුචියක් නොදැනේ.මේ මොහොතේ රවිඳු පෙළෙන මානසික වේදනාවෙන් එතෙර වන්නට ඔහුට උදව් දෙනවා මිස ඔහු සමඟ සමීප මිත්‍රත්වයකට යා යුතු නැතැයි ඇය සිතුවා ය.
“පාරමී අක්කට කේන්ති යයි කියලද එහෙම ක්ලෝස් නොවී ඉන්නේ?”
හිමාෂා වඩා විශ්වාස කරන්නට කැමති අමායාව ය.ඇයට අක්කාව හොඳින් තේරුම් ගැනීමේ හැකියාවක් තිබිණ.ඒ හැරුණු විට ඇයට වඩා විවෘත මනසකින් දේවල් දැකීමේ හැකියාවක් ද විණ.රවිඳු මේ මොහොතේ සමීප මිත්‍රත්වයක් අපේක්ෂා කරන බව ඇයට බෙදා ගත හැකි වූයේ නැගණිය සමඟ පමණි.
“ඔව් ඉතිං.පාරමී හරිම කැමැත්තෙන් ඉන්නවා රවිඳුගේ අවුල ගැන එයත් එක්ක කතා කරන්න.එහෙම වෙලාවක ඕනවට වඩා එයාට මං කිට්ටු වෙන එක හොඳයි කියලා ඔයා හිතනවද?”
අමායා ඒ අසා හිනැහුණා ය.රවිඳුට මේ මොහොතේ අවශ්‍ය මානසික නිදහසකි.අත අත් හැරුණු පෙම්වතිය ඉතිරි කළ අඳුරු මතක බෙදා ගන්නට ඔහු ඒ අත්දැකීම ම ඇති විශ්වාස කළ හැකි අන්දමේ මිතුරියක තෝරාගෙන තිබේ.ඉන් වහා ඉවත් වීම එතරම් සුදුසු නැතැයි අමායා සිතුවා ය.
“පාරමී අර තරම් රවිඳුට ආදරේ කරද්දී මං රවිඳුට කිට්ටු වෙන එක නරක වැඩක් නෙවෙයිද? ඒක කොහොම වේදනාවක්ද කියලා මාත් මල්මි නිසා දන්නවනෙ නංගි”
අක්කාගේ කතාව වැරදි වග කියන්නට අමායාට ඕනෑ විය.සහන් කිසිම හිතවන්තකමක් නොදක්වා අක්කා කුලගෙය තුළ තනි වන්නට ඉඩ හැරියේ මල්මිට බැඳි ප්‍රේමයෙන් දැයි ඇයට ද සැකයක් වේ.නමුත් ඒ කතාව සහ මේ කතාව අතර පවතින්නේ අහසට පොළොව මෙන් දුරකි.
“කසාදෙකුයි ක්‍රෂ් එකකුයි කියන්නෙ මොනතරම් වෙනසක්ද අක්කේ.මල්මි කියන්නේ ඔයාගේ දරුවගේ තාත්තා ඔයාලගෙන් ඈත් කරපු කෙනා.පාරමී අක්කාට ඔයාට දැනෙන වේදනාවම දැනෙන්න එයයි රවිඳු අයියයි කසාද බැඳලයැ.එහෙනම් මගෙ ක්‍රෂ් එක මැරි කරාට මං දීපිකා පදුකොන් එක්කත් තරහ වෙන්න එපැයි.”
මේවා විහිළුවකින් මඟ නොහැරිය යුතු වග හිමාෂා විශ්වාස කළා ය.ඇය එනිසාම නැගණිය දෙස බැලුවේ බැරෑරුම් දෑසකිනි.
“තමන්ගෙ කියලා හිතපු කෙනෙක් වෙන කෙනෙක්ගෙයි කියලා දැන ගන්න එක මහා වේදනාවක්.මං ඒ වේදනාව විඳපු කෙනෙක්.ඒ නිසා මං කැමති නෑ මං වින්ද වේදනාව වෙන කාටවත් දෙන්න.”
හිමාෂා එසේ කියද්දී අමායාට අක්කාගෙන් අසන්නට කඩඉම් ප්‍රශ්නයක් විය.ඇය ඒ අසන්නට පෙර අක්කාගේ හැඟීම් කියවා ගන්නට ඇගේ මුහුණ දෙස විමසුම් නෙතකින් බලා හුන්නා ය.
“රවිඳු අයියා ඔයාට ඔය ළං වෙන්නේ යාලුවෙක් විදියටනෙ.හොඳම යාලුවෙක් විදියට එයා එයාගේ වේදනාව ඔයාට කියනවා.ඔයාලා අතරේ තියන යාලුකම පාරමී අක්කට ආදරේ කරන්න බාධාවක් වෙන්නේ කොහොමද?”
හිමාෂා එයට පිළිතුරු දෙන්නට හදිසි නොවූවා ය.ඇය නැගණියගේ යහන මත නිදා හිඳින දියණිය රැගෙන නැඟී සිටියා ය.පිළිතුරු නොදී පිටව යන අක්කාගෙන් කිසිවක්ම නොවිමසා ඉන්නට අමායා ද ප්‍රවේසම් වූවා ය.
දියණිය යහන මත තැබු හිමාෂා ඇගේ සිඟිති කම්මුලක් සීරුවෙන් සිප ගත්තා ය.දියණිය සිහිනයෙන් හිනැහේ.නින්දට පෙර අත්තම්මා සකසා දුන් කිරි කෝප්පය පානය කළ හන්දා ඈ වෙතින් වහනය වන්නේ මුදු කිරි සුවඳකි.හිමාෂා දියණියගේ හිස පිරිමදිමින් කල්පනාවට වැටුණා ය.
“මට නංගි බබෙක් ගේන්නකො අම්මේ”
පෙර පාසල් මිතුරිය අක්කා කෙනෙකුගේ පදවියට උසස් වූ පසු දියණිය හිමාෂාගෙන් එසේ ඉල්ලා සිටියා ය.ඒ කතාවට කියන්නට දෙයක් සොයා ගන්නට නොහැකිව ද ඇය බැලුවේ නංගී දෙස ය.
“චූටි අම්මා මනමාලි වෙනවනෙ තව ටික දවසකින්.ඊට පස්සෙ චුටි අම්මා ගේන්නම්කෝ මගෙ පුතාට නංගියෙක්.”
අමායා වහා තත්ත්වය සමනය කර ගත්තා ය.ඒ කතාව අම්මාට ඇසුණා නම් ඇය දියණියගේ ඉල්ලීම ගැන යළි යළිත් සිහි කරමින් හිමාෂාට විවාහයට බල කරන බව ඇය දැන සිටියා ය.එනිසාම වැරදීමකින් හෝ දියණියගේ සුරතල් කතාව අම්මාට දැන ගන්නට ඉඩ නොතබන්නට හිමාෂා ප්‍රවේසම් වූවා ය.
“තාත්තියි මල්මි ආන්ටියි නංගි බබෙක් ගෙනෙයි.එතකොට මගේ පුතා ලොකු අක්කෙක්”
දියණියගේ කෙහෙරැලි මත සියුම් හාදුවක් රන්දා හිමාෂා නැගී සිටියේ එසේ මුමුණමිනි.සහන් දියණිය දකින්නට එන්නේ අවාරය ටය. ඇණවුම් කරන ත්‍යාග සහ ආහාර ද දියණියගේ ගිණුමට යොමු කරන මුදල් ද තාත්තෙකුගේ වගකීම වෙනුවෙන් ප්‍රමාණවත් බව ඔහු සිතයි.ඉදිරියට එය ද නැවතෙන්නට ඉඩ තිබේ.හිමාෂාට දියණිය ගැන ඉමහත් දුකක් දැනෙන්නට විය.
“ඔයාව මේ ලෝකෙට ගෙනාවට අම්මට සමා වෙන්න පැටියෝ”
නෙත උනන කඳුලට ඉඩ නොදී ඈ එසේ මිමිණුවා ය.