රිදුණු තටු පිරිමදිමි – 22

ප්‍රීතිමත් කලබල අතරේ පියවි සිහිය පවා විචල්‍ය විය හැකි ය. බලාපොරොත්තු නොවූ වෙලාවක කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි කෙනෙකු හමු වීම තුළ ප්‍රීතිය කලබල කරවයි. එතකොට හිතිවිලි වල පැහැදිලි බව අඩු වී වියවුල් ස්වභාවයක් ඇති වේ. 

මේ වෙලාවේ සන්තුෂී සිරිවර්ධන සිටියේත් එවන් නොසන්සුන් බවක ය. සදෙව්මා වූ කලී ඇයට අනුව අතුරුදන් ව සිටි කෙනෙකි. එහෙම කෙනෙකු හදිසියේ අහඹු නිමේශයක හමු වීම තුළ කුමක් සිදු කළ යුතු දැයි ඇය ට පෙරපර ගලපා ගත හැකි වූයේ නැත.

“කමක් නෑ ඉස්සෙල්ල කොණ්ඩෙ කපල ඉන්නව”

ඇය සිතිවිලි එකලස් කර ගනිමින් අදාල කාරිය සඳහා යොමු වූවා ය. නමුත් කතුර අල්ලන අත වෙව්ලන බවක් සන්තුෂී ට දකිත හැකි විය. ඇය යටි තොල තදින් සපා ගත්තා ය.

“අංජනට කතා කරල කියනවද…”

ඇය තමන් ගෙන් ම ප්‍රශ්න කළා ය. ඔහු ඉන්නේ ඇය දැක කතා බහ කිරීමේ විසල් ආශාවකිනි. තාත්තා කෙනෙකුගේ හදවත තේරුම් ගන්නට බැරි කමක් සන්තුෂී ට නැත. නමුත් මේ වෙලාවේ ඔහුව කැඳවීම තුළ අනවශ්‍ය කලබලයක් සිදු විය නො හැකි ද? අංජන සදෙව්මා බලන්නට ඇය වෙසෙන නිවෙසටත් ගිය බව ඔහු කීවේ ය. එදාත් ඔහු ගේ සමාගමය ප්‍රතික්ෂේප කළේ සදෙව්මා ය. එහෙව් එකේ ඇය අද සිය පියාව පිළිගනු ඇත්ද? නැත කියා සන්තුෂී ගේ යටි සිත කීවේ ය. අංජන මෙතැනට පැමිණිය හොත් මින් පසු කිසි දාක සදෙව්මා මෙහි නොපැමිණෙන්නට වුව පුළුවන!

“දැක්කෙ නැති ටික කාලෙට ඔයා ටිකක් ලොකු වෙලා ගොඩක් ලස්සනත් වෙලා”

හිත පැහැදිලි වීමෙන් පස්සේ, කොණ්ඩය කපමින් ම සන්තුෂී හෙමිහිට හඬ අවදි කළා ය. ඇය කැඩපතින් දුටු දැරිය පිපුණ ගමන් පිච්ච මලක් සේ සිනහ වූවා ය. කෙනෙකු ගේ හදවත වෙත පහසුවෙන් ම ප්‍රවේශ විය හැකි මග වූ කලී ඔහු ව ඇගයීම ය. විශේෂයෙන් ම ගෑනු ළමයෙකු නම් ලස්සනයි කියනවාට ලස්සන වෙලා යයි කියනවාට බොහෝ රිසි ය. ඇය ඇඳ සිටින ඇඳුම ලස්සන යයි පැවසීම, කොණ්ඩා විලාසිතාව ලස්සනයි කීම, පාවහන් කදිම යයි කීම වැනි දේකින් ඇයට බොහෝ සමීප විය හැකි ය. ඇගේ දක්ෂතාවයක් ඇගයීමෙන් ඊටත් වඩා හදවතේ ඉඩක් හදා ගත හැක. ඒ වගේ පුංචි ඇගයීමක් කිරීමට මහා ලොකු වියදමක් යන්නේ නැත. අවශ්‍ය වන්නේ වචන හතර පහකි. නමුත් ඒ ඔස්සේ ඇති කර ගත හැකි සුහදතාව ඊට වඩා පුළුල් ය. 

“එහෙම තමයි ඔය කාලෙට. ගෑනු ළමයි සපු කැකුළු වගේ ලස්සන වෙනව කියනවනෙ”

“අනේ…මේ සැලෝන් එකට මට වඩා කොච්චර ලස්සන අය එනව ඇද්ද…”

“ඔව්. ලස්සන අය ඕන තරං එනව..ඇත්තටම හැම කෙනෙක්ගෙම මොකක් හරි ලස්සනක් තියනව සදෙව්මා. බියුටීශන් කෙනෙක් කියන්නෙ අන්න ඒ ලස්සන අනිත් අයටත් වඩා ලස්සනට දකින කෙනෙක්”

“ඒක නිසා වෙන්නැති ඔයා ඔච්චර ලස්සන වෙලා ඉන්නෙ. හරියට…සරස්වතී දේවි වගේ”

“ම්…සරස්වතී පූජාවෙ සරස්වතීට ඉඳල තියෙනව මං…ඉස්කෝලෙ යද්දි…”

“අපි ඉස්සර හිටිය ගෙදර සරස්වතී දේවිගෙ ලස්සන ස්ටැචියු එකක් තිබුණා. තාත්ති ඒක ගෙනත් තියෙන්නෙ…ලොකු ගාණක් දීල…ඇත්තටම ඒක මාර ලස්සනයි. අම්මිටනං ඒ ස්ටැචියු එක පේන්න බෑ”

“ආ..”

සදෙව්මා අහිංසක සිනහවක් පෑවා ය. සැබවින් ඒ කතාව නො කියා සිටියා නම් මැනවැයි ඇයට සිතෙන්නේ දැන් ය. නමුත් දැන් බොහෝ දුරක් නො සිතා ම කියැවී අවසාන ය.

“ඇයි පේන්න බැරි..සරස්වතී ස්ටැචියු එකක්…”

“මන්දා..සමහර විට තාත්ති ඒකට එච්චරම ආදරේ නිසා ජෙලස් ඇති”

ඇය එසේ කියා තරමක් හඬ නගා සිනහ වූවා ය. පිරිමියෙකු තුළ පිළිමයක් කෙරේ ඇති විය හැකි ඇල්ම එහි කලා ලක්ෂණ නිසා ඇති වූවක් මිස වෙනකක් යයි සිතිය නො හැකි ය. එවන් ඇල්මකට වුව ඊර්ෂ්‍යා සහගත වන ස්ත්‍රියක් යනු ආදරයේ ප්‍රතිමූර්තියක් ද? සිතිවිලි වියවුල් සහගත වෙත්දී සන්තුෂී හිස මඳක් සෙලවූවා ය.

දවසක් දුරකතන සංවාදයකදී ද අංජන සරස්වතී දේවිය ගැන කතාවක් ඇද ගත්තා සන්තුෂී ට මතක ය. නමුත් ඇය ඉක්මන් වී ඇගේ අතීත ඡායාරූපයක් ඔහු ට යවන්නට පෙළඹුණ නිසා අංජන ට කියන්නට ඕන වුණ සම්පූර්ණ කතාව කියා ගත නො හැකි වන්නට ඇතැයි මේ මොහොතේ සන්තුෂී පසුතැවුණා ය.

“ඔයාගෙ තාත්ති ආටිස්ට් කෙනෙක්ද…”

ඒ ප්‍රශ්නය නම් අංජන ගැන යමක් අලුතෙන් දැන ගැනීමේ කුහුල ඇතිව විමසන ලද එකකි.

“නෑ…ඒත් එයා ඒ ස්ටැචියු එකට ආසයි. සමහර වෙලාවට එයා ඒක දිහා බලාගෙන කල්පනා කරනව. අම්මි බණිනව ඉතිං…ගිය ආත්මෙක වයිෆ් වෙන්නැති කියල”

ඒ කතා බහ අතරේ  සදෙව්මා ගේ හිත සතුටෙන් ද ශෝකයෙන් ද නැහැවෙමින් තිබිණ. හදවතේ තාත්තා ඉන්නා තැන තුවාලයක් වන බව ඇය දැන සිටියේ නැත.

සදෙව්මා කතා කළ වචන අතරේ ‘තාත්තා’ ට ලොකු ඉඩක් වෙන් වී තිබූ බව සන්තුෂී පැහැදිලි ලෙස දුටුවා ය. තාත්තා ගැන කියත්දී ඇගේ ඇස් වල දීප්තිය තීව්‍ර විය. ඒ අනුව ඇගේ පුංචි හදවතේ තාත්තා ගැන වන විශාල ඉඩ ගැන හිතා ගන්නට පුළුවන. නමුත් ඒ ආදරය හද තුළ ම සඟවා  යටපත් කර ගෙන ඉන්නට තරම් දැඩි බලපෑමකට ඇය මුහුණ දෙනවා විය යුතු ය. නමුත් ඒ සා සංවේදී හා අතිශය පෞද්ගලික වූ තැනකට දැන් ම අත තැබිය නො හැකි බව සන්තුෂී දැන සිටියා ය.

“හොඳයි නේද…ම්…බලන්නකො”

කොණ්ඩා කැපීම අවසන් කළ සන්තුෂී දැරිය ගේ උර වසා තිබූ ක්‍රේප් එක ඉවත් කරනා ගමන් කැඩපත තුළින් ඈ දෙස බැලුවා ය. සදෙව්මා සිය අලුත් ම කොණ්ඩා විලාසිතාවෙන් ප්‍රීතියට පත්ව ඇති බවක් පෙනිණ. එය සන්තුෂී ට සතුටක් විය.

“ශෝක්. මං ආසයි මේ හෙයා කට් එකට”

“ඒක ඔයාට සූට් වෙනව. කියුට් ඒ ලුක් එක. දිගට තියනකොට කරදරනෙ ඔය වයසට”

“හ්ම්. අපේ තාත්තිනං වදේ කොණ්ඩෙ දිගට වවන්න කියල”

“පස්සෙ වවමු ලස්සන දිග කොණ්ඩයක්”

“හ්ම්. සරස්වතී දේවි වගේ”

ඔවුන් දෙදෙනා ම සිනහ වූහ. සන්තුෂී සිය ජංගම දුරකතන ගත්තේ ගැහෙන අතකිනි.

“අපී..සෙල්ෆි එකක් ගමුද…”

“ෆේස්බුක් දාන්නෑනෙ…”

“අපෝ නෑ”

සන්තුෂී ඉක්මන් ඡායාරූප කිහිපයක් ම සිය ජංගම දුරකතන කාචයේ සනිටුහන් කර ගත්තා ය. ඒවායේ සිනහ වෙන්නට ඇයට අමතක වූ තරම ය. සදෙව්මා ඇගේ සිහින් අතැඟිලි වලින් පෑන අල්ලා දුරකතන අංකය පොතේ ලියනා හැටි සන්තුෂී ගැහෙනා හදකින් බලා සිටියා ය.

“මගෙ දුව ලංකාවෙ නෑ දැන්. එයා ටිකක් ඔයා වගේ”

“ඒකයි එහෙනං අක්කිට මාව මතක තිබිල තියෙන්නෙ”

සන්තුෂී සිනහ වූවා පමණි. 

“ඉඳ හිට මං ඔයාට කෝල් එකක් ගත්තට තමක් නැද්ද…”

“අනේ කමන්නෑ. ස්කූල් ටයිම් එකෙන් පස්සෙ ඕන වෙලාවක කතා කරන්න. එහෙනං මං යන්නද අක්කි…”

“ආයෙ එන්න. පරිස්සමෙන් යන්න”

වින්දි ගේ මව හිස මඳක් නවා ආචාරශීලී ලෙස සන්තුෂී ට සිනහ වූවා ය. සන්තුෂී ඊට ළෙංගතු සිනහවකින් ප්‍රතිචාර දැක්වූවා ය.

“අම්මිව මතක් කරන්න”

සන්තුෂී මඳක් හඬ නගා එසේ කීවේ සදෙව්මා පිය ගැට පෙළ බහින්නට ගත්තාට පස්සේ පහළට එබීගෙන ය. දැරිය සිනහ වී පිටුපස බලමින් හිස සැලුවා ය. සන්තුෂී ආදරයෙන් අත වැනුවා ය. 

ඒ සමු ගැනීම ඒ තරම් සුහදශීලී එකක් කර ගන්නට හැකි වීම ගැන සැනසිලිදායක බවක් සන්තුෂී ගේ පපුවේ ඉතිරි විය. ජයග්‍රාහී සිනහවක් ඇගේ මුහුණේ ශේෂ වී තිබිණි. ඒ සිනහවෙන් ම ඇය ජංගම දුරකතනයෙන් අංජන ට ඇමතුමක් ගත්තා ය.

“ලන්ච් ටයිම් එකේ වගේ එළියට එන්න පුළුවන්ද දන්නෑ නේ…මට ඔයාට පෙන්නන්න දෙයක් තියනව”

“ම්…මං දැං කොහොමටත් එළියට ඇවිත් ඉන්නෙ ඔෆීෂියල් වැඩකට. මං එන්නං…සැලෝන් එක ළඟටද…”

රූපලාවන්‍යාගාරය අසලදී නිතර නිතර පිරිමියෙකු හමු වීම දකිනා අයගේ ඇස් වලට කෙසේ හසු වනු ඇත්ද යන දෙගිඩියාව සන්තුෂී ට නො දැනුණා ම නොවේ. හදවතින් කෙතරම් නිදහස් ගැහැනියක වන්නට තැත් කළ ද එක හෙළා සමාජයට අඵියෝග කළ නො හැකි ය. අනිත් අතට කල්ප පහසුවෙන් ඇගේ තීරණයට එකඟ ව නිහඬ වෙතැයි සිතිය නො හැකි ය. ඔහු ඈ ගැන සෝදිසියෙන් පසු නොවෙතැයි සිතිය හැකි ද?

“නෑ. අපි එදා ගිය රෙස්ටොරන්ට් එකට මං එන්නං. තව පැය බාගෙකින්…”

ඒ පැය බාගය ඒ තරම් දිගු වූයේ කෙසේද කියා අංජන දන්නේ නැත. ඔහු බොජුන් හලට පැමිණෙන විටත් ඇය පැමිණ සිටියේ නැත. අංජන ට දැනුණ නො සන්සුන් බව ඔහු ගේ යෞවනයේ දී විඳ පුරුදු ව තිබි එකකි. සන්තුෂී එහි පැමිණෙන තෙක් කී වරක් ඔහු අත් ඔරලෝසුව දෙස බැලුවා දැයි නිශ්චිත නැත.

සන්තුෂී ආවේ දඟකාර යොවුන් කෙල්ලක සේ උතුරා යන උද්‍යෝගයක් ද ප්‍රීතිමත් බවක් ද විහිදා ලමිනි. තමන් කලබල වූයේ අහේතුකව යයි අංජන ට සිතිණ.

“මොනාද දෙන්නෙ මට මේක පෙන්නනවට…”

ඇගේ ඇස් වලින් සතුට ඉහිරුණේ ය. කඩවසම් පිරිමි දෑසකට ඒ වාගේ ස්ත්‍රී සෞන්දර්යයක් දැක ඉවත බලන්නට නොසිතීම ගැන පුදුම නොවිය යුතු ය.

“මේ”

ඒ නෙත්සර පහරින් මුවහ වනු වස් සන්තුෂී සිය ජංගම දුරකතනය අංජන වෙත පෑවා ය. අංජන ඒ දෙසත් සන්තුෂී ගේ මුහුණ දෙසත් බැලුවේ තරමක ඇදහිය නො හැකි බවකිනි.

“සදෙව්මා ආවද…”

“හ්ම්”

“ඔයා එයා එක්ක කතා කළාද…”

“මං හිතන්නෙ එයා මාත් එක්ක හොඳට යාළු වුණා”

“ඔයා එයාට කිව්වද මං ගැන…”

“නෑ අංජන…ඒව ගැන කතා කරන්න පාර හදා ගත්තා විතරයි. අදම ඒව කතා කළානං එයා මං ගැනත් සැක හිතන්න පුළුවන්. මේ බලන්න…මූණ එල්ලගන්න එපා ඉතිං…මං එයාගෙ හිතේ ඔයා ගැන තියන මිස් අන්ඩස්ටෑන්ඩින් එක නැති කරනවමයි…ඒකට මට ටික දවසක් දෙන්න”

ඔහු ගේ ඇස් ඍජු ව සන්තුෂී මත පායා නතර විය. ඒ බැල්මෙන් සැඟවී පලා යන්නට හෝ ඊට මුහුණ දෙන්නට හැකියාවක් නැති අසරණ හැඟීමක් සන්තුෂී ට දැනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles