(අ)හිමි සිහින -122

දින කිහිපයක්ම ඔබට අහිමි සිහින ගෙන එන්නට නොහැකි වීම ගැන මුලින්ම අපි ඔබෙන් සමාව ඉල්ලා සිටිනවා.යම් අපහසුතා කිහිපයක් නිසා තමයි ඔබ මඟ බැලුවත් කතාව කියන්නට නොහැකි වුණේ 

ගඟක් මෙන් ගලා යන ජීවිතය ඉතා නිස්කලංක ගලා ගිය කාලයක් ගැන තමයි මම ඔබට කියමින් හිටියේ.බොහෝ වේදනා සහ මානසික පීඩා දරා ගත් ගැහැනියකට එවැනි ජීවිතයක් ඇත්තටම අවශ්‍යයි.මගේ මානසික පීඩා සියල්ලම සුධාරක ඇසුරේ දියවී යමින් තිබුණා.

මම ඔහු වඩා ප්‍රිය කරන ත්‍යාග ඔහුට ලබා දුන්නේ ඉතාම ආදරයෙන්.සමහර වෙලාවට මම ඔහු වෙනුවෙන් පුදුම කිරීම් පවා සැලසුම් කළා.තෑග්ගක් නිවසේ තැනක හංගා කුඩා චිට් තැන තැන තබමින් ඔහුට ඒ තෑගි සොයා යන්නට ඉඩ හැර මම සතුටු වුණේ කුඩා දැරියකටත් වඩා සතුටකින්.මම එය මා සමඟ ජීවිතය බෙදා ගත් අසංකට සහ චමල්ටත් සිදු කළා.මට එතරම් සැලකිල්ලක් හෝ ආදරයක් නොදැක්වූ ඔවුන් වෙනුවෙන් ද එහෙම කරන්නට හැකි වුණානම් මා මේ ලෝකයේ වඩාත් ආදරය කළ මිනිසා වෙනුවෙන් මට කළ නොහැකි දෙයක් තිබුණේ නෑ.

මම මගේ ජීවිතයෙ වඩාත්ම ප්‍රිය කළ දෙයක් තිබුණානම් ඒ සුධාරකගේ සිනාව බව නොකියාම බැහැ.ඔහු මා කරන පුදුම කිරීම් සහ ඔහු අත තබන තෑගි වලින් ඉතාම සතුටට පත් වුණා.ඔහු විනෝදාංශයක් ලෙස වෙඩි තැබීම සිදු කළා.මම ඔහු වෙනුවෙන් තුවක්කුවක් මිලට ගත්තේ ඒ නිසා.ඔහු හොඳ වෙඩික්කාරයෙක්.හොඳ වෙඩික්කාරයෙකුට හොඳ තුවක්කුවක් සහ එල්ලයට වඩා දෙයක් නෑ.සුධාරක ඒ ත්‍යාගයෙන් අපමණ සතුටට පත් වන්නට ඇත්තේ ඒ නිසාමයි.මටත් වෙඩි තැබීමේ ශිල්පය උගන්වන්නට සුධාරක ආශා කළා.ඒ වගේම තමයි මමත් එය ඉගෙන ගන්නටත් පටන් ගත්තා.යම් මට්ටමකට මටත් ඒ ශිල්පය දැන් හැකි වී තිබෙනවා.

ජීවිතය එසේ සතුටින් ගලා යමින් තිබුණා.අපි හැකි සෑම මොහොතකම අනිත් අයට උපකාර කළා.එය අපිට බොහෝ සතුටක් ගෙන ආ දෙයක්.

කාලය සමහර මුහුණු වල සැබෑ ස්වරූපය හෙළි කරන්නට යම් කාලයක් ගන්නවා.සමහරුන්ගේ සැබෑ ස්වරූප අපට හෙළි වන්නේ කාලයත් සමඟයි.සුධාරකගේ අම්මා මා සහ ඔහු මුල්ම වතාවේ වෙන් කළ පසු දෙවැනි වතාවක ඔහු විශ්වාස කළේ ඇයිදැයි ඔබ බොහෝ දෙනෙකු මගෙන් විමසුවා.ඔව්!ඔබ ඇසූ ප්‍රශ්නයේ වරදක් නෑ.සුධාරකගේ අම්මාගේ සමහර අමුතු ගති සිරිත් මට හෙළි වන්නට ගත්තේ කාලය සමඟයි.ඒ ඇය මුලින්ම සාම්ප්‍රදායික නැන්දම්මෙකු සේ මා සමඟ රණ්ඩු අල්ලන්නට ගත් නිසානම් නෙවෙයි.ඇගේ සමහර හැසිරීම්වල වූ අමුතු තැන් මට ග්‍රහණය වෙන්නට ගත් නිසා.

ඇය අසීමිතව කෝප ගන්නා කෙනෙක්.අපේ රියැදුරා ඇය සමඟ ගමන් බිමන් යන්නට පවා අකමැතියි.සමහර අවස්ථාවල ගමන නිම වෙන තුරුම ඇය පාරේ යන වාහනයකට හෝ මහ හඬින් නොසරුප් වචන කියමින් බැන වදින බව ඔහු කියන්නේ ඉතා අකමැත්තෙන්.නින්දෙන් පවා දත් කූරු කමින් බැන වදින ඇය සමහර ඥාතීන්ට අහේතුකව බැන වදින බව මටත් පෙනී යන්නට පටන් ගත්තා.ඉතා කුඩා වයසේ පසුවන ඥාති දරුවන්ට පවා “ඕකුන්ට හරියන් නෑ.හෙණ ගහනවා” වැනි වචන කියන මේ කාන්තාව ගැන මට සමහර වෙලාවට දැනුණේ ඉතාම පුදුමයක්.

සමහර වෙලාවට සමහර අය අපේ ජීවිතයෙන් ඈත් වෙන්නේ අපට නොඇසෙන යම් සංවාද සොබාදහමට ඇසෙන නිසා.එසේ මගෙන් ඈත් කළ ඇය නැවතත් ආදරයෙන් ළං කර ගන්නට ගිය මට සොබාදහම පාඩමක් නොඉගැන්වූයේ නැහැ 

දුර්ජන මිනිසුන් ඇසුරේ ජීවිතය අපහසු වූ අනන්ත තැන් නැවතත් මගේ ජීවිතයට එළඹෙන්නට පටන් ගත්තා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles