හිමගිරි අරණ -51

“ඔය කතාව ගැන කිසිම දෙයක් අම්මට කියන්න එපා.ඉස්සරලම පාරමීගේ ප්‍රශ්නෙ නිවෙන්න ඉඩ දෙන්න.”

දුමිඳු මල්ලිට එවන් අවවාදයක් ලබා දුන්නේ සාම්ප්‍රදායික මවක් මේ මොහොතේ හැසිරෙන අන්දම ගැන ඔහුට හොඳ වැටහීමක් තිබූ නිසා ය.පාරමී අම්මාගේ මිනුම්දඬු වලින් ඉවත් වී ගියේ ඇය  දැඟලිලිකාර යුවතියක වූ නිසා ය.නමුත් ඇය සැබෑවටම මල්ලිගේ හිත ගත් යුවතිය වූවානම් එය පවා අසාධාරණයක් බව දුමිඳු හොඳින් දනියි.

” ඔය කතාව ඇහුවට පස්සෙ අම්මා පාරමීගෙනුයි හිමාෂගෙනුයි දෙපාරක් නොහිතම පාරමී තෝරගන්නව. මේ වෙලාවේ එකට ඉඩ තියන්න එපා.ඒ නිසා පාරමීගෙ කතාව කෙළවරක් කරනකම්ම හිමාෂා ගැන මොකුත්ම අම්මා දැන ගන්න ඕන නෑ.”

දුමිඳු නිවස තුළට ගියේ මල්ලි වෙත අවසාන තීන්දුවක් ලබා දීමෙන් අනතුරුව ය.අයියට නිවස තුළට යන්නට ඉඩහැර රවිඳු කල්පනාවට වැටිණ.

අම්මාගේ සිත නොරිදවීම යන කාරණාව ලංකාවේ බොහෝ දරුවන්ගේ පොදු ගැටලුවක් නොවේදැයි ඔහු සිතන්නට වූයේ ය.ජීවිතය සම්බන්ධයෙන් ගන්නට යන බොහෝ තීරණ අවසන් වන්නේ අම්මාගේ කැමැත්ත පරිදි වීම දරුවකුට අසාධාරණයක් නොවේදැයි රවිඳුට සිතිණ.රෝගී තත්ත්වයන් පෙන්වා හෝ  සංවේදී බව පෙරමුණෙහි තබා අම්මා කෙනෙකු තමන්ගේ ජයග්‍රහණය අත්පත් කර ගන්නට බොහෝ අවස්ථාවන්වල දී කටයුතු කරයි.නමුත් අම්මාට ඒ ජයග්‍රහණය දෙන්නට දරුවෙකු තමන්ගේ මානසික නිදහස සහ බලාපොරොත්තු කැප කිරීම විශාල අභාග්‍යයකි.

“අපේ පරම්පරාවේ ළමයින්ට ලැබුණු බහුතරයක් අම්මලා හරිම හරි ටොක්සික්.ඒක කියන්න හොඳ නැති කතාවක් උනාට ඇත්ත ඒකයි කියල මට වෙලාවකට හිතෙනවා.”

සහන් සම්බන්ධ අතීතය ද වෙනුරි සම්බන්ධ අතීතය ද  ගැන කතාබහකනිරත වී සිටි අවස්ථාවක හිමාෂා එසේ පැවසූ මොහොතක් රවිඳුට සිහි නැඟිණ.වෙනුරි ඇතැම්විට රවිඳු අත්හරින්නට හිත හදා ගන්නට ඇත්තේ කැමැත්තෙන් නොවේ.රජයේ සේවයේ නිරත වෙමින් සාමාන්‍ය වැටුපක් ලබන ජීවිතය ගොඩනගා ගන්නට වෙහෙසෙන තරුණයෙකුට වඩා බොහෝ දේ අත්පත්කර ගත් තරුණයෙකු අනාගතය වෙනුවෙන් තෝරාගන්නට ඇයට මව බොහෝ බලපෑම් කළ බව රවිඳු දනියි.

“මේ දේවල් අපි කියන්නේ ඔයාලගෙම හොඳට.”

බොහෝ මව්වරුන් එසේ කියමින් දරුවන්ගේ ජීවිත රූකඩයක් සේ නැටවීම ඉතා ගැටලු සහගත නමුත් එය දිගින් දිගටම සිදුවන අවාසනාවකි.

“මම ඩිවෝස් වෙන්න හදනකොට අම්මා නිතරම කිව්ව දෙයක් තමයි දික්කසාද ගෑනියෙක් අවලංගු කාසියක් ගාණයි කියලා.වෙන්නත් ඇති.ඊටපස්සෙ අම්මා බලෙන් වගේ හොයපු ගොඩක් ප්‍රපෝසල් නිසා මටත් එහෙම හිතුණා.සමහර මිනිස්සු අපේ වසන්ත සර් විතර නාකි මිනිස්සු.”

හිමාෂා ඒ කාරණා පැවසුවේ සිනාවකිනි.නමුත් ඒ සිනහවට යටවූ ඇගේ කඳුල ඔහුට හොඳින් පෙනිණ.එහෙත් ඇය පවසන කාරණාවට එරෙහි වන්නට රවිඳුට උවමනා විය.

“දික්කසාදයි කියලා ජීවිතේ ඉවර වෙනවා කියලා කියන්නේ කොහොමද?දැන් ඔය මේගන් එකපාරක් ඩිවෝස් වුණාට හැරී කුමාරයාව බැන්දේ.”

රවිඳු එසේ කියද්දී හිමාෂා හිනැහුණා ය.ඒ සිනාවට අරුතක් ඇති බව ඔහුට ඒ මොහොතේදී වැටහිණ.මේගන්ට තරම් පහසුවෙන් එවැනි ප්‍රශ්නයකට මුහුණ දෙන්නට ලාංකීය ගැහැනියකට පහසු නොවන බව ඇය සිතයි.

“ඒ හැඟීමෙන් මිදෙනකම් කොහොමත් ඔයාට වුණත් සැනසීමක් හොයා ගන්න අමාරුයි.දික්කසාද වුණේ ඔයාගේ වරදකින් නෙවෙයි.ඔයාගේ වරදකින් වුණත් කමක් නෑ.වැරැද්ද හදා ගන්න ඔයාට අයිතියක් තියනවා.මේ කතාවේ ඔයාගේ වරදකුත් නැතුව ඔයා දඬුවම් විඳින්න ඕනද?”

හිමාෂාගෙන් පිළිතුරු නොආ කෙටි පණිවිඩය නැවත නැවත කියවමින් රවිඳු සිතී ය.පාරමීගේ ප්‍රශ්නය ඉතා ඉක්මනින් විසඳෙන්නේ නම් හිමාෂාට හදවතේ ඇති සියල්ල පැවසීමට කාලය උදාවන බව ඔහු ඉන් අනතුරුව සිතුවේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles