මිනිස්සුන්ට මොන තරම් දරාගන්න පුළුවන්ද කියලා හිතමින් මම එදා රෝහලට ගියා.කකුලේ අස්ථියක් සම ඉරාගෙන අඟල් තුන හතරක් උඩට මතු වෙලා තියෙද්දිත් දරාගෙන හිටපු අම්මා රෝහලට ගියෙත් කිසිම විලාප නැඟීමකින් තොරවයි.එහෙම ගිය ඇය ගැන වෛද්‍යවරුන් පැවසුවේ එකම එක දෙයක්.
“කකුල කපන්න ඕනේ..”
එහෙත් අම්මා එයට එතරම් මනාපයක් දැක්වූයේ නෑ.කකුල කපන්න ඉඩ දෙන්න බැරි බව ඇය කියා සිටියා.ජීවිතයේ අග භාගයේ ඉන්න රෝගීන්ගේ නොරිදවා ඔවුන්ට අවශ්‍ය දේ කරන්න ඉඩ දීම සාමාන්‍යයෙන් රෝහල් තුළ සිදුවන දෙයක්.අම්මාගේ ඉල්ලීමත් රෝහලෙන් ඉටු වුණා.ඇයට සැත්කමකට භාජනය කරලා කකුලෙ අස්ථිය කැඩුණු තැනට යකඩ පතුරක් යෙදුවා.අස්ථි ලියලීමක් සිදු නොවුණත් අම්මගේ හිත හැදෙන්න මෙවැනි සැත්කමක් සිදු කරන්න ඇති.
මට අම්මා සමග රෝහලේ රැඳෙන්න සිදුවුණා.ප්ලාස්ටික් සැත්කම් සම්බන්ධ වෛද්‍යවරයෙක් ඇගේ ඒ සැත්කම සිදුකළ නිසා මහනුවර මහ රෝහලේ ඔහුගේ වාට්ටුවේ තමයි අම්මා ප්‍රතිකාර ලැබුවේ.
ඒ ජීවිතය ගැන මට අලුතින් ක්‍රියා දුන් කාලයක්.
මම උදේට උයාපිහා තියලා අම්මට අවශ්‍ය කෑම අසංකට ඕන විදියට කෑම සහ මට මොනවා හරි ඔතා ගන්නවා.එහෙමම රැකියාවට යනවා.එතනින් හවසට මම එන්නෙ රෝහලට.මගේ රාත්‍රිය ගෙවෙන්නේ රෝහලේ.මම අම්මා ළඟ රෑට ඉන්න ඕනේ.කකුලේ අමාරුව තිබුණාට අම්මට හොඳට සිහිකල්පනාව තිබුණා.
“මට ටොයිලට් එකට යන්න ඕනෑ වුණොත් තනියම යන්න පුලුවන්.අනේ ඔයා නිදාගන්න දරුවෝ..”
අම්මා මට එහෙම කියනවා.ඇත්තටම ඇයට ඒ කාර්යන්ට තමයි උදව් අවශ්‍ය වුණේ.කකුලේ අමාරුව තිබුණාට සිහිකල්පනාව යහපත් වීම නිසා අම්මට ඇඳෙන් වැටීම වගේ ගැටලු මතු වුණේ නැහැ.ඒ නිසා මම රාත්‍රිය නිදි වර්ජිතව ගත කළේ නැහැ.
රෝහලට ලොකු බ්ලැන්කට් එකක් අරගෙන ගියා.අම්මගේ ඇඳ සහ අනිත් ඇඳ අතර ඉඩ ඒ බ්ලැන්කට් එක මම එලා ගන්නවා.කොන්ඩෙ තදින් කරල දෙකකට ගොතා ගන්නවා.දැන් කොන්ඩ එහෙ මෙහෙ විසිරිලා කුණු ගෑවෙන්නෙත් නෑ.මම ගුලිවෙලා නිදාගත්තේ අන්න ඒ ඉඩේ.ඒ උනාට රෝහලකදි එහෙම නිදා ගන්න එක ලේසිත් නෑ.කෙදිරිලි හඬ නගන,විලාප නගන රෝගීන්,දිගටම දැල්වෙන විදුලි බුබුළු වගේ දේවල් එක්ක ඉස්පිරිතාලෙක නිදා ගන්න එක ලේසි නෑ කියලා කියල ඔයාලත් දන්නව ඇති.මම නින්ද යනකම් crostrich මැහුම් වල නිරත වෙන්න පටන් ගත්තා.ඒ විනෝදාංශයට හුරු පුරුදු වීම මගේ මනස සැහැල්ලු කරා.දැන් නම් බොහොමයක් වෙලාවට තමන්ගෙ වැඩිහිටියෝ ලඟ රෝහලේ තනියට ඉන්න තරුණ ළමයි කරන්නේ පණ යනකම් ෆෝන් එක ඔබන එක.ෆේස්බුක්,වට්සැප්,ඉන්ස්ටග්‍රෑම්,යූ ටියුබ් එක්ක තනියක් කොයින්ද? ඒත් අපේ කාලයේ ලෝකය ඒ තරමට දියුණු නෑ. ඒ නිසා මැහුම් රටා මගේ පාළුව නැති කරා.
“ඔයාට ඔහොම ඉන්න බෑ අනේ.රෙස්ට් රූම් එකට ගිහින් නිදා ගන්න.”
වාට්ටුවේ ඉන්න හෙදියෝ මට කියන්නේ කරුණාවෙන්.බොහොම මහන්සි පාටට ඉන්න තරුණ කෙල්ල ගැන එයාලට කණගාටු හිතෙනවා ඇති.අනිත් කතාව අම්මයි මමයි රෝහලට හොඳ පුරුදුකාරියෝ දෙන්නෙක්.ඒ තරමට අපි නිතරම රෝහල් ගත වෙනවා.
“කමක් නෑ මිස්.මම මෙහෙම ඉන්නම්..”
මම ඒ විශේෂ වරප්‍රසාදය කාරුණිකව ප්‍රතික්ෂේප කරලා ආයේ බ්ලැන්කට් එකේ ගුලි වෙනවා.
මිනිසෙකුට ජීවිතය තුළ විය හැකි දරුණුම අපරාධයක් තමයි පණ පිටින් පිළිස්සීමට ලක් වීම.අම්මා හිටිය වාට්ටුවේ හිටිය වැඩිමනත් කාන්තාවෝ ඒ වේදනාව වින්ද ගැහැනු.හදවතේ බුර බුරා දැවෙන ගින්නක් සහිතව ජීවත් වුණු මට පණ පිටින් පිළිස්සීමට ලක් වීමේ වේදනාව ගැන හරියටම අවබෝධ වුණේ ඒ කාලයේදී.
එවැනි ගැහැනු කීපදෙනෙක් ගැන හෙට ඔබට කියන්නම්.