අප ඉදිරියේ දිස් වූයේ පරක් තෙරක් නැති සයුර ය. දැන් රෑ බෝ වී ඇති නිසා වෙරළ තීරය පැහැදිලි ව දිස් නොවේ. නමුත් ඈත දියඹේ සිට ප්‍රේමය සොයා විත් තුරුලු වී මිය යන රැල්ලේ දුක් ගීතය දැන් වඩා පැහැදිලි ව ඇසේ. මුණිවර මා පසු කොට සඳැල්ලට ගියේ ය. බැල්කනි වැටට බර වී ගෙන ඔහු විනාඩි කිහිපයක නිහැඬියාවක් තුළ දිය වෙමින් සිටියේ ය. මම තවත් ටික වෙලවෙක් ඔහු පසු පස සිට ඔහු දෙස බලා සිටියෙමි. දෑතින් බදා වැළඳ ඔහු ගේ පිට මත මුහුණ තියා ගෙන ඇස් පියා ඉන්නට උපන් සිතිවිල්ල පාලනය කර ගෙන මමත් බැල්කනි වැට වෙත ගියෙමි. එකිනෙක කාමර වල බැල්කනි වෙන් වන සේ කාමර වල පැති බිත්ති බැල්කනි තෙක් ම දිගු වී ඇති නිසාවෙන් වෙනත් කාමරයක සඳැල්ලෙහි සිටිනා කෙනෙකුට අප පෙනෙන්නේ නැත. ධාරා ට ඒ දකින්නට ඉඩක් නොවීම ගැන මම සැනසුම් හුස්මක් ගත්තෙමි.
ඈතින් ගාලු කොටුවේ ප්‍රදීපාගාරයේ ආලෝක වළල්ල දිස් වේ. ඈත මුහුදේ ගමන් ගන්නා නැවක විදුලි පහන් එළි ද කනාමැදිරි තිත් සේ මෙතැනට පෙනේ. මම මඳ වෙලාවක් මුව පිටතට දිගු කර ගෙන මුහුදු සුළඟට ඒ සිප ගන්නට ඉඩ දුනිමි.
මට අම්මා අප්පච්චි සිහි විය. රෑ කෑම කත්දී මම අම්මා ට දුරකතන ඇමතුමක් දුනිමි. නිදාගන්නට කාමරයට ගිය විට කතා කරන්නයි ඕ කීවා ය. එය සිහි වී මම වහා දුරකතන ඇමතුමක් ගතිමි. යළිත් දෙවියන් මගේ මුහුණ බැලු නිසා දෝ දුරකතනයට පිළිතුරු දුන්නේ නංගී ය.
“අම්ම වොශ් රූම් එකේ. මොකද්ද හලෝ ගියානං වදයක් නොවී ඔහෙට වෙලා ඉන්නවකො”
“අම්මට කියන්න මං රූම් එකට ගියා කියල”
“ඕ ඉතිං..කොහේ ඉඳල එහෙම කියන්න බැරිද…”
“මෝඩයො. මං තියනව”
“ගුඩ් නයිට් සුදූ. අපිට ගුඩ් නිවුස් එකක් අරං එන්න”
සඳැල්ල කොනක වේවැල් පුටු දෙකක් වූයේ ය. නමුත් මුණිවර බිම හිඳ ගෙන නවා ගත් දණහිසක් මත අතක් තියා ගෙන හිස බිත්තියට හේත්තු කොට ගත්තේ ය. හිස ඇද කොට යන්තම් එදෙස බලා උන් මම ඉතා හෙමිහිට අඩිය තබා එතැනින් හිඳ ගතිමි. මගේ කොට ගවුම් සාය නිසා දෙපා තරමක් නිරාවරණය වී තිබිණි ද මට අතින් එය පිළිවෙලට සකසා ගත හැකි විය. අප අතරේ පරතරය අඟලකට වැඩි වූවා කියා නො සිතමි. මට ඔහු ගේ සුවඳ ද උණුහුම ද දැනුණේ ය. ගැහැනු හද තුළ ප්‍රේමයේ තෘෂ්ණාව දැල්වෙන හැටි මට දකිත හැකි විය.
මුණිවර මගේ සුරත සිය වමතින් ගෙන අතැඟිලි පටලා තද කොට අල්ලා ගත්තේ ය. අනිත් අතින් ඔහු ගේ වමත් ගොබය අල්ලා ගෙන එහි මුහුණ තියා ගන්නට මට මහ ලොකු වෙලාවක් ගියේ නැත. සෞම්‍ය ලෙස ප්‍රේමය සරැලි නගමින් තිබිණ. මුණිවර හිස හරවා මගේ නළල් තලය සිප ගත්තේ ය. ඉන් පසු අප ඉදිරියේ හඬන සයුරේ හඬ අසා ගෙන නිසොල්මනේ විනාඩි කිහිපයක් ගත කළේ ය.
“මං කෑලි වලට කැඩිල බිඳිල ගිය මිනිහෙක් මන්දාකිණී”
සයුරේ ශෝක සත්සර අතරින් දුක් ගීතයක් සේ ඔහු හඬ අවදි කළේ ය. මා ඒ අත තවත් තදින් වැළඳ ගන්නට ඇත. මගේ හදවත හෙලවීමකට ලක් වූ බවක් මට දැනිණ.
“බිඳි බිඳී ගොඩනැගෙන්න දඟලපු මිනිහෙක්…ඒත් ඔයා…මං දන්නව…පරිස්සමට හදපු වීදුරුවක් වගේ ඔයා අලුත්. කැඩිච්ච බිඳිච්ච පළුදු නැති හරි නිර්මල හිතක් ඔයා ළඟ තියෙන්නෙ. ඒක පළවෙනි දවසෙම මං ඔයාගෙ ඇස් වලින් දැක්ක. සමහර විට ඒක නිසා වෙන්න ඇති මං ඔයාගෙං හැංගි හැංගි ඉන්න බැලුවෙත්. මට ඔයාව පරිස්සං කර ගන්න ඕන මන්දි. බිඳිල නැති බිඳීම් වලින් ගොඩනැගෙන්න දඟලන්නෙ නැති ඊස්තටික් කෙල්ලෙක් වගේ මට ඔයාව හැමදාම දකින්න ඕන. ඒක නිසා ඉස්සරටත් වඩා ගොඩාක් දැන් මං හිතන්න ඕන. දැං මං පරිස්සං වෙන්න ඕන. ඔයාවත් පරිස්සං කර ගන්න ඕන”
මම එහෙම ම හිඳිමින් ඔහු ගේ උර මඬලෙහි හිස හොවා ගතිමි. මගේ හිසත් නළලත් කොපුල් හා ගෙලත් මත ඔහු ගේ හාදු වැස්සක් වැස්සේ ය. මම ඒ අත් ගොබය මගේ දෑතින් ම වැළඳ ගෙන සිටියෙමි.
“ගෑනියෙක්ව කසාද බැන්දත් මං ආයෙ ගෑනියෙක්ට ආදරේ කරන්න හිටිය මිනිහෙක් නෙවෙයි. ඒත්…දැං මං ඔයාට හුඟාක් ආදරෙයි. ඒක ඔයාට කියන්නත් කලින් ඔයාගෙං අහන්නත් කලින් මං ඔයාගෙ මූණ ඉම්බෙ අවලං හිතකින් නෙවෙයි මන්දාකිණී..ඔයා ආදරෙයි කියල දන්න නිසා. මං ආදරේ බව ඔයා දන්නව කියලත් දන්න නිසා. මට ඔයාව නැති කර ගන්න බෑ. මට ඔයාව නැති වෙන්න දෙන්නත් එපා. එහෙම වුණොත්…ආයෙ බිඳිල ගියොත් මට ඒ බිඳීම් වලින් බිල්ඩප් වෙන්න ඕන වෙන එකක් නෑ. ජීවිතෙං දැං මට වෙන මොනාත් ඕන නෑ මන්දාකිණි.. මං වෙන මොනාත් ඉල්ලන්නෙත් නෑ”
එතැනට ඉතා පුළුල් අහසක් දිස් වෙමින් තිබිණ. ඒ අහසේ තැන් තැන් වල මා හඳුනන තාරකා කිහිපයක් ද නො හඳුනන තාරකා රාශියක් ද දිළෙමින් තිබුණේ ය. මට ඔහු වෙනුවෙන් යමක් කියා ගන්නට ඕනා වී තිබිණි. නමුත් මුව අතිශය ගොළු වී ඇතිවා සේ දැනිණ. අවසන මා හඬ අවදි කර ගත්තේ අසීරුවෙනි.
“මං…ඔයාට නැති වෙන්නෙ නෑ”
“ධාරාට අපි මේ ගැන කියමු. අම්..එයා නරක ළමේක් නෙවේ. එයා තේරුම් ගනී මේක”
“එයාට දුක හිතෙයිනෙ”
ඔහු ගේ සමනලයෙක් තටු සලන තරම්, මොනරෙක් පිල් විදාලන තරම් චමත්කාර වූ සිනහව පිපිණි.
“කියන්නැතුව හිටියොත් ඊට වඩා දුක හිතෙයිනෙ. ම්..”
“එයා පව්”
“මට දෙන්නවම ගෙදර ගෙනියන්නද කියන්නෙ..”
“ආස ඇති නේ..”
හෝරා ගණනක් ගෙවී යන තෙක් අපි අපේ අත් තදින් අල්ලාන කතා කරමින් සිටියෙමු. මුහුදු සුළඟ ඇතැම් විට මාව නින්දක් කරා ගෙන යන්නට හැදුවේ ය.
“ඔයාට නිදි මතයි. දැන් රූම් එකට යන්න”
මුණිවර කීවේ ය. නමුත් මම එය ප්‍රතික්ෂේප කළෙමි. මට ඕනෑ වූයේ රැය පහන් වන තුරා ම ඒ විදිහට ඔහු ට තුරුලු ව සිටින්නට ය.
“සින්දුවක් කියන්න”
“මේ වෙලාවෙ..”
“හ්ම්..”
“මොකද්ද කියන්නෙ..”
“ඕන එකක්. දැන් ඕන එකක් කියන්නෙ මටයි කියල මං දන්නව”
“පිස්සි”
ඔහු සේපාලිකා මලයි සුදුපාට මීදුමයි ඉතා ම මෘදු ලෙස ගැයුවේ ය. ඒ උරහිස මත්තේ ම මට නින්ද යන්නට ඇත්තේ ඒ ගීතය අසා ඉන්නා අතරේ ය. නැවත මගේ නෙතු හැරෙත්දී අප අවට සුදු පාටින් ආලෝකවත් වෙමින් තිබිණ. මුහුදු සුළඟේ ලුනු සුවඳ හමා ආවේ ය. මගේ හිස මත හිස තියාන මුණිවර නින්දට වැටී සිටියේ ය. මම මගේ අතක් ඔසවා සියුම් ව ඒ කොපුලක් පිරිමැද්දෙමි. ඔහු අවදි වූයේ එතකොට ය.
“අම්..එළි වෙලා නේද…”
මුණිවර කලබලයෙන් නැගී සිටියේ ය. මම ඔහු පසු පස කාමරයට ඇතුළු වූයෙමි. දොරගුළු හරින්නට අත තබමින් ම මුණිවර ආපසු හැරී මදෙස බැලුවේ ය. හදවත පත්ලේ තිබි නන්නාඳුනන හැඟීමක් සුළි සුළඟක් සේ නැගී ඉහළට ආවේ ය. ඔහු දොරගුල අත්හැරියේත් මා ඔහු ගේ පපුවට තුරුලු වූයේත් එක ම මොහොතක ය. ඉතා තදින් අප ව වැළඳ අපි තවත් විනාඩි කිහිපයක් ම එසේ සිටියෙමු.
“තෑන්ක් යූ”
ඔහු හෙමිහිට මිමිණුවේ ය. මම දෑස් පියා ගෙන ම කතා කළෙමි.
“ඇයි…”
“මාව විශ්වාස කරල මුළු රැයක් ම මාත් එක්ක හිටියට”
මම තවත් තදින් ඔහු වැළඳ ගතිමි.
“තැන්කූ”
මගේ හඬේ තියෙන්නට ඇත්තේ හුරතලයකි.
“ඇයි…”
ඔහුගෙන් මට ප්‍රේමයේ ප්‍රතිමූර්තියක හඬ ඇසිණ. දැනිණ.
“එහෙම රැයක් මගෙ ජීවිතේට දුන්නට”
අප සමු ගත්තේ සමු නො ගෙන බැරි කමට ය. තවමත් කාමර වල දොරවල් ඇරී තිබුණේ නැත. හැම කෙනෙක් ම තව ම සුව නින්දේ විය යුතු ය. මම ඉක්මන් කොට කාමරයට ගොස් යහනේ පෙරලී ගතිමි. මගේ මුවග වූයේ ප්‍රේමය සදාකාලිකත්වයට නංවන්නා වූ දිව්‍යමය සිනහ රැල්ලක් විය යුතු ය.
හෝටලයෙන් උදේ කෑම ගෙන හික්කඩුව වෙරල, ගාලු කොටුව, රූමස්සල, වැනි ස්ථාන වෙත යමින් අපි යළි බොරලන්ද බලා එන්නට පටන් ගතිමු. දසුන් ගෙන් සමු ගනිත්දී හිතට හීන් දුකක් නො දැනුණා නොවේ. ඔහු ඉක්මනින් යළි කඳුකරයට එන බවට පොරොන්දු වූයේ ය.
“ඔළුව කන්නෙ නැතුව මේකාව බලා ගන්න ඕන හරිද…”
ධාරා ට නෑසෙන සේ ඔහු මට කීවේ ය. මම දෙතොල් තද කර ගෙන බිම බලා සිනහ වුණෙමි. අධිවේගී පිවිසුමට ඇතුලු වන්නට පෙර දිවා ආහාරය ද ගෙන සිටියෙන්, ඉන් පසු තිබුණේ දීර්ඝ ගමනකි.
පෙර දිනයේ තිබූ සතුට ධාරා ගෙන් මම නොදුටිමි. ඒ කියන්නේ ඇය තරහවකින් හිටියා කියන එක නොවේ. සිනහ වී කතා කළා ට මගේ සිතට වෙනසක් දැනිණ. ඒ වෙනස ඇත්තේ මගේ සිත තුළ ය කියා ද මට නො සිතුණා නොවේ.
ආපසු එන ගමනේ දී ඇය වැඩිපුර කළේ කවුළුවෙන් පිටත බලා ගෙන කල්පනා කරනා එක ය. මගේ හිතේ වන දෙගිඩියාව නිසාවෙන් මට කිසිත් ඇගෙන් විමසීමේ හැකියාවක් තිබුණේ ද නැත. ඒ නිසා වෙනසක් නො දැනුණ සෙයින් ඉන්නට මට සිදු විය. නමුත් එය සිත් හි ඇති කළ පීඩනය ගමනේ සතුටට බල නොපෑවා කිව නො හැකි ය.
මුණිවර නම් වෙනදාට වඩා සතුටින් ද සැහැල්ලුවෙන් ද සිටියේ ය. අපි රාවනා ඇල්ල ළඟ නැවතී තේ බිව්වෙමු. මම ධාරාට බඩ ඉරිඟු කරලක් ගෙන ගොස් දුනිමි. ඇය සිනහ වී එය ගත්තා ය.
“අපරාදෙ ආවෙ කියල හිතෙනෝ අනේ”
ඇය කීවා ය. මගේ පපුව පත්ලෙන් සීතලක් හට ගනු මට දැනිණ.
“ඇයි…”
“කම්මැළියි”
“අපි සින්දුවක් කියමු”
“හාපෝ…මං සින්දු කිව්වොත් කට්ටියට කං වල ඇබ ගහ ගන්න වෙයි”
අපි දෙන්නා ම තරමක් හඬ නගා සිනහ වීමු. නමුත් අප දෙදෙනා ගේ ම සිනහවේ කිසියම් වංක බවක් වූවා සේ මට දැනුණේ ඇයි? කෙසේ වෙතත් රාවනා ඇල්ලේ සුන්දරත්වය සිත් සේ විඳ ගන්නට මට නො හැකි වූ බව විශ්වාස ය.
අප ගුරුතලාවට ළඟා වන විට රෑ බෝ වී තිබිණ. ධාරා ව මුලින් ගෙදර බස්වා මා ඇරලන්නට ගියේ ඉන් පසුව ය. පසු දා මිස්ට් ෆීල්ඩ් වලට නිවාඩු ය.
“හොඳට නිදා ගන්න හරිද…”
ගුරු නිවාසය ඉදිරියේ දී රියෙන් බැසි පසු මුණිවර මගේ කනට කොඳුරා කීවේ ය. සිනහ වූවා ට පෙර දා රාත්‍රිය සිහි වී මගේ මුහුණ රතු වන්නට ඇත. පසු දා මා අවදි වූයේ අම්මා ගේ අවදි කිරීමෙනි.
“අන්න අර ළමය ඇවිත්”
මම ඔරලෝසුව දෙස බැලුවෙමි. වෙලාව නවයයි තිහ පසු වෙමින් තිබිණ.
“මොන…”
“අර..ධාරා කියන ළමය”
මම විගස මුහුණ සෝදා ගෙන මිදුලට බැස්සෙමි. ඇය කුඩා ලෙදර් බෑගය තුරුලු කර ගෙන සිමෙන්ති බංකුවෙහි හිඳ සිටියා ය. මා දුටු ඕ සිනහ වෙත්දී පපුව හෝස් ගා දැවී යනවා මට දැනිණ.
“අපි ටිකක් ඇවිදින්න යන්ද…”
“යං”
ඒ වෙත්දීත් මිහිදුම තුනී ව තිබුණේ නැත. සයිප්‍රස් හා ටර්පන්ටයින් ගස් සිය හිස් මත්තේ මිහිදුම දරා සිටියේ ස්නේහයෙනි. මම සීතලට අත් බැඳ ගතිමි. පාරේ ටික දුරක් අප ඇවිද ගියේ කතා නැතිව ය.
“මං ට්‍රිප් එක ගියේ අපරාදෙ කියල හිතෙනව. ආයෙ හිතෙනව එක අතකට ගිය එක හොඳයි කියල”
මම තිගැස්සී ගිහින් ඒ මුහුණ බැලුවෙමි. සිය විසල් දීප්තිමත් දෑස් වලින් මදෙස බලා ඕ බබෙක් සේ සිනහ වූවා ය. නමුත් ඊළඟ නිමේශයේ ඒ ඇස් වලින් කඳුළු ගලා එන්නට පටන් ගත්තේ මා කිසි සේත් බලාපොරොත්තු නොවූ සේ ය.