ඒ රාත්‍රිය මගේ ජීවිතයේ තීරණාත්මක රාත්‍රිය විය. දසුන් ද හෝටලය වෙත පැමිණ සිටියේ ය. වෙරළේ ඇවිදීම, කෑම ගැනීම වැනි ක්‍රියාකාරකම් වල සුපුරුදු පරිදි යෙදුණ ද අප හැම කෙනෙකු ගේ ම හිත් වල බරක් මිස සතුටක් කියා දෙයක් වූවා කියා නො සිතමි.
“මට තේරෙන්නෑ නංගි මොනා කරන්නද කියල…කොයි තරං සල්ලි වියදං කරල හරි මූට ආයෙ මතකය ගන්න පුළුවන් නං ඒක කරන්න තිබුණා. දෙයියන්ගෙන් ඉල්ලනව මිස අපි වෙන මොනා කරන්නද…”
දසුන් මා හා තනි ව කතා කරන්නට අවස්ථාවක් හදා ගත්තේ ය. මම මලානික මඳහසක් නගා ගතිමි.
“මෙතනිං එහාට මගෙ බලාපොරොත්තුවක් නෑ අයියෙ”
“එහෙම කියන්න එපා. මං මුණිවරයත් එක්ක මේ ගැන පහුගිය ටිකේම සෑහෙන්න කතා කළා. ඌට ඇක්සිඩන්ට් එකට කලින් ඔයාව මතක නෑ තමයි. ඒත් ඊට පස්සෙ ඌ ඔයාව දන්නවනෙ. ඌට ඔයා හිටපු පීරියඩ් එක අමතක වෙලා කියලත් දන්නවනෙ. ඔයා විතරක් නෙවෙයි ඒ පීරියඩ් එකේ සිද්ද වෙච්ච කිසි දෙයක් මතක නෑනෙ. ඉතිං අපිට මොන හේතුවක් නිසාවත් මුණිවරට දොස් කියන්න බෑ. ඌ හිතා මතා කරපු දෙයක් නෙවේනෙ”
“ජාති ජාතිවත් මං එයාට දොස් කියන්නෙ නෑ. මං එයා එක්ක තරහ වෙන්නෙත් නෑ”
“එහෙම නෙවෙයි නංගි. අමතක වීමක් තිබුණට මුණිවර මැරුණෙ නෑනෙ. ඔය ඉන්නෙ එදා හිටපු ඒකාම තමයි. ආයෙමත් ටික ටික ඌ ඔයාට ආදරේ කරයි. ඒ ෆීලිංස් ඇති වෙන්න කාලෙ ඕන වෙයි. මොකද මේ ගෙවෙන්නෙ එහෙම නිවී සැනසිල්ලක් තියන කාලයක් නෙවෙයිනෙ. හැම පැත්තකින්ම ඌට ප්‍රෙශර් එක. අර ධාරාගෙ අම්ම ඔක්කෝටම හපන්. මුණිවර මට කිව්ව කලිනුත් ඌ ධාරාව මැරි කරන්න බෑ කිව්වනං මේ සැරෙත් ඒ තීරණේ ගන්නව කියල. ඉතිං ඔහොම යන්න අරිමු. ටිකක් කල් යනකොට ආයෙ මුණිවර ඔයාට ආදරේ කරන්න පටන් ගනී. අපි එතකං ඉවසමු”
“අනේ මට බෑ අයියෙ. මට ආදරේ කරපු මුණිවර ඉන්නෙ ඒ පරණ මතකයෙ. ඒ මුණිවර නැතුව මං කොහොමද කවුරුවත් කියන නිසා මං ගැන හිතන්න හදන කෙනෙක්ට ලං වෙන්නෙ”
“ඔය ඉතිං…උඹල ඔක්කොම හිතුවක්කාරයිනෙ”
“අනේ ප්ලීස් අයියෙ…ඔයා මාව තේරුං ගන්නකො”
ඒ අවසාන උත්සාහය බව මම දැන සිටියෙමි. ඒ කාමරයේ සැඳැල්ලෙහි බිමින් මා ඔහු හිඳුවා ගත්තේ අසීරුවෙනි.
“අම්…ඔයා කියන්නෙ අපි මෙතන බිම ඉඳං හිටිය කියලද..”
ඒ ඇස් වල විශ්වාසයක් නොවී ය. මම පිච්චෙමින් සිටියෙමි.
“ඕකේ ඕකේ. අඬන්න හදන්න එපා. මං ඉඳගන්නං”
මුණිවර පොඩි ළමයෙකු සේ මට කීකරු වෙමින් සිටියේ ය. නමුත් මා පතනා ඔහු එවැන්නෙක් නොවේ. ඒ ඔහු මුල දී මා කෙරේ හැසිරුණ ආකාරය නොවේ.
“ධාරා කලිනුත් තේරුං ගත්තලුනෙ මං එයාව මැරි කරන්න බෑ කිව්වහම. ඉතිං මං ආයෙ එහෙම කියන්නං. එතකොට මේ මුකුත් නෑනෙ”
“අනේ එහෙම නෙවෙයි මිස්ට මුණිවර…ඒ රෑ කොච්චර ලස්සනද…මේ වගේම එදත් අහස තද සුදු පාටකටයි පෙනුණෙ. තරු හරිම අඩුයි. හුළඟ හරිම සීතලයි. ඒත් අපි මෙතනට වෙලා ගොඩක් කතා කර කර හිටිය. ආදරෙයි කියල කොච්චර අඟවල තිබුණත් එදා තමයි ඔයා ඒක කටින් කිව්වෙ. අපිට නින්ද යන්න ඇත්තෙ පාන්දර යාමෙ. එළිය වැටෙනකොට මගෙ ඇස් ඇරුණා. ඒ වෙලාවෙ මං හිටියෙ ඔයාගෙ උරහිස උඩ ඔළුව තියං නිදාගෙන. ඔයා මගෙ ඔළුවට ඔයාගෙ ඔළුව තියං නිදාගෙන හිටිය. මං රූම් එකෙන් යන්න යනකොට ඔයා මාව හග් කළා. ඔයාව විශ්වාස කරල මුළු රැයක් ඔයා ළඟට වෙලා හිටියට තෑන්ක් කළා. අනේ මුණිවර මගෙ ජීවිතේ මෙච්චර කාලෙකට උදා වුණ ලස්සනම රෑ ඒක. මං හිතන්නෙ ඔයාගෙත්. ඒ වගේ අතීතයක් අමතක වෙලා මට ඔයාව විතරක් ලැබිල මොකටද…හැමෝම කියනව ඔයාව බඳින්න කියල. පහු වෙලා මතකෙ එයි කියල. ඒත් ආවෙ නැති වුණොත්…එදා ඔයා මෙහෙම හිටියෙ නෑ. ඒත් අද ඔයා එදා වගේ නෙවෙයි. ඒක තමයි වෙනස. ආදරේ තියෙද්දි මනුස්සයෙක් හැසිරෙන විදිහට නෙවෙයි ආදරයක් නැතිකොට හැසිරෙන්නෙ. මං ඒක දන්නව. ඒත් මට හිත හදා ගන්න බෑ මට ආදරේ කරන්නැති කෙනෙක්ව බඳින්න. ඔයා පහු වෙලා ආදරේ කරන්න ගනී තමයි. ඒත් අර පරණ ආදරේ කවදාවත් ලැබෙන්නෑ කියල මං දන්නව. ඒකයි මට ඕනෙ ඔයා ඒ මතකය ආයෙ අරගන්න. එදාට විතරයි ආයෙ ඔයාට පුළුවන් වෙන්නෙ මං දිහා ඉස්සර වගේ බලන්න. ප්ලීස් මුණිවර…දෙයියන්ගෙ නාමෙට මතක් කර ගන්න බලන්න…ඒ රැ ඔයාට අමතක කරන්න බෑ මුණිවර”
බෝ වෙලාවක් තනිව කියවා මා ඔහු ගේ මුහුණ දෙස හැරී බලනා විට මුණිවර හිස බිත්තියට හේත්තු කර ගෙන නින්දට වැටී සිටියේ ය. මට ඉකිබිඳී හැඬිණි.
ඒ රාත්‍රිය මට සිත් සේ හඬන්නට කාරණා සදා දුන්නේ ය. මුහුදු සුළඟේ ලුණු රසත් මගේ ම කඳුළු වල ලුණු රසයත් මගේ දිවට මොනවට දැනිණ. සයුරේ රළ බිඳෙන ශෝකී හඬ මගේ ඉකි බිඳුමට අලගු තැබුවේ ය. මා කෙතරම් අවාසනාවන්තියක ද යන්න මේ රාත්‍රිය මට කොඳුරා කියමින් තිබිණ. ඔහු ගේ හිස කඩා වැටෙත්දී මම එය සැකසීමි. බැරි තැන මගේ උර මඬල මත එහිස සතපවා ගතිමි. රාත්‍රිය ගෙවී ගියේ කිසිදු දයානුකම්පාවකින් තොර ව ය.
සුන් වූ බලාපොරොත්තු වලින් ද හිස් වූ හදින් ද යුතුව අපි ආපසු එන්නට සූදානම් වීමු.
“දුක් වෙන්නැතුව හිටපං. මට විශ්වාසයි මුණිවරයට දවසක හැම දේම මතක් වෙයි කියල. එදාට වෙන කවුරු හිටියත් ඒ හැම කෙනාවම එපා කියල ඌ ඔයා ළඟට එයි”
සමු ගන්නට පෙර දසුන් මා වැළඳ ගෙන කීවේ ය. සහෝදරයෙකු වාගේ ඔහු ගේ පපුතුර මුහුණ හොවා ගෙන මම කඳුළු වලට නිදහස දුන්නෙමි.
“ඔයා සාක්ෂි අයියෙ. මුල ඉඳලම හැම දේම දැනං හිටියෙ ඔයා. මං ළඟ නැති කාලෙක හරි එයාට මතක් වුණොත්…ඔයා කියන්න මං එයාට ආදරේ කරපු තරං. එයාට මාව මතක් කරල දෙන්න බැරුව මං අසරණ වෙලා දුක් විඳපු තරං…”
අප ආයේ එත්දීත් මගේ ඇස් බැලුවේ ම තෙත් වන්නට ය. මුණිවර ද ලොකු තාත්තා ද මාරුවෙන් මාරුවට රිය පැදවූහ. අප අතර කතා බහක් සිදු වූයේ අත්‍යවශ්‍ය දේකදී පමණ ය. සුසුම් වලින් රිය පිරී තිබිණ. මා හඬනු දකින ඇතැම් විටක ධාරා මගේ අතක් පිරිමදිමින් හිත සැනසීමේ උත්සාහයක් ගත්තා ය. නමුත් කෑලි වලට කැඩී බිඳී අසරණ වී ගිය හිතක් හැදීම පහසු නැත.
“මට තවත් කරන්න දෙයක් ඇති කියල මං හිතන්නෙ නෑ ධාරා අක්කි. ඉතුරු ටික බාර ඔයාට”
එදා සමු ගන්නට පෙර මට ධාරා ට කියන්නට තිබුණේ එපමණකි.
මම මිස්ට් ෆීල්ඩ් වලින් ඉල්ලා අස් වීමේ ලිපිය ඒ රාත්‍රියේ ම මුණිවර වෙත විද්‍යුත් තැපෑල ඔස්සේ යොමු කළෙමි. ඉන්ක්බිති කඳුළු නවතා ගන්නට කිසි සේත් මා සමත් වූවා කියා නො සිතමි. නංගී මහිස පිරිමදිමින් ද අස්වැසුම් කතා කියමින් ද මා ළඟම නිදි වැරුවා ය. නමුත් මම අස්වැසිල්ලක් විඳින්නට තරම් වාසනාවන්තියක නොවීමි.
මා ගත් තීරණය හරි ද වැරදි ද කියා මා හරියට ම දන්නේ නැත. නමුත් මා කළේ ඒ වෙලාවේ මට හරි කියා සිතුණ දේ ය. ආරංචිය දැන ගැනීමෙන් පස්සේ විදුනි මා ඇමතුවා ය.
“එහෙම කරන්නෙපා මන්දි. අපි කාලෙට ඉඩ දීල බලං ඉමු. අයිය කාලෙකට පස්සෙ ගෑනු ළමයෙක්ට කියල ආදරේ කළේ ඔයාට. එයාට ඔයාව නැති කරන්න එපා මන්දි”
ඇය බැගෑපත් වූවා ය. නමුත් දැන් ඉන්නේ මට ආදරය කළ මුණිවර නොවේ. ඔහු ගෙන්, ඔහු ට සිහි කළ නො හැකි අතීතයක් මතින් අනාගතයක් ඉල්ලා සිටීම අසාධාරණ ය. ඔහු ට මතක අතීතයේ ධාරා සිටී. ඇය ඔහු ට ආදරය කරන්නී ය. ඒ බව මා තරම් හොඳින් කිසිවෙකු දන්නේ නැත. මුණිවර ද මා ඈත් වූ කල ඇය ට ලං වෙන්නට හිත හදා ගනු ඇත.
ඒ උදයේ මම මිස්ට් ෆීල්ඩ් වෙත නො ගියෙමි. එසේ කිරීම ඒ තරම් දුෂ්කර ක්‍රියාවකැයි එසේ කරන තුරු ම මම නො දැන සිටියෙමි. මිස්ට් ෆීල්ඩ් මා නො සිතූ තරමට මගේ ජීවිතය හා බද්ධ ව තිබුණේ ය. දැන් ඉතින් උදේ පාන්දර මල් ඇණවුම් සූදානම් කරන්නේ කවුද? මල් වලට අවැසි පෝෂණය හා සත්කාර නිසි පරිදි කෙරෙනවා දැයි බලන්නේ කවුද? දිය දහරෙහි කාෆ් මත්ස්‍යයන් ට අදින් පසු පාන් කන්නට දෙන්නේ කවුද? පේෂකර්ම ශාලාවටත් ඇඟළුම් කොටසටත් දුවමින් වියනා රෙදි වල රටා හා මසනා ඇඳුම් වල මෝස්තර ගැන විමසා බලන්නේ කවුද? ගිනුම් අංශයටත් කුස්සියටත් ෆාම් හවුස් එකටත් දුවමින් කටයුතු සම්බන්ධීකරණය කරන්නේ කවුද? අන්තර්ජාලය ඔස්සේ ලැබෙනා මල් සැකසුම් හා තිලිණ නියමිත වෙලාවට නියමිත තැන් වලට යැවීම ගැන හොයා බලන්නේ කවුද?
මා නැති කාලයේත් මිස්ට් ෆීල්ඩ් වල කටයුතු නිසි ලෙස සිදු වූ බව ඇත්ත ය. නමුත් ඒ කාලේ නම් දිසානායක මහතා හෝ සිටියේ ය. මුණිවර ඔය කොයි දේ ගැනත් උපදෙස් දෙන්නට හා සංවිධාන කටයුතු සිදු කරන්නට සියුම් හැකියාවක් ඇත්තෙකු වී ද වැඩ කරන්නට නම් ඔහු දන්නේ නැත. ලොකු තාත්තා හැරෙන්නට මගේ හිතට සැනසිල්ලක් වන කෙනෙකු වෙන එහි නැත්තේ ය. වැඩ ටික පිළිවෙලට කර ගත නො හැකි වූ කල මුණිවර කෝප වනු ඇත. නො සන්සුන් වනු ඇත. නමුත් ඒ සියල්ල ගැන හිතා තව දුරටත් මා එහි ඇලී ගැලී සිටිත යුතු ද? මගේ දුරස් වීම එක්කෝ ඔහු ට මා මතක් කර දෙනු ඇත. නැතහොත් මා කියා කෙනෙකු හමු නොවූ ලෙසින් අනාගතය ට මුහුණ දීමට ඔහු හැඩගැසෙනු ඇත.
කෑමක්, බීමක්, නෑමක් හෝ වෙන කිසිත් ගැන උනන්දුවකින් තොර ව ඒ උදේ වරුව ම මම කාමරයට වී යහනේ වැතිරගෙන සිටියෙමි. අප්පච්චි හා නංගී පාසල් නිම වී පැමිණි වෙලාවේ මුණිවර හා ලොකු තාත්තා ගුරු නිවාසයට පැමිණ සිටියහ. මම කාමරයේ උළුවස්සට හේත්තු වී තිර රෙද්දට මෙපිට සිට පිටත කතා වලට කන් දී ගෙන සිටියෙමි.
“සර්ලටයි අපේ අම්මලටයි ඔක්කොටම එන්න කියල මං සර්ට කිව්වලු මන්දාකිණීව මැරි කරනව කියල. මං පොරොන්දු කඩ කරන කෙනෙක් නෙවෙයි සර්. මං මන්දාකිණීව මැරි කරනව”
මගේ පපුව පැලී යන්නට ආවේ ය. මම උළුවස්සේ ලී කඳෙහි හිස ගසා ගතිමි. මගේ මුළු සිරුර ම රිදුම් දෙන එක ම තුවාලයක් සේ මට දැනෙමින් තිබිණ.
“පුතා”
දහස් ගණන් පිරිමි පුතුන් ගේ ඇස් පෑදූ අප්පච්චි ගේ හඬ බිඳී යන හැටි මට දැනුණේ ය.
“ඒ පොරොන්දුව කියන්නෙ අමතක කරන්න බැරි දෙයක් නෙවෙයි. පුතාට පුතාගෙ ජීවිතේ ලස්සනම කාලෙ…වැදගත් ම කාලෙ මතකය අමතක වෙලා ගිහිං තියෙද්දි…ඔය පොරොන්දුවක් පස්සෙ එල්ලිලා යන්න තරං අපි නූගත් මිනිස්සු නෙවෙයි. පුතා මතකය අමතක නොවුණ මිනිස්සුත් අමු අමුවෙ පොරොන්දු කඩ කරල දාන්නෙ. මේක එහෙම ප්‍රශ්නයක් නෙවෙයි. මේක තරුණ ළමයි දෙන්නෙක්ගෙ ආදරේ ගැන ප්‍රශ්නයක්. තමංගෙ දුවට එයාගෙ පළවෙනි ආදරේ මේ වගේ අවාසනාවන්ත සිද්දියක් නිසා අහිමි වෙලා යන හැටි දකින අප්පච්චි කෙනෙක්ගෙ පපුව පළල ලෝකෙට පෙන්නන්න පුළුවන් කමක් නෑ පුතා. ඒත්…අපි මේකට මූණ දෙනව අපේ දුවත් එක්කම. එයාගෙ හිත හයියයි කියල එයා ඔප්පු කරල තියනව. ඒක නිසා පුතා ඒ පොරොන්දුව ගැන වොරි වෙන්න එපා”
“අප්…පච්…චි…”
මම නළල උළුවස්සේ තදින් හප්පා ගතිමි. මොහොතකින් එතැන ගෙඩි ගැසී ආවේ ය.
“දුවගෙ තීරණේකට අපි එකඟයි. අපි නෙවෙයි මෙතනදි තීරණයක් ගන්න ඕන එයා. එයා ඒ තීරණේ අරං නිසා…මං ඒකට මැදිහත් වෙන්නෙ නෑ දරුවො”
මම දිව ගොස් යළිත් යහන බදා ගතිමි. වක්කඩ කැඩුවා සේ කඳුළු ඉහිර ගියේ ය. තවත් ටික වෙලාවක් කටහඬවල් ඇසිණි. වඩාත් පැහැදිලි ව ඇසුණේ ලොකු තාත්තා ගේ හඬ ය. වඩාත් හද දවනා කාරණය නම් මට ලොකු තාත්තා ව ද අහිමි ව යාමයි.
හැන්දෑවේ ධාරා මා බලන්නට ආවා ය. අපි සිමෙන්ති බංකුවෙහි හිඳගෙන එක පිරිමියෙකු ට බැඳි ආදරය ගැන සිහිපත් කළෙමු.
“අභිශේක් ට මං කොච්චර ආදරේ වුණාද කියල ඔයා හොඳටම දන්නව මන්දාකිණී. ඒත් එයා ආදරේ කරන්නෙ ඔයාට කියල දැන ගත්තට පස්සෙ තව එක දවසක්වත් ඉන්නැතුව මං එයාගෙං අයින් වෙලා ගියා. මං එහෙම කළේ ඇත්තටමයි. හිතේ කිසිම තරහක් නැතුවයි. මං දැනං හිටිය ඔයා මට වඩා ලස්සනට අභිශේක්ට ආදරේ කරනව කියල. එයාට ඔයා ගැන මතකය අමතක වෙලා කියල දැන ගත්ත ගමං…මේ ඇත්තමයි කියන්නෙ..මගෙ හිතේ සතුටක් ඇති නොවුණා කියන්න බෑ. මං සතුටු වුණා. දැන් ඉතින් එයාට ඔයාව මතක නැති නිසා මට එයාව අයිති කර ගන්න පුළුවන් කියල සතුටු වුණා. හැබැයි ඒ සතුට වැඩි දවසක් තිබුණෙ නෑ. ඒක මහ කා ල කන්නි සතුටක් කියල මට තේරුණා. ඔයාට දැනෙන දුක මට හොඳට තේරුණා. මාත් සාමාන්‍ය කෙල්ලෙක් නිසා මුලදි එහෙම සතුටක් දැනෙන්න ඇති. ඒත් ගාල්ලෙ යද්දිත් මං හිතෙන් විශ් කළේ එයාට ඔයාව මතක් වෙන්න කියලයි. මේ තරං මෝඩ විදිහට මට අභීව අයිති කර ගන්න ඕන නෑ. එයාට මතක නැති වූණාට මට මතකනෙ. වෙන කෙල්ලෙක්ට ආදරේ කරපු එයාව..ඒ මතකෙ නැතිව ගිය නිසා මට ආදරයක් නෑ කියල දැන දැන අයිති කර ගන්න එක විහිළුවක්. මන්දි මං ගැන වැරදියට හිතන්න එපා. මට ඔයාගෙං අභිශේක් ව උදුර ගන්න ඕන නෑ”
ඇය කළේ පාපොච්චාරණයකි. ඒ අවංක කම ගැන මම තවත් ඇය ට ළෙංගතු වීමි. මුණවර ඇය ට ලං වෙන එක ගැන සතුටු වන්නට ඒ නිසා මට හිත හදා ගත හැකි විය.
හැන්දෑවේ තනිව ස්කූටරය පැදගෙන මම ඔහේ පාරවල් දිග ගියෙමි. ඒ මං මාවත් මට සිහිපත් කළේ මුණිවර ගැන අතීතය ය. මේ හැම තැනක ම මට ඔහු ගැන මතක තිබුණේ ය. හිම කන්දක් සේ ඝණ වෙමින් ද දිය වී වැගිරෙමින් ද ඇති හිත දරා ගෙන මා වේල්ලෙවල දෙසට ගොස් තිබුණේ කිසිදු පූර්ව සැලැස්මකට අනුව නොවේ. මට ඔහු අහිමි කළ රිය අනතුර සිදු වූ ස්ථානය අසලින් මම හෙමිහිට ස්කූටිය පදිමින් සිටියෙමි. ඇස් දෙක කඳුළු විල් බවට පරිවර්තනය වී තිබිණ. මා කිසිත් දුටුවේ නැත. මට කිසිත් දැනුණේ නැත. එය කිසියම් නිර්වින්දිත තත්වයක් සේ ය. මට දැනුණේ මා පා වෙමින් සිටිනවා සේ ය. ඒ සිහිනය සුනු විසුනු ව ගියේ කන් බිහිරි කරවනා තරම් හඬින් නැගුණු රිය නලා හඬකිනි. මා රියක් ඉදිරියට ගමන් කරමින් තිබෙනා බව මට පෙනුණේ එහි විදුලි පහන් පවා දැල්වෙමින් මට අනතුරු අඟවන්නට වූ නිසා ය. නමුත් කුමක් කරන්නද කියා නිවැරදි සිහියක් එළඹවා ගන්නට මම අපොහොසත් වීමි.