අම්මාගේ තීරණය සම්බන්ධයෙන් අමායාට නම් වූයේ වෙනත් අදහසකි.ඇය ඇතැම් වෙලාවට ජීවිතය සම්බන්ධයෙන් දරන අදහස් තරමක් පෙරළිකාර බව හිමාෂා ද දැන සිටියා ය.එනිසා අම්මා සහ නැගණිය පවසන කාරණාවලින් පිළිගත යුත්තේ කුමක්දැයි ඇය නැවත නැවත සිතන්නට වූවා ය.
“ඔයාලා වැඩිහිටි මිනිස්සු.අම්මලා තාත්තලාගෙ ආශිර්වාදය වැදගත් තමයි.ඒත් වැරදිලා හරි කැමැත්ත නොලැබුණොත් ඔයාලා ජීවිතකාලෙටම වෙන් වෙනවද?”
අමායා ඇසුවේ සෘජු ප්‍රශ්නයකි.ඒ ප්‍රශ්නයට පිළිතුර ලෙස දෙන්නේ කුමක්දැයි හිමාෂා සිතන්නට වූවා ය.බොහෝවිට දරුවන් අසරණ වන තැන මෙතැන ය.ජීවිතය ගොඩනඟා ගත් පසු එහි බොහෝ වැදගත් තීරණ අම්මා සහ තාත්තා ට තාත්තාට අවශ්‍ය ලෙස ගන්නට සිදුවීම දරුවන් එක්තරා ආකාරයකට අසරණ වන තැනක් බව ඇය හොඳින් දනියි.නමුත් කළ හැක්කක් ද නොවේ.
“ඔයා හිතන්නකො.මම කොහොමද එහෙම කරන්නේ කියලා.මට අකමැති වෙන්න රවිඳුලගෙ අම්මට හොඳ හේතුවක් තියෙනවා.ඒක අමතක කරන එක මම මටම කරන අසාධාරණයක්.”
විවාහයක් කියන්නේ අවබෝධය සහ ආදරය මත එක්වීම මිස අන් කිසිවක් නොවන වග අමායා තර්ක කළා ය.ප්‍රේමය වයස හෝ වෙනත් කිසිම සාධකයකට ලඝු විය යුතු නොවේ.විවාහයක් විනාශයක් වන්නේ ලෝකයට ඉතා සුන්දරව පෙනෙන කාරණා ගලපා ගැනීම මිස තමන්ගේ ලෝකය සුන්දර කරන කාරණා ගලපා ගන්නට නොයාම නිසා බව ඇය තර්ක කරන්නට වූවා ය.
“එක්කෝ කුලේ හොයනවා.එහෙම නැත්නම් කලින් සම්බන්දකම් ගැන අනන්මනන් හොයනවා.ජීවත් වෙන්න ඔය එක කාරණාවක්වත් වැදගත් නෑ කියලා දෙමව්පියො තේරුම් ගන් නෑනෙ.”
කාන්තාවන් බහුතරයකට කුලගෙය ගිනි ගෙයක් වන්නට ඒ සාධක බලපාන බව හිමාෂා ද සිතුවා ය.
“මිනිස්සු තමන්ගේ ජීවිතය ගැන ප්ලෑන් එකක් තියාගන්න ඕන.ඒ ප්ලෑන් එක හරියටම ක්‍රියාත්මක කරන්න පුළුවන් කෙනෙක් මිසක් රටට ලෝකෙට ඕන මිනිස්සු කසාද බැඳගන්න නරකයි.”
අමායා තර්ක කිරීම නවතා තිබුණේ නැත.
“ලුණුයි බතුයි කාලා හරි ජීවත් වෙමු කියන මිනිස්සු නෙමෙයි හරියට ආදායමක් තියෙන මනුස්සයෙක් කසාද බඳින්න ඕනෙ කියන කතාව මට කිව්වේ අම්මා.මම ඒක පිළිගත්තා.ඒත් අන්තිමට සිද්ද උනේ මට වහ කන්න වෙන තරමට වැඩ සිද්ධ වෙන එක.”
සහන් සම්බන්ධයෙන් එය එසේ වුවද යහපත් ආර්ථික මට්ටමක් නොමැති මිනිසෙකු ද විවාහයකට කිසිසේත් නොගැලපෙන බව අමායා කියන්නට වූවා ය.සමාජ ජාලාවල ඇතැම්විට ප්‍රවර්ධනය කරන ආදර කතා සැබෑ ලෝකයට ඈඳා ගන්නට යන තරුණියන් ද නවතින්නේ දික්කසාදය අසල ය.
“කසාදෙ කියන්නෙත් ලේසි දෙයක් නෙමේ.”
නැගණිය නගන ගැඹුරු තර්ක හමුවේ හිමාෂා එසේ පැවසූයේ වියළි හඬකිනි.ජීවිතයේ බොහෝ තැන් අසාර්ථක වූ හන්දාම ඇයට මෙවැනි තැනකදි දැනෙන්නේ අනාගතය පිළිබඳ අවිනිශ්චිත බවකි.ඒ හැඟීම පිළිගන්නට ද ඇය සතුටු නැත.
“කසාදෙ නෙවෙයි ජීවිතෙත් ලේසි නෑ.ඒත් අපි ජීවිතේ ගැන මොකක්හරි තීරණයක් ගත්තම ඒ තීරණේ අනුන්ට ඕන විදියට පාවිච්චි කරන්න ඕනෙද?”
මේ ප්‍රේමයේ තීරකයා රවිඳුගේ අම්මා නොවන බව අමායා තදින් විශ්වාස කරයි.එක් අතකට එය සාධාරණ කතාවක් බව හිමාෂාට ද නොසිතෙනවා නොවේ.
“ඕනෙම වෙලාවක ඕන දෙයක් වෙන්න පුළුවන් අක්කා.කට ඇරලා නොකිව්වට ඔයා රවිඳු අයියට ආදරේ කරනවා.එයත් නොකියා හිටියට ඒක එහෙමයි කියලා පේන්න තියෙනවා.ඒ ගැන එකඟතාවයකට ඇවිල්ලා අනාගතේ සැලසුම් කරනව මිසක් දෙමාපියන්ගේ අවසරය අරගෙන හැමදෙයක්ම ප්ලෑන් කරන එක ඇත්තටම කරන්න පුලුවන් ද කියලා හිතන්නකො.අනිත් එක ඕනෙම වෙලාවක ඕනම දෙයක් වෙන්න පුළුවන් කියලා මං ඔයාට ආයෙමත් කියනවා.ඔයා දැන් ඉන්න හීන ගොඩක.ඒ හීන අම්මා අකමැති කියලා රවිඳු අයියා විනාස කරොත්? ඒක ඔයා පහුගිය කාලේ හිටියටත් වඩා ඔයාව අවුල් කරන්න හේතුවක් වෙනවා.”
හිමාෂාට මේ වචන වේදනාවක් රැගෙන ආවේ ය.නමුත් අමායා ඉතා සරලව පවසන කතාව ගැඹුරු සත්‍යයක් සහිත කතාවකි. අම්මා,රවිඳුගේ අම්මා පමණක් නොව තමන් ද මවකි.තමන්ගේ දියණියගේ අනාගතය වෙනුවෙන් තමන්ගේ මානසික සෞඛ්‍ය යහපත්ව තබා ගැනීම ද වැදගත් බව හිමාෂාට සිතෙන්නට වූවා ය.
“මම කියන්නේ නෑ ඔයාට ඉස්සර වෙන්න කියලා.ඒත් ආදරයක් තියෙනවා නම් මේක ඉස්සරහට ගෙනියන්න අවශ්‍යයි නම් රවිඳු ඔයත් එක්ක කෙලින් කතා කරන්න ඕනේ.ඒකට එයා ලෑස්ති නැත්තං ලොකු ගමනක් තනියම ගිහින් හිත රිද්ද ගන්න කලින් ඔයා දැම්ම තියා හිත හදාගන්න එක තමයි අක්කා හොඳම දේ.”
ඉතා ඉක්මනින් තමා විවාහයකට එළඹෙන බව සහන්ට පවා පුරාජේරු පැවසූ අන්දම හිමාෂා සිහි කළා ය.සිහිනයක සැරිසරද්දි එවැනි දෑ කරන්නට සිතීම ගැන ඇය ඇයටම සමාව දුන්නා ය.නමුත් සිහිනයට වඩා යථා ලෝකය වෙනස් ය.ඇය සැබෑවට මුහුණ දෙන්නට සිත එකඟ කරගත්තා ය.