(අ)හිමි සිහින -166

ඔබේ පවුලේ අසාධ්‍ය රෝගියෙක් ඉන්නවානම් ඔබ ඒ රෝගියාට කළ යුතු හොඳම දේ කරන අතර දිය හැකි ඉහළම වෛද්‍ය උපදෙස් ලබා දෙන්නට කටයුතු කරනවා ඇති.එය එසේ නොවේදැයි ඇසිය යුතු වන්නේත් නැහැ.ඒ නිසා මා මේ කියන්නට යන කතාව ඔබ මහත් පුදුමයකට පත් කරනවාට සැක නැහැ.

ඒ මොහොතේ වෛද්‍යවරයා කතාකරමින් හුන්නේ හමුදා රෝහලේ අධ්‍යක්ෂවරයෙක් සමඟ බව මට වැටහුණා.මම ඒ ඇමතුම අවසන් වන තුරු එතැන රැඳී සිටියේ වෛද්‍යවරයා මට එතැන රැඳෙන්නැයි පැවසූ නිසා.

“අපි ඇයි සුධාරකව එවන්න ඕනෑ?”

වෛද්‍යවරයා එසේ අසන අන්දම ඇසෙද්දී මට සිතා ගන්නට නොහැකි වුණා.මේ හුන් තැනින් සෙලවීමටවත් නුසුදුසු බව පැවසූ රෝගියෙක්.මම ඒ අසා ගල් ගැසී ගියා.වෛද්‍යවරුන් මා සුධාරකගේ කවුදැයි දැන සිටියා.ඔවුන් දිල්හානි ගැන ද ඒ වෙද්දී විස්තර දැනගෙන සිටි බව මම දන්නවා.ඒ නිසා සිදුවී ඇත්තේ කුමක්දැයි ඔහු මට විස්තර කරන්නට වුණා.

පවුලේ උදවිය එක්වී සුධාරකව කොළඹ හමුදා රෝහලට එන එන්නට දිල්හානි පොළඹවාගෙන තිබුණා.ඇයට ඒ ඉල්ලීම කරමින් ලිපියක් ඉදිරිපත් කරන්නැයි ඔවුන් පවසන්නට ඇති බවයි මට දැන ගන්නට ලැබුණේ.අනුරාධපුර රෝහලේ සුධාරක ප්‍රතිකාර ලබද්දී මා නිරන්තරයෙන්ම පැමිණෙන බවත් එය පාලනය කිරීමට හැක්කේ සුධාරක හමුදා රෝහලට යැවීමෙන් ඔවුන් පවසා තිබුණා.කෙසේ හෝ අතිශය අසාධ්‍ය මට්ටමේ රෝගියෙකු සමඟ විවිධ අත්හදා බැලීම් කළ යුතු නැතැයි දිල්හානි සිතුවේ නම් ඇය මෙවැනි විකාරසහගත වැඩ කරන්නේ නෑ.නමුත් ඇයට මේ මොහොතේ වැදගත් වූයේ ලැබූ ජයග්‍රහණය සැමරීම පමණයි.මා නොදන්නවා වුවත් සුධාරකගේ ඥාතීන් මේ වෙද්දී ඔහුගේ මිය යාම අපේක්ෂාවෙන් සිටි බව ද මා දන්නේ පසුව.ඔවුන් කොළඹ ගොස් නැවත පැමිණ තිබුණේ සුදු ඇඳුම් පවා මිලට ගැනීමෙන් අනතුරුවයි.

මේවා මේ ආකාරයෙන් සිදුවන නිසා සුධාරක වෙනුවෙන් වෛද්‍යවරයාට කතා කරන්නට මම තීරණය කළා.

“එයාව හොල්ලන්නවත් හොඳ නෑ කියලනෙ කිව්වෙ ඩොක්ට.අනේ ඇයි මෙහෙම කරන්නේ?”

මම එසේ අසද්දී වෛද්‍යවරයා පැවසුවේ මෙය “පවුලේ තීරණයක්” ලෙස ඉදිරිපත් වී ඇති බවයි.මුලදී අපි ඔහු ජාතික රෝහලට යවන්නට යෝජනා කළත් එය කරන්නටත් අසීරු වූයේ සුධාරක සෙලවීම පවා කළ නොයුතු නිසා.ජාතික රෝහලේ සිටින සුධාරකගේ මිතුරු වෛද්‍යවරුන් නිරන්තරයෙන්ම ඔහු ගැන සොයා බලා මා දැනුවත් කරන්නට පවා කටයුතු කළා.ඔවුන් නිරන්තරයෙන් ආශ්චර්යයක් බලාපොරොත්තු වූ අතර ඉන්පසු සුධාරක ජාතික රෝහලට ගෙනගොස් සුව කරගන්නට සිතමින් සිටියා.

“දැන් මෙයාව කොහොමද යවන්නේ?”

ඒ ප්‍රශ්නයට වෛද්‍යවරයා දුන් පිළිතුර හොඳ එකක් වූයේ නැහැ.එය ඉතා අවදානම් බවත් ඒ යන ගමන අතරමග පවා සුධාරක මිය යා හැකි බවත් ඔහු පැවසුවේ මගේ හිස සීතල කර දමමින්.ඔහුගේ ඥාතීන් මේ කරන්නට යන දෙය වළකන්නට දෙවියන්ටවත් හැකි වේදැයි මා සිතන්නට පටන් ගත්තේ කළ යුතු කිසිවක්ම සිතා ගන්නට නොහැකි වූ නිසා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles