රවිඳු නික්ම ගිය පසු දිනාරාට දෙන්නට දහසක් පිළිතුරු සොයා ගන්නට හිමාෂාට සිදු විණ.ඇය හිඳින්නේ තාත්තා කෙනෙකු ලැබුණු සන්තෝසයෙනි.හැම තාත්තා කෙනෙකුම ගෙදර නොසිටින බවත් ඇතැම් තාත්තලා වෙනත් නිවසක ජීවත් වන බවත් දිනාරාට ඉගැන්වූ අතීතයට සමු දෙන්නට සිදු වීම ගැන හිමාෂාට දැනෙන්නේ සන්තෝසයකි.
“ඒ වුණාට බබාටත් තාත්තව ඕන.”
ඒ ගැඹුරු කතාන්දර තෝරා ගන්නට නොහැකිව දිනාරා නිරන්තරයෙන්ම පැමිණිලි කළා ය.දික්කසාදය වැනි මාතෘකාවක් ඇගේ ළමා හිත දරා නොගත් අතර තාත්තා සොයමින් අම්මාව වෙහෙසවීම ඈ නිතරෝම සිදු කළා ය.දැන් ඒ කාලය අවසන් වී තිබේ.දැන් දිනාරාට උවමනා තාත්තා සමඟ සෙල්ලම් ගෙවල් දමන්නට ය; ඔහුගෙන් බත් කවා ගන්නට ය;ඔහු සමඟ මොන්ටිසෝරි යන්නට ය.මඟ හැරුණු බොහෝ දෑ ඉෂ්ට කර ගන්නට ඇය මඟ බලන්නී ය.හිමාෂාට දියණිය ගැන දැනුණේ ශෝකයකි.
“මං මේක කියන්නේ ඔයා මේවා දැනගන්න ඕන නිසා.අපේ අම්මලා ඔයාට කැමති වෙන්න නම් කොන්දේසියක් තියෙනවා.”
රවිඳු එසේ කියද්දී තමන් පුදුමයෙන් බලා සිටි අන්දම හිමාෂාට මේ දැන් පවා සිහියට නැඟේ.
“ඔයා බබාව සහන්ට දෙනවනම් එයාලා ඔයාව බාරගන්න ලෑස්තියි.”
හිමාෂාට ඒ මොහොතේ වචන සිර වී ගිය අතර ඇය කියන්නට කිසිවක් නොමැති දෑසකින් බලා සිටියා ය.රවිඳුගේ කතාවේ අවසානය මෙවැනි එකක් වේයැයි ඇයට සිහිනයකින්වත් සිතී තිබුණේ නැත.නමුත් ඕනෑම අයෙකුගේ සැබෑ වර්ණයන් හෙළිවන්නට කාලය උවමනා බව ඇය ඉන් අනතුරුව සිතුවා ය.
“ඒත් ඔයා ඒකට කැමති උනත් මම ඒකට කැමති නෑ.ඔයා අලුත් ලෝකයක් හදා ගන්නවා නම් ඒක හදාගන්න ඕනේ දුවත් එක්ක.එහෙම නැතුව ඔයත් එයාව දමල ගහල යන්න නම් එයාව මේ ලෝකෙට ගේන්න ඕනි නෑනේ.සහන්ට එයා හදාගත්තු ලෝකෙට දුව බාධාවක් වුණා.ඉඳලා හිටලා ඇහැ දාන්න ආවට එයාගෙ ජීවිතේට දැන් දුවව අයිති නෑ කියන ඇත්ත අපිට පිළිගන්න වෙනවා. හරි අපි ඒක බාර ගමු.ඒත් අපිටත් දූ අතාරින්න බෑනෙ.”
හිමාෂා රවිඳු කෙරෙහි වඩාත් පැහැදුණේ ඒ වචන හන්දා නොවේ.
ඔහු ඉන් අනතුරුව පැවසූ කතාව නිසා ය.
“මේ ඔයා කරන්න ඕන දෙයක් හිමා.ඒ නැතුව ඔයා එයාවත් අරගෙන මං ළඟට එන්න හිතුව එක ගැන එයා අපට ස්තූතිවන්ත වෙන්න ඕනේ කියලා එහෙම හිතන්න එපා.කවදාහරි දවසක එයා එයාගෙ ජීවිතේ ගැන තීරණ ගනිද්දී මම එයාව බාරගත්තා වගේ කතා කියලා එයාව ඉමෝෂනලි බ්ලැක්මේල් කරන්න අපිට අයිතියක් නෑ.මම එයාව මගේ දුවෙක් කරගන්න එක මාරම මාර දෙයක් නෙවෙයි.ඒකෙ අදහස එයා සදහටම මට සලකන්න ඕනේ කියලා නෙමෙයි.එයා මට ආදරෙන් හිටියොත් මම ආදරේ ලබන්න සුදුසු තාත්තා කෙනෙක් කියලා එයා තීරණය කළොත් මං මැරෙනකම්ම එයා මට ආදරේ කරයි.ඒත් මම එයාගෙ අම්මගෙ ආදරේ උදුර ගත්තු කෙනෙක්,එයාගේ නංගිලා මල්ලිලාට එයාට වඩා ආදරේ කරන කෙනෙක් කියලා තීරණය කරන්න එයාට අයිතිය තියෙනවා.වෙන දෙයක් තියා තව අවුරුදු කීපෙකින් එයා තීරණය කළොත් එයා ඉන්න ඕනේ අපි ළඟ නෙමෙයි සහන් ළඟ කියලා එයාට ඒකට ඉඩ දෙන්නත් අපි හිත හදා ගන්නම ඕනේ.දරුවෝ කියන්නේ රූකඩ නෙමෙයි හිමා.අපි අන්න ඒක තේරුම් ගන්න ඕනේ මෙන්න මේ වෙලාවේ.අපේ අම්මා හිතනවා තවම මාව පාලනය කරන්න පුළුවන් කියලා.වැඩකට නැති හේතු ඉස්සරහට දාගෙන මගේ ජීවිතේ සතුටු උදුර ගන්න පුළුවන් කියලා.ඒ වගේ නොවී ඉන්න පුළුවන් වෙච්ච දවසට තමයි අපි දිනන්නේ.”
ඔහු එතරම් දිගු වචන පේළියක් නොකීව් ද හිමාෂා එක් දෙයක් දැන සිටියා ය.දිනාරා කිසි දිනෙක මේ තාත්තව වරදවා වටහා ගන්නේ නැත.මැළවී යමින් තිබූ ජීවිත දෙකකට ආලෝකය ගෙනා හිරු කිරණක් වීම ගැන තමන්ට ස්තුතිවන්ත නොවිය යුතු බව රවිඳු පැවසූව ද තාත්තෙකුගේ ආදරය තමන්ට පිරිනමන මිනිසාට දියණිය සදහටම ආදරය කරන බව හිමාෂාට විශ්වාසයෙන් සිතන්නට හැකි වූවා ය.
“අපි ඉක්මනට තාත්තගේ ගෙදර යමු.”
ඒ කතාව ඇසූ දිනාරා අම්මාව වැළඳ ගත්තා ය.ඇයට තාත්තා වෙත යාමට ඇති හදිසිය ගැන ඇය නොදන්නා ප්රස්තා පිරුළු කියමින් අමායා බැන වදින අන්දම ගැන සිහිවී හිමාෂාට සිනාවක් මතුව ආයේ ය.අක්කාගේ ජීවිතයේ සතුට වෙනුවෙන් බොහෝ බරපතල සහ පණ්ඩිත දේ සිදුකළ අමායා දැන් හිඳින්නේ දුකිනි.අක්කා සහ දියණියගෙන් ඈත් වීම සිතන තරමට පහසු නොවන වග ඇය දනී.
“හරි ඉතින් අපි මේ කිට්ටුවෙන් ගෙයක් රෙන්ට් එකට ගන්නවා.”
රවිඳුගේ යෝජනාව අම්මා නම් හිස් මුදුනින් පිළි ගත්තා ය.නමුත් අක්කාගේ කන්කරච්චලය නෑසෙන දුරකට ඇය රැගෙන යාම රවිඳුට ආත්ම කිහිපයකට පින් රැස් වන කටයුත්තක් බව පවසද්දී පවා නංගිගේ දෑස් දිලිසුණේ සන්තෝසයට නොවන බව හිමාෂා දනියි.ඇය කඳුළු පිට නොකර දරාගන්නී ය.
හිමාෂා දහවල් මතක ගොන්නෙන් බිම ඇද වැටුණේ හදිසියේ ය.අමායා කාමරයට කඩා වැදුණේ හති ලමිනි.එතරම් වේගයකින් දිව එන්නට සිදුවූයේ කුමක්දැයි හිමාෂා පුදුමයෙන් සිතුවා ය.
“අක්කේ,සහන් ඇවිල්ලා.දූ අහනවා.බබා නිදි කියන්නද?”
යහනට වී රවිඳු ගෙන ආ බෝනික්කාට නොපැහැදිලි කතාවක් කියාදෙන දිනාරා දෙස හිමාෂා එක් වරක් බැලුවා ය.අනතුරුව තීරණයකට එළඹියා ය.