සුහදිනී – 03

සකී සිටියේ කල්පනාවකට බරවී බව දුටු නිම්නා ඇයට බාධා නොකොට නවාතැනේ කුඩා මුළුතැන්ගෙයට ගියා ය.තේ කෝප්පයක් සාදා ගත් ඇය නැවත එන විට ද සකී සිටියේ කල්පනාවේ ය.

“මට චිත්‍ර ඇඳලා විකුණන්න හිතෙනව.”

කල්පනාවෙන් මිදුණු සකී එසේ කියද්දී නිම්නා ඒ දෙස බැලුවේ බැලුවේ පුදුමයෙනි.පාඩම් කරන්නට අප්‍රමාණ දේ තිබියදී සකී හදිසියේ ව්‍යාපාරයක් අරඹන්නට සිතීම ගැන ඇය මොහොතක් සිතන්නට වූවා ය.එක් අතකට සකීගේ තාත්තා හිඳින්නේ බරපතළ රෝගී තත්ත්වයකින් ය.ඒ රෝගය නිසා ඇයට අනාගතය ගැන දෙන්න අවිනිශ්චිතතාවය සකීව අමතර ආදායමක් සොයන්නට පෙලඹුවාදැයි නිම්නා සිතුවේ ශෝකයෙනි.

“මං අහස්ව ඇන්දනෙ.ඒක මනූගේ ලසිත් අයියා සියුම් අයියට දෙන්නම් කියලා.මට චිත්‍ර අඳින්න ආයෙත් පටන් ගන්න ආසාවක් ආවා.”

සකී එසේ කියවාගෙන යද්දී නිම්නාට පැමිණියේ වෙනත් ප්‍රශ්නයකි. ධනිත් ශ්‍රී සමඟ ඡායාරූපයක් ලබා ගන්නට නාදගම ප්‍රසංග කිහිපයක්ම නරඹන්නට වූ තමන්ගේ අත්දැකීම ගැන සිහි කළ ඇය සකී දෙස බැලුවේ විස්මයෙනි.

“ලසිත් අයියට කියන්නකො එයාගේ යාලුවට කියලා ඔයාට අහස්ව මුණ ගැහෙන්න චාන්ස් එකක් අරන් දෙන්න කියලා.මිනිහා මෙලෝ රහක් නැති ක්‍රිකටර් කෙනෙක් වෙලා ඉවරයි තමයි.ඒ වුණාට ඔයාගෙ ක්‍රෂ් එකනෙ.සියුම් අයියා එයාගේ හොදම යාලුවනේ.අහස් ඉන්ටර්විව්ස්වල පවා සියුම් අයිය එක්ක ඉස්කෝලෙ කාලෙ කරපු දේවල් කියවන්නෙ.”

නිම්නා එසේ කියද්දී සකී හිස හරවා හිනැහුනා ය.තමන්ට අහස් මුණ ගැසෙන්නට උවමනා බව කියමින් කිසිවෙකුට අයදින්නට ඕනෑ නැතැයි ඇය පැවසුවේ තිර හඬකිනි.

“ඔයා නම් මොකෙක්ද මන්දා.එදා මැච් එක බලන්න ගියාමත් කොහොමහරි අහස්ගෙ සයින් එකක් හරි සෙල්ෆියක් හරි ගමු කිව්වම ඔයා බෑ කිව්වෙ.මට ඔයාගෙ ඔය ක්‍රෂ් භාවය තේරෙන්නෙ නෑ.”

එය මිතුරියට පැහැදිලි කරන්නට සකීට උවමනා වූයේ නැත.ඒ වෙනුවට හිනැහීම ඇයට පහසු ය.

“මොකක් නැතත් අහස්ගේ හිනාව නම් මෙයා ඒ විදිහටම ඇඳලා තියෙනවා.අහස් ඉතිං ලංකාවෙම කෙල්ලො ටික වශී කරගත්තේ හිනාවෙන්.ඒ උනාට හිනාව විතරයි කිසිම පලක් නෑ.”

රන්මිණි එසේ කියමින් නාන කාමරයෙන් පිටතට ආවා ය.ඒ කිසිවකට වාද කරන්නට සකීට උවමනා නොවේ.

“ක්‍රෂ් එකක් කියන්නෙ අපි කවදාවත් කසාද බඳින කෙනෙක් නෙවේනෙ.ඒ නිසා ඒ මනුස්සය මුණගැහෙන්න තියන චාන්ස්  එකෙන් මුණගැහිලා සෙල්ෆියක් අරගෙන ඔයාගේ ෆැන්ටසි එක සම්පූර්ණ කර ගන්නව මෝඩ තඩියො.”

නිම්නාගේ බරපතළ උපදෙසට සකී පිළිතුරු සිනාවක් නැඟුවා ය. සෑම කතාවකටම හිනැහීම මිස පිළිතුරු නොදීම මිතුරිය තෝරාගැනීම ගැන නිම්නාට කෝපයත් දැනෙද්දී ම සකී කතාව ආරම්භ කළා ය.

“අහස් මගේ ක්‍රශ් එකක් කියලා කියන්නේ ඔයාලමයි.ඒක ඔයාලා කියන කතාවක් මිස මම කියන කතාවක් නෙමෙයි.ඇත්තටම අහස් කවදාවත් මගේ ක්‍රෂ් එක වුණේ නෑ.වෙන්නෙත් නෑ.”

ඒ තෝරා ගැනීමට නොහැකි අපබ්‍රංසයක් බව සිතූ නිම්නා සහ රන්මිණි මුහුණට මුහුණ බලා ගත්තා ය.අහස් ඉලංගසිංහ වෙනුවෙන් හේතු රහිතව ඕනෑම තැනක පෙනී සිටීම සකීගේ පුරුද්ද ය.ඔහු සාර්ථක වන දවස් ගැන නිවැරදි අනාවැකි කියන ඇය ක්‍රිකට් තරගයක් දා ඇඳ බදාගෙන මුහුණ එල්ලාගන්නේ නම් එදිනට අහස් සම්පූර්ණයෙන්ම අසාර්ථක ක්‍රීඩකයෙකු වන බව දෙමිතුරියන් හොඳින් දනියි.ජනප්‍රිය දෛවඥයෙකුගේ නම කියමින් මිතුරියට සරදම් කරනවා විනා ඇය ඒ අනාවැකිය හරියටම කියන්නේ කෙසේදැයි දැන ගන්නට රන්මිණිට හෝ නිම්නාට ඕනෑ වූයේ නැත. නමුත් වෙනත් තාරකාවක කෙරෙහි ඇල්මක් නැති සරසවියේදී ඇගේ ආදරය පතන සෑම යෞවනයෙකුම සිනාවෙන් මගහරින සකීගේ සිහින ප්‍රේමවන්තයා අහස් ඉලංගසිංහ බව සිතන්නට මිතුරියන් කැමති ය.

“මට සෙලිබ්‍රිටි ක්‍රෂ් කීයක් ඉන්නවද? චාන්ස් එකක් හම්බුනොත් හැබැයි මං ධනිත්ව බඳිනවා.ඒ කියන්නේ මගේ සීරියස් ම ක්‍රෂ් එක ඔයා.දැන් ඔයා ගත්තම සකී,ඔයාට පොඩි පොඩි ක්‍රෂ් එකක්වත් ඇත්තෙත් නෑ නේ.ඔයා ක්‍රෂ් අහස්ට,ඒක පිළිගන්න තියෙන අකමැත්ත මොකක්ද? කට ඇරලා පිළිගන්නවාකො.”

කිසිදා කිසිවෙකුට නොකී ජීවන රහස් ඕනෑම කෙනෙකුගේ ජීවිතය තුළ තිබෙන්නට පුළුවන.අහස් කියන්නේ තමන්ගේ සිහින ප්‍රේමවන්තයා නොවන බව මිතුරියන්ට යළි යළිත් පැහැදිලි කරන්නට සකීට නුවුමනා ය.ඇය කිසිවක්ම නොකියා ඉන්නට තීරණය කළා ය.පවසනවානම් පවසන්නට දිගු කතාවක් තිබේ.නමුත් ඒ පැවසීම ඇය විහිළුවක් බවට පත්වන්නට හේතුවක් බව සකී හොඳින් දැන සිටියා ය.

“මම චිත්‍රයක් ඇන්දෙ හුඟක් හුඟක් කාලෙකින් අයියා.මේක ඒ තරම් ලස්සනයි කියලා මට හිතෙන්නේ නෑ.ඒත් මං කැමතියි ඕක අහස් අතට ඔයා දෙනවනම්.”

අහස්ගේ සිතුවම සියුම් අත තබද්දී සකී එපමණක් පැවසූවා ය.සියුම් චිත්‍රයේ හිඳින අහස් දෙස බලා සිටියේ පුදුමයෙනි.එය මිතුරාගේ සිතුවමක් නොව ඡායාරූපයක් බඳු ය.මේ අපූරු යුවතිය මිතුරාට මුණගස්වන උවමනාවක් ඔහුට හදිසියේ ඇති විණ.

“අහස් කියන්නෙ පොළොවෙ පය ගහල ජීවත් වෙන මනුස්සයෙක් නංගි.නම අහස් වුණාට ඌ හරි හොඳ කොල්ලා.මේ චිත්‍රෙ ඔයා අතින්ම එයාට දෙමුද?”

එය යුවතිය මඟ බලා සිටි අවස්ථාවක් විය හැකියැයි සියුම්ට සහතික ය සංචාර කීපයකදී අසාර්ථක වුවද අහස් ඉලංගසිංහ කියන්නේ කොල්ලන් වඩාත් බලාපොරොත්තු තබන ක්‍රිකට් තරුව ය.කෙල්ලන් සිහින කුමාරයා කරගත් ක්‍රිකට් තරුව ය.ෆේස්බුක් කවර ඡායාරූපය ඔහු සමගින් සරසන්නට මේ යුවතිය අකැමැති වන්නට ඉඩක් නැතැයි සියුම් සිතුවේ ය.ඒ නිසා ඔහු අහස්ට සිත්තරිය මුණ ගස්වන්නට සිතුවේ සැබෑ උවමනාවකින් ය.

“ඔය චිත්‍රයක් වෙනුවෙන් එයාගෙ කල් නාස්ති කරන්න ඕන නෑ අයියා.අයිය ඕක අහස්ට දෙන්න.මං එයාට විෂ් කළා කියලා කියන්න.මට විශ්වාසයි එයාගේ කරදර කාලේ ඉක්මනින් ඉවර වෙයි.”

 සකී එසේ පවසන හේතු අනුමාන කළ සියුම් උස්හඬින් හිනැහුණේ ය.

“සාරන්‍යා නංගිට ලෙඩක් දායි කියලා හිතුනද? නිළියො එහෙම වලි දාගන්නේ නෑ නංගි.ඊට පස්සේ සෝෂල් මීඩියාවල අපි උන්ව පට්ට ගහනවා නේ.”

සාරන්‍යා සම්බන්ධයෙන් කතා කරන්නට සකීට කිසිම උවමනාවක් නොදැනිණ.ඒ අහස්ට සිදු වූ විශාල වැරදීමකි.ඔහු ඒ වරද  කෙදිනක නිවැරදි කර ගනීදැයි නොදන්නා නමුත් සාරන්‍යා මංකි සහකාරිය නොවන වග පමණක් සකී දැන සිටියා ය.

“මේකත් එයාට දෙන්න අයියේ.”

ඇය තවත් සිතුවම ඔහු අත තැබුවා ය.එහි සිත්තමට නගා තිබුණේ සූරියකාන්ත මල් යායකි.විදේශයකින් රැගෙන ආ සූරියකාන්ත ඇට කිහිපයක් ප්‍රවේසමෙන් පැළ කර මල් පිපෙන තුරු බලා සිටින මිතුරාව සියුම්ට සිහියට ආවේ ය.ජනප්‍රිය පුද්ගලයන්ගේ පෞද්ගලික විස්තර හාරා හාරා සොයමින් යූටියුබ් සහ ටැබ්ලොයිඩ් පුවත්පත් ටැබ්ලට් පුවත්පත්වල පළ කරන කෙනෙකු අහස්ගේ සුරියකාන්ත උමතුව ගැන සමාජය දැනුවත් කළේ කවදාදැයි ඔහු කල්පනාවට වැටිණි.අහස්ට දිගින් දිගටම සමාජ ජාලා ඔස්සේ මඩ ප්‍රචාරය වීම නිසා ඔහු සම්බන්ධ සියලුම දේ ගැන විමසිල්ලෙන් සිටි තමන්ට සූරියකාන්ත මල් සම්බන්ධ ඔහු දක්වන ආදරය ගැන පිටතට ආ පුවතක අගමුල මඟ හැරීම ගැන සියුම් කලබලයට පත් විය.ඔහු යුවතියගෙන් සමුගත්තේ ඒ කලබලයෙනි.

(ඔබ නවකතාව ගැන දක්වන අදහස කමෙන්ට් තීරුවේ ලියා යන්න.) 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles