නිලැසි -31

“ඔයාට පුලුවන් මේ ගෙදර තියන ඔයාගේ බඩුත් අරන් පිට වෙන්න..”

එක්තරා උදෑසනක නිවසින් පිටත් වීමට පෙර තිසරු පැවසුවේ ඔහුට සුපුරුදු ඉවසිලිවන්ත හඬිනි.නිලැසි තිගැස්සී ගියේ ඒ නිශ්චල හඬ නිසා ය.ඇය ඔහු දෙස බැලුවේ විමසිලිමත් දෙනෙතිනි.ටයි පටිය පළඳමින් සිටි තිසරු කිසිදු හැඟීමක් නැති දෑසකින් නිලැසි දෙස බලා සිටියේ ය.

“මං තීරණය කළා ඩිවෝස් වෙන්න.”

ඔහු තම තීරණය සෘජුව පැවසී ය.එහි කතාබහ කරන්නට හෝ සංවේදී වන්නට දෙයක් දැන් ඔහුට ඇත්තේ ම නැත.රාජ්‍යයක කිරුළ හදිසියේ ගිලිහුණු රැජිනකට දැනෙන කම්පනයකින් නිලැසි තිගැස්සී ගියා ය.

“මොකක්ද කිව්වේ?”

ඇය තමන්ට සුපුරුදු අහංකාරය මවා ගත්තා ය. හඬා දොඩා මෙවැනි ප්‍රශ්න විසඳිය යුතු නැති බව එලෙස නැවත වතාවක් තමන්ටම කියා ගත්තා ය.

“ඔයා පහුගිය දවස්වල ඩිවෝස් එකක් ගැන ඇහුව නේ මම තීරණය කළා ඔයාට ඒක දීලා දාන්න..”

කිසිවක් සිදු නොවූ ලෙස කතා කරන ගැහැනිය තිසරුට ගෙන ආවේ අපුලකි.නමුත් නිලැසි මුල් වරට මුණ ගැසුණු දා ඇයට ඇමතූ සුහදත්වයෙන් ම අද අවසන් වතාවට ඇයට සමු දිය යුතු බව ඔහු තීරණය කළේ ය.මුහුණ හරහා ලබා දෙන පහරක්වත් අපහාසාත්මක වචනවත් මේ සම්බන්ධය නිමා කිරීම පිණිස යොදා ගත යුතු නැති බව තිසරු සිතී ය.ඇය ඇයගේ ජීවිතය විනාශ කර ගන්නා අතරම තමන්ගේ ජීවිතයටද බලපෑම් කරන්නට උත්සාහ ගත්තා ය. නමුත් තමන්ගේ ජීවිතය මෙවැනි කාරණාවකට විනාශ කර ගත යුතු නැති බව තිසරු නැවත නැවතත් සිතන්නට විය.

“ඔයා ආදරේ කරන්න එරන්ද ට නං ඔයා මේ වහල යට ඉන්න එකේ තේරුමක් නෑ.ඕනෙම කෙනෙක් ඉන්න ඕන තමන් ආදරේ කරන කෙනා ළඟ.ඒ අයිතිය ඔයාට තියෙනවා.ඔයා ඒ සම්බන්දෙ හොරෙන් අරගෙන ගිහින් මාව රවට්ටන්න උවමනාවක් නෑනේ.එහෙම රැවටිලා මට ජීවත් වෙන්න අපි පුන්චි ලමයි නෙමෙයි නිලූ.අපි මුලින්ම මුණ ගැහුණේ හොඳ යාළුවො විදියට.ඒ යාළුකම නැති නොකර ජීවිත ඉතුරු කාලේ තියාගන්න මගෙ අකමැත්තක් නෑ.ඒත් වෙන කෙනෙක්ට ආදරේ කරන ගමන් ඔයාට මිසිස් මොරවක වෙලා ඉන්න දීම මම මටත් ඔයා ඔයාටත් කර ගන්න අසාධාරණකමක්..”

නිලැසි මෙවැනි තත්ත්වයක් සිහිනයකින්වත් අපේක්ෂා නොකළා ය.එරන්ද ට ආදරේ කරමින් ඔහු අසල රැඳෙන්නට ඇයට සිත් වූ බව සැබෑවකි.නමුත් ඔහු දරුණු ඇබ්බැහියක් මිස ජීවන සහ කාරයෙකු නොවන බව ඇය වටහා ගෙන සුළු කාලයකි.ප්‍රේම උමතුවේ ගිලී යන්නට එරන්දත් සමාජයේ කැපී පෙනෙන බිරිඳක වන්නට තිසරුත් දෙදෙනාම ජීවිතයට උවමනා බව ඇය සිතා හුන්නා ය. තාත්තාගේ ලෝකයේ අම්මාටත් මානවීටත් ලැබෙන්නේ ස්ථාන දෙකක් බව නිලැසි දන්නී ය.නමුත් ඒ ගැහැනුන් දෙදෙනාම තාත්තාගේ ලෝකයට අත්‍යවශ්‍ය බව ඇයට වැටහී තිබිණ.මානසික සහ කායික සැනසීම ගෙන එන්නට එරන්දත් ආර්ථික සහ සමාජයීය තත්ත්වය වෙනුවෙන් තිසරුත් පාවිච්චියට තවත් ඉඩක් නොවේ.තිසරු ඇය ප්‍රතික්ෂේප කර හමාර ය.

“මං කැමතියි එක්ක ආව වගේම ඔයාව ගිහින් ආපහු බාර දෙන්න.ඒත් ඔයාලගෙ අම්මට ඒක දරා ගන්න අමාරු වෙයි.මමත් හැඟීම් දැනීම් තියන කෙනෙක් නිසා ඒක ඇත්තටම මටත් අමාරුයි.ඔයාට වන්දියක් එහෙම ඕනනම් ඒක ලෝයර්ට කියන්න.මම හිතන්නේ නඩුවේ විත්තිකාරි ඔයා නිසා සමහරවිට ඒක අමාරු වෙන්න පුලුවන්.ඒත් ඔයාට අවශ්‍ය උදව්වක් ඕනෑම මොහොතක කරන්න මම ලෑස්ති..”

තිසරු පවසන සෑම වචනයකටම බරක් ඇති බව දැන් නිලැසිට පැහැදිලි ය.ඔහු මේ තමන් බියට පත් කරන්නට කියන වචන නොවන බව නිලැසි තේරුම් ගත්තා ය.ඔහු තමන්ට සමුදෙන්නට තීරණය කර අවසන් ය.කළ යුතු දේ සහ කළ හැකි දේ තවම සිතාගත නොහැකි වුවත් තවදුරටත් මෙතන රැඳී පලක් නොවන බව නිලැසි තීරණය කළා ය.

“ඔයාගේ චිත්‍ර අඳින වැඩ,ෆොටෝග්‍රැපි,එක්සිබිෂන්,සින්දු ලියන වැඩ හැම දෙයක්ම දවසින් දවස සාර්ථක වෙලා ඔයා ආස කරන දේවල් ලැබෙන්න මං විෂ් කරනව නිලූ.නඩුව ඉවර වෙලා තිබ්බත් නැතත් ඔයාගේ එක්සිබිෂන් එකට මම එන්නම්..මම හිතනව එරන්ද ඒක ප්‍රශ්නයක් කර ගන්න එකක් නෑ.”

දුටුමතින් බැඳී බිරිඳ කර ගත් යුවතිය චපල ගැහැනියක බව තේරුම් ගෙන සිටිය දී පවා තිසරු ඇය අවසන් වතාවට වැළඳ ගත්තේ ය.මේ ඔහු අවසන් හුස්ම දක්වා එකට බැඳී යන්නට සිහින දුටු ගැහැනිය ය.නූපන් දරුවන්ගේ මව විය යුතු බව විශ්වාස කළ ගැහැනිය ය.ඔහු ඇයට සමු දුන්නේ හදවතේ ඈ ගැන ඇති සියලු කහට පැල්ලම් මකා දමමිනි.කෙටි ජීවිතයකට වෛරය එක්රැස් කරගෙන කිසිදු තේරුමක් නොවන බව ඔහු සිතී ය.

එක් පරිච්ඡේදයක් එසේ අවසන් ව ඇති බව තේරුම් ගත් නිලැසි පිටව යන තිසරු දෙස අවසඟව ගිය දෙපා ඇතිව බලා සිටියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles