කටුක කර්කෂ වියළි කාලයේ දී ඝණ පොත්තක් ඇතුළේ බීජයක් වී ආරක්ෂිත ව කාල තරණය කරන්නා වූ බීජ, වස්සානය ඇවිත් මිහි තලය වැහි දියෙන් පොඟවන්නට පටන් ගත් කල, අර ඝණ පොත්ත බිඳී, දෙපියවිලි මතු වී පැළයක් ව වැඩෙන්නට පටන් ගනී. බීජෞෂණ සමයේ උන් අපරාජිතා එහෙන් මෙහෙන් එකතු කර ගෙන විත් සසංකගේ මිදුලේ පාත්ති වල අනවසරයෙන් ඉසිනා ලද මල් ඇට ද මේ වැස්ස නිසා කඩිනමින් පැළ වන්නට විය. සීනියාස්, දහස් පෙතියා, අට පෙතියා, රාජ පොහොට්ටු, කරාබු මල්, කූඩළු…අපරාජිතා නම් කොළ වල හැඩයෙන් ම ඒවා හැඳින්නා ය.
“එක වැස්සට වල් වැවිලනෙ”
කියමින් සසංකගේ මිදුල ශුද්ධ පවිත්‍ර කිරීමට පැමිණෙන වියපත් මිනිසා ඒ මල් පැළ මත්තෙන් උදලු පහර ගහන්නට සූදානම් ව කීවේ ය.
“එපා එපා අංකල්. ඒ වල් නෙවේ. මල් පැළ”
සඳැල්ලේ සිය කෑ ගසා අපරාජිතා ඒ අනතුරින් සරුවට වැඩී එන මල් යාය බේරා ගත්තා ය.
“ගස් වලින් වැටෙන කොළයි උගුලන තණකොළයි පුච්චල දාන්න එපා අංකල්..ඒව ගස් වලට පෝර වෙන්න අරින්න”
ඇය තවත් යෝජනාවක් ගෙනාවා ය.
බස්නාහිර පලාත අයත් වන්නේ ලංකාවේ තෙත් කලාපයට ය. ප්‍රධාන මෝසම් වැහි දෙකකින් ඊට වැසි ලැබේ. ඊට අමතර ව සංවහන හා වාසුළි වැසි ද හිඟ නැත. ඒ අනුව බලන කල බස්නාහිර පලාතට වසර පුරා ම වර්ෂාපතනය ලැබේ. වියළි කාල පවත්නේ අඩුවෙනි. එද කෙටි ය. නමුත් මදි නොකියන්නට ඒ කෙටි වියළි කාලය සතා සීපාවා ද, ගහ කොළ ද මහ පොළොව ද පෙළයි.
වැස්සෙන් දුහුවිලි සේදී ගිය පසු මහ පොළොව ද වායු ගෝලය ද පිරිසිඳු ය. අපරාජිතා අත්‍යවශ්‍ය ගමන් බිමන් මිස පිටතට නොයා සඳැල්ලට ම වී වැස්ස දෙස බලා ගෙන මේ වස්සානය ගත කළා ය. වතාවක් මතක් වී ඇය වර්ණ ඒ ෆෝ කොළ වලින් කඩදාසි බෝට්ටු කිහිපයක් තනා, පහළ මිදුලේ වතුර එකතු වෙන තැනකට ගොස් ඕ ඒවා පා කළා ය. වැහි බින්දුවක් වැටී ඇති කරනා වෘත්තාකාර ජල තරංග සමග බෝට්ටු ඒ මේ අත පැද්දුණේ ය. කළල් දියෙහි ගිලෙන්නට ගිය කුහුඹුවෙකු ඇඟිල්ලකින් ගෙන ඕ කඩදාසි බෝට්ටුවකට ගොඩ කරවූවා ය. ජීවිතයක් බේරා ගැනීමේ සතුට අපරාජිතා ගේ මුහුණට සිනහවක් ගෙනාවේ ය. හැන්දෑවේ දිය සිඳුණ මිදුලේ ඒ බෝට්ටු දුටු සසංක ගේ මුහුණ ට ක්ෂණික සිනහවක් ආවේ ය. ඔහු වහා මතු මහල දෙස බැලී ද ඒ වෙලාවේ සඳැල්ලෙහි අපරාජිතා නො සිටියා ය.
වැස්සකට පසු පිටතට විත් කුසට අහරක් සොයමින් කෑ මොර දෙන කුරුලු කිරිල්ලන් ගේ කූජන අසා ඉන්නට අපරාජිතා රිසි ය. වැහි වලා තරමක් ඈතට ගසා යාමෙන් පසු වහ වහා එබිකම් කොට පොළොව දෙස බලනා හිරු හිනැහෙන, තද නිල් අහස් කුස රාජාලියෙකු හෝ උකුස්සෙකු යයි සිතිය හැකි පක්ෂියෙකු පා වෙයි. ඒ පා වීම දෙස බලා ඉන්නට අපරාජිතා බෙහෙවින් ප්‍රිය ය. ඌ ඔය කුරුමානම් අල්ලන්නේ කුඩා විහඟෙකුට හෝ වෙනත් කුඩා සත්වයෙකුට විය හැක. නමුත් ඒ පා වීම අතරේ හෙතෙම කෙතරම් නම් සැහැල්ලුවක් අත් විඳිනවා ඇත්ද? එදෙස බලාගෙන අපරාජිතා ට ඒ සැහැල්ලුව ඇගේ සිතින් විඳ ගන්නට පුළුවන.
කැඩපතක් තරම් පැහැදිලි ව ද දීප්තිමත් හිරු එළිය නැහැවෙමින් ද පවත්නා අහස මන්දාරම් වෙන්නට වැඩි වෙලා යන්නේ නැත. ඒ අතරේ කොතැනක හෝ දේදුන්නක් පායන බව ඇය දනී. ඇඟිල්ල දිගු කළොත් දේදුන්න මැකී යන බව කුඩා කාලයේ දී ඇය අසා තිබිණ. ඒ නිසා කිසි දා ක ඕ දේදුන්නකට ඇඟිල්ල දිගු කළේ නැත. නමුත් අනන්‍යා තරමක් ලොකු වෙත්දී අපරාජිතා ගේ ඒ ළමා ගති වලට සිනහ වූවා ය.
“බොරු කතා අම්ම”
සමහර තැන් වලදී අනන්‍යා ටත් වඩා තමන් කුඩා දරුවෙකු බව අපරාජිතා ට වැටහී තිබේ.
“අනේ එයාට ඕන කෙහෙල්මලක් කර ගන්න කියන්න. ඔයා මොකටද එයා ගැන වද වෙන්නෙ…”
යමක් කමක් තේරෙන යොවුන් දියණියක වශයෙන්, අරවින්ද හා අපරාජිතා අතර ගැටුම් හා ගැටළු වලදී ඇතැම් දාක අනන්‍යා අම්මා ට සැර වූවා ය. කෙසේ වෙතත් ඈ තුළ තවමත් ජීවත් වෙන කුඩා දැරියට අපරාජිතා ආදරය කරයි. ඇය කෙරේ ජීවිතාශාව දල්වා ලූ එක ම හේතුව ඒ දැරිය ය. විශ්වය යනු මහේශාක්‍ය වූ තක්සලාවක් බවත්, එහි දී හැම තත්පරයක් ම කුතුහලය ද සෞන්දර්ය ද දනවන්නා වූ නැවුම් හැඟීමක් බවත් ඇයට කියා දුන්නේ ඒ දැරියයි. ඒ දැරිය සතු වන ආශාවන් වලට ඉඩ දී අපරාජිතා පසෙකට වී බලා සිටියේ සිනහ වෙවී ය. ඇය ඒ දැරියට අනන්‍යාට තරමට ම ආදරය කළා ය.
ඒ වස්සානයේ දී අරවින්ද සිය දෙවන විවාහයට එළඹියේ ය. නමුත් වරින් වර අතීතයට ද මුල් විවාහය වෙතට ද සිතින් ඉගිල යන එක ඔහු ට වලකාලිය හැකි වූයේ නැත. මේ විවාහය සිදු වූයේ ඔහු ගේ පෞද්ගලික ලේකම් වරිය සමග ය. ව්‍යාපාර කටයුතු වලදී මුල සිට ම ඇය ඔහු හා සිටියා ය. වැඩ කරන්නට සහජ කම්මැළියෙකු හා දබර කරුවෙකු වූ අරවින්ද වෙනුවෙන් සියලු කටයුතු සිදු වූයේ ඇගේ දෑතිනි. ඉකා අනලස් හා ව්‍යාපාර ගැන සහජ ඉවකින් කටයුතු කළ රොෂෙල්, ක්‍රම ක්‍රමයෙන් අරවින්ද ට නැතිව ම බැරි චරිතයක් බවට පත් විය. ව්‍යාපාර ගැන කිසිදු උනන්දුවක් නැති සිය බිරිඳ අපරාජිතා හා ටෙක්ලා අතර වන වෙනස, බොහෝ විට අරවින්ද ගේ සිත් හි අපරාජිතා ගැන නො රිස්සුමක් ඇති කරන්නට සමත් විය. අපරාජිතා යනු සෝමාරි ගැහැනියක සේ ය ඔහු ට පෙනුණේ. ඇය ව්‍යාපාරික මිතුරන් ගේ සාද සම්භාෂණ වලට ආවේ නැත. පැමිණිය ද ඇය ට ඒවා හා පෑහිය හැකි නොවිණ. ඇය වයින් හෝ බීර වීකුරුවක්වත් තොල නොගෑම, ව්‍යාපාරික සගයින් ගේ බිරින්දෑවරුන් අතරේ කොන් වීමට හේතුවක් සේ අරවින්ද ට දැනුණේ ය. ඇය වැඩිපුර කතා බහ කරනා ගැහැනියක නොවේ. ව්‍යාපාර ගැන දැනුමක් නම් වූයේ ම නැත. අපරාජිතා වෙනුවෙන් සියලු අඩුපාඩු මකා දැමුවේ රොෂෙල් විසිනි. කාලය ගත වෙත්දී රෝෂෙල් යනු අරවින්ද ගේ දිවියෙන් බැහැර කළ නො හැකි චරිතයක් තරමට බද්ධ විය. ඇය වෙනුවෙන් ම ඔහු විදෙස් සංචාර ද යොදා ගත්තේ ය. රොෂෙල් වෙනුවෙන් මුදල් වියදම් කිරීමේ පාඩුවක් නැති බව පෙනෙන්නට තිබිණ. ඇය හින්දා ව්‍යාපාරය ශීඝ්‍ර ලෙස දියුණු වූයේ ය.
මේ ඇයි හොඳයිය ගැන කනින් කොනින් ආරංචි එත්දී අපරාජිතා අරවින්ද ට අවවාද කළා ය. ඔහු දියණියක සිටිනා පියෙකු බව පමණක් මතක තබා ගන්නයි කීවා ය. ඉන්පසු දබර කළා ය. හැඬුවා ය. දෙඩුවා ය. හිස හැරුණ අතේ යන්නට ගියා ය. දිවි තොර කර ගන්නට හැදුවා ය. නමුත් අනන්‍යා වෙනුවෙන් ඒ සියල්ල ඉවත ලා හිත දැඩි කර ගෙන නැගී සිටියා ය. මිය ගිය ගැහැනියක සේ ඇගේ ජීවිතයේ වසර ගණනක් අපතේ ගියේ ය. ඒ හානිය දුටුවාට පස්සේ ය ඈ ඔහු හා විවාහයෙන් නීතිමය වශයෙන් ඉවත් වීමක් බලාපොරොත්තු වූයේ.
ඒ වෙලාවේ අරවින්ද තිගැස්සුණ බව ඇත්ත ය. නමුත් ඔහු සිටියේ දෙලොවක් අතරේ ය. අපරාජිතා ම දික්කසාදය ඉල්ලා සිටින්නේ සිය වාසනාවකට යයි ද කරදරයකින් තොර ව රොෂෙල් හා විවාහ විය හැකි යයි ද ඔහු දැන සිටියේ ය. නමුත් යටි හිතේ ඈත ම කොනක විශාල පසුතැවීමක් ශේෂ ව තිබිණ. ඒ කුණාටුවෙන් මුළුමනින් මිදෙන්නට තවමත් ඔහු ට නො හැකි වී තියේ. රොෂෙල් හා විවාහය නීත්‍යානුකූල ව සිදු වී දවස් ගණනක් ගෙවී යන තැන, තේරුම් ගන්නට බැරි හිස් කමක් ඔහු යට කර ගති. එය ප්‍රපාතයක් කරා ගිලා බසිනවා වන් හැඟීමකි.
ගුවන් විදුලි නාට්‍යයේ හඬ ගත කිරීම් වලට ගිය වෙලාවක නාලිකා ප්‍රධානියා අපරාජිතා ව කැඳවූයේ ය.
“අන්න අර හාදයගෙන් මට වදේ. ඔයා එවපු ටෙරාරියම් එකේ ෆොටෝ එක දැක්කට පස්සෙ. මිනිහ ලොකු ගාණක් ගෙවන්න ලෑස්තියි. ඒක ගන්න ඔයාගෙ එඩ්‍රස් එක දෙන්න අපරාජිතා”
“ඒත් මිස්ට සංජය…තව ටික දවසක් ඒක මං ළඟ තිබුණොත් හොඳයි. මොකද තාම පැළ හරියට මුල් අල්ලල නැතුව ඇති. හදිසියෙවත් මැරුණොත්..ඒව රීප්ලේස් කරන්න වෙයි. මාසයක් විතර ගියාම දෙන්නං කියන්න”
ඇය අවිහිංසක ලෙස කීවා ය. මේ දවස් ටිකට ඒ ටෙරාරිම් එක ඇගේ ජීවිතයට හුඟක් ලං වී තිබේ. සංවෘත්ත එකක් නිසාවෙන් ඊට ජලය සැපයීමක් හෝ අවශ්‍ය නොවේ. වීදුරු බිත්තියේ උදේට රැඳී ඇති ජල වාෂ්ප, පැළ නිරෝගී ව වැඩෙනා බවට සාක්ෂියකි. ඒවා සිය ජීවන චර්යාව සාමාන්‍ය ලෙස සිදු කරගෙන යයි. චල චක්‍රය නිසි පරිදි සිදු වේ. ජල වාශ්පයෙන් මීදුම බැඳුණ ටෙරාරියම් එක තුළ සජීවී පරිසරය දෙස ඇතැම් දවසක බෝ වෙලාවක් අපරාජිතා බලා සිටින්නී ය. ඇයට හිතෙන්නේ ඇය ඉදිරියෙහි මීදුම බැඳුණ කඳුකර පරිසරයක් තිබෙනවා මෙනි. ගල් පිය ගැට පෙළ අතරේ රැඳවූ පෙඳ පාසි සැබෑ ගල් පඩි පෙළක් ඇස් ඉදිරියේ මවාලයි. ඒ හරිත දර්ශනය වන බද දසුනක් සිහි ගන්වයි.
“මේක ඔයාට හොඳ බිස්නස් එකක් කර ගන්න පුළුවන්”
ඉඳි ආප්ප සංග්‍රහයෙන් පස්සේ හිතවත්කම් වැඩි වීමෙන් අනතුරුව සසංක අපරාජිතා ට කීවේ ය.
“දැන් ටවුන් වල ගස් කොළං තියන හෙවන පරිසරයක් නෑනෙ. මේ වගේ චූටි ඉඩකින් එහෙම පරිසරයක් ඇස් ඉස්සරහ මවා ගන්න පුළුවන් කියන එකම මැජික් එකක්. තට්ටු ගණන් උස කොළඹ බිල්ඩින් වල තියන ඔෆිස් වලට මේව ඉන්ට්‍රඩියුස් කළානං…සල්ලි තමයි”
අපරාජිතා ගේ දෙතොලතර අමුතු විදිහේ සිනහ රේඛාවක් විය. ඒ සිනහවේ තේරුම ඇය පයින් ගසා ආ සල්ලි ගොඩ බව දේශිකා නම් දනී. නමුත් මුදල් කළ නො හැකි සතුටක් ඉපයීමට මේ මගින් හැකි බව අපරාජිතා ට දැනෙමින් තිබිණ.
කාර්යාලයේ කටයුතු අතරේ ඉසිඹුවක් ලැබුණ වෙලාවක ‘ටෙරාරියම් ගැලරි’ යනුවෙන් හැඩැති ඉංග්‍රීසි අකුරෙන් පුවරුවකට ගැලපෙන ලෙස සැකසූ අකුරු නිර්මාණයක් සසංක අතින් බිහි විය. ඔහු එය වහා ම අපරාජිතා ට වට්සැප් කළේ ය. අපරාජිතා ගේ හිතේ ඈත කොනක බලාපොරොත්තුවේ මල් යායක් පිපුණේ ය. නමුත් ඇය සන්සුන් ව නිසල ව සිටියා ය.
“හිතෙන්නැද්ද සසංක ඔයා දිහා බලන බැල්මක වුණත් වෙනසක් තියනව කියල…”
දේශිකා යෙහෙළිය වෙතින් ඒ පැනය නැගුවේ බොහෝ සිතීමෙන් අනතුරුව ය. සසංක ගැන නිශ්චිත ව දැන සිටියා වුණත් අපරාජිතා ඒ ගැන දරන්නා වූ අදහස පැහැදිලි ව දැන ගන්නට දේශිකා ට උවමනා විය.
“මොළේ හොඳ නැද්ද…විකාර වලටනං ලෑස්ති වෙන්න එපා දේශී..අද ඉඳල මට ඒ මනුස්සය දිහා වෙනද විදිහට බලන්නවත් බැරි වෙයි”
“මං කිව්වෙ මට හිතුණ දේ. මට ඒකෙ නරකක් හිතෙන්නෙත් නෑ”
“පිස්සුද…”
තරමක් තදින්, යෙහෙළිය මෙල්ල කිරීමේ අරමුණ ඇතිව ඇසුවා වී ද අපරාජිතා එසැනෙන් සිනහ වූවා ය. ඒ සිනහව වඩාත් සමාන වූයේ විලාපයකට කියා සිතෙන තරමට දේශිකා ට තැතිගැන්මක් දැනිණ.
“ආදරේ හැමදාම මං ඉස්සරහට ආවෙ රැල්ලක් විදිහටමයි දේශි. ආපහු යන්න බලාගෙන…දික්කසාද ගෑනියෙක්ට පිරිමි ලං වෙන්න හදන්නෙ ආදරේට කියල හිතන්න තරං මං බොළඳ නෑ. ඒ කොල්ල බැඳලත් නැති කෙනෙක්. ඔයා අනවශ්‍ය දේවල් එයාගෙ ඔළුවට දාන්න එපා”
ඇගේ මුහුණේ තිබුණේ පැවිදි උත්තමාවක ගේ සමාධියකි. විරුද්ධ ලිංගිකයෙකු හා බැඳෙන ආදරය කියන හැඟීම ගැන සිතක් උත්කර්ෂයට පත් වන්නා වූ කාල වකවානුවක් තිබේ. ඒ කාලය ඉක්ම ගිය පසු ආදරය කියන්නේ විශ්වීය වූ යමක් සේ දැනෙන්නට ගනී. අපරාජිතා දැන් ඉන්නේ එතැන ය. උයන්නට ගෙනෙනා කැරට් අලයේත් විශ්වය හා බැඳුණු අනන්ත ජීවයක් පෙනෙන්නට ගන්නේ එතකොට ය. ඒ කැරට් අලය එතැනින් ජීවය අවසන් කරනවා වෙනුවට තවත් ජීවිතයක් දක්වා ගෙන යාමේ සෞන්දර්ය චාරිකාවක් මවා ගතහැකි වන්නේ එවන් අත්‍යන්ත වූ ඉවසීමකින් හා අප්‍රමාණ ආදරයකින් ලෝකය දකිත හැකි හදකට ය. හිතක් එවැනි තත්වයකට පරිවර්තනය කර ගන්නට නිදහස කියන දේ අතිශය වැදගත් ය. සිතින් නිදහස් වූ විට ලෝකය අසීමිත වන්නට ගනී.
සසංක ගේ ඇස් අපරාජිතා නො හැඳින්නා නොවේ. නමුත් ඇය කිසිවක් නොදුටු ගාණට ඉන්නට උත්සාහ කළා ය. පුළුවන් තරම් ඔහු ගේ ඇස් මග හරින්නට උත්සාහ කළා ය. සෞම්‍ය මටසිළිටි ගැහැනියක ලෙස නොව අසංවේදී ගැහැනියක ලෙස පෙන්වා ගෙන ඉන්නට ඇයට ඕනා විය.
නමුත් ඇගේ ගස් සසංක ගේ මිදුලේ මල් බර වූයේ ය. අම්මා මිය ගියාට පස්සේ මිදුලේ මල් පිපෙන්නට ගත්තේ අපරාජිතා පැමිණියායින් පසුව ය යන පැහැදිලි සත්‍ය සසංක ඉදිරියේ හිටගෙන සිටියේ ය.
එක වැහි බර හවසක සසංක කාර්යාලයේ සේවකයෙකු එවා අපරාජිතා ගෙන් ටෙරාරියම් එක ගෙන්වා ගත්තේ ය. ලියුම් කවරය ඇතුළේ ඇය බලාපොරොත්තු නොවූ තරම් ගෙවීමක් දැක අපරාජිතා ගේ මුහුණට සිනහවක් ආවේ ය. ඒ මුදල් වටිනාකම නිසා ම නොවන බව ඇය දැන සිටියා ය.
ටෙරාරියම් ගැලරි! ඒ අකුරු ඇගේ හදවතේ විටින් විට සුළි සුළං ඇති කරවී ය. අපරාජිතා තවත් සැකැස්මක් සඳහා අනුරුවක් සොයමින් අන්තර්ජාලය පීරුවා ය. ඒ පළමු ගැනුම්කරු ඇය ව තවත් වසර ගණනාවක් ජීවත් කරවන්නට හේතු වූ බව ඇගේ හිත පිළිගත්තේ ය.
ඒ සුබ ආරංචිය කියන්නට අපරාජිතා අනන්‍යා ට කතා කළා ය. ඇය ද තව දුරටත් හිතේ හිර කර ගෙන සිටිත නො හැකි වූ රහසක් අම්මා ට කීවා ය.
“අම්ම. මං ආදරේ කරනව කෙනෙක්ට. ඔයා මුකුත් හිතන්න එපා. අපි දැන් එකට ජීවත් වෙන්නෙ. ලිවින් ටුගෙදර් කියන්නෙ දියුණු රටවල සාමාන්‍ය කන්සෙප්ට් එකක්”
සිය හදවතෙන් කොටසක් නාය ගියා සේ අපරාජිතා හුස්මකින් ළැම අල්ලා ගත්තා ය.