සුහදිනි -27

“කියන්න සකී කියන්න..ඔක්කොම කියන්න..ඔයා දකින හීන ඔක්කෝම කියන්න”

කවුරුන් හෝ හදවත තුළට වී කෑ ගසන හඬ සකීට ඇසෙයි.ඉතා ලාබාල කෙල්ලක කාලයේ පටන් ඇය සිහිනයක් දුටුවා ය.ඒ සිහිනය කුමක්දැයි තෝරා ගන්නට නොදැන සිටියද ඇය කාටවත්ම නොකියන රහසක් ලෙස එය රැක ගන්නට සිතුවා ය.සිහිනයේ සිටි තරුණයා රූපවාහිනි තිරය මත කිසිම දිනක දැක ගන්නට නො සිතුව ද ඔහු රටේ ජනප්‍රියතම තාරකාවක් වන බව නො සිතුව ද ඔහු එසේ මෙසේ කෙනකු නොවන වග ඇය සිහින දකින කාලයේ සිටම දැන සිටියා ය.

“සමහර කොල්ලෝ ඉන්නවා අප්පා.ඇත්තටම උන්ගෙන් රැස් විහිදෙනවා”

යෞවනයන් ගැන කතාබහක් ඇති දිනක් මිතුරියක් එසේ කී අන්දම සකීට  සිහිව එයි.

“එහෙනම් ඌ තව්තිසාවෙන් බැහැලා ඇවිල්ල වෙන්න ඇති.නැත්තං අනන්තෙන් ආපු තරු කුමාරයෙක් වෙන්න ඇති.”

තවත් මිතුරියක එසේ කියද්දී හඬනගා හිනැහුණු අන්දම මැදින් එයට නිම්නා දුන් ප්‍රතිඋත්තරය සකි සිහි කළා ය.

“රැස් විහිදෙනවා කියලා අපට හිතෙන කොල්ලොම තමයි කවදහරි දවසක ගිනි පිඹින්නේ.ඒ හින්දා තරුවක් උනත් පුපුරලා යන්න පුළුවන් කියල දැනගෙන කරන ලව් එකක් කරගෙන යන එක හොඳයි කියලා මතක තියා ගන්න.නැත්තං ජීවිතේ මාර බරක් වෙනවා.”

ඇති වී නැති වී යන ආදර කතා වෙනුවට සකීට ඕනෑ වූයේ ඇගේ සිහිනය මෙන් අල්ලා ගත් අත අත් නොහැර සිටින ආදරයකි.ඔහු දැන් ඈ දෙස ප්‍රේමණීය දෑසකින් බලා හිඳියි.සියල්ලම කියන්නට මේ තරම් මොහොතක් නැති බව ඇය දනී.නමුත් වචන නූපදින විට ඇය තිබුණු එකම තෝරාගැනීම හැඬීම ය.ඔහු ඇගේ කඳුළු අනවසරයෙන් ම පිස දැම්මේ ය.ඒ කඳුළු ඉදිරියේ ඔහු සිටියේ මහත් අපහසුවකින් ය.එක්තරා දවසක කණ්ඩායම් සගයෙකුගේ පෙම්වතියක තමන් ඉදිරියේ හැඬූ අන්දම අහස්ට මතක ය.ඔහු ඇය සමඟ ගැටුමක් තිබිණ.අහස් ඔහුගේ ළඟම මිතුරෙකු නිසා ඇය අහස්ට දුක කියන්නට තීරණය කළා ය.අහස් ඇයව අසා හිඳින්නට එකඟ වුවද ඇය හඬන්නට පටන් ගත්තා ය.

“අඬන්න එපා.අඬලා ඔය ප්‍රශ්නෙ විසඳන්න නම් වෙන් නැහැ.”

අඬන යුවතියට වඩා හැඬුම අසා සිටි තරුණයා කලබලයට පත් වී සිටියේ ය.හඬන කෙල්ලන් නැළවීම ඔහු දන්නා දේවල් අතර වූයේ නැත.තමන් සියල්ල දන්නවා යැයි සිතාගෙන සිටිය ද අඬන කෙල්ලක නැළවීමට නොදැනීම ගැන අහස්ට එදින ද ලැජ්ජාවක් ඉපදිණ.නමුත් එදා හැඬුවේ සමීප මිතුරියකි.හැඬීම නවතන මෙන් ඉල්ලමින් ඇයට දුන් ටිෂූ කඩදාසියක් ගැන කියමින් ඇය අද පවා ඔහුව සරදමට ලක් කරයි.එදා මිතුරියක නළවන්නට නොදැන සිටිය ද අද සකීට හඬන්නට දිය යුතු නොවේ.පිටියේ පන්දුවකට මුහුණ දීම සහ හඬන කෙල්ලක නැළවීම අතරින් අමාරුම කටයුත්ත ගැන දැන් ඔහුට සැකයක් නොවේ.

“ඔයා මහන්සියෙන් අමාරුවෙන් ඔය හීන ගැන කියන්න ඕන නෑ සකී.මට ඇත්තටම දැනගන්න ඕන වුණේ මං ෆේල් වෙන දවස් ඔයා දැන ගන්නේ කොහොමද කියලා.”

ඔහු තමන් කෙරෙහි ආදරයකින් බව සිතීම එක්තරා ආකාරයක විහිළුවක බව සකීට හදිසියේ සිතුණා ය.ඔහු ආදරයක් ගැන කිසිම වචනයක් මේ වන තුරු පවසා නොමැත.ඇතැම් විට ඔහුට උවමනා වන්නට ඇත්තේ ඔහුගේ අයහපත් දවස් ඇය හොඳින්ම දැන ගන්නා ආකාරය පමණි.එය දැනගන්නට ප්‍රේමණීය ව හැසිරීම කොල්ලෙකුට අපහසු කටයුත්තක් නොවේ.

“මං ෆේල් වෙන දවස් ගැන මට ඔයාගෙන් දැනගන්න පුළුවන්.ඉස්සරහට ඔයාට තියෙන්නේ ඒ වගේ දෙයක් මට කෝල් එකක් දීලා කියන්න.”

ජීවිතය සම්බන්ධයෙන් සිහින දැකීම මොන තරමට විකාරයක්දැයි සකී සිතන්නට වූවා ය.ඉදිරියේදී ඇයට අනාවැකිකාරියක වන්නට සිදු වී ඇත.ඇය කරදර ගොඩක් කරපින්නා ගෙන සිටින කෙල්ලක නිසා ඔහු ඒ වෙනුවෙන් ගෙවන්නට උවමනා මුදල තව මොහොතකින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි සකී සිතුවා ය.එවෙනි සිල්ලර ගනුදෙනුවකට ආදරය යැයි නම තැබීම ගැන සකී තමන් ගැනම ලැජ්ජා වන්නට වූවා ය.

“එහෙම නරක දවස් ගැන ඔයා මට කිව්වයි කියලා මම මොනව කරන්නද සකී.කොහේ හරි ගිහිල්ලා ලෝකෙටම පේන්න නැති තැනක හැංගෙන්නද? ක්‍රිකට් අත් ඇරලම දැම්මයි කියමුකො.ඒත් මට ජීවිතේ ඇතුලේ කරදර වෙන්නේ නැද්ද?”

සකීගේ හිස මත තිබූ අත ඇගේ ඇඟිලිවල පටලවා ගන්නට අහස්ට ගතවූයේ තත්පර කිහිපයකි.

“ඔයාට ඔය හීන පේන්නෙ මම නපුරින් ආරක්ෂා කරගන්න පුලුවන් මොකක් හරි දෙයක් ඔයා ළඟ තියෙන නිසා.මට මහන්සි දැනෙන  මට මාව එපා වෙන වෙලාවට දුවගෙන එන්න මගෙම කියල කෙනෙක්.මම හොඳටම ෆේල් කියලා තේරෙන වෙලාවට ඔව් ඒක එහෙම තමයි කියලා මතක් කරන කෙනෙක් එක්ක ජීවත් වෙන්න හරිම අමාරුයි.මට ඕන ඔයාට පුලුවන් කියන කෙනෙක් සකී.මං දන්නව ඔයා එහෙම කියනව.අඩුම තරමේ කියන්න වචන මොනවත් අමතක වුණොත් ඔයා ඔය වගේ අහිංසක පාටට මං දිහා බලාගෙන ඉන්නව කියල මං දන්නව.ආත්ම ගාණක් මාත් එක්ක එකට ආව ඔයාට මේ ආත්මෙ ඈතින් ඉන්න දෙන්න බෑ.”

නැත! ඔහු හිඳින්නේ ආදරයෙනි.ඒ ආදරය මවාපෑමක් නොවන වග සකී දනියි.තත්පර කිහිපයකට හෝ ඔහු ගැන අවිස්වාස කරන්නට සිතීම ගැන ඇය ඇයටම දොස් නඟා ගත්තා ය.

“මට සම්පූර්ණයෙන් ම මං වෙන්න පුලුවන් තරම් නිදහස් කෙනෙක් ඔයා.ඒක වුණේ කොහොමද ඒක ඉස්සරහටත් වෙයිද වගේ ප්‍රශ්න අහන්න එපා සකී.ඒ ඔයා විතරයි.”

ඇයට කියන්නට කිසිවක්ම තිබුණේ නැත.ඔහු වාහනය නවතා ගත් මහ ගසින් මල් එකිනෙක බිමට හැලෙන බව සකී දුටුවා ය.ඒ ඔවුන්ට ආශිර්වාද කරන මල් වැස්සක් යැයි සිතන තරමට බොළඳ වන්නට නොහැකි ය.නමුත් මේ මල් පෙත්තක් තරමට ඉසියුම් වූ නිදහස් ජීවිතය තත්පර කිහිපයකට අහිමි වූ බව ඇය හොඳින්ම තේරුම් ගත්තා ය.ඇය ප්‍රේමවන්තියකි.මෙතුවක් කාලයක් ඇය අහස් ගැන බියට පත් වූයේ ඔහුට යහපතක් ප්‍රාර්ථනා කළේ ඔහු ලබාගන්නා අදහසකින් නොවේ.ඔහු තාරකාවකි.ඒ තාරකාවේ දීප්තියෙන් කුඩා දිවයින උද්දාමයට පත්වෙන මොහොතකදී ඇයත් මිලියන ගණනක ජන ගඟක කුඩා තිතක් වී උද්දාම වූවා ය.ඔහුට වැරදෙන තැනකදී ලක්ෂ ගණනක් ඔහුට හිනැහෙද්දී ඇය ඔහු වෙනුවෙන් කම්පා වන අල්පයක් පිරිසට එක් වූවා ය.තව දුරටත් සකී කියන්නේ අහස්ගේ “හොඳම රසිකාවිය” පමණක් නොවේ.සදාකාලික රසිකාවිය ය.

“මං දැනගෙන හිටියා ගෙදරක් වගේ කෙනෙක් ලැබෙනව කියල.අන්න එදාට මේ අහස්ව කාටවත් නවත්තන්න බෑ කියලත් මං දන්නව.”

ඔහු ගමන ආරම්භ කළේ ය.ඒ ගමනේ දිශාව පවා සකීට හරි අවබෝධයක් වූයේ නැත.නමුත් ඇය ද ගොඩනැගිලි කිහිපයක්ම ඉතා ප්‍රවේසම් සහගතව ප්‍රතික්ෂේප කළේ තමන්ගේම කියා නිවසක් වෙනුවෙන් බව ඇය හොඳින් දැන සිටියා ය.දැන් ඒ උණුසුම් සහ ප්‍රීතිමත් නිවහන ඇය නමට වෙන් වී තිබේ.

(බොහෝ ආශාවකින් ලියැවෙන සකී – අහස් ආදර කතාව වෙනුවෙන් අදත් ඔබේ ප්‍රතිචාරය තබා යන්න.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles