අපරාජිතා රත්මල්ගොඩ නිසංසලේ ඇස් හැරියා ය. කුරුලු කූජන ඈ වට කොට ඇසෙමින් තිබිණ. රාත්‍රිය ඉතා සාමකාමී ලෙස ගෙවී ගිය බවට, පෑදි දියක් සේ වූ ඇගේ හිත සාක්ෂි දැරුවේ ය. අපරාජිතා මූණ සෝදා ගෙන සඳැල්ලට ගියා ය. සීනියාස්, දහස් පෙති, රාජ පොහොට්ටු හා අට පෙති මල් ගාල් රාත්‍රියේ වට මඳ වැස්සට හොඳින් දිය නා මල් බර වී සිටී. ඒ වැහි පොදය මුළු පරිසරය නැවුම් ප්රබෝධයකින් පණ ගන්වන්නට සමත් වී තියේ.
සසංක රිය වෙත එන ගමන් බැල්කනිය දෙස බැලුවේ ය. කොට කලිසමකට මත්තෙන් සැහැල්ලු ලොකු කමිසයක් හැඳ නිදා ගත් අපරාජිතා අත් දෙක පපුවේ බැඳ ගෙන අලුත් සුලං හුස්ම ගනිමින් සිටියා ය. මොහොතකට සසංක ගේ ඇස් බැල්කනිය මත්තේ නතර විය. ඇය දෙතොල් තද කර සිනහ වූවා ය. තරුණයා රියට ගොඩව හෝන් එකක් ගැසුවේ ය. විවර වූ රෝලර් දොරෙන් නික්මුණ රියෙහි දම් පාට ජය පාරේ තුරු වදුළු අතරින් නො පෙනී යන තුරු ම ඇය බලා සිටියා ය.
අපරාජිතා සඳැල්ලෙන් ගෙතුළට හැරුණේ සුසුමකිනි. ඒ සුසුමේ ඈ ගැන ම ආදරයක් තැවරී තිබිණ. ෆූඩ් වේව් හි එළිමහන් අසුනක හිඳ බෝ වෙලා ගෙන හෙමිහිට ඉන්දියානු කොත්තු ද ඉන්දියානු පරාටා ඩෙවල් ද රස විඳි පෙර දා රාත්‍රියේ සෙවනැලි දැනුදු හිතේ චලනය වේ. කාල වෙලාව ගැන ඔවුන්ට වගක් තිබුණේ ම නැත. කතා කරන්නට මාතෘකා අලුතෙන් හැදුණා නොව කාලයක් තිස්සේ හිත ඇතුළේ ම තිබුණ කතා මාතෘකා ය. නමුත් ඒවා හැංගී තිබුණේ කතා කරන්නට කෙනෙකු නොමැතිව ය. හොඳ ම යාළුවන් සමග ඕනෑ ම දෙයක් කතා කළ හැකි වී ද ඔවුන් සමග වුව කියා පලක් නැතැයි සිතෙන කාරණා තිබේ. විශේෂයෙන් ම ඔවුන් ට විෂය නොවන හෝ ගෝචර නොවන දෑ ය. ඒවා ගැන උනන්දුවෙන් ද නිදහස් ව ද කුළෑටි කමකින් තොරව ද කතා කළ හැක්කේ ඒ වාගේම සිතිවිලි දරන්නෙකු සමග ය.
“පිස්සෙක්ට පිස්සෙක් උඩහමුල්ලෙදි වුණත් හම්බ වෙන්න පුළුවන්”
අපරාජිතා කණ්ණාඩියට විරිත්තමින් කොණ්ඩය මුරුච්චියක් ගැට ගැසුවා ය.
වර්තමානය විසින් අභීත ලෙස අතීතය සමග සටන් වැදුණ සෙයක් අපරාජිතා ට දැන් දැනේ. අතීතය කියන්නේ ගෙවා ආ මගකි. අනාගතයට මග විවර කර ගැනීම වර්තමානයේ වගකීමයි. ඇය ප්‍රබෝධවත් හා නිවුණු හිතකින් ටෙරාරියම් සැකැස්මක් සිදු කළා ය. ඒ භාවනානුයෝගී දිගු තත්පර තුළ ඇය තව තවත් ඇය සොයා ගියා ය. ‘ටෙරාරියම් ගැලරි’ , සසංක විසින් ඉසිනා ලද ඒ සියුම් බීජ ඇගේ හිතේ හෙමිහිට පැළවෙමින් තිබිණ.
“ඒ කියන්නෙ මාව හලල ඇවිදින්න යන්න කෙනෙක් දැන් ඉන්නව නේ…”
නුගේගොඩ හන්දියේ කරක් ගසන ගමන් හැන්දෑවේ දේශිකා නෝක්කාඩු කීවා ය. අපරාජිතා යොවුන් කෙල්ලක වාගේ හයියෙන් සිනහ වූවා ය.
“මං බයෙන් එතනට ගියේ. මං බය මගෙම අතීතෙට කියලත් මං දැනන් හිටිය. සමහර විට ඒක නිසාම වෙන්නැති සසංක ෆූඩ් වේව් එකටම ගියෙත් කන්න. මං හිතා ගත්ත අතීතෙට බයේ හැංගෙන්නෑ කියල ආයෙ කොහෙවත්. අපි අපිටම ආදරේ කරන්න පටං ගන්න ඕන දේශි මුලින්ම. කෙල්ල වරද්දගත්තෙත් අන්න එතන. අරවින්ද ගැන කේන්තියට එයා පළි ගත්තෙ එයාගෙන්ම. සමහර විට හරියන්නත් පුළුවන්..සමහර විට වරදින්නත් පුළුවන් ඒ හදිස්සි තීරණේ. හරි ගියොත් එහෙමයි. වැරදුණොත් ඒත් එහෙමයි. එයත් අම්ම වගේ අත්දැකීමෙන්ම ඉගෙන ගනියි වැරදුණ තැනින් ආයෙ පටං ගන්න ඕන කියල. එයාට මං ඉන්නවනෙ…”
ගැහැනියකට ජීවිතය විඳ ගන්නට පිරිමියෙකු ගේ වාරුවක් අත්‍යාවශ්‍ය නැති බව මිතුරියන් දෙදෙන ම අවබෝධ කොට ගෙන සිටියහ. නමුත් පිරිමියෙකු ගේ ආදරය නමැති වෘක්ෂයේ වෙලී සිටින්නට රිසි නොවන ගැහැනියක මෙලොව නැත්තේ ය. සමහරෙකු ට ඒ වාසනාව හිමි වී ද සමහරෙකුට එසේ නොවෙතැයි සිතන්නට පෙර දී දේශිකා සේ දැන් අපරාජිතා ද උත්සාහ කරන්නී ය. නමුත් කෙනෙකු මත තමන්ගේ සතුට රඳවා තැබීමේ අනුවණ කම තව දුරටත් ඔවුන් ගෙන් සිදු වන්නේ නැත.
එදා කිහිප වරක් ම අනන්‍යා ට කතා කරන්නට උත්සාහ කොට ඇගෙන් ප්‍රතික්ෂේප වූ අරවින්ද, සමාජ ශාලාවේ සිට ම අපරාජිතා ඇමතුවේ ය.
“මට ඔයාව මීට් වෙලා කතා කරන්න ඕන අපරාජිතා”
ඇගේ මුහුණට සාවඥ සිනහවක් ආවේ ය.
“අවුරුදු දහ අටක් තිස්සෙ කතා කරපු හරිය මදිද අරවින්ද…මට ඔයාව මීට් වෙන්නනං පුළුවන් කමක් නෑ. මොකද ආපස්සට යන්න දැන් මට ඕන නෑ. ප්ලීස්…ඔයත් දැන් වර්තමානෙට එන්න අරවින්ද..අනාගතේ ගැන හිතන්න. ඒ අතීතෙ සුන් බුන් තාමත් හිතට වද දෙනව තමයි. ඒත් අතීතෙ ජීවත් වෙන එකෙන් කිසිම හොඳක් වෙන්නෙ නෑ. ඔයාගෙ අලුත් ෆැමිලි ලයිෆ් එකයි දැන් ඔයාට වටිනම දේ. ලැබෙන්න ඉන්න දරුව වැදගත්ම සේ. අනන්‍යා තරමටම”
“ඇයි අනන්‍යා මට මේ තරං දුකක් දෙන්නෙ…ඔයා දන්නවද අපූ මට කොච්චර රිදෙනවද කියල..”
“අපි හැමෝම රිදිච්ච මිනිස්සු අරවින්ද. එක එක විදිහට. ඒ රිදුම් වලට අපි එක එක්කෙනා රිඇක්ට් කරන විදිහත් වෙනස්. අනන්‍යා කියන්නෙ එයාගෙ ළපටි හිතම රිද්දගත්ත ළමයෙක්. මේ තමයි එයා රිඇක්ට් කරන විදිහ. අපි හැමදාම අපේ රිදිලි ගැන මිස අනිත් අයගෙ රිදිලි වලට සංවේදී මිනිස්සු නෙවෙයි. අනන්‍යා ඔයාට ගොඩක් ආදරෙයි අරවින්ද. ඒ නිසාම එයාට දරා ගන්න බැරි වුණා මෙච්චර ඉක්මනට ඔයා මැරි කරපු එක වගේම වෙන දරුවෙක්ට තාත්ත වෙන්න යන එකත්. සමහර විට එයා එහෙම දෙයක් බලාපොරොත්තු නොවෙන්න ඇති. අපි වෙන් වෙන එක ගැන එයා විරුද්ද වුණෙ නෑ. එයා දැනං හිටිය අපි නොගැලපෙන බව. අපි වෙන් වුණත් එයාට අපේ ලෝක වල වෙනද වගේම ඉන්න පුළුවන් කියල එයා හිතන්න ඇති. මෙහෙම එයා වෙනස් වෙන්න හේතුව ඒක”
දැන් කිසිත් වෙනස් කළ නො හැකි බව අරවින්ද දැන සිටියේ ය. නමුත් අනන්‍යා සිය ජීවිතයෙන් බොහෝ ඈතට ගමන් කරමින් සිටීම බලාපොරොත්තු නොවූ කඩා වැටීමක් ඔහු ගේ ලෝකයේ ඇති කරනා ලදී. ඒ කාරණා අමතක කරන්නට ඔහු වැඩිපුර මතට ලොල් වූයේ ය. එසේ වත්දී රොෂෙල් තුළ ඔහු ගැන ඇති වූයේ නොරිස්සුමකි. දරුවෙකු කුස දරා හිඳිනා ඇය සිය අසහනය පහ කර ගනු වස් ඔහු සමග දබර කර ගන්නට උත්සාහ කළා ය. එවැන්නකට පසුබිම ඇති වෙන එක වළකන්නට අරවින්ද කළේ හැකි තාක් ඇය මග හැර සිටීම ය. ඔහු එසේ හැසිරෙන්නේ අපරාජිතා තවමත් ඔහු ගේ හදවතේ ජීවත් වන නිසායි සිතමින් රොෂෙල් ඇයව ම පීඩාවට පත් කර ගත්තා ය.
“තව ටික දවසක් ගිහින් හරි හිත ටිකක් සන්සුන් කර ගෙන ඔයා තාත්ති එක්ක කතා කරන්න. දැනට එච්චරක් කරන්න පුතේ. තව ටිකක් කල් ගියාම ඔයාට තේරෙයි. අපි එක එක්කෙනාට වෛර කර කර ඉඳල තේරුමක් නෑ කියල. අපේ සතුට තියෙන්නෙ අපි ඇතුළෙමයි”
අපරාජිතා එදා අනන්‍යා ට ද කීවා ය. ඇය අම්මා සමග වාද නොකර අසා සිටියා ය.
බෙල්ලන්විල දී අසේල සසංක ව හා අපරාජිතා ව දැක තිබිණ. ඔහු උදේ ම සසංක ගේ කියුබිකල් එකට ආවේ අවඥා සහගත සිනහවකිනි.
“උඹ වැඩ්ඩ කියල ආයෙත් සැරයක් ඔප්පු කළා එහෙනං නේ…”
මිතුරා කියන්නක් සසංක ට පැහැදිලි නොවූයෙන් ඔහු නළල රැලි කළේ ප්‍රශ්නාර්ථයෙනි.
“ඉස්සුව නේ අපරාජිතාවත්..”
සසංක ගේ මුවට ආ අඩවන් සිනහවේ, වෙනදා මිත්‍රයෙකු ඔවැනි කතාවක් කී විට ඇඳෙනා ජයග්‍රාහී බව වූයේ නැත. එහි පෙරලා මිතුරා වෙතට ම වන සමච්චලයක් වූයේ ය.
“මොනාද බං කියන්නෙ…”
“කොළේ වහන්න ඕන්නෑ ඉතිං..මං දැක්ක ඊයෙ රෑ..බෙල්ලන්විලදි..ජෝඩුව කුරුල්ලයි කිරිල්ලියි වගේ…”
“මොනා කරනවද…”
“පාරෙ ඉතිං…ඇවිදං යනව තමයි..”
“දැං අපරාජිතා උඹත් එක්ක පාරෙ ඇවිදං ගියානං වෙන විදිහකටද යන්නෙ…”
“උඹ කියන්න හදන්නෙ ඒකි එක්ක බෙල්ලංවිල වඳින්න ගියා කියලද..”
කට ඇද කළා මිස සසංක ගෙන් සිනහවක් වුව පිට වූයේ නැත. ලෝකය හැමදාමත් තීරණ ගත්තේ පෙනෙනා දේ මත මිස විමසා බලා නොවන බව ඔහු දනී. විශේෂයෙන් ම අපරාජිතා වාගේ විවාහයෙන් නීත්‍යානුකූල ව වෙන් වූ ස්ත්‍රියක දෙස මිනිසුන් බලන්නට හුරු ව ඇත්තේ ම වපරැසිනි. නමුත් ඈ වාගේ පවිත්‍ර ගැහැනියක දෙස එසේ බලන එක වුව සාහසික කමකි. අපරාජිතා මතු නොව එවන් ගැහැනුන් තව ඕනෑ තරම් සාහසික ලෙස පණ පිටින් ඝාතනයට ලක් වී ඇතිවා විය යුතු ය. ජීවිතයේ ප්‍රථම වතාවට එවන් ගැහැනුන් ගැන අපමණ ගෞරවයකින් ද සංවේගයකින් ද ඔහු ගේ හදවත බර වූයේ ය.
මිදුලේ සිමෙන්ති බංකුව මත හිඳ අපරාජිතා කුරුල්ලන් ට බත් ඇට දැමුවා ය. දෙමලිච්චෝ ද පොල්කිච්චෝද මයින් යුවලක් ද ඈ වට කර ගෙන බත් ඇට ඇහිඳ කමින් මහ හඬින් කූජන නැගූහ. අපරාජිතා ගේ මුවග වූයේ ශාන්තියේ සංකේතයක් බඳු මඳහසකි. ජීවිතය තුළ සතුට සොයා ගැනීම වෙනුවෙන් කළ යුතුව තිබෙන්නේ කෙතරම් සරල වූ දේවල්දැයි ඒ ප්‍රීතිමත් කුරුලු කිරිල්ලෝ ඇයට කියා දෙමින් සිටියහ.
අපරාජිතා තවත් ටෙරාරියම් නිර්මාණ කිහිපයක් කළා ය. පාරවල් වල මෝටර් රථය පදවාගෙන යත්දී විශේෂ මීවන වර්ගයක් හෝ පාසි වර්ගයක් දුටුව හොත් ඇය නතර වී ඒවා ගලවා ගත්තා ය. අන්තර්ජාලය කුළ සැරිසරන අතරේ ම ඇගේ ම අදහස් මත නව අත්හදා බැලීම් ද කළා ය. සසංක ගේ කාර්යාලීය මේසය මත වන ටෙරාරියම් එක දැකීම මත ඇය ට ලැබුණ නව ඇනවුම් ද කිහිපයකි. දැන් ඔහු එම පාරිභෝගිකයන් ට අපරාජිතා ගේ දුරකතන අංකය ලබා දී කෙලින් ම ඔවුන් ඇය වෙත යොමු කරයි. ඇය සතුව ටෙරාරියම් එකතුවක් වර්ධනය වී ආවේ ය. අපරාජිතා ඒවා බැල්කනිය කොනක, සසංක ගේ ගෙදරින් ඉල්ලා ගත් ස්ටූල් එකක් මත තබා ගෙන සිටියා ය.
දවසක් සසංක ගෙදර ආවේ වඩු කාර්මිකයෙකු ලවා සාදවා ගත් හුරුබුහුටි ලෑලි රාක්කයක් ඩිකියේ පටවා ගෙන ය. ඔහු එය ගෙන පඩි පෙළ නැග එත්දී අපරාජිතා නොතේරුම් ව බලා සිටියා ය. බැල්කනියේ බිත්තියට හේත්තු කොට රාක්කය ස්ථාන ගත කළ හෙතෙම, බිම තිබූ ටෙරාරියම් කිහිපය ගෙන එහි තැන්පත් කළේ ය.
“දෙයක් කොච්චර වටිනවද කියල ලෝකෙට පේන්න ගන්නෙ ඒක හරි තැන තිබුණහම”
ඔහු කීවේ එපමණකි.
‘ටෙරාරියම් ගැලරි’ මේ සඳැල්ල තුළ ඒ මනස් රූපය වඩා ප්‍රබල ලෙස ඇඳී යන සෙයක් ඇය ට දැනිණ. අපරාජිතා එනමින් ෆේස් බුක් පිටුවක් සාදා අන්තර්ජාලයෙන් බා ගත කරන ලද ඡායාරූප ද ඇගේ ම නිර්මාණ වල සේයා රූ ද කිහිපයක් ඊට යොමු කළා ය. දෙදිනක් ගත වන විට ඊට තිබූ ප්‍රතිචාර ඉතා හොඳ තත්වයේ වූයේ ය. ඇනවුම් කිහිපයක් ද ඒ අතරින් ලැබී තිබිණි. සමහරු විමසා සිටියේ ටෙරාරියම් ගැලරි සියැසින් දැක එකක් තෝරා ගන්නට ය.
“පහළ ග්ලාස් වලින් වගේ කියුබිකල් එකක් හදල එතන ඩිස්ප්ලේ කරන්න හදා ගමු. හෙමිහිට එහෙම කරනකල් ඔයා හොඳ කලෙක්ශන් එකක් හදා ගන්න”
සසංක කීවේ ය. ඉනික්බිති ඇය සිය ශ්‍රමය විශාල වශයෙන් යෙදවූවේ ටෙරාරියම් නිර්මාණය කිරීමට ය. හැමදාමත් වීඩියෝ ඇමතුමක් ගෙන ඇය ඒවා අනන්‍යා ට පෙන්වූවා ය. මාස කිහිපයක් ගත වන විට අනන්‍යා සන්සුන් වී සිටි අතර අරවින්ද ගැන කකා කිරීම ඇය මුළුමනින් ම නතර කොට දමා ද තිබුණා ය. එක දවසක් හදිසියේ ඇය අපරාජිතා ට දන්වා සිටියේ ඇය ලංකාවට එන්නට සිතා සිටින බවකි. ඒ ආරංචිය අපරාජිතා තුළ යම් ගැස්මක් ඇති කරවන ලදී.
“ඇයි පුතේ හදිස්සියෙම…ඔයා කිව්වෙ වැකේෂන් එන්නෙත් නෑ කියලනෙ…පාට් ටයිම් ජොබ් එක මිස් වෙයි කියල…”
“ඒත් මට එන්නෝන අම්මි. මට ටිකක් අම්මි ළඟට වෙලා ඔයා දිහා බලං ඉන්න ඕනෙ. අම්මිට තුරුල් වෙලා අඬන්න ඕනෙ. මට හිත හදා ගන්න ඕන අම්මි”
“හිත හදා ගන්න ඕන කිව්වෙ. මං හිතං හිටියෙ තාත්තිගෙ කන්ඩිශන් එක ගැන ඔයා දැං කාම්ලි හිතන්න අරං කියලයි”
“මායි ට්රෙවිනුයි වෙන් වුණා අම්මි”
“ආ…”
අපරාජිතා ගේ හදවත් පටක ක්ෂණික නාය යාමකට ලක් විය. ඇය සුරතින් සිය ළැම අල්ලා ගත්තා ය. මොහොතකට ඇය ශ්වසනය කළේ ද මුව විවර කොට ය.
“දැන් ටික දවසක්. මං අම්මිට කිව්වෙ නෑ. මට ටිකක් අමාරුයි..ඒත් ඇත්තට ෆේස් කරන්න මං ලෑස්තියි. එයා කියනව අපිට මේක කන්ටිනිව් කරන්න බෑ කියල. මගෙ සමහර ඒශියන් ගති එයාට අල්ලන්නෑ”
ඇය එසේ කීවේ සිනහවකිනි. නමුත් ඒ සිනහව යට වන සංවේගය අපරාජිතා හැඳින්නා ය.
“ඔයා දුකෙන් නේද..”
“හ්ම්. ඒත්…”
“ඔයාට තිබුණා එයාගෙ හැටියට වෙනස් වෙලා එයාව නතර කර ගන්න”
“අම්මිට ඕන වුණාද එහෙම තාත්තිව නතර කර ගන්න…අපිට ඕනෙ අපිව අපි විදිහට පිළිගන්න ලෑස්ති කෙනෙක්වයි කියල මං දැන් දන්නව අම්මි. අනිත් එක මං ඔයාගෙ දුව”
අනන්‍යා සිනහ වූවා ය. නමුත් සිනහ වෙන්නද හඬන්නද කියා අපරාජිතා දැන සිටියේ නැත.