ප්‍රේමයේ අභිමන් – 34

සසංක ගේ අතේ එල්ලී තිබූ සුදු පාට සිලි බෑග් එක අපරාජිතා අතට මාරු විය. ඇගේ ඇස් වල ‘මොනාද’ යන බැල්ම තිබුණේ ය. 

“පූරි. දැක්කහම මට මතක් වුණා.. අනන්‍යා ආසයි කියල ඔයා කිව්වනෙ. කෝ කෙල්ල…”

එතකොට ම අනන්‍යා අපරාජිතා පිටුපස ය. ඇය අම්මා ගේ උරහිසෙන් නිකට තබා ගත්තා ය.

“කෙල්ල ඉන්නෝ”

ඔහු සිනහවකින් ආපසු හැරුණේ කියන නො කියන කතා හුඟක් අපරාජිතා ගේ ඇස් මත තබමිනි.

“මේ..”

සසංක අඩි කිහිපයක් ගිය තැන අනන්‍යා නිශ්චිත නොවන ආමන්ත්‍රණයකින් ඔහු ඇමතුවා ය. සසංක නතර වී හැරී බැලුවේ ය.

“තෑන්ක්ස් අපිව මතක් වුණාට”

සැබවින් අපරාජිතා ගේ සිත්හි වූ කතාව ද එයයි. සසංක පඩි බහින හැටි බලා ගෙන ඇය හුස්මකින් පපුව පුරවා ගත්තා ය. අම්මා ත් දුවත් ඔහු යන දෙස බලා සිටිනයුරු පාරේ නතර වූ රිය තුළ සිට බලා සිටි අරවින්ද ගේ මුහුණ අඳුරු වී තිබිණ. ස්ටියරින් වීලයට අතින් තද පහරක් ගැසූ හෙතෙම රිය පණ ගන්වා ගත්තේ සිය සැකයේ වාසිය ඔහු වෙතට ම ලබා දෙමින් හා ඒ නිසා ම සිරුරේ රුධිරය උණුසුම් කර ගනිමින් ය.

අපරාජිතා එහෙම ම හිඳ අත පිටුපස ට හරවා පූරි බෑගය අනන්‍යා වෙත පෑවා ය. ඊට නැඹුරු ව ඇතුළත වූ දුඹුරු  කඩදාසිය ඈත් මෑත් කොට බැලු ඇය අම්මා ගේ මූණ බැලුවේ විශ්මයෙනි.

“ෆුඩ් වේව් එකේ පූරි”

අපරාජිතා මොනාලිසා රූපයේ සෙයින් මඳහසක් පෑවා ය.

“ඔයා ආසයිනෙ..”

“එයා කොහොමද දන්නෙ…”

“මං දවසක් කිව්ව”

“ඔය දෙන්න ෆූඩ් වේව් ගියාද…කොහෙද..තිඹිරිගස්යායෙද…”

“නෑ. බෙල්ලන්විල. දවසක් මං වෝක් එකකට එළියට බහිද්දි සසංක හම්බවෙලා කතා කළා. එයත් බෙල්ලන්විල වැව ළඟට යන නිසා කැමතිනං යං කිව්ව. එදයි මං කිව්වෙ”

අනන්‍යා අම්මා ගේ ගෙල වටා දෑත ම යවාගෙන ඇගේ පිටට මූණ තියා ගෙන මඳ වෙලාවක් සිටියා ය. අපරාජිතා දියණියගේ දෑත් සිය අත් දෙකෙන් ම අල්ලා ගත්තා ය.

“අයිම් සොරි අම්මි. මං ඔයාගෙ බලාපොරොත්තු බින්දා. ඒත් ඔයාට හැම වෙලේම මං මතක් වෙනව”

ඇය කතා කර ගත්තේ උගුර යටිනි. අපරාජිතා අනන්‍යා ගේ දෑත් පිරිමැද්දා ය. අනන්‍යා කියන්නේ කොයි වාගේ දරුවෙකු ද යන වග අම්මා වශයෙන් ඇය තරම් දන්නා කෙනෙකු වෙන ඇත්තේ නැත. නමුත් එක මොහොතක දී සියල්ල අනපේක්ෂිත ලෙස වෙනස් විය. දැන් පශ්චාද් මරණ පරීක්ෂණ පවත්වා පලක් නැත. එක හීනයකින් රැය පහන් වන්නේ නැති බව ද එක සිදුවීමකින් ජීවිතය කෙළවර වන්නේ නැති බව ද අපරාජිතා අත්දැකීමෙන් ඉගෙන ගෙන සිටී. 

“ඔයා ගැන මගෙ බලාපොරොත්තු එහෙමමයි. බිඳි බිඳි වුණත් මං ඒව ඔයා වෙනුවෙන් පරිස්සං කරනව. අපි කොහොමහරි අල්ලන් ඉමු. සතුට තියෙන්නෙ අපි ළඟමයි කියල දවසක ඔයා ජීවත් වීමෙන්ම ඉගෙන ගනියි. ගිහින් ඕක කන්න”

අපරාජිතා ඇස් වලට කාන්දු වූ තෙතමනය පිස ගත්තේ අනන්‍යා ගෙතුලට ගිය පසුව ය. දියණියක, මවක සේ ම ගැහැනියක වශයෙන් ද ඇය විඳ දරා ගත් සියල්ල දියණියට ද විඳ ගන්නට වෙතැයි අපරාජිතා කවදාවත් නො සිතුවා ය. නමුත් දෛවය ඒ වාගේ පැන යාමකට ගැහැනිකට අවස්ථාවක් ලබා දෙන්නේ නැත. ගැහැනු හිතක් කියන්නේ බිඳුණු හිතකි. පිරියම් කරන ලද හා කැළැල් සහිත හිතකි. කඳුළින් පෙඟුණා වූ සිතකි. මිල මුදල් හෝ භෞතික සුඛ විහරණ කෙතෙක් වී ද බාහිරයෙන් නො පෙනෙන ඒ තුවාල කැළැල් වූ කලී ස්ත්‍රීත්වයේ සංකේතයකි. 

අරවින්ද ඊර්ෂ්‍යාවෙන් පැසවූයේ ය. අපරාජිතා එහෙම සිනහවකින් කිසි දා ක ඔහු නො පිළිගෙන ඇතැයි ඔහු ට සිතිණ. ඇය වූ කලී අමුතු විදිහේ ගැහැනියකි. රොෂෙල් වාගේ, මුදල් නෝට්ටු මිටියක් අත මිට මොලවා කිසි දාක ඇය සතුටු කළ හැකි වූයේ නැත. එහෙම අවස්ථා වල ඇය කෙතරම් වදයක් දැයි ඔහු ට සිතුණ වාර ගණනේ නිමක් නැත. ඇය වාගේ වටහා ගත නො හැකි ගුප්ත ගැහැනියක සමග ජීවත් වෙනවාට වඩා රොෂෙල් වැනි විවෘත ස්ත්‍රියක සමග ජීවිතය කෙතරම් පහසු විය හැකි දැයි ඔහු සිතුවේ ය. නමුත් ඒ තේරුම් ගත නො හැකි ගැහැනිය සිය පිරිමි සිත තවමත් බදා වැළඳ ගෙන සිටිනා සැටියක් දැන් ඔහු ට දැනේ. 

අරවින්ද තිගැස්සී ගියේ මේ විදිහට අපරාජිතා ගැන සිතීමේ අයිතිය ඔහු විසින් ඉල්ලා අස් කර ගෙන ඇති බව සිහිපත් වීමෙනි. ගෙදර ගිය ඔහු තමාව ම සොයා ගත නොහී මත් ව, වීදුරු කිහිපයකට අතින් ගසා තල්ලු කොට කුඩු කර දැමුවේ ය. ඒ ශබ්ධය නිසා අරවින්ද ගේ කුඩා ස්කාගාරය වෙත හිස පෙවූ රොෂෙල් වඩා කෝපත් වූවා ය.

“මොන වදයක්ද මේක…ඒ පවුලෙ එකෙක් හම්බ වෙලා ආපු දවසට පුදුම ජවුසන් නැටිල්ලක්නෙ නටන්නෙ”

සිය ආවේගය වචන වලට පෙරළා ඔහු ගේ මූණට දමා ගසනු විනා ඉවසන හැටියක් රොෂෙල් දැන සිටියේ නැත. අරවින්ද මේසයෙහි හිස ගසා ගත්තේ ය.

“අපරාජිතා ඇනෙක්ස් එකේ එකා එක්ක සම්බන්දයක් තියනව”

“ඉතිං..ඒකටද මේ බීගෙන ඔළු පලාගන්න හදන්නෙ.. විකාර”

“ඔයාට තේරෙන්නෑ රොෂෙල් මගෙ හිතේ තියන වේදනාව. අනන්‍යා මගෙ දුව…මට තවත් අනන්‍යාව අපරාජිතා ළඟ තියන්න බෑ”

“ආ…ඒ කියන්නෙ මෙහෙ අරං එන්නද හදන්නෙ…”

“තේරුං ගන්නව මනුස්සයො. ඒ මගෙ දුව”

“පිස්සු නටන්න එපා අරවින්ද. ඔයා අපරාජිතා ගෙන් ඩිවෝස් වෙලා ඉන්නෙ. ඔයා ආයෙ බැඳල ළමයෙකුත් ඉපදෙන්න ඉන්නව අපිට. ඉතින් අපරාජිතා ට බැරිද බඳින්න…එයා ඔයාගෙ දුවව හදාගෙන හැමදාම තනියම ඉන්න ඕනද…”

සමච්චල් සිනහවකින් යුතු ව රොෂෙල් කී වචන ටික අරවින්ද ගේ කන හරහා එල්ල කරන ලද කම්මුල් පහරක් සේ විය. ඔහු ම වතාවක් ඇය ට කතා කොට විවාහයක් කර ගන්නා ලෙස කීවේ ය. එහෙව් තමන් මෙසේ හැසිරෙන්නේ ඇයි දැයි අරවින්ද ට තේරුම් ගත නො හැකි ය. ඔහු අපරාජිතා ට ඇමතුමක් ගත්තේ ය. ඈ රාත්‍රී ආහාර සූදානම් කරමින් සිටියා ය.

“බලන්න තාත්ති ඇයි ගන්නෙ කියල”

අපරාජිතා අනන්‍යා ට පිළිතුරු දීම පැවරුවේ අරවින්ද එක්ක අනවශ්‍ය ලෙස කතා බහ කරන්නට යාම ඇගේ සතුටට හේතුවක් නොවෙන නිසා ය. එය ඔහු ගේ අලුත් පවුල් ජීවිතය ට ද අයහපත් ලෙස බලපාවි යයි ඇය ට කිහිප වර සිතිණ.

“ඔයාට දෙන්නලු”

එකෙනෙහි අනන්‍යා දුරකතනය අපරාජිතා වෙත පෑවා ය. ඇය සර්වියට් එකෙන් අත තෙත මාත්තු කරමින් දුරකතනය සවනට ගත්තා ය.

“කියන්න”

“කියන්න තමයි. අර සසංක කියන එකා එක්ක මගුල් නටන්නයි එහෙනං ඉක්මන්ට ඩිවෝස් එක ඕන වුණේ නේද…”

අපරාජිතා ප්‍රශ්නාර්ථයෙන් දුරකතනය සිය මුහුණ ඉදිරියට ගෙන බැලුවේ  මේ වැරදි ඇමතුමක් ද කියා ය. නමුත් ඒ අරවින්ද බව ඇය දැන සිටියා ය.

“මොනාද අරවින්ද මේ කියන්නෙ…”

එය තරමක් දැඩි හඬකින් නැගුණ ප්‍රශ්නයකි. අරවින්ද කොක් හඬලා හිනැහුණේ ය.

“දන්නෙම නෑ. තමුං බබා”

ඔහු බෙහෙවින් බීමත් බව වචන පාලනයේ වන වියවුල් ස්වභාවය නිසා අපරාජිතා තේරුම් ගත්තා ය. 

“හැබැයි මගෙ දරුවට ඔතන ඉඳල මොකක් හරි අනතුරක් වුණොත් මං නිකං ඉන්නෑ හරිද…”

ඔහු ත් එක්ක යුග දිවියෙන් සමු ගත්තා ට පස්සේ, පුංචි දේටත් පැටලෙන්නට යන ඇගේ කුකුළු කේන්තිය නිවී ගොස් ඇය සැබෑ අපරාජිතා ගේ තත්වයට පත් වෙමින් සිටියා ය. නමත් මේ මොහොතේ පරණ පුරුදු අපරාජිතා ක්ෂණයෙන් මතු ව ආවේ ය. මේ වාගේ වෙලාවක කතා නොකර කර බා ගන්නවා කියන්නේ ඔහු තමන්ට අයිති සීමාව වරදවා වටහා ගන්නා එක ය. මොනවා නැතත් ඔහු ට එය කියා දිය යුතු යයි ඇය තීරණය කළා ය.

“මේ අරවින්ද. මට ඔය විදිහට කතා කරන්න ඔයාට කිසිම අයිතියක් නෑ කියල මතක තියා ගන්න..ඩිවෝස් වෙලා මාස තුනක් යන්න කලින් ඔයා ආයෙ කසාද බැන්දෙ දුවෙක් ඉන්නව කියල අමතක වෙලාද…තමන්ගෙ ඇහේ පරාල ඇණයක් ඇනිල තියෙද්දි අනුන්ගෙ ඇහේ තියන පොල් කීර දකින මිනිස්සු ඕගොල්ලො. ආ ඉතිං මගෙ ළඟ ආරක්ෂාවක් නැත්තං ඔයා ගිහිං තියා ගන්න අනන්‍යාව වැකේෂන් ඉන්නකල්. එතකොට ප්‍රශ්නයක් නෑනෙ”

ඇය එසේ කීවේ එහෙම කරන්නට තරම් ආත්ම ශක්තියක් ඔහු ට නොවන බව ඉඳුරා දැන ය. අරවින්ද ඇගේ හයිය නිසා කෝපාවිෂ්ඨ වූයේ ය.

“ළමයත් අරං ගෙදර යනව. මං මේ බොහොම හොඳින් කියන්නෙ”

“ඔයා හොඳින් කිව්වත් නරකින් කිව්වත් ඔයා කියන දේ කරන්න මං බැඳිල නෑ. නෑ මං යන්නෑ වෙන කොහෙවත්. ඔයාට පුළුවන් දෙයක් කරන්න”

දුරකතන සම්බන්ධය බිඳ දැමූ අපරාජිතා වෙව්ලන්නට වූවා ය. ඇගේ රුධිර සංසරණය වේගවත් වී ශ්වසනය අති ධාවන තත්වයකට පත් ව තිබිණ. ගෑස් උඳුන නිවා දමා විත් ඕ යහන මත කඩා වැටුණා ය. අරවින්ද සසංක ගැන දැන ගත්තේ අනන්‍යා වෙතින් බව අපරාජිතා ට විශ්වාස ය. ඇය ඔහු ගැන මොනවා කීවාද කියන්නට අපරාජිතා දන්නේ නැත. ඒ මොනවා වුණත් ඇය ට මේ විදිහට චෝදනා කරන්නට අයිතියක් අරවින්ද ට නැති බව ඇය තදින් සිතුවා ය.

අපරාජිතා ගේ ආශ්වාස ප්‍රශ්වාස වේගය සාමාන්‍ය අතට හැරෙන තෙක් අනන්‍යා මඳක් අම්මා ළඟට වී සිටියා ය. ඇගේ හදවත ද ගිඩි ගිඩි ගා ගැහෙමින් තිබිණ. ඒ ගැස්ම ඇයට ආගන්තුක එකක් නොවේ. කුඩා දැරියක සන්දියේ පටන් හුරු පුරුදු එකකි. අයිස් බැඳුණු ගිනි කන්දක් සේ නිශ්චල ව සිටින අම්මා පියා ගේ කුමක් හෝ නුසුදුසු හැසිරීමක් සවන් වැකීම මත පුපුරා යන හැටි මේ තරම් ඉක්මනට ඇය ට අමතක කළ නො හැකි ය. එසේ පුපුරා ගොස් අන්තිමට හැඬුවේ ද ඇය ය. තාත්තා වැරදිකාර බැල්මකින් හොරෙකු සේ බලා උන් හැටි අනන්‍යා ට දැනුදු මැවී පෙනේ. අම්මා මොන තරම් පවු දැයි ඒ හැම දිනෙක ම ඇය ට සිතී තිබේ. ඇගේ ළපටි හදවත අම්මා වෙනුවෙන් ඕනෑ තරම් හඬා වැටී ඇත. නමුත් තාත්තා ට වන ආදරයේ අඩුවක් කරන්නට ඒ රණ්ඩු දබර ඇය කෙරේ ප්‍රබලව බල නොපෑවේ අපරාජිතා හැකි තාක් දියණිය ළඟදී සිය හැඟීම් ගිලගෙන ජීවත් වූ නිසා ය. පියා ගේ වරදක් දියණිය හා නො කියන්නට හැකි තාක් ප්‍රවේසම් වූ නිසා ය. අවසාන වසර කිහිපය තුළ අපරාජිතා පුපුරා ගොස් නිද්‍රාවට පත් වූ කන්දක් සේ ම නිහඬ වූවා ය. සමහර විට තාත්තා හා අම්මා අතරේ අර්බුධයක් ඇත්ද කියා හෝ අනන්‍යා ට නො සිතෙන තරමට ඒ නිහැඬියාව ප්‍රබල විය. නමුත් ඇය මොන තරම් දුක් ගොඩක් උහුලා ගෙන එසේ කන්දක් සේ  නිහඬ වන්නට ඇත්ද? අනන්‍යා ට අම්මා ගැන අපරිමිත වූ ස්නේහයක් දැනෙන්නට විය. ඇය අපරාජිතා ගේ හිස් මුදුන සිය සිනිඳු අතැඟිලි වලින් පිරිමදින්නට වූවා ය. අනිත් අතට වැරදිකාර හැඟීමක් හා මුහු වූ හීන් සතුටක් ද ඇය අත්වින්දා ය. ඒ අම්මා ගේ දුරකතනයෙන් ඇහුණ පියා ගේ ගිගිරීම් අතරේ සසංක යන නම ඇය ට පැහැදිලි ව ඇසුණ නිසා ය. වැරදිකාර හැඟීම තාත්තා අම්මා හා සසංක සැක කිරීම මත ඇති වූවකි. සතුටට හේතුව සසංක නිසා අරවින්ද ට රිදුණ බව දැනීමයි. 

හිමින් සැරේ අපරාජිතා වෙතින් නික්මුණ අනන්‍යා පහළට බැස ගොස් සසංක ගේ දොරකඩ සිට ගත්තා ය.

“අපි පොඩ්ඩක් එළියට යමුද…”

“මොකද්ද…”

ඔහු ගේ නළල තරමක් රැළි නැංවී තිබිණ. ඒ හඬෙහි යම් නො රිස්සුමක් ද විය. ඒවා ගැන හිත හිතා ඉන්නට අනන්‍යා ට උවමනා වූයේ නැත.

“අම්මි දුකෙං. අම්මිව ටිකක් එළියට එක්කං යන්න ඕන. දුකෙං ඉන්න වෙලාවට ඒ දුක තුනී කර ගන්න එයා කරන්නෙ ඇවිදින එක තමයි”

අනන්‍යා ගේ ඇස් ආයාචනාත්මක බැල්මකින් සසංක වෙතට යොමු විය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles