(අ)හිමි සිහින -200

ඔබ දෙවියන්ගෙන් හෝ මොන බලවේගයකින් හෝ යමක් ඉල්ලනවා නම් එක දෙයක් ඉල්ලන්නැයි මම ඔබට කියන්න කැමතියි.ඒ මරණය තෙක් පියවි සිහියෙන් ඉන්නට ලැබෙන්න යන ප්‍රාර්ථනාවයි මරණය අප වෙත කෙසේ පැමිණේවිදැයි අප කිසිවෙකුත් දන්නේ නැහැ.නමුත් ජීවිතයේ අවසාන මොහොතත් හොඳ සිහිබුද්ධියෙන් ගෙවා දැමීම විතර කුසලයක් තවත් ඇතැයි මා සිතන්නේ නැහැ.

සුධාරකට වචනයක් හෝ කතාකරගන්නට පුලුවන්කම තිබුණා නම් මේ කිසි දෙයක් මේ විදිහට සිදුවන්නේ නැහැ ඒත් අප සිතන විදියටම ජීවිතයේ සියල්ල සිදුවන්නේ ද නැහැ.සිහිය තිබුණත් තම අදහස් කියාගත නොහැකිව සිටි නිසාම සුධාරක මේ තැනට පත් වුණා.

මගෙ අත දිගු කළ හැකි හැම තැනදිම
ඔබ අත මා දුරකින් තිබුණා.

එසේ කියා ගීතයක කොටසක් තිබෙනවා.ඔව්!! මීට පෙර ඔහුට පැමිණි සියලු ගැටලු දුක් කරදරවලදී ඔහුට සවියක් වී සෑම දෙයින්ම ඔහු ගලවාගනිමින් ආ මගේ අත අල්ලා ගන්නට මෙවර ඔහුට ශක්තියක් තිබුණේ නැහැ.ඒත් ඒ මා ළං වෙමින් වෙන් වෙමින් ජීවිතය පුරා ආදරය කළ මිනිසායි. මට ඔහුගේ අප්‍රාණිකව වූ අතේ වුවත් තිබුණේ අප්‍රමාණ උණුසුමක්.

එදා සුධාරක බලන්නට යන විට ඔහු වෙනදාට වඩා වැහැරී ගොස් තිබුණා.සම වියළෙමින් ගැලවී යමින් තිබුණා.ඒත් මම ඒ අත ඉතා ආදරයෙන් අතගෑවා.පිරිත් නූල් දෙක තුනකට යටින් නොපෙනෙන ලෙස ඔහුගේ අතේ ගැටගසා තිබූ තුන්පට නූලක් මා දැක්කේ එවිටයි. මේවා ගැන මම විශ්වාස නොකළත් මට මේ ගුප්ත ශාස්ත්‍රීය දේවල් ගැන හොඳ දැනුමක් තිබෙනවා.ඒ නිසාම කලු රතු සුදු යන වර්ණ තුන සහිත තූන්පට නූල් භාවිතාකරන්නේ බන්ධන අණවිණ වැනි සෙතක් නොවන දේට වග මා අසා තිබුණා.ඒ මදිවාට එහි ගැට නමයක් ද දමා තිබුණා.එය දුටු මට ඇතිවූ කෝපය නිම්හිම් නැති වුණේ ඊට පෙර මට සුධාරක බලන්නට ආ ඔහුට උවටැන් කළ අය කියූ දෙයක් මතක්වෙලා.

“මැඩම් සර්ගේ පපුවේ වම් පැත්තේ මොනවද කොටල තියෙන තඹ තහඩුවක් හැමවෙලේම තියලා තියෙනවා ඇහුවම කියනවා සර්ට ආයෙ පපුවේ අමාරුව නොහැදෙන්නත් මැඩම් සර්ට කොඩිවින කරනවා ඒක වලකන්නත් කියලා”

මේ තරම් දියුණු ලෝකයක මිනිස්සු මෙතරම් මෝඩදැයි මම කල්පනා කරනවා.නමුත් අවාසනාවකට තවමත් මේ ගුප්ත අදෘශ්‍යමාන දේ ගැන මිනිස්සුන්ට තියෙන්නේ අන්ධ භක්තියක්.අතීතයේ මෙවැනි ශාස්ත්‍ර ජනප්‍රිය වන්නට ඇත්තේ සමහරවිට ඒ ශාස්ත්‍ර ප්‍රගුණ කල අය ඒ කාලයේ ඉන්නට ඇති නිසා වන්නට පුලුවන්. එහෙත් වර්තමානයේ ඉන්නා බහුතරයක් ශාස්ත්‍රඥයන් යැයි කියාගන්නා හොරු ගැන ඔබ ඕනෑ තරම් අසා ඇති.අනිත් කාරණාව තවෙකෙකුට කොඩිවිනයක් කර ඔබ කුමක් ලබාගන්නට උතාසාහය කළත් එයින් ඔබට අවසානයේ අත්වන්නේ අකුසල් පමණයි.

දිල්හානි සුධාරකට ඇති තරම් නීචකුල වශී බන්ධන හදි හූනියම් කල ගැහැනියක්.ඒත් නොගැලපෙන දෙදෙනක් ඒකාත්මික කරන්නට ඒ බන්ධන වලට නොහැකි වුණා.හදවත නතර වී නැති තැන මිනිසුන් කවදාවත් නතර වන්නේ නැහැ.මේවායෙන් සිදුවන්නේ හොඳින් ඉන්නා මිනිසුන් සොයාගත නොහැකි රෝගාබාධයන්ට ආසාත්මික තාවයන්ට ගොදුරුවීම පමණයි.

මා නම් සුධාරකට කල කොඩිවිනයක් නැහැ.ඔහු හොඳ සිහිබුද්ධියෙන් ආදරය කළේ සහ ජීවත් වූයේ මා සමගයි. ඔහුට සිදුව තිබූ විශාලම කොඩිවිනය නම් එහෙව් පවුලක ඉපදී දිල්හානි වැනි ගැහැනියක් විවාහ කරගන්නට සිදුවීමයි.මේ අසරණයාට මේ අවස්ථාවේදී අවශ්‍ය කැඩුණු පවුල් යථා තත්වයට පත්කරගැනීමවත්, වශී බන්ධන වත් නොවෙයි.ඔහුට අවශ්‍ය එකම දෙය කඩිනම් හා නිසි වෛද්‍ය ප්‍රතිකාරයි.

පපුවේ අමාරුව සෑදීම වැලැක්වීමට තඹ තහඩු කැබලි වලට හැකිනම්.මේතරම් දියුණු වෛද්‍ය ශාස්ත්‍රය කුමටද? මේ රෝහල් වලට දක්ෂ වෛද්‍යවරු කුමටද ? හැම රෝහලකටම තඹ තහඩු රෝලක් ගාණේ තිබූණානම් හෘද රෝගීන් අඩුවේවි නේද.අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු! මට ඇතිවුණේ තද කෝපයක්.මා කරනවායැයි කියා ඔවුන් සුධාරකට නැගිටින්නට බැරිවන්නට යමක් කළා දැයි මට සිතුණු වාර ද අනන්තයි.

මේ සියලු දේ මතක් වී කවදාවත් නැති ලෙස කේන්ති ගිය මා ඒ නූල් වහා ගලවා බෑගයේ දාගත්තා. එදා මට ඇතිවූ කලකිරීමත් වේදනාවත් නිසාම සිදුවෙමින් පැවති සියල්ල සුධාරකට පවසන්නට මම තීරණය කලා. ඔහුට සිහිය තිබෙනවා.මා ඔහු නොබලන්නට එනවා ඇයි ඔහු සිතනවා ඇති.ඇරත් පද හදන්නට උපන් හපන්කම් ඇති ඔහුගේ පවුලේ අය ඔහුට ඇසෙන්නට මා ගැන බොරු කියනවාත් ඇති.සුධාරක මේවා දැනගන්නට ඕනෑ.

“මගෙ මහත්තයා ඔයාට මං කියන දේ ඇහෙනවා කියලා මං දන්නවා.ඔයාව මං බලන්න එන්නේ නැතුව නෙවෙයි.මට ඔයාව බලන්න එන්න දෙන්නෙ නෑ. දිල්හානියි ඔයාගේ අම්මයි නංගිලා මට එන්න දෙන්න එපා කියලා ලියුම් දීලා. ඒත් මං ඔයාව බේරගන්න එලියේ ඉඳන් හැමදේම කරනවා.මං ඔයාව අතහරින්නේ නෑ.ඒනිසා ඔයා තනියම වීර්යය අරන් කොහොමහරි සනීපවෙන්න ඕන.ඔයාගේ ගෙදර ඔයා කියපු විදියටම මම තියාගෙන ඉන්නවා.ඒ කිසි දෙයක් වෙනස් වෙලා නෑ.ඔයා ගෙදර එනකන් අපි බලාගෙන ඉන්නවා.අපි ඔයාට ආදරෙයි අපිට ඔයාව ඕනෑ”

මම ඔහුගේ කනට කර එදා ඒ සියල්ල පැවසූවා.ඒ සියල්ල ඔහු අසා සිටි බවත් ඒවා ඔහුට වැටහුණු බවටත් සාක්ෂියක් ඉතිරිකරමින් බිමට බරවූ ඒ දෙනෙත අග කඳුලු බිඳුවක් තිබුණා.එවේලේ මා ගත් ජායාරූපය මගේ දුරකථනයේ අදටත් සුරැකිව තිබෙනවා.

එදා ගෙදර ආ මම අර තුන්පට නූලේ ගැට නවය ම

“මොක්කු හරි මේවට බන්ධනය කරලා හිරකරලා හිටියා නම් අනන්ත වූ බුදුගුණ බලයෙන් ඒ සියලු බලවේග නිදහස් වේවා. එසේම ඔබලා බන්ධනයට හසුකලානම් යම් කෙනෙක්.ඒ තැනටම ආපසු පලයල්ලා”

යැයි කියමින් ලිහා දමා නූල් පටවල් පුලුස්සා දැමුවා.

දැන් මේක හොඳටම ඇති. මේ මිනිස්සු මේ නටන නාඩගම කොතනින් හෝ කෙළවර විය යුතුයි.මොවුන් ලෙඩා මරණය කරා තල්ලුකරගෙන යන බව මා හොඳින්ම දන්නවා.එක් අතකට මෙය මිනීමැරීමට තැත්කිරීමක්. වෛද්‍ය මතයට ද එරෙහිව යමින් කිසිවකුට සුධාරක දැකීමත් තහනම් කරමින් මේ කරන්නේ ලෙඩා සුවකරගැනීම නොවන බව පැහැදිලියි. ඔවුන්ට සුදාරක මරණය හා සටන් කරමින් හුස්ම ගැනීම වදයක් ව තිබූ බවට මට දැනගන්නට ලැබුණු දේ තුළින් පැහැදිලි වී තිබුණා.

දිනක් සුධාරක නිසාම ලබාදී තිබූ නිලරථයේ ගමන්කරන අතරතුර සුධාරකගේ මස්සිනා.

“තව මොකට ඇද ඇද ඉන්නවද දන්නෑ.මැරෙන්නෙත් නෑ නේ” යයි පැවසූ බව රථයේ රියදුරා පැවසූවා.පෙර පවට සුධාරක ගේ මව වූ ඒ අධම ගැහැනිය “සර් මැරුණම මටත් වන්දියක් දෙනවද” කියා හමුදා නිලධාරින්ගෙන් අසා තිබුණා.

ඒ අතර දිල්හානි පවසා තිබුණේ ජුගුප්සාජනක කතාවක්.” මෙයාගේ අවයව දන්දෙන්න තිබුණා.කොහෙද අර ගෑණි ඇඟිලි ගහනවා වැඩීනෙ”

සුධාරකගේ ජීවිතය කෙසේ හෝ රැකගන්නට වක්‍රව හෝ මගේ බලපෑම දැඩිව බලපා තිබුණා.තවත් බලා සිටීම සුදුසු නැති බවත් මේ මිනිස්සු එකතු වී මිනීමැරුමක් කරනවා යැයි පොලීසියේ පැමිණිල්ලක් දැමීම සුදුසු බවත් මම හිතුවා.

මම ඒ සඳහා ක්‍රියාත්මක වුනේ තනිව නොවෙයි.ඒ ගැන හෙට කියන්නම්.දින දෙසියයක් තිස්සේ මගේ කඳුළ සහ සිනාව අසා සිටිමින් ප්‍රාණසරි මිතුරියන් වූවාට ස්තූතියි! මේ දින දෙසියය ගැනම ඔබට හිතෙන සියල්ල ස්මාර්ට්ලේඩි ෆේස්බුක් පිටුවේ කමෙන්ට් එකක් ලෙස සටහන් කරන්න.

සමහරවිට අප මෙසේ හමුවෙන දින අල්ප විය හැකියි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles