සුහදිනි – 41

“කවදාහරි අපි වෙන් වුණොත් මම මේවට ගෙවන්නෙ කොහොමද?”

සකීගේ විසල් වූ දෑස අහස්ට ගෙනෙන්නේ සිනාවකි.ඔහු ඇගේ කෙහෙරැලි අවුල් කර දමන්නේ ඉතා සැහැල්ලුවෙනි.

“අපි වෙන් වෙන්නේ නෑනේ.අනිත් එක ඔය දේවල් කරේ තාත්තා කෙනෙකුට.තාත්තා කෙනෙකුගේ ජීවිතයක් දරුවෙක් වෙනුවෙන් ආරක්ෂා කරලා දෙන එක පිනක්.එච්චරයි.”

සමහර සුළු අත් වැරදීම් කරන කණ්ඩායම් සගයන්ට අතපය විසි කරමින් පිටියේදී බැන වදින ක්‍රිකට් ක්‍රීඩකයා සකීට සිහි වේ.ඔහු එතැන එතරමට ආවේගශීලි ය.නමුත් ඇය ළඟ බොහෝ සන්සුන් ය.සැබෑ අහස් කවුදැයි තෝරා ගත නොහැකි තරම් ය.

“අපේ අම්මට අසනීපයක් වුණොත් මං ඔයාට කියනවා ඇවිල්ලා එයාට උදව් කරන්න කියලා.අන්න ඒක ඒ වෙලාවට කරලා දෙන්නකො.අනිත් එක ඔයා මගේ නම් ඔයාගේ අම්මා තාත්තාත් මගේ.එච්චරයි.”

සකී හිනැහුණා ය.ඔහු කියන එවැනි කතා අතර ඇත්තේ ආදරය බව සිතන්නට ඇයට උවමනා ය.

කොහොමටත් දැඩි ක්‍රිකට් ලෝලියෙකු වූ තාත්තාගේ ද ප්‍රියතම ක්‍රීඩකයන් අතර අහස් ඉලංගසිංහ සිටින බව ඇය අහස්ට හෙළි කළා ය.

“අවශ්‍ය වෙලාවට මම එන්නම්කො තාත්තට කතා කරන්න.”

සැබෑවටම ඒ අවශ්‍ය මොහොත මේ මොහොතේ වුවත් එළඹිය හැකි බව අහස්ට විශ්වාස ය.නමුත් සකීගේ ජීවිතය මත එවැනි හදිසි සුළඟක් ව හමා යා යුතු නොවේ.නොගැළපෙන විවාහ ගණයට ලංකාවේ දෙමාපියන් ඇතුළත් කරන කාණ්ඩවල ජනප්‍රිය පුද්ගලයන් ද සිටින බව නොරහසකි.

“ඇත්තටම බං අපේ ක්ලාස් එකේ හිටිය මල්ෂාන්ව මතකද?”.

ඒ මාතෘකාව ගැන සිදු වූ සංවාදයක දී සියුම් මතු කළ කාරණාවක් අහස්ට සිහි වේ.සියුම් කියන අන්දමට මල්ෂාන්ට පෙම්වතියන් රෑනකි.ඇතැම් කෙල්ලන් ඔහුට ඕනෑතරම් ගැහැනු ඇසුර ඇති බව දැන දැනම ඔහු වෙත බැඳේ.එහෙත් මල්ෂාන් කියන්නේ සාමාන්‍ය රැකියාවක් කරන සාමාන්‍ය කොල්ලෙකි.

“සාමාන්‍ය මිනිස්සුන්ටත් ඕනතරම් ලව් හතර පහ තියනව.ඇත්තටම ජනප්‍රිය අයටත් තියනව.ඒ වුණාට ජනප්‍රිය මිනිස්සු හැපෝ වල් කියන්න තමා සමාජෙ උදවියට ඕනෑ.”

සියුම් එසේ කියමින් හිනැහේ.දික්කසාද ආදිය ඕනෑම කෙනෙකුට පොදු විය හැකි කාරණාවන් ය.වේදනාවන්හි බලහත්කාරයෙන් එල්ලී හිඳින කසාදයක් අත් හැර වෙන් වීම තෝරා ගන්නා මිනිසුන්ට ගරු නොකර අපහාස කරන කාරණාව අහස්ට අදට ද තෝරා ගන්නට නොහැකි ය.

“මට ගර්ල් කෙනෙක් ඉන්නව කියන එකම මඩ වැදෙන්න තියන චාන්ස් එක වැඩි කරන එක කොච්චර කැතද සකී.ඇත්තටම කොච්චර කැතද? මං නොගැළපෙන මනුස්සයෙක් අත් ඇරල ගැළපෙන කෙනෙක් තෝරාගත්තු එකයි මගෙ බෝල්ස් වලට කවුරු හරි ප්ලේයර් කෙනෙක් හයේ හතරේ ඒවා ගහන එකයි සමාන වෙන් නෑනෙ.”

සකී ඔහු දෙස ආදරයෙන් බලා සිටියා ය.සමහර සමාජ ජාලා පුහුණුකරුවන්ට අනුව සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව පවා ක්‍රීඩකයන්ට වැළඳිය යුතු නොවේ.එතරමට ඔවුන් රූකඩ කරන්නට ජනතාව කැමති ය.

“ආදරේ ඕවර්ඩෝස් යන්නෙ ඕනෑවට වඩා මැදිහත් වෙනකොට,ඒක සාමාන්‍ය රිලේෂන්ශිප් එකක ඉඳලා ෆෑන් ලව් එකකටත් අදාළයි.එයාලගෙ ආදරෙන් ඔයාලා පාලනය කරන්න ඕන කියලා ෆෑන්ස්ලා හිතනව.”

නිම්නා අහස්ගේ පෙම්වතිය ද ඇසූ හෙදිය ගැන සකී සිහි කළා ය.නළුවන්,ගායකයන් හෝ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පෙම්වතියන් සහ බිරින්දෑවරුන්ට “අනේ එයා කැතයි ගැළපෙන්නෙ නෑනෙ”කියන්නන් බහුල ය.ප්‍රේමය සහ රූපය සමපාත වන මන්තරය කුමක්දැයි සකී ට නොවැටහේ.ලෝකයට සුන්දර නොවන ඒ රූපය එහි අයිතිකාරයාට ලස්සනම රූපය වන්නට ඇති ඉඩ වැඩි ය.නමුත් “සල්ලිවලට වෙන්නැති” කියමින් හිත හදා ගන්නට සමාජය කැමති ය.

“තව කෙනෙක්ව රිද්දන එක, පාරන එක විනෝදාංශ කරගත්තු මිනිස්සු එක්ක ජීවත් වෙනව කියන එකම හරිම අමාරු වැඩක් සකී.ඔයාවම ඕනෑ කියලා ඔයාව මගේ ජීවිතේට ළං කරගත්තට ඔයා වගේ පොඩි කෙල්ලෙකුට මේක දරා ගන්න පුලුවන්ද කියලයි මං හිතන්නෙත්.”

අහස් පවසන්නේ සැබෑ බියකිනි.සකීව සෑම ක්‍රිකට් තරගයක්ම නරඹන්නට රැගෙන යන සිහින ඔහුට වේ.නමුත් ඇය ජනප්‍රියත්වය කෙසේ දරා ගනීවිදැයි ඔහුට වැටහීමක් නොවේ.

“ලෝකෙ එච්චර හොඳ නෑ ඉතිං.මට මුවා වෙලා ඉන්නකො.මං ඔයාව පරිස්සම් කරන්නම්”

අහස් සමු ගත්තේ එසේ පිළිණ දෙමිනි.නමුත් ඒ පිළිණය ගැන සැක සිතෙන මුල්ම වතාව සකීගේ ජීවිතයට එළඹෙමින් තිබිණ.

“අඩේ මේ,හිරිකඩුව ඇමතියගෙ දුව එක්ක අහස් පැටලිලාලු.ඒකලු මේ අර සාරණ්‍යාට බූට් තියලා තියෙන්නෙ.”

රන්මිණි අන්තර්ජාලය පීරමින් හිඳ කාමරය දෙක කරන්නට වූවා ය.මුලින්ම කැළඹුණේ නිම්නා ය.ඇය නෙත් කොණකින් සකීගේ සැලෙන නෙත් දෙස බැලුවා ය.

(සම්පූර්ණයෙන්ම සුව වන තුරු ඉතා කෙටි කොටස් මැසවිල්ලක් නොනගා කියවන ඔබට ස්තූතියි)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles