රථයට ගොඩ වූ මා කොළ්ඹ සිට හොරණට ගියාද ඉගිලුනා දැයි අදටත් දන්නේ නෑ.රථයට ගොඩවෙනවිට මම රිය පැදවූ අයට පැවසූයේ ඉගිලී හෝ සුසාන භූමියට මා ගෙන යන ලෙසයි.
ඒ ගිය ගමනේ පාර තොට මා දුටු කිසිවක් මට මතක නැහැ.ඒ වෙනුවට සුධාරකත් මාත් අතර එදා පටන් සිදුවු බොහෝ දේ මට මැවි මැවී පෙනුනා. ඒ මොහොතේ මම ජීවත් වුණාට වඩා හුලඟේ ඔහේ පාවුන දුහුල් සලුවක් වගේ වෙන්නැතැයි මට හිතුණා.ඕනෑම දුෂ්කර අවස්ථාවකදී සන්සුන්ව කලබල නොවී පැහැදිලි මනසකින් ඒවාට මුහුණ දෙන්නට මා ශක්තිවන්ත වූවත් මගේ අධ්‍යාත්මය ඒවෙලේ කඩාහැලෙමින් තිබුණා.ඒත් මම සිංහයෙකුට ආදරය කල සිංහයෙකුගේ පපුතුරේ සදාතනික ලැගුම්ගත් සිංහධේනුවකැයි යන ආඩම්බරය ගෞරවය මට හොඳටම දැනෙමින් තිබුණා.
සුසානයට මා යනවිට එහි කිහිපදෙනෙකු හැරුණ විට සෙනග සිටියේ නැහැ.මගේ තීරණ ගැන දන්නා මගේ ඥාති සොහොයුරිය ඇගේ සමීපතම යෙහෙලියන් කිහිපදෙනෙක් එතැනට එවා තිබුණා. ඒ මා කිසිදු ආකාරයකින් වත් එතැන දී තනි නොකල යුතු යැයි ඔවුන්ට සිතී තිබුණු නිසා.එතරම්ම විෂඝෝර සර්පයන් ගොන්නක් මැදටයි මා ගියේ.එහෙත් නිවටයන් එඩිතර වන්නේ නැහැ.ඒ නිසා ඒ මිනිස්සුන්ට කුමක් හෝ මෝඩ ක්‍රියාවක් හැරුණුකොට වෙනත් දෙයක් කරන්නට කශේරුකාවක් නැති බව මා දැන සිටියා.
පනවා තිබූ ආසන වෙත ගිය මා එහි ඉදිරිපෙළ අසුන්වල මැදින්ම අසුන්ගත්තා.කොහොමත් මම පන්තියකට ගියත් ඉඳගත්තේ ඉස්සරහින්මයි.දන්නේ නැති විෂයක් වුවත් එයට බය වී පසුපසට යාම මට හරි දෙයක් ලෙස පෙනුනේ නැහැ.දන්නේ නැති දෙයක් ඉගෙනගන්නට යන්නේ දන්නේ නැති නිසායි.එයට අපි මුලුගැන්වී හරියන්න නැහැ.
අනුරාධා මේ ඇවිත් ඉන්නේ ඇගේ ආදරණීයයා ට සදහටම සමූදෙන්නටයි.මමත් සුධාරකත් සමාජයේ හැදෙන කතා කිසිවක් කනකට නොගෙන සමාජයතුලම නොබියව නොසැලී ආදරය කලා නම් එකිනෙකා වෙනුවෙන් පෙනී සිටියා නම්.ඔහුගේ මරණයේ දී වත් මා පස්සට යන්නේ නැහැ.
“යුද්ධයේ දරුණුම සටන් ලබාදෙන්නේ හොඳම සොල්දාදුවන්ටයි ” මම කොහේදෝ එහෙම ලියලා තියෙනවා දැක්කා.ජීවිතයත් එක්තරා යුද්ධයක්.එයට සාර්ථකව මුහුණදී සටන්කොට පැරදුනත් විරුවෙකු සේ මට හැඟෙනවා. සිය ප්‍රතිවාදියා වැටුනුවිට ඔහුට පහරදීම යනු යුද්ධයක වුණත් නිවට කමක් ලෙසයි සැලකෙන්නේ. සුධාරක ගිලන්වී බෙලසුන්වූ කල සැඟවී සිටි දිල්හානි කසාද සහතිකය පෙන්නා ඔහු සිරකරගෙන ඒ යුද්ධය මරණසහතිකයකින් කෙලවරකරගත් එක ජයග්‍රහණයක් ලෙස සිතා සතුටුවෙනවා ඇති.ඒත් එහි ඇති නිවටකම ඇයට කිසිදා වැටහෙන්නේ නැති වේවි.ඇයට ඒතරම් ඥානයක් ඇතැයි මම සිතන්නේ නැහැ.සුධාරක සුවකරගැනීමේ ද්වන්ධ සටනින් මා පරාජය වුණා.ඔව්! මා පරාජය වුණා.ඒත් මා සටනක් දී මිස පරාජය බාරගත්තේ නැහැ.නො එසේනම් අද මේ සුසාන භූමියේ අනුරාධා මෙසේ සුධාරකට සමුදෙන්නට ඉඳගෙන ඉන්නේද නැහැ.
පාංශුකූලය දී දේහය හමුදාවට කලබලයෙන් බාරදුන් බවත් දැන් රිය පෙරහර සුසානයට එන්නට පිටත් වූ බවත් මට දුරකථන ඇමතුම් මගින් එකිනෙකා දක්වන්නට පටන් ගත්තා.මම එතැන තනිව ඉන්නා සේ පෙනුණත් සැබෑවටම මට එතන විශාල පිරිසක් සිටියා.සුධාරකටත් මටත් හිතවත් වූ අපට ආදරයකල මිනිසුන් එතන මගේ සතුරන්ට වඩා සිටියා.
මා පැමිණ ඇති බව මෙලහට සුධාරකගේ පවුලේ අයත් දිල්හානිත් දන්නවා ඇති.ඔවුන් කඩිගුල මෙන් ඇවිස්සීත් ඇති.එහෙත් ඔවුන්ට වෙන කරන්නට දෙයක් නැහැ.දේහය අවසන්කටයුතු සඳහා ගෙන ආ යුතුමයි.ඒ මගේ වාරයයි.
“මැඩම් දැන් මෙතන….දැන් මෙතන” යනුවෙන රථ පෙලපාලියේ ගමන්මග මට එකින් එක දැනගන්නට ලැබුණ.වෙනදාට සුධාරක රාජකාරි නිමවී දුරබැහැර සිට නිවසට එනවිට
“මැණිකේ දැන් මේහරියේ.දැන් මේ හරියේ..දළදාගම පහු වුණා විතරයි…තව පැය දෙකයි මං මගේ කිරිල්ලි ලඟ සීරුවෙන් ඇති”
අද එසේ ඔහු එන මග මට කියන්නට සුධාරක නැතත්. ඔහු එනමග පෙරමග බලන්නට එදාවාගෙම අනුරාධා ඇවිත් සිටියා.අනේක හැලහැප්පීම් නන්දා අපහාස කෙනෙහිලි දරාගෙන ආ සංසාර ප්‍රේමයක් මේ භවයේ මේ නවාතැනට ඉසිඹුලන දා ඔහු එන පෙරමගට මා නෑවිත් කවුරු එන්නද?ජීවත්ව ඉද්දී මම සුධාරකට කියූ දෙයක් තිබුණා.
“මං මැරෙන්න මොහොතකට කලින් හරි ඔයා මැරෙන්න.එතකොට මං දන්නවා ඔයා පරිස්සමෙන් ගියා කියලා”
ඒක ඇත්තටම ඇත්තක්.මා නැතිව ඔහුට සලකන්නට කෙනෙක් හිටියේ නැහැ.ඔහු ජීවිතකාලයම උපයාගත් එකම ධනය මගේ ආදරයම විතරක් වුණා.කවුරු මොන නින්දා අපහාස කරන්නට යෙදුනත් මම අදටත් හැමදාටත් ඔහුවෙනුවෙන් මා කල ආත්ම පරිත්‍යාගය ගැන විශාල ලෙස ආඩම්බර වෙනවා.ඒ ආඩම්බරය ඉදිරියේ මට නිග්‍රහ කරන කිසිවෙකුත් මට වැදගත් නැහැ.මම සුධාරකට ජීවිතයක් දුන්නා මිස මම ඔහුගේ ජීවිතය ගත්තේ නැහැ.
කෙමෙන් කෙමෙන් වේලාව යනවිට යාන්තමින් ඈතින් බොහෝ ශෝකාකූල ස්වරයකින් වැයෙන යුධහමුදා තූර්යවාදන කන්ඩායමේ ශෝකාකූල සංගීතය සුලඟත් සමග මුසුවී මගේ කන් තුලින් ඇතුලුවී හදවත පසාරුකරගෙන ගොස් කොහේදෝ හිරවෙනවා වාගේ මහා වේදනාවක් ගෙනාවා.ඔව් මගේ ආදරය මේ ලඟ ලඟම එනවා ඇති.
මම හැමදාම ඔහු එන පෙරමග බලා සිටියාමෙන් අදත් ආත්මයම දවා හලු කරන වේදනාවෙන් උවත් සැබෑ නිර්භීත රණවිරු බිරිඳක් ය කියන ආත්මාභිමානයෙන් යුතුව මගේ සුධාරක එනතුරු සුසානයේ ගේට්ටුව දෙසම දෑස් දල්වා බලාසිටියා.