අවමංගල්‍ය පෙරහැරේ ශෝකාකූල නාදය මට ලඟ ලඟම ඇසෙන්නට වුනා.ඒ ඩුම්…ඩුම්….ශබ්දය ඇසුනේ බෙරයෙන් ද මගේ හදවතින් දැයි අදටත් මට තේරෙන්නේ නැහැ.සුධාරක ට ආදරයක් සිතී ඔහු සියැසින් දකින්නට වසර එකහමාරක් බලා සිටින්නට සිදුවූ මට එතරම් කාලයක් ගොස් ඔහු දුටුව මුල්ම දවසේ දැනුනු බඩ දැවිල්ල ඔහු යලි කිසිදා මා දකින්නට යලි නොඑන ගමන යන්නට එනවිටත් එදා වාගෙම දැනෙමින් තිබුණා.ආදරය කරපු හදවතක් මා මේ කියන දේ දන්නවා.එහෙම නොවුණු හදවතක් මේ සංවේදී වේදනා හඳුනන්නේ නැති බව වෙන්නට පුලුවන්.
මෙතෙක් වේලා සුසානයේ තනිව රැඳී සිටි මා ඒ වනවිටත් රථයේ සිටි දුව මා අසලට ගෙන්වාගත්තා.වටපිටාව සුරක්ෂිත බව තහවුරුකරගන්නට මට පළමුවෙන් උවමනා වී තිබුණා.හිතක් පපුවක් නැති මිනිස්සුන්ට දරු කැක්කුමක් කොහොමත් නැහැ.හය හතර නොතේරෙන මගේ දියණිය පියා නොවන බව දැන දැනම සුධාරකට පණ සේ ආදරය කලා පමණයි.අප අපගේ ජීවිතයේ අප කරන්නට සිදුවූ දේවල් වලට දරුවන් ඉත්තන් කරගැනීම පාපයක්.
“දවසක් පැල නැති හේනේ
අකාල මහ වැසි වැටුනා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ….”
ඔබ මේ සුභාවිත ගීතය අනන්තවත් අසා ඇති.හේනක ඇදහැලුනු වැස්සට තෙමෙන මවක් සහ දරුවෙක් ගැන එයින් කියවෙනවා කියා ඔබ සිතුවද? නැහැ ඒ ගීතයෙන් කියවෙන්නේ.පියෙකු නොමැතිව තනිව ජීවිතයට මුහුණ දෙන මවක් අකාල මහ වැසි වැනි අභූත නින්දා අපහාසයන්ගෙන් දරුවා රැකගෙන ඒවාට තනිව මුහුණ කතාවක්..මමත් එවන් මවක් යැයි මා සිතනවා.මම මුහුණ දුන් සියල්ලට මා තනිව මුහුණ දුන්නා. මා කිසිදා මගේ දියණිය පාවිච්චිකොට කිසිවක් දිනාගන්නට උත්සාහ කරන්නේ නැහැ. දරුවන් තිදෙනෙක් සිටින දිල්හානිට සත්‍යය නොදැන මිනිසුන් අනුකම්පාකරද්දී ඊටත් වඩා කුඩා දියණියක් සමග උන් අනුරාධාට සමහර දෙනා ඇති තරම් අපහාස කරන්නේ ඒ නිසා යැයි මම සිතනවා.දිල්හානි සම්බන්ධයෙන් කතා කිරීමට මම ඇත්තටම කැමති නැහැ.නමුත් ඇගේ හැම තීරණයක්ම සාධාරණීකරණය කළත් සුධාරකට රිදවන්නට දරුවන් යොදා ගැනීම ඇත්තටම මට කිසිම දිනක අනුමත කරන්නට බෑ.
මා ලඟට ඇවිත් මගේ ඔඩොක්කුවේ හිඳගෙන හුන් මගේ දියණිය සුපුරුදු ලෙස මගේ බෙල්ල බදාගෙන මා තුරුලට වී සිටියා.එවකට සත් හැවිරිදි වියේ සිටි ඈ මරණයේ වේදනාව හරිහැටි වටහාගන්නට නොහැකි වුවත් එය විඳිමින් සිටියා.ඇයට තිබු එකම පිළිසරණ ඇගේ අම්මා පමණයි.ඇය මා ලඟ සුරක්ෂිත බව පමණයි ඇයට වැටහෙන්නේ.මට තුරුලු වී අසන්නට ඇයට ප්‍රශ්න ගොඩක් තිබුණා.
“අම්මා අප්පච්චී දැන් එන ගමන් ද?”
“ඔව් පුතේ එයා දැන් ලඟ එනවා ඇති”
“අම්මා අප්පච්චි දැන් ආවම නැන්දලා එයාව අපෙන් උදුරගන්නෙ නැද්ද?”
“නෑ පුතේ ….දැන් අප්පච්චිව අපෙන් වෙන්කරන්න කාටවත් බෑ.එයා ඉන්නෙ අපි ලඟ අපේ ගෙදර හැමදාටම”
“මට මේක අප්පච්චිට දෙන්න ඕනෑ”
ඇය අතේ ගුලි කරගෙන සිටි කොලයක් මට දිගුකලා.එය දිග හැරිය මට කෑ ගසා හඬන්නට සිතුණත් මා ඇයට දරාගැනීමට ශක්තිය දිය යුතුයි.එනිසා මා ඇය තවත් තදින් තුරුලු කරගත්තා.ඒ කොලයේ ඒ පුංචි සිතේ කැකෑරෙමින් තිබූ අදහස් ලියා අප තිදෙනා චිත්‍රයට නගා තිබුණා.
මගේ දියණිය සාමාන්‍ය දිනවලදිත් ඇගේ පුංචි සිතේ තියෙන දේ චිත්‍රයට නගා හුරතල් වචන ලියු කොල කැබලි සුධාරකට දෙන්නට පුරුදු වී හිටියා.ඒවා බලා නිකම්ම ඉවතට නොදැමූ ඔහු ඒවා අල්මාරිය පුරා අලවා බල බලා සතුටු වුණා.අදටත් ඒ සියල්ල එසේම තියෙනවා.ඔහූගේ මතක සටහන් ඔහු සිටියා වාගේම ඒ නිවසේ තිබෙනවා.අපට ඔහු කයින් ඈත් වූවා පමණයි.අප දෙදෙනාගේ සදාකාලික මතක වල ඔහුගේ හුස්ම තාමත් වැටෙනවා.
ඒවනවිට සුසානයට බොහොම ආසන්නයේ ඇසෙන තූර්යවාදන හඬ මගේ බඩේ දැවිල්ල තව තවත් වැඩිකරමින් පපුව පුරා පැතිරී ගොස් සර්වාංගයම වේදනාවෙන් සාංකාවෙන් වගේම ඔහු කෙරෙහි වූ ගෞරවයෙන් ද වෙලී යනු මට දැනුණා.
අනුරාධාගේ දෑස් සුසානයට ඇතුලුවන ගේට්ටුව දෙසින් මඳකට හෝ ඈත් වූයේ නෑ. වෙනදාට සුධාරක එන පෙරමග නොඉවසිල්ලෙන් බලා සිටි ලෙසටම අදත් ඒ ඇස් බලාපොරොත්තුවේ දෑස් දල්වා ගේට්ටුවෙන් මෑත්වී ඔහු එනතුරු සිටියේ නොඉවසිල්ලෙන්.
ඔව්… මගේ සුධාරක ආවා….
සිංහ ධජයේ අභිමානය රකින්නට සිය ජීවිතයෙන් වසර තිස්හතරහමාරක විශිෂ්ඨ සේවයක් කළ, වර්ගවාදී යුද්ධයකින් මේ රට බේරාගෙන සිංහධජය සිය දෑතින් ඉහළට එසවූ ඒ අභීත රණවිරුවා එදා ඒ සිංහ ධජය සුරතින් දරාගෙන ආවා.ඒත් අද ඒ වෙනුවට තම මිනිපෙට්ටිය අභිමානවත්ව සිංහධජයෙන් වසාගෙන මගේ සුධාරක ආවා.
මම ගල් ගැසී බලා සිටියා!