(අ) හිමි සිහින -214

වෙනදාට සුධාරක ගෙදර එනවිට හැමදාම මම දොරකඩටවී ඔහු පිළි ගන්නට බලා සිටියා රථයෙන් බැස “මගෙ මැණිකේ” කියාගෙන සිනාසීගෙන ඇවිත් ඔහු මා බදා මගේ නලල සිපගැනීම අනිවාර්යයෙන්ම සිදු වුණා.එය ඔහු ලඟ සිටි නිලධාරීන්ට ද හරිම සාමාන්‍ය දෙයක්.ඇත්තටම ජායාරූප දාහක් ගත්තත් ඔහු ඒ හැම එකකම ඉන්නේ මා සිපගෙනයි.මම මගේ ආදරය ප්‍රතාපවත් ගමනින් එන යන සැටි බොහෝ ආඩම්බරයෙන් බලා සිටි ගැහැණියක්.

ඒත් අද ඊට වඩා වෙනස්.අද ඔහු එන පෙරමග මට සිනාවීගෙන බලා ඉන්නට බැහැ.ඔහුගේ ගෙල වටා දෑත යවා ඔහු වැලඳගෙන නලලතේ තැබෙන ඒ හාදුවේ උණුසුම විඳගන්නට මට බැහැ.ඒත් ඔහු කෙරෙහි තිබූ ගෞරවය බිඳක් හෝ අඩු වී නැහැ.මම කඩා වැටුණු හදවතකින් වුණත් රටට ණය නැති වීරෝධාර සෙන්පතියකුට ආදරය කළ රණවිරු බිරිඳක් සතුවූ ඒ අභිමානය හිතේ දරාගෙන හිටගෙන උන්නු පුටුවෙන් නැගී සිටියා.

යුධහමුදා ගෞරව මැද සොල්දාදුවන්ගේ කරමතින් ආ මගේ සුධාරක පනවා තිබූ මණ්ඩපයේ පෙට්ටියක් තුළ තැන්පත් කරනු ලැබුවා. ඒ පෙට්ටිය පසුපසින් පැමිණියේ මගේ ජීවිතයේ මා දැක තිබූ හොඳම නලු නිලියන් පිරිසයි.ඔවුන් මා දැක වික්ෂිප්තව බිරාන්තව ගිය බව මා හොඳින්ම දුටුවා ඒත් ඔවුන්ට කරගන්නට දෙයක් නෑ.ඔවුන්ට අයිති නැති තැනක අයිතිවාසිකම් කියන්නට බෑ.මම ආවේ මගේ ආදරයට අවසාන ගෞරවය දක්වන්නටයි. මම ආදරයක් වෙනුවෙන් මරුකටට වුණත් යන ගැහැනියක්.

මා පසු කරගෙන ගොස් තිබූණු පුටුවල වාඩිවූ ඔවුන් මා ඉන්නා නිසා බෙහෙවින් අපහසුතාවයට පත්ව සිටි බව හොඳින්ම පෙනෙන්නට තිබුණා.නමුත් කලින් පැවසුවා වගේම ඔවුන්ට කරන්නට දෙයක් නැහැ.මම කිසිවෙකු ගණනකට ගත්තේ නැහැ.ඒත් ඒ අතර හුන් සුධාරකගේ හා දිල්හානිගේ මා හා හිතවත් ඥාතීන් සමග මා සිනාසුනා.එක් පුද්ගලයෙකුගේ වැරදිවලට ඔවුන් වටා ඉන්නා අවශේෂ පුද්ගලයන් හා කුලියට තරහා වීමක් මට නැහැ.එය බාලාංශ වැඩක්.නිකමට සුධාරක ගේ මවගේත් නැගනියගේත් මුහුනු දෙස බැලු මට ඇත්තටම ඒ මුහුණුවල කිසිදු ශෝකයක් වේදනාවක් දකින්නට ලැබුනේ නැහැ.කඳුලු ගන්නට ඔවුන් ඇස්පිල්ලම් සිතාමතා තදකරමින් සිටියා.මෙය අනුරාධපුරයේ සිට මාත් අනික් නිලධාරීනුත් පැහැදිලිව දුටු දෙයක්.

ඔවුන් ඉතාම අපහසුතාවයන් සිටියත් මම ඉතාමත් පහසුවෙන් හිටියා.සුධාරකට අවසන් ගෞරවය දක්වන්නට මා මේ සර්පයින් අතරටම එන්නට හැකිවීම ගැන සිටියේ අප්‍රමාණ සතුටකින්.

අවමංගල්‍ය සභාව ඇරඹුණා. සුධාරකට ආචාර දැක්වීමට ලබාදෙන ආචාර වෙඩිමුර තැබීම ඇරඹුවා. එය ගනනින් 18 ක්. ඒ හැම ශබ්දයටම වඩා මගේ හදවත කෑගසා හඬන හඬ ඒ වෙඩි වලට වඩා සද්දෙට මා ලඟ සිටි අයට ඇසෙන්නට ඇති.ඒ අතරතුර මාත් දුවත් වටා පුටුවල හිටගෙන උන් ඔවුන් කුටු කුටු ගාමින් මට අපහාසකරන්නට වුනා.

“උඹා ආවද මෙතනටත්”
“ලැජ්ජ කරන්න ආව හැතිරී”

සෙමින් වුණත් ඔවැනි නිශ්ඵල දෑ ඔවුන් කියමින් හිතන්නට ඇත්තේ මා මානසිකව වට්ටන්නට මගේ හිත රිදවන්නට මා කෝපකරවන්නට වෙන්නට ඇති.ඒත් ඔවුන් නොදන්නා දෙයක් තිබුණා.ඒ අනුරාධා අභියෝග භාරගන්නා ගෑණියක මිස අනූරාධා අභියෝග වලට බියෙන් පලා යන ගෑනියක නොවන බවයි.එහෙනම් මට නිකරුණේ කරනා නින්දා අපහාස වල හැටියට රටින් පලා යන්නට ඕනෑ මා මිස දිල්හානි නොවෙයි.ප්‍රශ්න වලින් හෝ ජීවිතයේ දුෂ්කරතා වලදී පැන යන්නේ නිවටයන්.

ආචාර වෙඩිමුර තබා අවසාන කල පසුව සිරිතක් ලෙස මියගිය විරුවා වෙනුවෙන් ප්‍රධානියාගේ පණිවිඩය කියවීම ආරම්භ කළා.එය හැඳින්වෙන්නේ part 1 ලෙසටයි.එහි මියගිය විරුවන්ගේ උපන් දිනයේ සිට ඔහුගේ පෞද්ගලික තොරතුරුත් ඔහු රාජකාරි කරන්නට යෙදුණු සවිස්තරාත්මක විස්තරයත් යන සියලු දෑ අඩංගු වන සන්දේශයක්.එය කියවනවිට රණවිරුවාට ගරුකරනු වස් සියලුදෙනාම නැගීසිටිය යුතුයි.මා දියණිය මගේ ඉදිරියට ගෙන නැගීසිටියා.

සුධාරකගේ උප්පැන්නයට මව කියා නම දුන් ගැහැණිය ද සුපුරුදු ලෙස ඇගේ ගරු රඟපෑම කරමින් සිටියා.කලන්තයක් ගෙන නැගිට ගන්නත් බෑ වගේ ඇය ඉන්නා අන්දම මම දැක්කා.

නැගී සිටිය මම සිටිය යුත්තේ සැහැල්ලු ලෙස වුණත් දෑත් එක්කර වැඳගෙනම හුන්නේ සුධාරක කෙරහි තිබූ අප්‍රමාණ ගෞරවයෙන්.හිස හරව හරවා විටින් විට මා දෙස බැලූ කුඩා දියණිය අම්මා අනුගමනය කරමින් ඇයද වැඳගෙන සිටියා.ඇය දන්නේ අම්මා වඳිනවා නම් එය ඒ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් වන්නට ඕනෑ බවයි.

සුධාරක ගේ උපන්දිනය වේලාව පවසමින් පටන්ගත් ඒ පණිවිඩ කියවීමේ මට ලොකු අමුත්තක් දැනුණා.එහි සුධාරකගේ දෙමාපියන්ගේ වත් සහෝදරියන්ගේ වත් දිල්හානි ගේ වත් දරුවන්ගේ වත් නම් කිසිම විදියකින් හෝ කොතැනක හෝ කියවුණේ නැහැ.එය නම් ඉතා විශාල පුදුමයක්. ඒ විස්තර අනිවාර්යයෙන්ම එයට ඇතුලත් කර කියවීම සිරිතක්.ඒත් එයට ද හේතුවක් තිබී තිබුණා. මා එය දැනගත්තේ ටිකදිනකට පසුවයි.මා එය කුමක්දැයි පසුව ඔබට පවසන්නම්.

මා වැඳගෙනම සුධාරක ගේ වීර වික්‍රමයන් ගැන කියවනවිට මගේ හදවතින් වෙනස් දෙයක් පතමින් හුන්නා.

“මගේ රත්තරන් මහත්තයා ඔයාව බලන්න මං කනත්තට හරි ආවා.ඔයා හිතුවද මේ සර්පයෝ මැද්දට හරි මං ඔයා බලන්න නො එයි කියලා…නෑ ඔයා දන්නවා මං ඔයා වෙනුවෙන් මේ ලෝකේ වටේ උනත් යනවා කියලා…අනේ ඔයාව ලබන ආත්මෙත් මටම ලැබෙන්න ඕනේ මගේ රන්කඳ. අපි දෙන්නට වුන මේ හෙනගහන අපරාධයට හිලවු වෙන්න අපි අපිටම හම්බවෙන්න ඕනේ මගෙ මැණික.ඔයා මොනතරම් වටින දක්ෂ එඩිතර මිනිහෙක්ද.ඔයා කවදාවත් මේ රටට වත් කාටවත් ණය නෑ මගේ මහත්තයා.බෙහෙතක් කරගන්න බැරුව හිරකාරයෙක් වගේ දුක්විඳින්න උනාට ඒ අකුසලය දැන් ගෙවලා ඉවරයි.මම ඔයාවෙනුවෙන් හැමදේම කලා මගෙ මහත්තයෝ ඒත් මට මේ හිතක් පපුවක් නැති යක්කුන්ගෙන් ඔයාව බේරගන්න බැරිවුනා.මට සමාවෙන්න රත්තරන් ඒත් මං ඔයාට හැමදාමත් ආදරෙයි”

මම නිහඬව දෙනෙතින් ගලායන කඳුලු මතින් හදවතින් එසේ මුමුණමින් සිටියදී එක්වරම අමුතු යමක් කරන්නට හදිස්සියේම සුධාරක ගේ පවුලේ අයට ඕනෑ වුණා.

ඒ මොකක්දැයි මම හෙට ඔබට කියන්නම්

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles