සුහදිනී -66

“කේන්දර ගැළපුණත් නැතත් මට තියනව අම්මගෙන් ප්‍රශ්නයක් අහන්න.”

සකී අම්මාගෙන් ඇසුවේ අසන්නට ඕනෑම වූ ප්‍රශ්නය ය.ඇයට ඒ පැනය නාසා හිඳීම අපහසු විය.

“අම්මා අහස්ට ඇත්තටම කැමතිද?”

අම්මා අහස් ගැන දැනගත් මොහොතේ කම්පනයට සහ කෝපයට පත් වූ ආකාරය සකීට අමතක කරන්නට නොහැකි සිදුවීමකි.අහස්ට තාත්තා අනුමැතිය දුන් හන්දා අම්මා ඔහු අනුව යන්නට ඇතැයි සිතීම සකීට මහත් පීඩාවකි.

“අකමැති වෙන්න තරම් දෙයක් ඒ දරුවගේ නෑ කියල මං තේරුම් ගත්ත.ඈත ඉඳන් බලනවට වඩා අහස් මෙහෙ ඇවිත් කතාබහ කරාම මං ඒක තේරුම් ගත්තා.”

අම්මාට එතරම් පහසුවෙන් හිත හදාගන්නට අහස් මොනතරමට සන්සුන්ව හැසිරෙන්නට ඇත්දැයි සිතද්දී සකීට සිනා පහළ වේ.නමුත් අම්මා බිය සම්පූර්ණයෙන් ම තුරන් කර තිබුණේ ද නැත.

“සමහර ළමයි ඉන්නවනෙ පොඩි පවුල් වල ඉඳලා ඔහොම තැන්වලට ගිය.එහෙම වුණානම් එකක්.මේ ළමයා කොහොමත් සල්ලිකාරයෙක්නෙ.එහෙම කෙනෙක් අපිට කොහොම ඔරොත්තු දෙනවද කියලනම් මට තාම හිතෙනව.ඔය කලින් ගෑනු ළමයි වුණත් අත් අරින්න එයාට හේතු තියෙන්න ඇතිනෙ ඉතිං”

අහස්ට එසේ වන්නට හේතු තිබිණ.ඒවා අම්මාට පැහැදිලි කර දීමට සකීට නුවුමනා ය.ඒ වෙනුවට ඈ අනාගතය එසේ නොවන බව අම්මාට තහවුරු කරන්නට කාලයට බාර කරන්නට සිතුවා ය.

“අපිට පිළි ගන්න බැරි ඇත්තක් තියනව පුතේ.ඒ ඔයාලා ලොකු වෙලා කියන එක.අන්න ඒ ඇත්ත බාර ගන්න අමාරු උනාම අපිට ඔයාලගෙ හැම තීරණයක් ගැනම බය හිතෙනවා.”

සකී අම්මාගේ උකුල මත හිස තබා ගත්තා ය.අහස්ට කෙසේවත් කියන්නට නොසිතූ නිම්නාට කියන්නට සිතා මඟ හැරි කාරණාවක් අම්මා සමඟ බෙදා ගන්නට ඇය අනතුරුව සිතුවා ය.

“මට දැන්මම කසාද බඳින්න බෑ හිතෙනවා අම්මේ.මට එච්චර වගකීමක් බාර ගන්න බැරිද හිතෙනව.අහස් ගැන නොහිතුවත් තාත්තගෙ සැනසීම ගැන හිතලා ඒක නොකර ඉන්නත් බෑ.තාත්තට අඩුම තරමේ මං ගැන හිතේ තියන බර අඩු වෙයිනෙ හිතෙනවා.”

විවාහ වන වයස මේ යැයි වෙන් කර හඳුන්වා දීම අසීරු ය.ළාබාල විවාහයන් නිසා ජීවිතය වරද්දා ගන්නා යුවතියන් සේම ඒ ආදරයෙන් ජීවිතය දිග ඇවිද යන්නියන් ද වේ.තමන්ගේ කාල රාමුවට අනුව විවාහ වී සතුටින් ජීවිතය ගෙවන්නන් බොහෝ ය.ඒ කෙසේ වුවත් “මේ මගේ කාලය නොවන බව”සිතෙද්දී කිසිවක්ම කළ යුතු නොවේ.

“තාත්තගෙ හිත සනසන්න ඔයා එච්චර බරපතල තීරණ ගන්නෝන් නෑ පුතේ.ඔයාට තව ටික කාලයක් අහස්ව ආස්සරේ කරන්න ඕන කියලා හිතෙනවනම් ඔයා ඒක කරන්න.ඔයාලා දෙන්නම කසාද බඳින්න හදිසි කරන්න ඕන වයසක නෑ.”

අහස් හිඳින්නේ සකී ඔහු අසල තබා ගැනීමේ ආශාවකිනි.ඇය වෙනත් දෑතකට පවරා ජීවිතය අතැර යා යුතු බව තාත්තා සිතයි.සකීට ඒ බලාපොරොත්තු ගැන සිතෙද්දී ඇගේ දෙගිඩියාව සඟවා ගන්නට සිත් වේ.

“වෙන්න තියන විදියට දේවල් සිද්ධ වෙයි අම්මේ.මට මොන දේවල් කොහොම වුණත් ඉගෙන ගන්න ඕන.”

සකී ඇගේ අධ්‍යාපනයට බොහෝ ඇලුම් කළා ය.ඒ මාවතේ යා හැකි උපරිම දුර ඇවිද යන අතර සිත්තරියක වීම ඇගේ අපේක්ෂාව ය.සිතුවම් ඇඳීමේ කලාව ගැන පවා තවදුරටත් හදාරන්නට දැන් ඇයට සිහින තිබේ.මිලාධික සායම් අහස්ගෙන් තෑගි ලැබෙද්දී ඈ ඒවාට දොස් නැඟුව ද සකී වඩාත් මනරම් සිතුවම් ඇඳීම අරඹා තිබිණ.සූරියකාන්ත මලක් තරමට වර්ණවත් ජීවිතයක සැහැල්ලුව දැනෙද්දී ඉක්මන් විවාහය ප්‍රතික්ෂේප කරන්නට සකීට නොසිතේ.

“දැන් කේන්දර නොගැළපුණොත් ඔයා මොකද කරන්නේ?”

සකී අහස්ගෙන් ඇසුවේ ඉලංගසිංහ මහත්මිය කේන්දර පරීක්ෂා කිරීම පිණිස පිටත්ව ගිය පසු ය.ඈ කියන අන්දමට ඒ ජොතිෂ්‍යවේදියා අහස් ගැන පැවසූ කිසිම මතයක් වැරදී නැත.ඒ හන්දා විවාහයට පෙර කේන්දර ගලපන්නට ඉලංගසිංහ මහත්මියට ඕනෑ විය.

“වෙන රටකට ගිහින් කසාද බඳිනවා.”

අහස් කියන්නේ උස් හඬින් හිනැහෙමිනි.

“වෙන රටක ගර්ල් කෙනෙක්? මං හිතුවා ඉන්දියාවේ එහෙම යන්න ඔච්චර ආස වෙනකොට.”

සකී වහා රණ්ඩුවකට අර ඇන්දා ය.අහස් නොනවත්වාම හිනැහේ.

“වෙන රටකට ගිහින් බඳින්නෙත් ඔයාවම තමයි ගෑනු ළමයො.ඔය කියන ඒවා හරියන් නැත්තෙ මේ පොළොවට කියල හිතාගෙන අපි වෙන රටකට ගිහින් බඳිමු.”

ඔවුන් දෙදෙනා අතර කියන්නට නොතේරෙන යමක් පැවති කාලයක් තිබිණ.එය ආත්මීය බැඳීමක් බව සකී විශ්වාස කළා ය.අහස් ඉලංගසිංහ නමින් තරුණයෙකු ලෝකයේ ජීවත් වෙනවාදැයි නොදන්නා කාලයේ පටන් ඇය ඔහුව සිහිනයෙන් දුටුවා ය.එවැනි අමුතු දෙයක් සිදු වූ හන්දා මේ සාස්ත්‍රය සම්පූර්ණයෙන් ම බැහැර කරන්නට සකීට ඇත්තේ බියකි.

“මට බයයි.”

සකී අවංක හැඟීමට ඉඩ දුන්නා ය.දවස් තුන්සිය හැටපහෙන් සැලකිය යුතු දවසක් අභියෝග වලට මුහුණ දෙන්නට වැය කරන අහස්ට මේ අභියෝගයක් නොවීමට ඉඩ තිබේ.එහෙත් සකීට එසේ නොවේ.

“ඔයා මේ වර්ල්ඩ් කප් වලට ලෑස්ති වෙන වෙලාව.අම්මත් මේ වෙලාවෙම ඒ වැඩේට ගියානෙ.මට ඔයා ගැන බයයි දැන්.”

සකී වටවංගු ක්‍රමයට නෝක්කාඩු කියන්නට ගත්තා ය.සකී ඉතා කුඩා බව දැනෙන මෙවැනි මොහොතකට අහස් බොහෝ මනාප ය.ඇගෙන් බාල සහෝදරියකගේ අඩුපාඩුව පිරිමැහෙන්නේ මෙසේ නෝක්කාඩු කියමින් සිටින මොහොතකදී ය.

“මාව නැති වෙනවට ඔච්චර බය වුණාම මදැයි.”

අහස් සකීට හිනැහුණ ද ඔහුට දෙගිඩියාවක් නොතිබුණාම නොවේ.අම්මාට ඒ ජොතිශ්‍යවේදියා ගැන පුදුමාකාර විශ්වාසයක් තිබේ.ඈ ඔහුගෙන් වෙන්වීමට හේතු අසා ඒවිදැයි අහස්ට ද තිබුණේ තිගැස්මකි.නමුත් ඒ කිසිවකට සවන් දෙන්නට ඔහුට අදහසක් නැත.හදවතට පමණක් ඉඩ දිය යුතු වේ.

“ඔයා කොහෙන්ද පුතේ අර දරුවා හොයා ගත්තේ?”

කේන්දර පරීක්ෂාවට ගිය අම්මා එසේ අසමින් කාමරයට එද්දී අහස් තිගැස්සිණ.ඔහුට අම්මාට පිළිතුරක් දෙන්නට පෙර ඇගේ මුහුණ කියවා ගන්නට ඕනෑ විය.

(අහස්- සකී වෙන් වේවිද? ඒ ආදරය වෙනුවෙන් ඔබේ ආදරය තබා යන්න.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles