යටගියාව දෙස ආපසු හැරී බලත්දී මගේ ජීවිතය ගැන මා පුදුම වෙනවා දැයි මම මගෙන් ම අසමි. එහි යම් යම් තැන් වල මා සිහිනයෙන් හෝ බලාපොරොත්තු නොවූ අහඹු සිදු වූ බව ඇත්ත ය. මදුරාපුර මැතිණිය මා සිය පුතු ගේ පාදපරිචාරිකාව ලෙස පිළිගැනීම එනැන්නකි. එපමණක් නොව ඈ මා සිය මිතුරියක ලෙස ද පිළිගන්නට රිසි වූවාද යන සැකය මවෙත වේ.
එදා අප දෙදෙන සඳැල්ලෙහි කතා කරමින් සිටියදී එතැනට ලෝචන පැමිණි බව මම ඔබට කීවෙමි. අඩ සිනහවකින් ඔහු කට හැදුවේ මා කාමරයේ උන් බව සිය මවට කියන්නට ද කියන බිය ඒ වෙලාවේ දරුණු ගැස්මක් ඇති කරමින් මා විනිවිද පැතිර ගියේ ය. නමුත් ඔහු කීවේ එවැන්නක් නොවේ.
“මං වොශ් එකක් දා ගත්ත..අම්ම කතා කරන්න ඇත්තෙ ඒ වෙලාවෙ වෙන්නැති”
ඉහලට ඇද අල්ලා ගෙන සිටි හුස්ම මා පහළ හෙළුවේ ඒ වෙලාවේ ය.
“මොකද උදේම වොශ් දැම්මෙ…නිබ්බුතා එන නිසාද…”
මගේ ඇස් ලොකු වී ලෝචන වෙත යොමු වූයේ ඒ කතාවේ කෙළවර මදුරාපුර මැතිණිය සිනහවක් ද පෑ හින්දා ඇති වූ පුදුමයට ය. නමුත් කිසිදු විශ්මිත වීමකින් තොර සන්සුන් සිනහවක් ලෝචන ගේ මුවග විය.
“අපි හොඳ ටුවර් එකක් යන්න ඕන පුතා. ඇවිදින්නම ඕන ලෝකෙ රටවල් කීපෙක ඇවිදින්න ඕන. යුරෝප් ටුවර් එකක් දාගමු හෙමීට. නිබ්බුතා එක්කම…”
උත්තරාර්ධ ගෝල හැඟීමකින් මම ශීතලෙන් ශීතලට පත් ව සිටියෙමි. ඒ වෙත්දී මා ලංකාවේ හෝ ඇයිද තිබුණේ සීමිත ප්‍රදේශ කිහිපයක ය. එයින් ද වැඩි කොටස පාසලෙන් ගිය ගමන් ය. වතාවක් මහ ගෙදර අය එක් කතරගම ගියෙමු. ඒ මාමා වෑන් එකක් ගත් වෙලාවේ බාරයක් වෙන්නට ය. එහෙව් මට ලෝක සංචාරයක් කියන්නේ පුදුමයෙන් පුදුමයට පත් විය යුතු අහඹුවකි.
ඈ සිය අතීතය ගැන මා හා හෙළි කළ රහස ගැන මා ලෝචන සමගින් කීවා දැයි මදුරාපුර මැතිණිය කිසි විටෙක ඇසුවේ නැත. මා එහෙම බවක් ඇයට කියන්නට ගියේත් නැත. නමුත් ඇය කී පුද්ගල හැසිරීම් පිළිබඳ ඉව මත මා එහෙම නොකළ බවට විශ්වාසයක් ඇය ට වන්නට ඇත. මම කිසි දා ක ඇය මා මත තැබූ ඒ විශ්වාසය කඩ නොකළෙමි. මිය ගියා වීද මිනිසෙකුට අභිමානයක් තිබේ. මිය ගිය මිනිසෙකුගේ වුව අභිමානයට නින්දාවක් නොකළ යුතු ය.කැළලක් ඇති නොකළ යුතු ය.
එදා අප තිදෙන සඳැල්ලට වී කතා කරමින් සිටි අඩ හෝරාවක පමණ කාලය මගේ ජීවිතයේ වටිනා ම මතක අතරේ සුරක්ෂිත ය. ඇතැම් විට ඒ වෙලාවේ ලෝචන එහි නො පැමිණියේ වී නම් මදුරාපුර මැතිණිය ට මා හා පවසන්නට තවත් යම් යම් දේ තිබෙන්නට ඇත. ඇය හරි බරි ගැහී වඩෙි වූයේ ද ඒ අරමුණෙන් වන්නට ඇත. නමුත් යම් කිසි මොහොතක අතපසු වූ යමක් කර ගන්නට ඉන පසු කවදාකවත් අවස්ථාව උදා නොවන්නට වුව පිළිවන.
මගේ ප්‍රිය මිතුරිය සඳනි සිය විවාහය ට සූදානම් වූයේ ද මේ කාලයේ ය. මධාරා අක්කා ගේ විවාහ උත්සවය දවසේ ඇය මාව සිය දෙවන මනාලිය වශයෙන් තෝරා ගන්නා බව කීවා ය. දෙවන මනාලයා ලෝචන විය යුතු බව කීව ද ඒ දෙවන පොරොන්දුව ඉටු කළ නො හැකි විය.
“මනමාලයට කරදරයක් වුණොත් මනමාලිව බාර ගන්න ඕන කියන අදහසින්ලු බෙස්ට්මන් කෙනෙක්ව වෙඩින් එකට ගන්නෙ. ඒක දැනගත්ත වෙලාවෙ ලෝචනව බෙස්ට්මන්ට ගන්න අදහස මං වෙනස් කළා. එයා වෙන්න ඕන ඔයාගෙ විතරයි”
ඇය ඒ ගැන කීවේ එබඳු කතාවකි. මම හොඳටම සිනහ වීමි.
“අනේ ඔයා ඔය වගේ බොළඳ කතා විශ්වාස කරන්නෙ කවද ඉඳන්ද අනේ..”
“මං විශ්වාස නොකළත්…ඒකෙ තේරුම ඒකනං…මට බෑ ලෝචනව එතනට ගන්න. මට ඊට වඩා වටින්නෙ මගෙ හොඳම යාළුවව. එයාගෙ සතුට”
අප දෙදෙනා ඒ වෙලාවේ උනුන් වැළඳ ගෙන මඳ වෙලාවක් සිටියෙමු. විශ්වය මා වෙනුවෙන් මේ තරම් ම ආදර සාගරයක් මවන්නට තීරණය කිරීමේ විශ්මය හදවතින් දරා ගෙන ඒ දවස් දිගේ මා පා පොඩි නගා ගියේ මායා ලෝකයක ය. බොහෝ දුෂ්කරතා මධ්‍යයේ අපි අපේ ළමා විය ගත කළෙමු. අප කෙරේ කිසිවෙකු ගේ අවධානයක් යොමු වූයේ නැත. කිසිවෙකු අනුකම්පාවක් දැක්වී ද ඒ හුදෙක් අසරණ අනාථ මිනිසුන් දැක අනේ අපොයි කීමේ හැඟීමකින් මිස ඉන්නා තැනින් ඉහළට නැගෙන්නට අත දීමේ මානුෂීය හැඟීමකින් නොවේ. එවන් සානුකම්පිත බවක් සැබවින් කිසිවෙකුට අනවශ්‍ය බව එය අත්විඳි මිනිස් දියණියක වශයෙන් මම දනිමි.
ඉතින් මේ ආදර උල්පත් වල වටිනාකම ගැන පැහැදිලි කොට විස්තරාතමක විවරණයක් ලබා දෙන්නට මම අපොහොසත් වෙමි. ආදරයේ වැස්සට තෙමෙත්දී මිනිසුන් තව තවත් සව්මිය වන බව පමණක් මම දනිමි.
ඒ දවස් ටිකේ හවස් වරු ගත ව ගියේ සඳනි සමගින් ය. ඇය විවාහ වීමේ හා මා යළිත් වරක් දෙවන මනාලියක වීමේ උත්කෘෂ්ට සතුටට යටින් යම් ශෝකයක් හිස ඔසවා බලනු මට දැනිණ. ඒ වරක් මා අත් විඳි ශෝකයකි. ඒ මධාරා අක්කා ගේ විවාහය ආසන්න වෙත්දී ය. නමුත් මේ කරම් දරුණු ලෙස එදා එය මට දැනුණේ නැත. දැනුණ ද ගැඹුරින් වටහා ගන්නට මම නොදැන සිටියෙමි.
මධාරා අක්කා විවාපත් ව මදුරාපුර මැදුරෙන් නික්ම ගිය කල මම පාළු වේදනාවක් වින්දෙමි. ඕනෑ ම වෙලාවක ඇය මා වෙනුවෙන් උන්න ද මට ඇය අහිමි වී තිබිණ. යථාර්ථය එයයි. ඒ අනුව දැන් සඳනි ද මට අහිමි වෙන්නට යයි.
මධාරා අක්කා කෙරේ මා තුළ වූ ගෞරවය මුසු ආදරය යම් සේ ද සඳනි කෙරේ මා තුළ වූයේ ඒ හා සමාන මිත්‍රශීලී ආදරයකි. අප දෙදෙනා ළමා වියෙන් නව යොවුන් වියට ද ඉන් යොවුන් වියට ද එළඹියේ එකට ය. උදේට පාසල් බස් රිය එන තුරු, පාසල් දෙකක වී ද බස් නැවතුමේ කල් මැරුවේ එකට ය. ස්කූල් බස් වල යන කොල්ලන් ගැන කියවමින් ද ඔවුන් දෙස හොරෙන් බලමින් ද ඔවුන් ගේ උසුළු විසුළු වලට රවමින් ද පාසල් විය හරහා ගියේ එකට ය. ඉන් නො නැවතී හවසට ද අපි හමු වුණෙමු. ඇය ට පොතක් පෑනක් හෝ රිබන් පටි හෝ වෙන යම් දෙයක් හෝ ගන්නට කඩේ යන්නට තිබුණොත් නියත වශයෙන් ඇය අපේ දොරකඩට එයි. එතකොට අපි කියවමින් ද සිනහ වෙමින් ද ගමේ පාරවල් දිග කඩ වලට ඇවිද යමු. මගේ ජීවිතයෙන් හරි අඩක් ම ඇය වන තරමට අපි එකිනෙකා කෙරේ බැඳී සිටියෙමු. ඉතින් ඇය විවාහ වී වෙනත් ගෙදරකට නික්ම යනවා කියන්නේ මගේ හදවතෙන් අඩක් මට අහිමි වෙනවා වාගේ දෙයකි. එය කෙතරම් රිදුමක් වී ද, එය කෙතරම් නරක විදිහට මට බලපානවාද කියා දැන සිටියා වී ද සිනා සී ඉන්නට මට සිදු විය.
“ඔයා දැන් ෆැකල්ටි එකේ වැඩත් එක්ක බිසී වෙනවනෙ නිබ්බු. එතකොට මන් නැති පාළුව ඔයාට දැනෙන එකක් නෑ”
මගේ හිත හැඳින ගෙන වාගේ, ඒ හිතේ අමාරුව ඇයටත් දැනුණා වාගේ වරක් සඳනි කීවා ය. මම හඬන්නට බැරි කමට සිනහවක් නගා ගතිමි.
“මට දැන් තේරෙනව”
ඒ දුක් සිනහව අතරින් ම මම කීවෙමි.
“මොනාද..”
“ජීවිතේ කියන්නෙ මෙහෙම කැනක් කියල. එතන තියෙන්නෙ හමුවීම් වෙන්වීම් තමයි. හම්බ වෙලා කාලයක් එකට ඉන්නව. එක තැනකදි වෙන් වෙලා යන්න වෙනව. ඉස්කෝලෙ යන කාලෙ එක පන්තියක ඉඳල තව එකකට යද්දි ශෆල් කරද්දි අපි ඇඬුව. අවුරුද්දක් එකට හිටිය යාළුව වෙන පන්තියකට යන නිසා. ඊළඟ පන්තියෙදි දුක් වුණේ අර අලුතෙන් හම්බුණ යාළුව වෙන් වෙන එක ගැන. ඔය විදිහට අවුරුදු කීපයක් ගෙවිල යද්දි අපිට ඉස්කෝලෙන්ම වෙන් වෙලා යන්න වුණා. අපි කොච්චර දුක් වුණාද…බදාගෙන ඇඬුව…අද තව තැනක නතර වෙලා ඉන්නව. දැන් එතන වෙන යාළුවො ටිකක් ඉන්නව. අපි සහෝදරයො වගේ එකට ඉන්නව. ෆැකල්ටි එකෙන් අවුට් වෙද්දි ඒ දුක ආයෙ දැනෙයි. ජීවිතේ එහෙම තමයි. ජීවිතේ එහෙම තමයි. හැබැයි ඔයා කියන්නෙ මට එහෙම අමතක කරන්න පුළුවන් කෙනෙක් නෙවේ සඳ. අපි එක බඩ වැල කඩාගෙන ඉපදුණේ නැති වුණාට සහෝදරියො. අවුරුදු ගාණක් එක දිගට එක විදිහටම ජීවිතේ දුක සතුට බෙදා ගත්ත සහෝදරියො. ඔයා නැති අඩුව මොන දේකින්වත් පිරිමහ ගන්න මට පුළුවන් වෙන එකක් නෑ”
මගේ ඇස් වල කෙසේ වීද හිතේ නම් කඳුළක තෙත තිබෙන්නට ඇත. ජීවිතය වූ කලී නො නැවතී ඉදිරියට යන ගමනකි. තාවකාලික නවාතැනක් හැරුණ විට එහි නැවතීමක් දැකිය හැකි වන්නේ මරණයෙන් පමණකි. එද සසර ගමනෙහි නැවතීමක් නොවන බව බෞද්ධයන් වශයෙන් අපි උගනිමු. කවර ගණයේ වියෝගයකින් පසුව වී ද මඳක් නැවතී හිඳ අපට නැවත ගමන් ආරම්භ කරන්නට සිදු වේ. ජීවිතය දිග ඉදිරියට යන්නට සිදු වේ. නමුත් ඇතැම් වියෝගයන් මුළු ජීවිත කාලයක් පුරා පවතින කැළැල් ද ඇතැම් විට සුව නොවෙන රිදුම් ද හදවත මැද ඉතිරි කරයි!
“ඔයා මේ ඉසුරු ව මැරි කරන්නෙ මුළු හදවතින්ම එයාට කැමති වෙලාද සඳ…”
විවාහයට පෙර අවසාන වශයෙන් ද මා ඇගෙන් එසේ විමසූයේ මහදෙහි කටුවක් සේ ඇනී පැවති පැරණි රිදුමක් හින්දා ය. ඇගේ ප්‍රථම ප්‍රේමය ඇයට අහිමි වී මට හිමි වීම ගැන දවසකට වරක්වත් ගින්දරක දැවී යන සංවේදනයක් මම අත්වින්දෙමි.
සඳනි ගේ මුහුණේ ඇඳුණේ අරුත් පසිඳ ගත නො හැකි විදිහේ සිනහවකි. ඒ සිනහව ඉකි බිඳුමකට වඩා ආසන්න වී ද කියා ඊට පසු කිහිප විටක් ම මට සිතී තිබේ.
“මට ඒකට හරි උත්තරයක් දෙන්න පුළුවන් ද කියල මං දන්නෑ නිබූ”
ඇගෙන් ලොකු සුසුමක් බැහැර විණි.
“වෙන කෙනෙක් ඇහුවනං ලස්සනට හිනා වෙලා මං ඔව් කියල කියයි. එයා එක්ක අවුරුදු කීපෙක සම්බන්දයක් මගෙ තියෙනව. මට එයාවම මැරි කරන්න ලැබුණ එක මොන තරං වාසනාවක්ද කියල කියයි. ඒත් මගෙ හිතේ හැම අහු මුල්ලක්ම දන්න ඔයාට ඒ වගේ කතාවක් කියන්න මට හිත ඉඩ දෙන්නෑ. මන්දා. වෙන කෙනෙක්ව බඳිනවට වඩා එයාව බඳින එක හොඳයි කියල හිතෙන නිසා මං එයාව බඳිනව”
මා වසා ඇවිළුණ ගින්නකින් මුළුමනින් මා දැවී ගියා සේ මට දැනිණ. සඳනි මගේ අතක් අල්ලා ගත්තා ය. මගේ අතෙහි අධිශීත සිසිලසක් ඇයට දැනෙන්නට ඇත.
“ඒක ඔයාගෙං වෙච්ච වරදක් කියල හිතන්න එපා. එහෙම තමයි ජීවිතේ. අපි වැඩියෙන් ම ආස..අපිට වැඩිපුරම ඕන කියල හිතෙන දේවල් ම ජීවිතේදි අපිට ලැබෙන්නෑ. ලැබෙන දේ තමයි ජීවිතේ කියල කියන්නෙ. ඔයා ඒක හොඳට දන්නවනෙ නිබූ. මං ඉසුරුව මැරි කරනව. හරි ආසාවෙන් වෙඩින් එකට ලෑස්ති වෙනව. ඒක මං දැකපු ලස්සනම වෙඩින් එක කරන්න මං මහන්සි වෙනව. ඒත් මොකක් හරි අඩුවක් හිතේ තියෙනව. ඒ ලෝචන කියල ඔයා වැරදියට හිතන්න එපා. දැන් එයාව ලැබුණත් මට ඕන වෙන එකක් නෑ. ඒ චමත්කාරය ඉවරයි. හැබැයි ඉසුරු කියන්නෙ මට හරියට ම හරියන කෙනා ද කියන සැකේ හිතේ එහෙ මෙහෙ වෙන වෙලාවල් තියෙනව. එයාට ටච් කරන්න බැරි තැනක් මගෙ හිතේ තියෙනව වගේ දැනෙන වෙලාවල් තියෙනව. ඒ වුණත් නොදන්න යකෙකුට වඩා දන්න යකා හොඳයි කියල හිතාගෙන මං එයාව මැරි කරනව. මට එක දෙයක්නං ශුවර් නිබා”
“මොකද්ද…”
“ඉසුරුව මැරි කරපු එක ගැන මං කවදාවත් පසු තැවෙන්නෑ”
එය වූ කලී පපුවේ රිදුමකි. මගේ පුංචි මිතුරිය මේ ලොව ප්‍රීතිමත් ම විවාහ ජීවිතය ගත කරනා තරුණිය වනු දැකීම ඒ දිනවල මගේ පරම පැතුම විය. මධාරා අක්කා වාගේ ම, මගෙන් දුරක වුව ඇය සතුටෙන් ම සිටිත යුතු ය. ඉස්සර මතක පමණක් මගේ තනි නොතනියට හිටියා වී ද ඉන්නා තැනක ඇය සතුටෙන් සිටිත යුතු ය!
ලෝචන මදුරාපුර මගෙන් දුරස් වෙන්නට ගත්තේ කවදා සිට දැයි මට නිශ්චිත වශයෙන් කිව නො හැකි ය. කෙසේ වී ද සඳනි ගේ විවාහයට සූදානම් වෙන දින වල කිහිප වතාවක් ම ඔහු මා මුණ ගැසීම මගහරිමින් ඊට විවිධ නිදහසට කාරණා කීවා මට මතක ය.