නිබ්බුත ගීත -38

විභාගය නිමා වූ දා මා ගෙදර එමින් සිටියේ සැහැල්ලුවෙනි. ඉතා හොඳ නින්දක අවශ්‍යතාව ඉතා තදින් මට දැනෙමින් තිබිණ. ගතට වෙහෙසක් දැනුණ ද හිතේ නම් වූයේ සැනසීමක් බව විශ්වාස ය. පාර දිගේ ඇවිද එත්දී මගේ මුවග මඳහසක් තියෙන්නට ඇත. හැන්දෑවේ සෞම්‍ය සුළඟ සිහිලක් දනවමින් හමා ගියේ ය. අහරක් ගැන හෝඩුවාවක් ලද කාක රංචුවක් කංකරච්චල් කාක් හඬක් නවමින් ඔබ මොබ පියාසර කරන්නට වූහ. මඳ වෙලාවකට පෙර තුරල් වූ වැස්සක සටහන් හාත්පස ඉතිරි වී තිබි අතර දුහුවිලි සේදී ගොස් පාර ද අවට ගහ කොළ ද පිරිසිඳු වී තිබිණ. එවන් මොහොතක මග ඇවිද යාමේ දී බොර දිය දෙපා වල තැවරීමේ නොරිස්සුම හැරෙන්නට චමත්කාරයක් හිතේ තැවරී තිබිණ.

“නිබ්බුතා”

පිටුපසින් පිරිමි හඬක් ඇසිණ. මම ගමන් වේගය බාල කරමින් හැරී බැලුවෙමි. ලෝචන ළඟින් ඇසුරු කළ ගමේ තරුණයෙකු ඉක්මන් ගමනින් මට සමීප වෙමින් සිටියේ ය. 

“මේක ලෝචන දෙන්න කිව්ව”

ඔහු මවෙත විදා ගෙන සිටියේ ලියුම් කවරයකි. මගේ මුවට නිරායාස සිනහවක් නැගිණ. ඒ සිනහවෙහි සරදමක් ද ගෑවී තියෙන්නට ඇත.

“ලියුමක්…”

ඒ සරදම් සිනහවෙන් ම මම ඔහු විමසීමි.

“මොකද අනේ එයා ලියුමක් එවල…වැලන්ටයින්ස් ඩේ එකක්වත් නෑනෙ පැත්ත පලාතක”

“හිතෙන්නැති”

ඔහු ද සිනහවක් නගා ගත්තේ ය. මම එය ගෙන අතුරු පාරේ ඇවිදින ගමන් ම කවරය ඉරා ලියමන පිටතට ගතිමි.

“නිබ්බුතා”

ආමන්ත්‍රණය කියවූ මගේ සිනහව අලුත් විය.

“ආදරණීය නිබ්බුතා කියලවත් ලියල නෑ. මෝඩය”

මම හිතෙන් හුරතල් වෙමින් ලියමනේ ඊළඟ පේළිය ළඟ ඇස් නතර කළෙමි.

“ඔයා මේක කියවනකොට මං ලංකාවෙන් හැතැප්ම ගාණක් එහාට ගිහිං. මුලින්ම මං ඔයාගෙං ඉල්ලන්නෙ මේක අහල කලබල වෙන්න එපා කියලයි”

හිත ගැස්සී යනු දැනුණත් මට එහි බරපතල බවක් පිළිගන්නට ඕනෑ වූයේ නැත.

“මොන මෝඩයෙක්ද මන්දා. විකාර දොඩෝනව ඉඳගෙන…”

හිතෙහි එක පැත්තක් නෝක්කාඩු කීවේ ය. නමුත් හිතේ අනිත් පැත්ත ලියමන තව දුරටත් කියවා ගෙන යන ලෙස මට අන කළේ ය. නො එසේ වී නම් හිතේ ඇති වූ අමනාපය මත මා ඒ ලියුම බෑග් එකේ ඔබා ගන්නට තිබිණි.

“සමහර වෙලාවට අපිට අපේ ජීවිත ගැන බලාපොරොත්තු වුණේ නැති තීරණ ගන්න වෙනව. මේකත් එහෙම හදිසි තීරණයක්. මට යූකේ වල කම්පනි එකකින් හොඳ ඔෆර් එකක් ලැබිල තියනව. මං ඒක බාර ගන්න තීරණය කළා. ඔයා මේ ගැන හිතල දුක් වෙන්න තරං දුර්වල ළමයෙක් නෙවෙයි කියල මං දන්නව. හමු වීම් වෙන් වීම් කියන්නෙ සාමාන්‍ය දෙයක්. ඔයා ඉස්සරහ ලස්සන අනාගතයක් තියනව. වැදගත් ම දේ ඒක. මැරි කරන්න කෙනෙක් මුණගැහෙනව කියන එකත් දෛවයට ඕන විදිහට සිද්ධ වෙයි. මට දැන් කොහොමවත් එහෙම ජීවිතයක් ගැන හිතන්න පුළුවන් කමක් නෑ. මගෙන් ඈත් වුණ එක ගැන ටික දවසක් හිතේ දුක තිබුණත් ඔයාට ඉක්මනට ඒ දුක අමතක කරල සාමාන්‍ය ජීවිතයට එන්න පුළුවන්. ඔයා ශක්තිමත් ගෑනු ළමයෙක්.

මං ගැන බලාපොරොත්තු තියං ඉන්න එපා. ඔයාට කැමති වෙන කෙනෙක්ව මැරි කරන්න. ස්ටඩීස් මෙතනින් නතර කරන්න එපා. ඔයා දවසක ස්පෙශලිස්ට් කෙනෙක් වෙන්න ඕන. සමහර විට අනාගතේ යම් දවසක අපි මුණ ගැහෙන්න පුළුවන්. සමහර විට එහෙම නොවෙන්නත් පුළුවන්. ඔයාගෙ ඉදිරි ගමනට සුබ පතමින් මං මෙතනින් හැරිල වෙන පාරක යනව. ජීවිත ගමන එහෙමයි. මෙච්චර දවසක් මගෙ ගමන් සගයා වුණාට පිං!

ලෝචන.”

මම එක දිගට හැල්මේ මුළු ලියුම ම කියවා හමාර කළෙමි. මේ කුමක් ද? දෙවියනි මේ සිදු වන්නේ කවරක් ද? විහිළුවක් ද නැත්නම් මේ සැබෑවක් ද? බොහෝ දුරට එය විහිළුවක් වන්නට පුළුවන. නමුත් ඒ තරම් දරුණු විහිළු කරන්නේ කුමට ද? හිතේ එක් අර්ධයක් කලබල වෙමින් ද අනිත් අර්ධය ඒ කලබල මා සන්සිඳුවමින් නොයෙකුත් ආකාරයේ සැනසිලි බස් කියන්නටත් වූයේ ය. මම අඩිය ඉක්මන් කරමින් ද විටෙක දුවමින් ද ගෙදර යන්නට උත්සාහ කළෙමි. ඉක්මන් කිරීමේ උවමනාව වැඩි වෙන්නට වෙන්නට අඩිය පිටුපසට තැබුණ තරමි. මට දැනුණේ ම වෙනදා තරම් හෝ වේගයක් මගේ ඇවිදීමේ නොමැති බවයි. 

ගේට්ටුව අරින්නට තැබූ අත වෙව්ලමින් තිබිණ. උගුර කට මුළුමනින් වියළී ගොස් ඇති සැටියක් දැනුණෙන් මම මිදුලේ පයිප්පය හැර දෝත තබා වතුර උගුරු කිහිපයක් බීගෙන බීගෙන ගියෙමි. ඊළඟට දිය දෝතකින් මුහුණ දොවා ගතිමි.

මල්ලී ඉස්තෝප්පුවේ පුටුවක හිඳ සුබ පැතුම් පත් වල ලියුම් කවර අලවමින් සිටියේ ය. මම එතැන වූ පුටුවක් මතට වැටුණෙමි.

“මොකෝ…මගදි මෝහිනීටවත් සෙට් වුණාද…”

මල්ලී අඩ සිනහවකින් එසේ විමසුවේ මගේ බාහිර ස්වභාවයේ කවර වෙනසක් දුටු නිසාද කියා මා දන්නේ නැත.

“මල්ලි…ලෝචන විහිළු කරනවද මේ…”

බෑග් එකෙන් ගත් ලිපිය මම මල්ලී වෙත පෑවෙමි. ඔහු එය අතට ගත්තේ ප්‍රශ්නාර්ථයෙනි. ලියුම කියවා අවසන් වන තෙක් ඔහු හිස එසවූයේ නැත.

“ජෝක් එකක් නේන්නං..තේරෙන්නැද්ද…”

ඉන් පසු නො සැලකිලිමත් ලෙස ඔහු එය මවෙත පෑවේ ය. ලියුම කියවූ වෙලාවේදීටත් වඩා  මගේ හදවත බිය වැඩි වෙමින් තිබුණේ මේ වෙලාවේ ය. දෙපතුල් සීතල වී ඇති බවක් ද කන් වලින් දුම් පිට වෙනවා වැනි ස්වභාවයක් ද දැනෙන්නට විය.

“ඒත් මෙහෙම ජෝක් එකක්…”

“නැත්තං ඕක ඇත්තක් කියලද හිතන්න කියන්නෙ…”

“මල්ලි…මට මහ අමුත්තක් දැනෙනව. මට ලෝචනට කතා කරන්න ඕනෙ”

“එහෙනං ඉතිං කමියුනිකේශන් සෙන්ටර් එකට ගිහිං කෝල් එකක් ගන්න. නැත්තං ගෙදරට ගිහිං බලනවකො”

“ඔයත් එනවද…”

මම බැගෑපත් වුණෙමි. මල්ලී එක එල්ලේ මදෙස බලා සිටියේ ය.

“සුදූ..බය වෙන්න දෙයක් නෑ. ආ යංකො”

බෑග් එක එහෙමම තබා මුදල් පසුම්බිය පමණක් ගෙන යළිත් මම මල්ලී එක්ක මගට බැස්සෙමි. මේ වගේ අවස්ථාවකට තනිව මුහුණ දීම කෙතරම් අසීරු දැයි මට දැනෙමින් තිබිණ. මා වූ කලී මල් අතුල මාවතක ජීවිතය දිග ඇවිද ආ කෙල්ලක නොවේ. නමුත් ඉරණම මා ඉදිරියට පැමිණවූ කිසිදු පරීක්ෂණයකට මම මේ මොහොතේ තරම් බිය නොවුණෙමි. මල්ලී මෙය ඒ හැටි ගණන් නො ගැනීම හිතේ සැනසිල්ලට හේතුවකි. නමුත් මගේ හදවත ගැස්ම එන්න එන්න ම වැඩි වෙමින් තිබේ. මේ වාගේ විහිළුවක් කරන්නට ඔහු ට වන අවශ්‍යතාව කුමක් ද? අනිත් අතට ලෝචන කියන්නේ එහෙම මුග්ධ වැඩ කරනා කෙනෙකු නොවේ. 

මල්ලී නොයෙකුත් දේවල් කියමින් ගමන් කළේ ය. නමුත් මට ඒ හැමෙකක් ඇහුණාද යන්න සැක සහිත ය. මගේ මනස ක්‍රියා කරමින් තිබුණේ වෙනම ම තැනක වෙනම ම මාතෘකාවක් මත ය. ලෝචන මේ පවසන්නේ කවරක් ද කියා තහවුරු කර ගන්නා තෙක් මගේ හිත මුළුමනින් විකාර වූ තැනක් සේ ය. ඔහු කියන්නේ ඇත්තක් නම් මා හැර යන්නට තරම් ඔහු ට මගෙන් සිදු වූ වරද හෝ අඩුපාඩුව කුමක් ද?

අපි සන්නිවේදන මධ්‍යස්ථානයෙන් ලෝචන ගේ දුරකතන ට ඇමතුමක් ගතිමු. නමුත් එය පැවතියේ ක්‍රියා විරහිතව ය. 

“හරි හරි ඉතිං…කලබල වෙන්න ඕන නෑ. ෆෝන් ඕෆ් වෙන්න පුළුවන්නෙ. අනිත් එක රොෂානය අතේ ඔය ලිව්ම එවපු නිසාම මේ වෙලාවෙ ෆෝන් එක ඕෆ් කරන් ඇති. ගෙදරට ගිහිං බලමුකො”

අපේ අම්මා හැරෙන්නට ගෙදර කිසිවෙකු වූයේ නැත. ඇය උදේ පැමිණෙන විටත් කිසිවෙකු නොවූ බව අම්මා කීවා ය. එහි විශේෂයක් නැත්තේ ය. අම්මා යන විට ගෙදර අය සිටිය ද නැත ද අම්මා අත යතුරක් වන්නේ ය. ඇය ඉන් ගෙදොර හැර ගෙන ඇගේ වැඩ කටයුතු සිදු කරයි.

“මං මදාරා අක්කට කතා කරල බලන්නං”

හදිසියේ උපන් සිතිවිල්ලකට නතුව මදුරාපුර මැදුරේ දුරකතනයෙන් මම මධාරා අක්කාගේ දුරකතනය අංකනය කළෙමි. ටික වෙලාවක් හැඬවීමෙන් පස්සේ, මෙලොව වන අසීරු ම වදන තෙපලනවා වැනි ව ඇය ‘හෙලෝ’ කීවා ය.

“අක්කෙ මං නිබබුතා. ලෝචන අයිය කෝ අක්කෙ…එයා මට යාළුවෙක් අතේ ලෙටර් එකක් එවල තියනව. මං ඒක කියෝනකොට එයා ලංකාවෙන් හැතැප්ම ගාණක් ඈතක කියල..මොකද්ද අක්කෙ මේ කියන්නෙ…එයාගෙ ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ”

මධාරා අක්කා පපුව ගැඹුරෙන් ම හුස්මක් හෙළනා හඬ මට පැහැදිලි ලෙස ම ඇසිණ. මගේ පපු කුහරය කළඹවමින් පැවතියා වූ සුළි කුණාටුව මහෝඝයක් ව කැරකෙන්නට ගති.

“අනේ මොකද්ද අක්කෙ වෙලා තියෙන්නෙ…”

“මල්ලා මොනා හරි ලියල තියනවනං ඒක තමයි නිබ්බුතා. ඇත්ත. එයා මේ වෙලාවෙ ෆ්ලයි කරනව”

“අනේ අක්කෙ…ඉතිං ඇයි මට කිව්වෙ නැත්තෙ…කොහේ ගියත් කොහේ හිටියත් මාව අත් ඇරල ගියේ ඇයි…මට වෙන අතක් බලා ගන්න කියල ගියේ ඇයි…එයා ලෝකෙ කොතනකට හරි එයාගෙ යහපත වෙනුවෙන් ගිහින් එනකල් මං ඉන්නවනෙ අක්කෙ…අනේ මොකද්ද මේ වෙලා තියෙන්නෙ…මට තේරුං ගන්න බෑ”

මා ද නො දැන මගේ ඇස් වලින් ගිලිහුණ කඳුළු කම්මුල් දිගේ ගලා යමින් ටෙරාසෝ පොළොව මත බින්දු ඇති කරන්නට විය. මට දැනුණේ මා උන්මන්තක වී ගෙන එන්නාක් මෙනි. එක එක ඒවා මම කීවෙමි. ඇසුවෙමි. හැඬුවෙමි. ඉකි බින්දෙමි.

“නිබ්බුතා…පැටියො මේ අහන්න..අඬන්නෙපා නංගි. මං හෙට උදේට කොහොමත් එන්න හිටියෙ ඔයාව මීට් වෙන්න. දැං මං මේ ඉන්නෙ වීඕජී ළඟ නිබ්බුතා. ක්ලිනික් එකට ඇවිත්..අනේ ඔයා අවුල් නොයා ඉන්න. අපි හෙට කතා කරමුකො. හොඳේ”

මට හඬන්නට එපා කීවාට ඇගේ ස්වරයෙහිත් කඳුළු බර බවක් විය. මධාරා අක්කා ඉක්මනින් දුරකතන සංවාදය නිමා කළා ය. මම එතැන බිම වැටී මී දෙනක සේ හඬන්නට පටන් ගතිමි. මා වාවා ගන්නේ කෙසේ ද? එතකොට ඒ විහිළුවක් නොවේ. ලෝචන නික්ම ගොසිනි..මේ රටින් පමණකුදු නොව මගේ ජීවිතයෙන් ද ඔහු නික්ම ගොසිනි. මගේ අතේ ගුලි වී තිබි ඔහු එවූ මුල් ම සහ අවසාන ලියමන රැගත් මල්ලී පුටු වතක් මත හිඳ නැවතත් එය කියවන්නට වූයේ ය. ඔහු ලොකුවට කල්පනා කළේ ය. නමුත් දැන් කිසිවක් කළ හැකි ද? මේ වන විට ලෝචන රටින් ද නික්ම ගොස් අවසන් ය. 

“මට එයාට කතා කරන්න ඕන..කවදා ආවත් කමක් නෑ. එනකල් බලං ඉන්න පුළුවන් කියල මට එයාට කියන්න ඕන මල්ලි”

අවසාන බලාපොරොත්තුව වචන බවට පත් කොට මම මල්ලී ඉදිරියේ බැගෑපත් ස්වරයකින් පැවසීමි. ඔහු මගේ හිස පිරිමැද්දේ ය.

“හරි. අපි දැං ගෙදර යමුකො. අම්මත් යං”

පසු ගිය දින වල මදුරාපුර මැදුර තුළ කුමක් හෝ කලබලකාරී බවක් වූ බව අම්මා කීවා ය. නමුත් ඒ කුමක් දැයි නිශ්චිත ව වටහා ගත හැකි ඉවක් ඇයට තිබී නැත. දුක් ම විඳි මදිවියෙහි උදා වූ මූසල ම රාත්‍රිය එය කියා මම සිතමි. හැඬෙනා එක නතර කර ගත හැකි විදිහක් මා දැන සිටියේ නැත. හොරු ගෙන ගියා සේ ඔහු මට අහිමි වූයේ කොහොමද කියා මා දැන සිටියේ නැත. ඉදිරි ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේ ද කියා කොහෙත් ම මා දැන සිටියේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles