සීත මාරුතේ -19

වෙනදාටත් කලින් අළුයම් යාමයෙහි මා පිබිදිණ. සැබවින් මුළු රැය පුරා නෙතු නිදි සුව ලද ද සිත අවදියෙන් සිටියා විය යුතු යයි මම සිතමි. අරුණෝදය පිනි බර වූයේ ය. තද සීතලක් වායු ගෝලය තුළ මුහු වී තිබූ අතර හුස්ම ගනිත්දී නහස් පුඬු වලට පවා ඒ කටු තුඩු අනිනා ශීතල දැනුණේ ය. මම උණු දියෙන් දෝවනය වී කහ පාට දිග මල් වැටුණ ගවුමක් ඇඟ ලා ගතිමි. ඒ ගවුම අලුත් ම එකකි. නංගී සිය කුළුඳුල් මාසික වැටුපෙන් මට දුන් තිලිණය එයයි. එය ඇඳ කැඩපත ඉදිරියේ සිටියදී  ඒ සුන්දරත්වය ට මා ම ලොබ බැඳියෙන්, මම ඒ ගවුම නො ඇඳ සිටියෙමි. සාප්පුව විවෘත කරන දා ට එය ඇඳ ගෙන යන්නට මා බලාපොරොත්තුවෙන් සිටිය ද මේ දවස පසු කොට යා නො හැකි වූයේ ය.

ප්‍රේමයේ හංස තුඩගින් හදවත පාරන ලද පිරිමියෙකු සමග තනිව ගමනක් යන්නට ලැබෙනා අවස්ථාවක් කියන්නේ ගෑනු ළමයෙකුට සුවිශේෂ මොහොතකි. මිස්ට් ෆීල්ඩ් වල සේවයට යන්නට තබා මීට පෙර කොහේ යන්නට හෝ මා ඒ තරම් හැඩ බලා නැති බව සහතික ය. ගවුමේ කහ පාට මගේ මුහුණ මත පතිත ව මුහුණ මත අමුතු කාන්තියක් තැවරී තිබිණ.. එහි අත් දිගට දමා කෙලවර ට ඉලාස්ටික් දමා රැලි කොට තිබුණේ ය. ඒ නිසා සීතල වෙනුවෙන් අමුතුවෙන් ශීත කබා ඕනෑ නැතැයි මට සිතිණ. එතකොට ගවුමේ සුන්දරත්වය වැසී යයි.

කොණ්ඩය ලෙහමින් ද බඳිමින් ද ගොතමින් ද කැඩපත ඉදිරියේ බෝ වෙලා ගත කළ මම අවසන එය පුරුදු ලෙස උනා දමා ගතිමි. ලා දුඹුරු පැහැති තොල් ආලේපනය යන්තමින් ගල්වා සුවඳ විලවුන් බිඳක් ගෙල මුල තවරා ගතිමි.

 මා සීතලින් මිදී යමින් තිබිණ. දෑත් බැඳී ගියේ සීතල උහුලා ගත නො හැකි ව ය. බයිසිකලයේ යත්දී ඒ සීතල දැරිය නො හැකි වන නිසාවෙන් මම ජැකට් දමා උඩු කය හොඳින් ආවරණය කර ගතිමි.

“කොච්චර සුරංගනාවි වගේ ගියත් මුණිවරයෙක් අවුස්සගන්න ලේසි වෙන්නෑ නංගී”

මා ස්කූටිය පණ ගන්වත්දී නංගී ආදරණීය ඔච්චමක් කළා ය. මම බොරුවට ඇය ට රැව්වෙමි.

මිහිදුම ඇඟේ හැපෙනා තරම් වූයේ ය. මා බයිසිකලය පැද්දේ අයිනෙන් පරෙස්සමට ය. ළඟට ම එන තෙක් කිසිවක් නොපෙනෙන තරමට දැඩි සුදු දුමාරයකි එය. කෙතරම් කටුක වුව ද ඒ සිසිලස තදින් වැළඳ ගත හැකි තරම් ආදරණීය බවක් මගේ හිතේ විය.

ජැකට් එක ස්කූටියේ සීට් එක ඇතුලට ඔබා හෙල්මට් එක ද එහි දමා මා කාර්යාලය වෙත යත්දී, ලොබියේ දොරකඩ ට වී දෑත් පපුව මත බැඳ ගෙන මුණිවර අභිශේක් බණ්ඩාර බලා සිටියේ ය. මේ අතිශය සිසිලස තුළ ඒ ඇස් දෙක කෙතරම් උණුහුමක් දැනවූයේ ද යත් මට දැනුණේ හෙමි හෙමිහිට මා දිය ව යන්නට පටන් ගන්නවා මෙනි.

“ගුඩ් මෝනිං”

හදවත තුළ වාං දමනා පෙම් සිතිවිලි දඟකාර සිනහවකින් මුවහ කර ගෙන මම ඔහු ට උදෑසනට සුබ පැතුවෙමි. නමුත් මුණිවර හිස යන්තම් සැලුවා මිස වාචික සුබ පැතීමක් නො කළේ ය. ඔහු ගේ ඇස් මා අල්ලා ගනිමින් ද අත් හරිමින් ද යළි අල්ලා ගනිමින් ද සිටියේ ය.

“උදේම කැන්ඩි යන තරමට වැඩ ටික කරගෙන ඉක්මනට එන්න පුළුවන්”

කිසි තෙතමනයක් නැති රළු බවක් ආරෝපණය කර ගත් හඬකින් ඔහු කීවේ ය. මට එන්නට කිසි හදිසියක් නැත ය කියා කියන්නට තරම් ඔහු ඉදිරියේ ශක්තියක් ඇත්තේ නැති හැටි!

මල් ඕඩර ටික පිටත් කොට හැරීමෙන් පසු අප යන්නට පිටත් වුණෙමු. මගේ ගැහැනු හද තුළ ප්‍රීතිය ද නො ඉවසිල්ල ද එකිනෙක පොර බදමින් තිබිණ. මන්දස්මිතයක් විටින් විට ඉස්මතු වන්නට වූයෙන් මම එය යටපත් කරනු වස් ඕනෑවටත් වඩා ගෙල හරවා ගෙන වීදුරු කවුළුවෙන් පිටත බලා ගෙන සිටියෙමි. ‘සින්දු නං දාන්නෙපා’ කියා විහිළුවට වගේ මුණිවර ට කියන්නට මට සිතිණ. නමුත් ඇසිල්ලකින් අමතක ව ගියේ ය.

“මේ එදා ගිය පාර නෙවේනෙ”

මා හදිසියේ කෑ ගැසුවේ ඇපල් ගෙඩියක් හිස මත කඩා වැටීමෙන් ගුරුත්වාකර්ෂණ බලය ගැන අදහස අනාවරණය කර ගත් අයිසෙක් නිව්ටන් ටත් වඩා උනන්දුවෙනි. 

“අම්…ඔව්. පාරවල් කීපයක් තියනව මෙහෙ ඉඳන් කැන්ඩි යන්න. මේක  වැලිමඩ අඹගස්දෝව මැදවෙල හග්ගල නුවර එළිය කොතමලේ ගම්පල හරහ නුවරට”

මට හයියෙන් සිනහ ගියේ ය. නමුත් එහෙම සිනහවකට මුණිවර කිසි සේත් කැමති නොවන බව සිහි වී වහා ම මම ඒ සිනහව ගිල ගතිමි.

“හරියට බස් කන්ඩක්ටර් කෙනෙක් වගේ ඒක කිව්වෙ. පොලිස් පාක් රෙදි මෝල කිල්ලපන නුගේගොඩ මාරගම ඔට්ටාව ඕමගම ඕමගම…”

මා දෝතින් මූණ වසා ගත්තේ තව දුරටත් සිනා නැගේවියි බියෙනි. නමුත් මා දෑතින් මූණ මුදවා ගෙන ඔහු දෙස බලත්දී, මුණිවර අඩ බැල්මක් මවෙත හෙලා හිනාව හංගා ගෙන ඉදිරිය බලා ගත්තේ ය. 

මේ පාර වැටී තිබුණේ දිය පහරකට සමාන්තර ව ය. ඒ හල් ඔය බව මුණිවර කීවේ ය. මහවැලි ගඟේ දිග ම අතු ගංගාව වන උමා ඔය ඇරඹෙන්නේ වැලිමඩිනි. ඒ  මේ හල් ඔය වැලිමඩින් ඇරඹෙන තවත් ශාකාවක් සමග එක් වීමෙනි. හල් ඔය ගලන්නට පටන් ගන්නේ නුවර එළියෙනි.

මේ මග දෙපස වැඩිපුර වූයේ අර්තාපල් හා එළවළු වගා කළ බිම් ය. තැන් තැන් වල බට මිටි වැනි කෝටු මිටි ගොඩවල් තිබෙනු ද ඒවා ට්‍රැක්ටර් වල පටවා ගෙන යනු ද නිතර දර්ශනය කළ හැකි වූයෙන් මම ඒ ගැන විමසිලිමත් වීමි.

“මොනාද අර කෝටු.. ඇයි ඒව එච්චර ගොඩවල් හැම තැනම වගේ තියෙන්නෙ…”

“අම්…ඒ ඇපල කෝටු”

සිසුවියකට යමක් පහදා දෙන කරුණාවකින් යුත් ගුරුවරයෙකු සේ ඔහු කීවේ ය.

“ඇ…පල…”

“ඒව මේ ඌව පලාතටයි නුවර එළිය පැත්තටයි වැඩිපුර පැතිරිල තියෙන බට පඳුරු වගේ විශේෂයක්. ඇත්තටම බට වගේ තමයි. ඔයාට ඔය පේනවනෙ…හීනි කෝටු…මැද පුරුක් තියනව බට වගේම”

කෝටු මිටි ගොඩ ගසා ඇති තැනක දී ඔහු රියෙහි වේගය වඩාත් අඩු කොට මට ඒවා පෙනෙන්නට සැලැස්වී ය. 

“ඉතිං මොකටද ඒව…ඇයි ඔච්චර ලොකු මිටි බැඳං අරං යන්නෙ…මොනා කරන්නද..”

“අම්…ඒක ලොකු කතාවක්..මෙහෙමයි. මේ වැලිමඩ පැත්තෙ මිනිස්සුන්ගෙ ප්‍රධාන ආදායම් මාර්ගය වගාවනෙ. අල…එළවළු…ඔයා දැකල තියනවනෙ දැන්. ඉතින් ඔය තක්කාලි…බෝංචි වගේ ටිකක් වැල් ඇදෙන එළවළු වලට ආධාරක විදිහට හිටවන්න තමයි ඔය ඇපල කෝටු ගන්නෙ”

“ආ…හරි හරි තේරුණා. අර තියෙන්නෙ ඒ ඇපල පඳුරු නේද…ගොඩාක් තියනවනෙ යායට…මිනිස්සු හිටෝලද ඒ ඉබේ වැවිලද…”

“අම්…ඉබේ වැවෙන ගහක් තමයි මේ. ඔය දොළ පාරවල් අයිනෙ එහෙම හැදිල තියෙනව. මේ කඳු නාය යන අවදානම වැඩීනෙ. සොයිල් ඉරෝශන්  එකට විසඳුමක් විදිහටත් ඔය ඇපල පඳුරු හිටෝනව. ඒවට පස හේදිල යන්න නොදී මුල් වලින් අල්ලගන්නව. අනිත් අතට දැන් ඕකත් එක විදිහක ආදායම් මාර්ගයක්. ඒකයි සමහරු ඇපල වවන්නෙ. ඔය කෝටුවක් අලුතෙන් කපපු ගමන් රුපියල් දහයකට පහළොවකට වගේ විකුණන්න පුළුවන්. අක්කර ගණන් වගා වලට සෑහෙන කෝටු ප්‍රමාණයක් ඕනනෙ. හැබැයි එකම කෝටුව කීප සැරයක් පාවිච්චි කරන්න පුළුවන්”

සැබවින් මේ මිහි මත, ඉතා කුඩා රටක් තුළ පවා සිදු වෙනවා යි අප නො දැන සිටිනා කාරණා කෙතරම් ද? උදේ මා තුළ ඇති ව තිබූ උද්‍යෝගය සිය ගුණයකින් වැඩි වී තිබෙන බව මට දැනිණ. ඇපල කෝටු හිටවූ බෝංචි වගාවක් යායට දර්ශනය වන්නට වූයේ ය.

“ශටර් එක ටිකක් අරින්නද…”

මම කුඩා දැරියක ගේ බයාදු හුරතලයෙන් ඔහු විමසීමි. මුණිවර වායු සමීකරණ ක්‍රියා විරහිත කොට වීදුරු කවුළුව පහත් කළේ ය. ඇතුළට ආ සිහිල් සුළං රැල් සව්මිය වූයේ ය. මම මුහුණ පිටතට දමා ගෙන දෑස ද පියා ඒ සුළඟ ට මුහුණ සිප ගන්නට ඇති තරම් ඉඩ දී බලා සිටියෙමි. මුණිවර වදනකිනිදු මට බාධා නො කොට, දියණියක ගේ ජීවිතාශාව දල්වා ලන කාරණා ගැන උපේක්ෂා සහගත ව සංවේදී වන පියෙකු සේ නිහඬ ව සිටියේ ය.

“අ…ර….”

මට කෑ ගැසුණේ, හදිසියේම ඔහු දෙස බලත්දී ඒ පැත්තෙන් ඈතින් දර්ශනය වූ දිය ඇල්ලක් දැක ය. මුණිවර වංගුවක් අයිනට කොට රිය නතර කළේ ය. 

“බෝඹුරු ඇල්ල”

“අනේ…ලස්සනයි…”

මා නො දැනුවත් ව ම මම ඔහු වෙතට වඩාත් නැඹුරු වී, ඒ පැත්තේ කවුළුවෙන් බෝඹුරු ඇල්ලේ දර්ශනයට වශීකෘත ව සිටියෙමි. ඔහු ගේ හුස්ම පවා මගේ මුහුණේ වදිනා බව මට දැනුණේ දිය ඇල්ලට වූ මත් බව මඳකින් තුනී ව යත්දී ය. හිත කෙතරම් ගැස්සී ගියේ ද යත් මම එහෙම ම සිට ඇස් ඔසවා ඔහු දෙස බැලීමි. මගේ මුහුණ මත නතර ව තිබි මුණිවර ගේ ඇස් බෝඹුරු ඇල්ල දෙසට යොමු විය. මම  විගස මගේ අසුන දෙසට පසු බැස්සෙමි. මහදෙහි ගැස්මක් වූවා ට මුණිවර වෙනසක් හැඟවූයේ නැත. 

“ඔය වෝටර් ෆෝල් එක මීට වඩා ළඟට පේන පාරක් තියෙනව කැන්ඩි යන්න..ඇත්තටම ඒක තමයි කැන්ඩි යන්න තියන ලස්සනම පාර”

“අනේ…ඉතිං ඒකෙන්නෙ යන්න තිබුණෙ…අපරාදෙ…”

“මෙහෙම කලබලේ යන ගමනකට එහෙම ගිහිං බෑ මන්දාකිණී”

දෙවියනි, මිනිස් හඬක් තුළ මිනිස් වචන අතරේ ඒ තරම් සජීවී ලෙස ආදරයක් තවරන්නට පුළුවන් ද? මගේ හද තුළ භූමි කම්පාවක කැළඹීමක් ඇති වෙමින් තිබිණ. මම හෙමිහිට නෙතු විදා ඒ මූණ දෙස බැලුවෙමි. මුණිවර සිය මුණිවර ඉරියව්වෙන් ම යළි රිය  ධාවනය කිරීම ඇරඹුවේ ය. ඒ කොපුල් තලය, වැවී ගෙන එන රැවුල් කොට වලින් පිරී තිබිණ. මට මගේ අතකින් ඒ කොපුල පිරිමැද බලන්නට සිතුණ බව සහතික ඇත්ත ය. මගේ අකීකරු නරක සිත ඔහු දකිතැයි ක්ෂණික ගැස්මකින් ඊළඟ මොහොතේ මම නෙතු මුදා ගතිමි.

“වෙන දවසක එක්කං යන්නං ඒ පාරෙං”

නංගී හා කසුනි ලා එක්ක බෝඹුරු ඇල්ල බලන්නට යා යුතු යයි මම සිතා ගතිමි.

සැබවින් ඒ නම් මනස්කාන්ත දර්ශන වලින් සමන්විත වූ, සදෙව් ලොවකට යන්නා බඳු ගමනකි. මුණිවර සිය සුවඳින් ද ස්වරයෙන් ද බැල්මෙන් ද මා වසඟ කරමින් ද නො සලකා හරිමින් ද ළඟින් ම සිටියෙන් හදට දැනුණා වූ චමත්කාරය දහස් වාරයකින් තීව්‍ර වන්නට ඇත. 

සාප්පුවේ ඇතුළත වඩාත් සුන්දර ලෙස නිමැවීම සඳහා මුණිවර ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙකු ගේ සහාය ලබා ගෙන සිටියේ ය. ඔහු මා කැටිව විත් තිබුණේ ඒ ගැන මගේ අදහස් ද විමසන්නට ය. ඔහු ගේ නොව මගේ ම දෙයක් කරන්නට යනවා වන් ප්‍රබෝධවත් සතුටකින් මම වාං දමමින් සිටියෙමි. මගේ හිතේ ඇඳී තිබි සිහිවටන අලෙවි හල එහි නිමැවී තිබුණේ ය. ඒ තුළට ගොඩ වෙන දේශීය හෝ විදේශීය සංචාරකයෙකුට අපේ නිෂ්පාදයක් මිල දී නො ගෙන ඉන් නික්ම යන්නට නො සිතෙනු ඇත.

“සාරි එකකුයි කැන්ඩියන් එකකුයි සරොං කිට් එකකුයි තව මොඩර්න් ෆැෂන් කැටගරි එකේ ඩ්‍රස් එකකුයි ඩමීස් වලට අන්දන්න ඕන. ස්පේස් එකක් නැති වෙන තරමට චූටි චූටි අයිටම් වලින් හරි මේක පිරෙන්න ඕන. අර අම්මල වියන චූටි රෙදි කෑල්ලක්වත් වේස්ට් වෙන්නෙ නැති වෙන්න ඒ හැම කෑල්ලකින්ම මොකක්හරි චූටි නිර්මාණයක් කරන්න ඕනෙ. ඔය හැඹිලි…පෙන්සිල් කේස්..පොඩි සයිඩ් බෑග්ස් වගේ දේවල් වුණත්…බෑග් එකේ සයිඩ් එකේ එල්ලං යන චූටි ම චූටි කී ටැග්ස් වුණත් අපිට හෑන්ඩ් ලූම් රෙදි කෑලි වලින් කරන්න පුළුවන්නෙ මිස්ට මුණිවර…මේක ඇතුළ හෑන්ඩ් ලූම් සුරංගනා ලෝකයක් වෙන්න ඕන. අපි ට්‍රෙන්ඩ් එකක් හදමු. අපේ ෆේස්බුක් පේජ් එක යූස් කරල…එතකොට කැන්ඩි වලින් පිට ඉන්න කෙනෙකුට වුණත් ඔන්ලයින් මේව ඕඩර් කරන්න පුළුවන් විදිහට කෑෂ් ඔන් ඩිලිවරි සිස්ටම් එකක් හදන්න ඕන. දැනටමත් අපේ වාහන මල් අරං යනවනෙ මේන් සිටි වලට. එතකොට අපිට ඒක අමාරු වැඩක් වෙන්නෑ”

මුණිවර, සාප්පුවේ බිත්තියකට හේත්තු වී එක අතක් පපුව මත බැඳ අනෙකින් නිකට පිරිමදිමින් හිස මඳක් පහළට හරවා ගෙන නෙතු ඔසවා මදෙස බලා ගෙන ම සිටියේ ය. හිතට එන හැම දේ ම මම ඔහේ කියෙව්වෙමි. ඒ කියෙව්වා වැඩි ද කියා මට ම සිතුණ වෙලාවක් ද ආවේ ය.

“සොරි. මං මිස්ට මුණිවර ගෙ ප්ලෑන්ස් වලට පිටින් දේවල් කියනවද දන්නෙත් නෑ”

ඔහු ඊට ද කිසිත් නො කීවේ ය. මොහොතකට පස්සේ, 

“අම්…බඩගිනිත් ඇති නේ…කාල එහෙමනං පිටත් වෙමු”

යි කීවේ ය. ජනාකීර්ණ හා අඩු ඉඩකඩකින් සමන්විත කලබලකාරී වූව ද හදවතට වඩාත් සමීප සේ කවදත් දැනෙන්නා වූ සෙංකඩගල පුරයෙහි වීදි දිග විත් ඔහු ක්වීන්ස් හෝටලය ඉදිරියේ රිය නතර කොට බැස ගත්තේ ය. එහි ප්‍රධාන පිවිසුම් දොරටුවෙන් ඇතුළු වෙත්දී, ඔහු ට මඳක් පිටුපසින් උන් මගේ බඳ පිටුපස අත තබා ඔහු යන්තමින් මා ඉස්සර කරනු මට දැනුණේ සිහිනයකින් සේ ය.

මේ විශ්වයේ ගමන එක මොහොතකට නතර කිරීමේ වරයක් ලදොත් මා නතර කර ගන්නේ ඒ අසීමිත හා අමරණීය නිමේශය බව ඉඳුරා කිව හැක!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles