නිබ්බුත ගීත – 43

මධාරා අක්කා ගේ දුරකතනය අංකනය කිරීමෙන් පසු එළඹි තත්පර කිහිපයක නිහඬතාව තුළ මා අප්‍රාණික ව යනවා වාගේ මට දැනිණ. ඒ අප්‍රාණික බව දෙපා වලින් ඇරඹී සිරුර දිගේ ඉහළට ගමන් කරමින් තිබිණ. ඒ තත්පර දෙක තුනක නිහඬ බව තුළ මට නො හිතුණ දෙයක් නැති තරමි. ලෝචන පිළිබඳ අශුභදායී ආරංචියක් අසන්නට ලැබෙන්න එපා යයි මම දෙවියන් යැද්දෙමි.

“ද නම්බර් යූ ඩයල්ඩ්…ඉස් නොට් ඉන් යූස්…ඔබ ඇමතූ දුරකතනය භාවිතයේ නොමැත…”

හිම කන්දක සිසිලක් ද ගිනි කන්දක උණුහුමක් ද එක වර මම අත්වින්දෙමි. ඒ සීතල, නරක ආරංචියක් අහන්නට නොලැබීම පිළිබඳව ය. ගින්දර, අප අතරේ තිබි සියල් සබඳකම් එයාකාරයෙන් නිමා වී යාම පිළිබඳව ය. 

මම රහසිගත හුදෙකලා දුකක් වින්දෙමි. ඒ මට සිටි එක ම අක්කා මට අහිමි කරන්නට තරම් දෛවය අකාරුණික වීම ගැන ය. 

විදේශ ගමන ආසන්න ව තිබුණෙන් මා සිටියේ ගෙදර විත් ය. මධාරා අක්කා දුරකතන අංකය වෙනස් කොට තිබීමට හේතුව මා විය නො හැකි ද යන පැනය හැම  අතින් මා වට කොට ගත්තේ ය. ඇතැම් විට එය එසේ විය හැක. ඇතැම් විට එසේ නොවන්නට ද පුළුවන. නමුත් එය එසේ යි සිතන්නට මගේ හිත වඩාත් කැමති වූයේ ය. 

ලෝචන මට ලියුමක් එවා විදේශ ගත වූ දිනයේ මම මදුරාපුර මැදුරට ගොස් ඇයට ඇමතුමක් ගතිමි. ඊට පසු දා මධාරා අක්කා මා බලන්නට පැමිණ හිත හැදීමේ උත්සාහයක් ගත්තා ය. අනතුරුව ඇය මට කතා කළේ ම නැත. ලෝචන ගේ නික්ම යාම ගැන ඒ ලියුමේ තිබි දේ වලට වඩා දෙයක් ඇය ද නො දන්නා බව කීවා ය. එය එසේ විය නො හැකි බව මම දැන සිටියෙමි. මධාරා අක්කා දන්නා යමක් මගෙන් සඟවන බව වටහා ගත නො හැකි තරමට මා බොළඳ කෙල්ලක නොවේ. නමුත් ඇය ඇගේ පහසුව තකා යමක් සඟවන්නේ වී නම් ඇය අසීරුවට පත් කරමින් එය හාරා ඇවිස්සීම යුතු නැති බව මම දැන සිටියෙමි.

ඉන් පසු යළි ඈ මට හමු වන්නේ ගෙදර යතුර බාර දෙන්නට මා හා මල්ලී ඇගේ නිවසට ගිය වෙලාවේ ය. වරක් ලෝචන සමග මෝටර් රථයෙන් එහි ගොස් තිබිණි ද මට ඒ ගිය මග තොටක් ගැන මතකයක් වූයේ නැත. මල්ලී මධාරා අක්කා ට දුරකතනයෙන් කතා කොට පාර අසා ගත්තේ ය. එද අසිහිහියෙන් වාගේ එහි ගියා මිස මා ඒ ගිය පාරක් තොටක් දැන සිටියේ නැත. 

දැන් මධාරා අක්කා සිය පැරණි දුරකතන අංකය භාවිත කරන්නේ නැති බවක් කියවේ. ඇය එසේ කරන්නට හේතුව මා ඒ අංකයට කතා කොට ලෝචන ගැන විමසාවී කියන බිය විය නො හැකි ද? නො එසේව ඇයට මා අමතක කළ හැකි යයි මම නො සිතමි. මා ඇගේ අක්කා කියා සිතන්නට මා පොළඹවාලූවේ ඇයමයි. 

ඕනෑ නම් මධාරා අක්කාට මල්ලි ගේ දුරකතනට කතා කොට ඇගේ නව අංකය මා වෙත ලබා දෙන්නට තිබිණ. මේ අංක මාරුව සිදු වූයේ මා වෛද්‍ය සිසුවියක කාලයේදී නම් අඩුම තරමින් සඳනිට කතා කොට අංකය ලබා දෙන්නට බැරි කමක් ඇයට වන්නේ නැත. ලෝචන ගැන මතකය පපුව අස්සේ සඟවා තබා ගනු වස් ඔහු හා බැඳුණු සියල්ලන්ගෙන් මම ඈත් වී සිටියෙමි. මධාරා අක්කා සමග සබඳතා වලට නොගියේ ද අලුතෙන් ආයෙ ආයේ හිත පාරා තුවාල අලුත් කර ගන්නට තිබි බිය නිසා ය. සඳනි හා මා අතරේ වුව ලෝචන ගැන කතා බහක් නො සිදු වූ තරම ය. තනිකරම ඒ කාලය උගුරට හොරා බෙහෙත් කෑමක් සරි විය. ඔහු ගැන නො දොඩා සිටියාට කිසි දා ලෝචන අමතක කරනු තබා ඔහු ගැන මතකය හිතේ යටකට හෝ කළ නො හැකි බව කාලයත් සමග මම පසක් කොට ගන්නට වූයෙමි.

මා වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිටියදී මදුරාපුර මැදුර විකුණා දැමුණ බව සඳනි ගෙන් දැනගන්නට ලැබුණේ ප්‍රථම පත්වීම ලැබුවාට ද පස්සේ ය. දින ගණනාවකට තුනී වී නොයන රිදුමක් ඒ ආරංචිය නිසා මගේ පපුවේ ඉතිරි විය.

“ඕක මං ඒ දවස් වල කිව්වනං ෆයිනල් එග්සෑම් අනාගන්නව”

මගේ ශෝක භරිත බව වටහා ගත් සඳනි සිනහවකින් කීවා ය. මා සිනහ වීමේ උත්සාහයක් දැරුවාට එය වඩාත් සමීප වූයේ ඉකි බිඳුමකට ය.

“ඕන්නං යං මදාරා අක්කව හම්බ වෙලා එන්න”

මගේ කාංසාමය හැඟීම් ගැන අවබෝධ කොට ගත් සඳනි යෝජනා කළා ය. විදෙස් ගත වීම සඳහා ඉතිරිව තිබුණේ සතියකටත් අඩු දින ගණනකි. මේ ගමන ඇයට නො කියා යන්නට මගේ හිත ඉඩ නොදෙන්නේ ඇයි දැයි මම ඉඳුරා දැන සිටියෙමි. මා වෛද්‍යවරියක දක්වා ගෙන ඒමේ මාර්ගය එකළු කරමින් පහන් ටැඹ දෙකක් සේ සිටියේ මධාරා අක්කා හා ලෝචන ය. ඉනිදු මා ශිෂ්‍යත්වය සමත් වූ මොහොතේ සිට ම මා ගැන බලාපොරොත්තු දල්වා ගෙන ද මා තුළ බලාපොරොත්තු දල්වමින් ද නිරන්තර මා දිරි ගන්වමින් මධාරා අක්කා සිටි බව අමතක කළ නො හැකි ය. 

“යං…මට මේ ගමන මදාරා අක්කාට නො කියා යන්න හිතෙන්නෙ නෑ. මටත් වඩා මෙහෙම දවසක් ගැන හීන මැව්වෙ එයාල”

මගේ හඬ බිඳී ගියේ ය. අදත්, මේ දැනුත් මට ඔවුන් සිහි කොට හඬන්නට පුළුවන. දැන් මෙතැන හිඳිනුයේ දර මඩුවේ ගෙදර වැඩුණු කෙසඟ සිඟිති කෙල්ල නොවේ. අද මා වෛද්‍යවරියකි. තව නොබෝ කලකින් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරියකි. ජීවිතයේ අනියත බව ගැන කා හොඳින් අවබෝධ කරවනා වෘත්තියක නියැළුණ තැනැත්තියක වශයෙන් වුව තවමත් මගේ ඇස් තෙත් කරන්නට මගේ අතීතය සමත් වී තිබේ. මට අහිමි වී ගිය මට වඩාත් ම අගනා වූ සබඳකම් තවමත් මම හදවතින් ඉතා තදින් අල්ලා ගෙන සිටිමි.

මා මධාරා අක්කා සොයා යන එක ගැන මල්ලී ඒ තරම් සතුටු වූයේ නැත.

“මන්නං හිතන්නෙ සුදූ ඔයා තවත් එයාල පස්සෙ පන්නන්නෙ නැතුව ඉන්නවනං තමයි හොඳ. මොකද…මදාරක්කට වුණත් ඕන වුණේ ඔයාව මගාරින්න කියල මට තේරුණා. සම්බන්දකං තියා ගන්න ඕනකම තිබුණනං එයාල කීයටවත් මෙහෙම අතුරුදහන් වෙන්නෙ නෑ. හේතුව මොකක් වුණත් ඒක එයාලගෙ හිත් වලට පහසුවක්නං…අපි මැද්දෙන් පැනල බාධා කරන එක වැරදී”

මල්ලී දැන් ජීවිතය පිළිබඳ මටත් වඩා අත්දැකීම් ඇති පරිනත තරුණයෙකි. ඔහු මේ වෙත්දී ‘සුබ ප්‍රාර්ථනා’ සාප්පු ජාලයක හිමිකරු වී සිටියේ ය. මල්ලි ගේ සුබ පැතුම් හා තිලිණ විදේශ රටවල් කිහිපයකට ද අපනයනය කෙරේ. සිහින පෙරණයක් සාදා විකුණන්නට සිතූ පුංචි කොල්ලා! වියළි මල් අලවා මා තැනු සුබ පැතුම් හා බුක් මාක් කිහිපය මල්ලක දමා ගෙන විකුණන්නට ගෙන ගිය කෙලේලා! අද දැවැන්ත ව්‍යාපාරිකයෙකි.

“මං මදාරා අක්කටවත් වෙන කාටහරිවත් මෙච්චර කාලෙකට කරදර කළේ නෑනෙ මල්ලි. මං මේ ගමන යන්නෙ මදාරා අක්කට නොකියා මේ ගමන යන එක ගැන හිත හදාගන්න මට බැරි නිසා. යනව කියල එන්න විතරයි”

අඳුරු වලා වලින් ගහන වූ අහසක් සේ හිත දුක් සිතිවිලි වලින් බර ව ආතුර ව තිබිණ. සඳනි මා ගැන දැන සිටියා ය. ඇය ආවේ ඇගේ කුඩා දියණියත් වඩා ගෙන ය. අපි මල්ලී ලබා දුන් රියකින් මධාරා අක්කා ගේ නිවස සොයා ගියෙමු. විදුලි සීනුව හැඬවුණ පසු දොර හැරියේ මධාරා අක්කා හෝ නිශාන් අයියා විසින් නොව අප නො දන්නා වෙනත් කාන්තාවක විසිනි.

“මදාරා අක්කා ඉන්නවද…”

මම මඳ සිනහවකින් ආචාරශීලී ව විමසුවෙමි. ඔවුන් ගේ ඥාතියෙකු නිවසට පැමිණ ඇතැයි සිතන්නට මට ඕනෑ විය. එම කාන්තාව මඳක් කල්පනා කළේ මධාරා කියන්නේ කවුදැයි නො දන්නා සේ ය.

“ආ..මදාරා කිව්වට හුරු පුරුදු නමක් වගේ දැනුණ නිසයි මං කල්පනා කළේ”

එවර ඈ පෑ සිනහවේ තේරුම මධාරා කෙනෙකු සිහි වීම ය. නමුත් මේ ගෙදර හිඳිනා මධාරා ව සිහිපත් කර ගැනීම ඒ තරම් අසීරු වන්නේ කෙසේ ද? සඳනි මගේ අතක් යන්තම් අල්ලා ගත්තා ය. මගේ හද ගැස්ම ගැන ඔබට මා වෙසෙසින් යමක් කිව යුතු යි නො සිතමි.

“මිස් මදාරලගෙ මේ ගෙදර අපි තමයි දැන් රෙන්ට් එකට ඉන්නෙ”

“එතකොට එයාල කොහෙද ඉන්නෙ…”

“මේ ගේ රෙන්ට් එකට දුන්නෙ එයාල රට යන්න නේද…අපි ලොකුවට විස්තරයක් දන්නෙනං නෑ. අපෙං වන් ඉයර් කී මනි එකක් ගත්තා. ඒක අවුරුද්දටම කැපෙනව. අපි තව අවුරුද්දක් ඉන්නවනං ඒ සල්ලි බෑන්ක් එක ඩිපොසිට් කරන්න කියල තමයි අපිට ගේ බාර දුන්නෙ. එයාලගෙ ලෝයර්ට තමයි ඒ වැඩ බාර දීල ගියේ මං හිතන්නෙ”

එතැන පොළොවේ මහා උමගක් හෑරී මා ඒ තුළට ඇදී යනවා සේ මට දැනෙන්නට විය. ඉන් පසු එකී කාන්තාව සමග යමක් කතා කළේ වී නම් ඒ සඳනි ය. මට ඒ ගැන කිසිත් මතක නැත. මම දෙපා අද්ද අද්දා විත් රියට නැගුණෙමි. උගුර කට වියළී ගිහින් තිබිණ. සියල්ල මායාවක් සේ මට දැනෙන්නට විය. ජීවිතය කියන්නේ හමු වීම් හා වෙන් වීම් වලින් ගහන තැනකි. සිනහ හා කඳුළු වලින් ගැවසී ගත් තැනකි. සුව වීම් හා රිදීම් වලින් සුලභ තැනකි. හිස අසුනට හේත්තු කොට ගෙන මම ඇස් දෙක පියවෙන්නට හැරියෙමි. ටොන් ගණනක බරක් මගේ පුංචි ඇස් වලට දැනුණේ ය. එවැනි ම වූ බරැති රිදුමක් ඝණ අඟල් කිහිපයක පරිමාවකින් යුත් හදවත පුරවා හිර කර ගෙන පැවතියේ ය. හුස්ම ඉබේට නො වැටුනේ වී නම් මා ඒ සඳහා උත්සාහ කිරීම වුව අතැර දමන්නට තිබිණ. 

ටික වෙලාවකින් සඳනි රිය අසුනෙහි හිඳ ගත් බව දැනිණ. රිය පණ ගැන්වුණේ ය. මට නො දැනෙන සෙයින් සඳනි හුස්ම ගත්තා ය.

“ස…ඳ..”

මම අසීරුවෙන් කොඳුළෙමි. ඇය හ්ම් කීවේ හෝ නැත. ඇයට වදනක් හෝ දොඩා ගැනීමේ අසීරුවක් වන්නට ඇත. 

“ඇයි සඳ මෙහෙම වෙන්නෙ…”

“හොඳම විදිහ කියල ඉරණම හිතනව ඇත්තෙ මෙහෙම”

පිළිතුර ලැබුණේ මඳ වෙලාවකට පස්සේ ය. ඒ වචන පිට වූයේ උගුර යටින් බව දෑස් පියාන උන්නත් මම දනිමි.

“හිත රිද්දගන්නෙ නැතුව මේ ගමන ගිහින් එන්න. අපිට හොරෙන් දෙයක් සිද්ද වුණ බව අපි දන්නවනෙ. මදාරා අක්කල රට ගිය එක ඒ ඉන්සිඩන්ට් එකේම දිගුවක්ද එහෙම නැද්ද කියන්න මට තේරෙන්නෑ. ඒ කොහොම වුණත් මේ විදිහටනං දේවල් වෙන්න නියමිත…අපිට ඒක බාරගන්න සිද්ද වෙනව නේද නිබ්බු…”

“හ්ම්”

“අපි හයියෙන් අල්ලගෙන ඉමු. මේ හැම දේම කෙලවරක් වෙන මොහොතක් එයි. ඒ මොහොත ගැන මං ලොකු බලාපොරොත්තුවක ඉන්නව. ඒ මොහොත ඔයාට අතීතෙ ගැන තියන මේ වේදනාව අහෝසි කරල සතුටෙන් වර්තමායෙ පුරෝන එකක් වෙන්නයි ඕනෙ. එතන ඉන්නෙ ලෝචනද තරිඳු ද නැත්තං වෙන කෙටනක්ද කියන එක අදාල ම නෑ  ඔයාගෙ අම්මයි මල්ලියි එක්ක මාත් ඒ වෙලාව වෙනකල් ඔයාව තදින් අල්ලගෙන ඉන්නව.  ඔයාට විතරක් අනාගතයක් උදා නොවෙන්න විදිහක් නෑ. සමහර වෙලාවට හොඳම දේවල් ලැබෙන්නෙ හොඳටම ප්‍රමාද වෙලා. අපි මේ ප්‍රමාදය දරා ගෙන ඉස්සරහට යමු. ඔයා ස්පෙශලිස්ට් කෙනෙක් වෙලා එන්න. ම්…”

මම ඇස් වලින් සිනහ වීමි. නමුත් එය මතුපිටින් තැවරූ ආලේපන වන් සිනහවකි. හදවතින් සිනහ වෙන්නට කාලයකින් මට බැරි විය. කාලයක් තිස්සේ අමතක වීම නිසා දැන් මට එහි නුහුරු ගතියක් ද දැනේ. හිත ගැස්සී ගෙන මට සිහිපත් වූයේ මදුරාපුර මැතිණියයි!

“එදා ඉඳල මං හිනා වුන්නෑ. හිනා වෙන්න මට මතක් වුන්නෑ”

පපුව දෙදරවා ගෙන ඒ වදන් මා තුළ නින්නාද වන්නට විය. කාලය කොයි තරම් වෙනස් කම් සිදු කළ ද මිනිස් චිත්ත සන්තානයෙහි ක්‍රියාකාරීත්වය සිදු වන්නේ ලෝකය බිහි වූ දා සිට ම එක ම ආකාරයකට ද?

ඉතිරි දින කිහිපය ගත වූයේ අවශ්‍ය සූදානම් වීම් සඳහා ය. සුළි කුණාටු ගහන හද මඬලකින් යුතු ව මම සන්සුන් බාහිරයකින් යුතුව අවැසි කටයුතු සිදු කළෙමි. දර මඩුවේ ගෙදර සිය යෞවනය ගත කළ නිබ්බුතා ගෝතමී යළි මව් බිමට පය තබන්නේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් ලෙසට ය. නමුත් ඇය හදවතේ ලොකු ඉඩක් කාටවත් නොදී හිස් ව තබා ගෙන ඉන්නා ගැහැනියකි!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles