රිදුණු තටු පිරිමදිමි -14

වට්සැප් බිත්තිය මත විවර වූ සරස්වතී දේවිය ගේ අනුරුව දුටු අංජන ට දැනුණේ ක්ෂණිකව ඔහු වසර විසි ගණනක අතීතයකට විසි වී ගියා සේ ය. එහි සිටියේ වෙන කිසිවෙකු නොව එදා බාලිකාවේ කලා උළෙලේ දී සිය හද මඬලට ගොඩ වූ, කිසි දා ඉන් බැස නොගිය ස්ත්‍රීත්වයේ සංකේතය වන් සරස්වතී දේවියයි. හුස්ම ඉහළට ඇද ගෙන ඔහු බලා සිටියේ විශ්වය විසින් දේවල් සිදු කරනු ලබන ආකාරය ගැන අදහා ගත නො හැකිව ය. එදා සිය බාලක හද සසල කරන්නට සමත් වූ සරස්වතිය ගැන ඔහු කාලයක් උන්මාදයෙන් පසු වූයේ ය. උසස් පෙළ කොල්ලෙකු වශයෙන් බාලිකාවේ දන්නා හඳුනන ගෑනු ළමයෙකු මාර්ගයෙන් සන්තුෂී ව දැන හැඳින ගන්නට ඔහු ට උවමනා වූයේ ය.

“නංගි මේ ලෙටර් එක ගෙනිහිං එයාට  දෙන්නකො. මං මේකෙ විස්තර ඔක්කොම ලියල තියෙනව”

ජීවිතයේ ප්‍රථම වතාවට ලියනා ලද පෙම් හසුන ඔහු බාලිකාවේ දන්නා හඳුනන ගෑනු ළමයෙකුට දුන්නේ බලාපොරොත්තු රැසක් හද දරා ගෙන ය. ඒ ගෑනු ළමයා කලා උළෙලේ සරස්වතී ට රංගනයෙන් දායක වූ උසස් පෙළ සිසුවිය සොයා ගෙන ගොස් ලිපිය දුන්නේ පණ ගැහෙන බියකිනි. ඒ සන්තුෂී සිරිවර්ධන පාසලේ ශිෂ්‍ය නායිකාවක වූ බැවිනි.

“හව් ඩෙයාර් යූ ආ…කොහොමද ඔයා මෙහෙම වැඩක් කරන්නෙ…ඔය ලියුම ආපහු ගෙනිහිං දීපු කෙනාටම දෙන එකයි. නැත්තං මං ඔය ලියුමත් එක්කම ඔයාව එක්කං යනව ප්‍රින්සිපල් මැඩම් ළඟට”

සන්තුෂී ඒ තර්ජනය කළේ එහෙම කරන්නට හිතා ගෙන ම නොවේ. ලියුම ගෙන ආ දහයේ පන්තියේ පොඩි කෙල්ලව බය කරන්නට හිතා ගෙන ය. කෙසේ වෙතත් ඒ ලියමන ගෙන කියවා බලන හෝ ආශාවක් ඒ වෙලාවේ ඇයට දැනුණේ නැත්තේ, ප්‍රේමාරාධනා නුහුරු නැති හින්දා සේ ම ඒ වෙත්දීත් ඇගේ හිතේ සිය ආර්ථික විද්‍යාව උපකාරක ගුරුවරයා වන කල්ප බණ්ඩාරතිලක මහා වීරයෙකු වී සිටි හින්දා ය.

දැරිය ලියුම ගෙනවිත් නැවත අංජන ට දුන්නේ ය. ඒ ප්‍රතික්ෂේප වීම කාලයක් යන තුරු ම ඔහු ගේ හදවතේ දරුණු තුවාලයක් ඇති කොට තිබූ අතර, කාලයකට පස්සේ වින්දි ඔහු ට ලං වූයේ ඇගේ උවමනාවට ම ය.

එදා ඔහු ට අහිමි වී ගිය සරස්වතිය යළිත් හමු වී තියේ. මේ වගේ හාස්කමක් චිත්‍රපටයක මිස හැබෑ ජීවිතයක් මත්තේ සිදු විය හැකි දැයි අංජන ට විශ්වාස කර ගත නො හැකි ය.

“ලස්සනද…ඔය මං…ඉස්කෝලෙ කලා උළෙලක් දවසෙ ගත්ත එකක්”

සන්තුෂී ගෙන් පැමිණි පණිවිඩය නිසා අංජන යළිත් තිගැස්සී අතීතයෙන් වර්තමානයට පිවිසියේ ය.

“හ්ම්. ලස්සනයි”

ඔහු එසේ කියා යැව්වේ සිය අතීත මතකය හදවත ඇතුළේ ම පරිස්සමෙන් අහුරමිනි. ඒ කලා උළෙල නරඹා ගොස් බාලිකාවක අතේ ඇයට පෙම් හසුනක් එව් ලාබාල පෙමවතා තමන් බව දැන් ඉතින් ඇය දැන ගත යුතු නැතැයි අංජන ගේ හිත මුමුණා කියන්නට විය. එය ඔහු ට සුවිශේෂී දිනයක් විය. එහි හැම තත්පරයක ම තැවරී තිබුණේ දුක ය. අතීතයේ දී සේ ම වර්තමානයේදීත් අහිමි වීම් කියන්නේ ඔහු ගේ උරුමය සේ අංජනට දැනිණ. අද මේ ලෙස හමු වන්නට නම් එදා සන්තුෂී අහිමි වූයේ ඇයි දැයි සිතා ගත නො හැකි ය. දැන් මේ විදිහට වෙන් වී යන්න නම් දවසක වින්දි සිය ජීවිතයට ආවේ ඇයි දැයි ඔහු දන්නේ නැත.

සන්තුෂී ඒ පරණ ඇල්බමය මුල සිට පෙරළමින් බැලුවා ය. එහි වූයේ ඇගේ පාසල් සමයේ විවිධ අවස්ථා වල දී ගත් පින්තූර ය. කලා උළෙලේ පින්තූර නරඹමින් සිටියදී, ඊට සහභාගී වූ බාලක පාසලක අයියා කෙනෙකු දුන්නා කියා දැරියක ගෙනත් දුන් ලියුම ඇයට ඉතා අහම්බෙන් සිහි විය. එදා ඇය බියපත් කොට යැවූ සිදුවීම සිහි වෙත්දී සන්තුෂී ගේ දෙතොල් අතරට මඳහසක් ඇවිත් නැවතුණේ නිරායාසයෙනි. අද ඒ දැරිය කොතැනක ඇත්ද? ඒ ලියුම එවූ තරුණයා කොහේ කොතැනක ඇත්ද? සන්තුෂී සුසුමක් හෙළුවා ය. 

වැස්ස දුක් ගීතයක් ගයමින් මුළු රෑ පුරා වැස්සේ ය. අංජන ගේ නම් ඇහැ පියවුණේ පාන්දර යාමයේ ය. උගුරත් උදරයත් අතරේ පැතිරුණ දැවිල්ලක් ඔහු ට අත් විඳිත හැකි විය. ඒ ගෑස්ට්‍රයිටිස් නිසා ඇති වූ දැවිල්ලකැයි සිතමින් ඔහු කිහිප විටක් ම නැගිට මුළුතැන්ගෙට ගොස් වතුර බීවේ ය.

එදා ඇයගෙන් ප්‍රතික්ෂේප වූවාට පස්සේ බොහෝ දිගු කාලයක් අංජන ඒ රිදුම තුළ හුදෙකලා දිවියක් ගෙව්වේ ය. නමුත් ඇය හැම දා මත් හදවතේ උඩ මළුව අරක් ගත් සරස්වතී දේවිය ම වූවා ය. සන්තුෂී විවාහක කාන්තාවක බව අංජන දනී. ඇය සිය පෞද්ගලික ජීවිතය ගැන කිසිදු තොරතුරක් ඔහු හා පවසා නැත. කතා කරන්නේ වී නම් ඒ සදෙව්මා ගැන පමණකි. අතීතය කියන්නේ සිදු වී අවසාන දෙයක් හින්දා දැන් කිසි සේත් එය වර්තමානය වෙත ගෙන ආ නො හැකි ය. එසේ කරන්නට උත්සාහ කිරීම තුළ ම බොහෝ ගැටළු නිර්මාණය වෙන්නට ද පුළුවන. සිය අතීත ප්‍රේමය සන්තුෂී ගේ වර්තමාන ජීවිතයට කිසිදු ආකාරයකින් බල නොපානු වස් ඒ අතීත රහස සිය හදවත රහස් ගුහාව තුළ ම නිදන් ගත විය යුතු යයි අංජන ඒ රාත්‍රියෙහි තීරණය කළේ ය. නමුත් ඔහු ට ප්‍රීතියක් දැනිණ. ආයේ ම වරක් ඇය මුණගස්වන්නට කාරුණික වූ ඉරණම ගැන ඔහු ට සතුටක් දැනිණ.

උදා වූ උදෑසන සන්තුෂී වෙත පැමිණි මුල් ම දුරකතන ඇමතුම මහ ගෙදරිනි. අම්මා එහෙම දෙයක් කරන්නේ සන්තුෂී ගැන නරක හීනයක් දුටුවෝතින් ය. 

“පරිස්සමෙන් වැඩ කර ගන්න දුවේ”

කියා එතකොට ඇය කියයි. නමුත් දුටු සිහිනය කුමක් දැයි නොකියයි.

“ඊයෙ රෑත් මං ගැන හීනයක් දැක්ක නේ…අනේ ඇත්තට අම්මෙ මං හීනෙන් හරි ඔයාට වද දෙන එකනෙ කරන්නෙ තාම”

කියමින් සන්තුෂී දුරකතනය සවනට ගත්තා ය.

“චූටි නෝනා මං”

ස්වර්ණකාන්ති නොව කතා කළේ තනි නොතනියට ඉන්නා නන්දා ය.

“නන්දා ඇන්ටි…ඇයි…”

එක් වර ම හද ගැස්ම ඉහළ ගියා සේ සන්තුෂී ට දැනිණ.

“නෝනාගෙ පපුව ටිකක් රිදෙනව කියනව චූටි බබා”

මොනවා කියන්නද මොනවා කරන්නද කියා සන්තුෂී ට එක වර සිතා ගත හැකි වූයේ නැත. මුලින් ම ඇය ට සිහි වූයේ තාත්තා ව ය. ඔහු නික්ම ගියේ හදිසි හෘදයාබාධයකින් යයි සිහි වෙත්දී සන්තුෂී ගේ ද පපුව රිදෙන්නට ගත්තා සේ ය.

“පාන්දර ඉඳලමයි තිබුණෙ. මං චූටි නෝනට කතා කරන්න හැදුවට නෝනා ඉඩ දුන්නෑ. මහන්සි වෙලා ඇවිත් චූටි නෝන නිදි ඇති කියල. මං මේ එළි වුණාමයි කතා කළේ”

“හරි නන්දා මං මේ දැන් එනව”

සන්තුෂී නික්ම යන්නට සූදානම් වූයේ කිසිදු සිහියකින් තොරව ය.

“අම්මගෙ පපුව රිදෙනව කියනවලු”

කියා ඇය කල්ප ට කතා කොට කීවා ය.

“ගෑස් වෙන්න ඇති”

ඔහු නොසැලකිලිමත් පිළිතුරක් ලබා දුන්නේ ය. තියුණු බැල්මක් ඔහු වෙතට හෙළු සන්තුෂී සැනෙන් හැරී රිය වෙත ගියා ය. එදා තාත්තා ට හදවත් රෝගයක් සෑදුණු වෙලේ ඇයට මේ තරම් දිරියක් තිබුණේ නැත. රෝහල වෙත ඈ ගෙන යන්නයි කියමින් කල්ප ඉදිරියේ ඇය හැඬුවා ය. කල්ප ට ඇසිල්ලකින් ඒ අතීතය සිහි විය. 

සන්තුෂී යන විටත් ස්වර්ණකාන්ති හිටියේ යහනේ කෙඳිරි ලමිනි. ඇය වහ වහා නන්දාගේ ද උදව් ඇතිව අම්මා ය රියට නංවා ගත්තා ය. ආසන්නයේ ම වන පෞද්ගලික රෝහල කරා රිය පදවන තෙක් සන්තුෂී ගේ හිතට නො සිතුණ දෙයක් නැත. අශුභවාදී සිතිවිලි සිත් හි නැගෙත්දී ඇය වහ වහා ඒ සිතිවිලි යටපත් කොට ගත්තා ය.

“බය වෙන්නෙපා. අම්ම සනීප වෙනව”

ඕ තමන්ගේ ම සිතට එසේ කීවා ය. කිසි සේත් හද ගැස්මේ වේගය අඩු නොවූව ද හැකි තාක් සිහි කල්පනාවෙන් වැඩ කරන්නට ඕ තදින් සිතා ගත්තා ය. නමුත් හිතට නැගි බිය හා තනිය නිසා ම යන ගමන් තප්ති ට ඇමතුමක් දුන්නා ය. තප්ති වරු නිවාඩුවක් දමා රෝහල වෙත ආවේ මෙහෙම වෙලාවක සන්තුෂී කලබල වන බව හොඳට ම දන්නා නිසා ය. 

ස්වර්ණකාන්ති ට ඉක්මන් ප්‍රතිකාර ලබා දිනි. ඊසීජී, රුධිර පීඩනය මැනීම් වැනි දේ වහ වහා සිදු විය. 

“බය වෙන්න දෙයක් නෑ. ලොකුවට අවුලක් නෑ.ප්‍රෙශර් පොඩ්ඩක් වැඩි වෙලා තියෙන්නෙ අම්ම ටිකක් බය වෙලා නිසා වෙන්න ඇති. ඒත් දවසක් දෙකක් ඇඩ්මිට් වෙලා ඉඳං  ට්‍රීට්මන්ට්ස් කරන ගමන් රෙස්ට් කරන්න වෙයි”

අවසානයේ වෛද්‍ය අදහස වූයේ එයයි. හිතට දැනුණේ සහනයක් ද බරක් ද කියන්නට සන්තුෂී දන්නේ නැත. තාත්තා ව බලා ගන්නට බැරි වූ එකේ ඇස් දෙක වාගේ අම්මා රැක ගත යුතු යයි ඇය ඒ වෙලාවේ ස්ථිර තීරණයක් ගත්තා ය. 

“ඔයා සැලෝන් එකට යන්න..නන්දා ඉන්නවනෙ”

කියා කිහිප වරක් ම ස්වර්ණකාන්ති දියණිය දෙස බලා කීවා ය. නමුත් සන්තුෂී ඈ ළඟින් හෙලවුණේ නැත.

මූලික කටයුතු වලින් පස්සේ තප්ති වැඩට ගියේ යළිත් පසු දින රෝහලට එන පොරොන්දුව මත ය. දවල් වී කල්ප ගෙන් ඇමතුමක් ආවේ ය. විස්තර කතා කිරීමෙන් පසු ඔහු දුරකතනය තබන්නට පෙර 

“හවස ගෙදර එනවනෙ…”

කියා ඇසුවේ ය. 

“පිස්සුද…”

සන්තුෂී පිළිතුරු දුන්නේ ඒ වචන ගිලගෙන වාගේ වී ද ඉතා තදිනි.

“ඇයි සර්වන්ට් ඉන්නවනෙ”

“ඉතිං අසනීප අම්මව සර්වන්ට් ළඟ දාල ඇවිත් ඔයාට බත් උයන්න කියලද මට කියන්නෙ…”

ඒ ප්‍රශ්නය අභියෝගාත්මක ය. කවදාවත් ඇය ඔහු වෙත ඒ වාගේ අභියෝගයක් එල්ල කොට නැත. 

“මං ආයෙ අම්මව තනියම ගෙදර දාල ඔහෙ එන්නෙ නෑ කල්ප. කොහොමත් මං ඔහෙ ඉඳං කළේ ඔයාට බත් උයල ඔයාගෙ රෙදි හෝදල වේලල තියන එක විතරනෙ. ඒ ටික කර ගන්න සර්වන්ට් කෙනෙක් ගන්න ඔයාට පුළුවන්නෙ. මට බැරි වුණා තාත්තව බලා ගන්න..අම්මටත් එහෙම වෙන්න ඇරල ආත්ම ගාණකට පසුතැවීමක් ඉතුරු කර ගන්න මට බෑ. ඒක නිසා මීට පස්සෙ මං ඉන්නෙ අම්මත් එක්ක”

“ඕන ම ගු ලක් කර ගන්නව”

කියා කල්ප දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ ය. මොනවා කීවත් සන්තුෂී එසේ කරනු ඇතැයි ඔහු ට සිතිය නො හැකි විණි. ඊට හේතු තිබුණේ ය. කල්පගේ නම හා ඈඳුණු ගැහැනු නම් ගැන ආරංචි මුල සිට ම සන්තුෂී ගේ කනට ආවේ ය. ඒ ගැන රණ්ඩු වීම මුල දී නිතර ම සිදු විය. නමුත් කාලයත් සමග කෙමෙන් ඈ නිහඬ වූවා ය. කල්ප ගේ ජීවිතයට අත පෙවීම තබා ඒ දෙස හැරී බැලීමක් හෝ නො කොට ඇගේ පාඩුවේ සිටියා ය. නමුත් ඔහු හැර යන්නට කවදාවත් උත්සාහ නොකළා ය. එවන් තීරණයක් ගන්නට තරම් ආර්ථික ස්ථාවරයක් ඇයට නැති බව කල්ප හොඳට ම දැන සිටියේ ය..දරුවන් ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වැය විය. ඔවුන් දෙදෙනා ම ජාත්‍යන්තර පාසල් වල උගත් අතර පසුව විදේශ විශ්ව විද්‍යාල වලට අනුයුක්ත වූහ. ඒ වාගේ පවුලකින් බිඳී වෙන් වී යන්නට දිරියක් උපදවා ගත ගැහැනියක ලෙස කල්ප සන්තුෂී ගැන සිතුවේ ම නැත. මේ සිදුවීමේදීත් හිතේ ආවේගයට එසේ කීවාට ඇය එසේ නොකරන බවට විශ්වාසයක් ඔහු ට විය.

අංජන විසින් එවනා ලද ‘ගුඩ් මෝනිං’ පණිවිඩයක් සන්තුෂී දුටුවේ එදා හැන්දෑවේ ය. ඒ උදේ අඩු නින්දකින් වී ද අවදි වෙත්දී ඔහු ගේ සිතේ සංවේගය අතරේ කැලතුණ සන්තෝසයක් හැඳින ගන්නට අංජන සමත් වූයේ ය. ඒ සන්තෝසය අතීතයේ ඔහු යෞවනයෙකුව සිටි යුගයේ හදවතට පුරුදු ව තිබි එකක් බව වහා ඔහු ට සිහි විය. ඒ සතුට හදවතින් බදා වැළඳ ගන්නවා මිස ඉන් පැන දිවීමේ හේතුවක් ඔහු වෙත වූයේ නැත. ඒ ගුඩ් මෝනිං පණිවිඩය උදෑසන ප්‍රහර්ශය සමගින් තැබූ එකක් වන අතර, සන්තුෂී එය දැක හෝ නොතිබීම මත ඇය කාර්ය බහුලව ඇත යන නිගමනයට එන්නට ඔහු වඩා කැමති විය. හැන්දෑවේ ඇගේ නමින් දුරකතනය හැඬවෙත්දී අර අතීත සතුට යළිදු හිතෙන් හිස ඔසවාන නැගී සිටියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles