රාත්‍රිය වඩාත් සෞම්‍ය විය. සුවදායක විය. සිහිලැල් විය. පින්නේ නැහැවෙමින් ද ලා සඳ එළියක කිරණේ කිමිදෙමින් ද ඔවුහු බෝ රැයක් වන තුරු පිය බස් තෙපලමින් සිටියහ. වචන හරියට ම මතක නැති ගීයක් මගට ගයා ඉතිරිය සිහි කොට ගත නොහී සිනහ වූහ. බීර සුවඳ ඉහිරිණි. ඒ සුවඳේ මිහිරි තිත්තක් සයුරංගනා අත්වින්දා ය. විතක් තොල නොගෑවේ ඇය විතර ය. නමුත් ඒ තෙපුල් වල වූ මිහිරෙන් ඇය මත් ව සිටියා ය. තම තමන්ගේ ළමා වියෙහි වූ සිදුවීම් ගැන උන් හිටි ගමන් හැම කෙනෙකුට ම මතක් වී තිබුණේ ඇයිද කියා කිව නොහැක. ඔවුහු බීර තරමට ම ඒ අතීත කතා රස වින්දහ. ජයරත්න ද වෙනදාට වැඩිය දොඩමළු වූයේ ය. තුරුණුවන් ගේ වයසට වැටී සිය වයස අමතක කොට දමන්නට ඔහු ට හැකි වී තිබිණ.
“සයූ පෝක් කන්නෑ නේද…සයූ බීෆ් කන්නෑ නේද…”යනාදී වශයෙන් යශෝදර හැම මොහොතක ම අමතක නොකොට සයුරංගනා ගැන සොයා බැලුවේ ය. ඇය රිසි යමක් ඇනවුම් කළේ ය. ඔවුන්ට බීර ඇනවුම් කරත්දී විශේෂවෙන් සයුරංගනා වෙනුවෙන් ඇපල් යුෂ ගෙන්වූයේ ය.
“ඇපල් ජූස්නං අපිත් බොනව…බියර් බිව්වට මොකෝ”
කියා පාරමී විහිළුවක් කළ විට “ඒක සයූට” කියා ඇයට සැර වූයේ ය. බීර විතක ලා මත් බව තුළ ඔහු ගේ දෑස් වලින් ප්‍රේමය කාන්දු වෙන්නට පටන් ගෙන තිබිණ. වචන දහස් ගණනකින් දැනවිය නොහැකි ප්‍රේමයක් ඔහු ගේ ඇස් මත දොඩමළු වී තිබුණේ ය. සයුරංගනා පුළුවන් තරම් ඒ ඇස් වලින් ප්‍රවේසම් වී සිටියා ය. ඒ ඇස් මගහැර ප්‍රශ්නයකට වුව පිළිතුරු දුන්නා ය.
එසඳි ටික වෙලාවකට පස්සේ සයුරංගනා ගේ උකුල මත ම නිදන්නට වූවා ය. ඇගේ හිස සයුරංගනා ගේ වම් වැලමිට සන්ධිය තුළ ය. ඇය මහත් වූ ස්නේහයකින් දියණිය උකුලේ තියා ගෙන සිටියා ය. නමුත් වෙලාව ගත වන විට වම් අත ඇදුම් කෑවේ ය. කාමරයෙහි යහන මත එසඳි තනි කොට එන්නට ඇයට සිත් දුන්නේ නැත. විනෝද සුවයක සිටිනා පාරමීගෙන් වුව උදව්වක් ඉල්ලන්නට සයුරංගනා ට සිතුණේ නැත.
“දෙන්න මං ටිකක් තියාගන්නං”
කියමින් සාමීචිය අතරේ දී යශෝදර විත් එසඳි ඔහු ගේ උකුලට ගත්තේ ය. ඇස් හැර බැලූ දැරිය ඈ සුරක්ෂිත බව දැන යළිත් නින්දට පිවිසියා ය. සයුරංගනා වම් අත දිගහැරියේ අසීරුවෙනි. එය හිරිවැටී තිබිණ. යශෝදර ගේ ඇස් වල වූයේ “කියන්නෙපැයි අමාරුයි කියල” වැනි තරවටු බැල්මකි. සයුරංගනා සිනහවකට අරාඳිමින් ඉවත බැලුවා ය.
මේ පිය තෙපුල් ද මේ මධු සුවඳ ද ඇයට එදා රාත්‍රිය සිහි කරයි. එදා ගිම්හාන් ද සිටියේ ය. මේ විදිහට ම යශෝදර ද තේමිය ද පාරමී ද අප්පච්චී ද යශෝදර ගේ පියා ද සමගින් එදා ඔහු ද සව්දිය පිරුවේ ය. මල්කාන්ති කටගැස්ම තැනුවා ය. සයුරංගනා මේ වගේ ම පුටුවකට වී ඔවුන් දෙස බලා සිටියා ය. නමුත් අද හිතේ තිබෙන බර එදා දැනුණේ නැත. අද දැනී නො දැනී තිබෙන රසවත්කම, එදා ඇය හැඳිනගෙන තිබුණේවත් නැත!
“ගිම්හාන් නැති වුණේ මේ වගේම ඕගොල්ලොත් එක්ක කතා කර කර ඉඳල ගිහිංනෙ”
ඇයට ඒ මතකය හිතේ හිර කර ගෙන ඉන්නට හිතුණේ නැත. මේ පරණ වේදනාවන් හෑරීමට මොහොතක් නොවන නමුත්, ගිම්හාන් අමතක ම කොට දමන්නට බැරි ය. ඇගේ හදවතේ මතක වලින් බාගයකටත් වැඩිය ඔහු සමගින් බැඳුණු ඒවා වේ. ඒ තැන් වල හද ගැස්මක් නොවුනාට සාමයක් තිබිණ. නිවීමක් තිබිණ.
උගුර යටින් වාගේ සයුරංගනා කී වදන් නිසා සාමීචිය මඳකට නැවතිණ. සුළඟ ගී ගයනා හඬ පමණක් සවන් පුරා ඇසුණේ ය. නමුත් හැම කෙනෙකු ගේ ම හදවත් තුළ සයුරංගනා ගේ වදන් නිම්නාද වන්නට විය. ඔවුහු මඳ වෙලාවක් යළි යළිත් ඒ හඬට සවන් යොමා ගෙන සිටියහ. ගිම්හාන් සිනහ වෙවී ඔවුන් ඉදිරියේ සිටියේ ය.
“ඒක වෙන්න තිබුණ දෙයක් දුව. ඒක අපි කාටත් දරා ගන්න ලේසි දෙයක් නෙවෙයි තමයි. ඒත් අපිට ඒක ඇතුළට වෙලා විඳව විඳව ඉන්න බෑ. ගිම්හාන් නැතිවුණා කියන ඇත්තට අපි මූණ දෙන්න ඕන. අවුරුදු ගාණක් එකට ජීවත් වුණ මනුස්සයෙක් එක්ක තියන මතක ගොඩක් වළදාන්න බෑ තමයි. හැබැයි ඒ මතක එක්ක ජීවත් වෙන එක තේරුමක් නෑ කියන එක හෙමි හෙමිහිටවත් තේරුං ගන්න ඕනෙ. දුව හිත හයිය කරගෙන ජීවිතේ ඉස්සරහට යන්න තීරණේ කළා වගේම…ගිම්හාන් ගැන මතක හිතේ පැත්තකට කරල අලුත් මතක වලට එතනට එන්න ඉඩ හදල දෙන්න ඕනෙ. මිට මොළවගෙන ඉන්නකල් අපිට දේකින් දුරස් වෙන්න බෑ. මිට නිදහස් කළාම එයත් නිදහස් අපිත් නිදහස්. වැඩේ වෙලා තියෙන්නෙ…සමාජෙ අපි මත පටෝන පීඩනේට මූණ දෙන්න අපිට තියන බය. මිනිහ මැරිච්ච ගෑනියෙක් සුදු ඇඳගෙන මළමිණියක් වගේ ජීවත් වෙන්න ඕනයි කියල බලාපොරොත්තු වෙන සමාජෙට උත්තර දෙන්න තියන බය. මහ ගල් පලාගෙනත් ගස් වැවෙනව දුව. පරණ නගර වැහිල යන්න ජලාශ හදනව. අපිට අතීතෙං වගේම අනාගතේනුත් පැනල යන්න බෑ. දේවල් සිද්ද වෙන්න අරින එකයි හොඳම දේ”
ඒ කතා කළේ ගිම්හාන් ද කියා සයුරංගනා ට සිතුණ තරමි. අප්පච්චි ගේ මුවින් නැගුණේ ගිම්හාන් ගේ හඬ ම ය. ඇගේ තොල් කොනක් වෙව්ලා ගියේ ය. ඇස් අග පේශි ගැහිණ.
“නෑ අංකල්..”
යශෝදර උගුර යටින් කතා කළේ ය. හැම නෙතක් ම ඔහු වෙතට හැරවිණ. අමුතු දැවිල්ලක් සයුරංගනා ගේ පපුවෙහි පැතිරෙනු ඇය මොහොතකට අත්වින්දා ය.
“ඒ මතක වලින් හැංගෙන්නවත් අමතක කරන්නවත් මහන්සි නොවී ඉන්න එක තමයි හොඳම දේ. අපි මැරිල ඉපදුණත් නෙවේනෙ. දෙයක් අමතක කරන්න මහන්සි වෙන තරමට මතක් වෙනවත් වැඩී. කොහොමත් අපිට ගිම්හාන් අමතක කරන්න ඕන්නෑ. ඌ අපේ පපු වල ඉන්නව. ඌ එහෙම හුස්ම ගත්තදෙන්. ඌ මැරුන කියල අපිට බෑ අපේ පපුව ඇතුළෙත් ඌ මරල දාන්න. ගිම්හාන් මගෙ යාළුව. ඉන්න තැනක ඉන්න හැටියකට ගිම්හාන් හිටපුදෙන්. සයූ…ඔයාට ගිම්හාන් ගැන මතක් වෙන ඕන දෙයක් කියන්න…මට පුළුවන් අහන් ඉන්න”
“අයි..යෙ…”
පාරමී යශෝදර ගේ දෙඋරහිස් වටා දෑත් යවා ඔහු බදාගත්තා ය. යශෝදර අතැඟිලි වලින් ඇස් කෙවෙනි මිරිකා හළේ ය.
“හරි හරි…මේ…අපි සින්දුවක් කියමුද…මොකද්ද ගහන්නෙ…”
තේමිය මාතෘකාව වෙනස් කිරීමේ උත්සාහයක් ගත්තේ ය.
“අංකල් අපි මිල්ටන්ගෙ එකක් අල්ලමුද…”
ඔහු තාලය අල්ලමින් ගී පද මෙනෙහි කර ගත්තේ ය.
“අඩකී පිරිලා ඇත්තේ රස මිහිර ජීවිතේ…පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ..පිටුපෑමට ලං වීමට භවයේ වරින් වරේ..එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ…”
ජයරත්න ද තේමිය ට හවුල් වූයේ ය.
“සුරැකීමට හෝ නැති වී යනු පිණිස මා කෙරේ..එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ…”
හිතට බරක් ද සැහැල්ලුවක් ද කැඳවූ, රසයෙන් ද මිහිරෙන් ද කැළතුණ හෝරා කිහිපයකට පසු ඔවුහු නිදි සුව වෙනුවෙන් සාමීචිය හමාර කළහ. වෙන් කර ගෙන තිබුණේ කාමර දෙකකි. එකක් සයුරංගනා, පාරමී හා එසඳි වෙනුවෙනි. අනෙක පිරිමින් තිදෙනා වෙනුවෙනි. ජයරත්න හා තේමිය ඔවුන්ගේ කාමරය වෙත යත්දී යශෝදර එසඳි වඩා ගෙන කාන්තාවන් වෙනුවෙන් වෙන්වූ කාමරයට ආවේ ය. ඒ එන ගමන් ම පාරමී කාමරයට ඇලලූ නාන කාමරයට වැදුණා ය. යශෝදර යහන මතින් එසඳි ව තබා ඊළඟට ඇදෙස මොහොතක් බලා හිඳ කම්මුලක හාදුවක් තැබුවේ ය. හිස පිරිමැදගෙන ම යහන මතින් නැගී සිටියේ ය. අනුන්ගේ දරුවෙකුට එහෙම සෙනෙහස දිය හැකි මේ අසීමිත මිනිසා දෙස සයුරංගනා බලා සිටියේ අප්‍රමාණ ඇස් දෙකකිනි. ඒ වෙලාවේ ඇගේ ඇස් කතා කරන්නට ඇත. යශෝදර මොහොතක් නතර වී ඒ මූණ දෙස බැලුවේ ය.ඒ මොහොතේ ඔහුට දැනුණා වූ කිසිත් හංගා ගන්නට ඔහු ට ඕනෑ වූයේ නැත. ඇසින් ඇයට ළඟට කතා කරමින් ම ඔහු ඈ වැළඳ ගත්තේ ය. සයුරංගනා ගේ දෑත් යශෝදර ගේ බඳ වටා ගියේ ඇයත් නොදැනී ය. ඇගේ දෑස් පියැවී තිබිණ. යශෝදර සිය රැවුල් කොට සහිත නිකට සයුරංගනා ගේ හිස මත තද කොට ගත්තේ ය. ඒ අත් හතර අතර සීමාවේ විශ්වය තුළ වන හැම සුවයක් ම තිබිණ. හැම උණුහුමක් ම තිබිණ.
පාරමී නාන කාමරයට වී කල් මැරුවේ හිතා මතා ම ය. අයියාටත් සයුරංගනා ටත් ඔවුන්ගේ වූ මොහොතක් උවමනා බව ඇයට දැනෙමින් තිබුණා වූ බැවිනි.
ඕනෑ තරම් වෙලාවක් යශෝදර ගේ දෑතත් පපුවත් අතර සුව යහනාවේ ගිමන් හරින්නට හැකි බව සයුරංගනා දැන සිටියා ය. නමුත් නාන කාමරයට ගිය පාරමී දැන් දැන් එන්නට පිළිවන් යයි සිහි වූ ගමන් ඇය ඉක්මන් කොට යශෝදර වෙතින් මිදුණා ය. එතකොටත් සැලකිය යුතු විනාඩි ගණනක් ගෙවී ගොස් තිබිණ. ඔහු ගේ ඇස් මත්තේ දඩබ්බරකමක සෙවනැලි පතිත වී තිබිණ. සයුරංගනා හෙමිහිට ඉවත බැලුවා ය. එතකොට ම නාන කාමරයේ දොර විවර විය.
“ආ…මෙයා තාමත් මෙහෙද…මං හිතුව දැං ගිහිං නිදිත් ඇති කියල”
පාරමී විහිළුවක් කළා ය. සිනහව තද කර ගෙන සයුරංගනා ඉවතට හැරුණා ය.
“මං බැලුවෙ මේකෙම නිදාගන්න කියල…ඇයි අවුල්ද…”
“නෑ නෑ කිසි අවුලක් නෑ. පොඩ්ඩක් ඉන්නව මං කොට්ටෙ අරං පොඩ්ඩගෙ ඇඳට යනකල්”
ඒ විහිළු සයුරංගනා ට නම් දරා ගත නො හැකි තරම් වූයේ ය. යශෝදර නික්ම ගිය පසු යහනට වැටුණාට නින්ද අසලකවත් නැති බව ඇයට දැනිණ.
“අපේ අයිය නරක මිනිහෙක් නෙවේ රංගි”
පාරමී කෙලින් ම යෙහෙළිය සමග මේ මාතෘකාවට එළඹි ප්‍රථම අවස්ථාව මෙයයි.
“පා..රි…කව්ද කිව්වෙ එහෙම..”
“අපේ අම්ම වුණත් නරක කෙනෙක් නෙවේ. කොටිංම ගිම්හාන් අයියගෙ අම්ම වගේ නෑ”
“මං දන්නව අනේ…”
“අපි ඔක්කොමල ඔයාටයි එසඳි බබාටයි හරි ආදරෙයි. අයිය ළඟට එන්න දෙපාරක් හිතන්නෙපා රංගි”
සයුරංගනා මොහොතකට නිහඬ වූවා ය. බලාපොරොත්තු නොවූ රිදුමක් හුම්මානයක් සේ උගුරෙන් පැන නැංගේ ය.
“දෙපාරක් නෙවෙයි දහස් වතාවක් හිතුවත් මදි රංගි”
“මිනිස්සුන්ට කුදගහගන්න කියමු”
“අනේ මං ඕගොල්ලොංගෙ ආදරේට ලෝබයි”
“ගිම්හාන් අයිය ඔයාව අපිට දීල ගිහින් තියෙන්නෙ. මං හැමදාම අයියගෙ පැත්තෙ. අයිය සතුටෙන් ඉන්නයි ඕනෙ”
“අනේ පාරි”
සයුරංගනා ගේ ඇස් කෙවෙනි වලින් පැන ගත් කඳුළු කඳුරු දෙකක් සීතලට පහළට රූරා ගියේ ය.