මල් තුහින -28

ඈ ගමන් කලා ද පියෑඹුවා ද යන්න ගැන මලිතිට සැබෑවටම හැඟීමක් නොවිණ. ලෙයින් පෙඟුණු ශේන්යා දෝතට ගත් ඇය උස් හඬින් කෑගසමින් සිටියා ය. වීදුරු බිත්තියෙන් එපිට ලෝකය ගැන විපරම් කළ රුවිනි ද ආරක්ෂක නිලධාරියාගේ හඬ ගෑම නිසා කලබල වූ සෙස්සන් ද තුහිනගේ මිදුලේ පිරෙන්නට වැඩි වෙලාවක් ගත නොවී ය.

සමහර කලබල අවස්ථා කළුසුදු චිත්‍රපටි වාගේ ය. වර්ණ රහිත වුවත් මතකයෙන් ගිලිහී නොයන තරම් තදින් හදවතේ රැඳෙයි.

මලිතිගේ ලා නිල් පැහැ ඇඳුම ලෙයින් පෙඟෙද්දී දැරියගේ හිස තුවාල වී ඇති අන්දම සොයා ගත්තේ රුවිනි ය. ඇය දෑස් ඉදිරිපිට මිනීමැරුමක් වුවත් කලබල නොවී හිඳින්නට දන්නා ගැහැනියකි.

“මට හිතෙනව මට අම්මා කෙනෙක් වෙන්න පුලුවන් කියලා.”

මලිති එසේ පැවසූ අන්දම රුවිනි සිහි කළේ කඩිමුඩියේ ආ රනුක ඔහුගේ රථයට දැරිය නංවා ගන්නැයි කෑගසද්දී ය.

“අම්මා කෙනෙක් මේ වගේ වෙලාවක කලබල වුණාට හොඳ සිහියෙන් ඉන්නව.”

රුවිනි ශේන්යා තුරුලට ගෙන මෝටර් රථයට ගොඩ වෙන මලිතිට එසේ මිමිණුවා ය.කුඩා දරුවන් තරම් අනතුරු කරගන්නට රුසියන් කොහේවත් නැත. මේ වාගේ අවස්ථා අම්මා කෙනෙකුට දරා ගන්නටම සිදු වේ. කුසයෙන් නොවැදූ සිඟිත්තිය වෙනුවෙන් හිස හිරි වැටී තිබියදී මලිති ඈ තුරුළු කරගෙනම බලා සිටියා ය.රනුක නැවතුණේ පුද්ගලික රෝහලක ය.දියණිය රෝහලට ඇතුළත් කළ පසු මලිති පුටුවකට ඇද වැටුණා ය. ඇගේ දිගු ගවුමේ ලේ පැල්ලම් ය. ඒවා ගලා ගියේ කුඩා ශරීරයකිනි. තමන්ගේ සිරුරේ ඇති ලේ සියල්ලම ලබා දී හෝ දැරිය බේරා ගන්නට මලිතිට සිතේ.

“ඔපරේෂන් තියටර් ගත්තට ලොකු තුවාලයක් නම් නෙවේ.ඔලුව පොඩ්ඩක් පැලිලා. පොඩි එකානෙ. ඒකයි ඔය.”

රනුක දෙමිතුරියන්ටත් ඉකි බිඳින අත්තම්මාටත් ඇසෙන්නට කීවේ ය. 

“මං තුහිනයට කෝල් කරා.බබා වැටිලා දතක් කැඩිල කියල කිව්වේ..තියන ප්‍රශ්න ඇති. මට එයා තව රූම් එකක ඇඩ්මිට් කරලා ඉන්නව බලන්න ඕන නෑ.”

කතා කරන්නේ රනුක පමණි. හදවත වේගයෙන් ගැහෙන්නට ඉඩ හැර මලිති ඔහේ බලා සිටියා ය.

තාත්තා කෙනෙකුගේ ආවේගය පිට වූයේ තුහිනගේ පැමිණීමෙන් ඉනික්බිතිව ය. ඔහු කලබලයට පත්ව අම්මාට පවා කෑගැසී ය. 

“පොඩි දරුවෙක් කියන්නේ හැරෙනකොට තුවාල කරගන්න අඬු කඩාගන්න කෙනෙක් තුහින. ඒ දරුවා මලක් වගේ රකින අම්මට කෑගහන්න එපා බොරුවට.”

ගල් වී සිටි මලිති කතා කළේ බොහෝ වෙලාවකට පසු ය. ඇගේ කෝපාන්විත හඬ තුහින නිහඬ කළේ ය. දෑස් පුරවා ගත් ඔහු ඔහේ බලා ඉන්නට ගත්තේ ඉන් පසුව ය.

“කෙල්ලගෙ කොන්ඩෙ කපලා තුවාලෙ මහපු එක ඇරුණම කිසිම හානියක් නෑ බං. ඩොක්ට මගේ ෆිට් එකක්. මම ඇත්තම අහගත්තා. කිසිම අවුලක් නැහැ. තුවාලෙ වේදනාවට දරුවා ටික දවසක් කලබල කරයි. එච්චරයි.”

රනුක පවසන්නේ තුහිනගේ උරහිසට තට්ටුවක් දමමිනි. ආකාසයෙන් බැස මහ පොළොවට එන්නට නොදන්නා ගැහැනියකගේ පුතෙකු මේ තරම් මනුෂ්‍යත්වයෙන් පිරී සිටීමම සහනයක් බව මලිතිට සිතිණ. ඇය ඔහු දෙස බැලුවේ ස්තූතිය පිරුණු හඬකිනි.

“තුහින”

මිනිත්තු කටුව කැරකෙන්නට හැර රුවිනි ඔහුව ඇමතුවේ සංයමයෙනි. තුහින හැරී බැලුවේ ය. ශේන්යා තව ටික වෙලාවකින් රෝහල් කාමරයට රැගෙන එනු ඇත.

“උත්පලාට කියන්න වෙයි.”

රුවිනිගේ හඬ මන්ද්‍ර ය. එහෙත් තියුණු ය.

“මොකටද රුවිනි.”

තුහින නොකැමැත්තෙන් හිස ගැසුවේ ය.

“ඒ ශේන්යගෙ අම්මා නිසා.”

අමතක කරන්නට අසීරු සත්‍යය රුවිනි පැහැදුවා ය. මලිතිගේ ගවොම පුරා ඇති ලේ පැල්ලම් දෙස බලමින් තුහින නිහඬවම සිටියේ ය. කියන්නට සිතෙන සෑම දෙයක්ම පවසන්නට ඔහුට සිත නොවේ.

“ලේ පෙරාගෙන මගෙ කෙල්ලව හොස්පිටල් ගෙනාවේ ඔයාලා. එතන ඔයාලගෙ ඔෆිස් එක නොතිබ්බනම් අම්මා මොනව කරගනීද?”

ඔහු වඩා සංයමයෙන් වචන කියන්නට විය. ලේ වැකුණු ඇඳුමෙන් හිඳින්නී මලිති ය. අම්මාගේවත් එවැනි සලකුණු නැත. කලබල මුහුණ අයිති ද ඇයට ය.

“බබාගේ අම්මි,චුට්ටක් එන්න.”

තරුණ වෛද්‍යවරියක ඇමතුවේ ඒ මොහොතේ ම ය. ලේ වැකුණු ඇඳුමින් අවුල් වූ හිසින් ආලේපන මැකුණු වේදනාබර මුහුණකින් හිඳින්නේ අම්මා බව වෛද්‍යවරියට සැක නොවිණ. මලිති නැඟී සිටින්නට හදද්දීම ඈ රුවිනිගේ තද අතට හසු විණ. නැගිට්ටේ රුවිනි ය.

“බබාගේ අම්මි මෙතන නෑනෙ ඩොක්ට. මේ තාත්ති. මේ අත්තම්මා. අපි එයා ඇක්සිඩන්ට් වුණු වෙලාවෙ එක්කන් ආව නේබර්ස්ලා.”

අයිතිය තහවුරු කරගන්නා තුරු මලිති අම්මා වන්නට ඕනෑ නැත. එය රුවිනිගේ තීරණයකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles