මල් තුහින – 35

“ඔයා මට අවුරුදු ගානකට කලින් මඟ ඇරුණා. අවුරුදු ගානකට කලින් ඔයා මාව ප්‍රතික්ෂේප කරපු විදිය අන්තිම කැතයි කියන එක මට ඇත්තටම හිතින් මකා ගන්න ගොඩක් කල් ගියා. ඒත් ඔයාටත් ඔයාට ඕන වුණු ආදරේ ලැබුණේ නෑ නේද? නුවන් ඔයාගේ ආදරේ බාරගත්තේ නෑ. ඔයා නවීන් එක්ක ඉන්නෙත් සතුටින් නෙවෙයිනෙ.

මට ඔයාගේ හැඟීම් තේරෙනවා. ඔයා කැමතිද මගෙ දරුවට අම්මෙක් වෙන්න?”

ඒ පණිවිඩය එසේ නොපැමිණියානම් හොඳ බව මලිති සිතුවේ කීවැනි වතාවටදැයි ඇයටම මතක නැත. නමුත් ඇයට දැනෙන්නේ වේදනාවකි. ඒ පණිවිඩය ඉතා ආත්මාර්ථකාමී බව ඇයට සිතේ.

“මගේ ජීවිතේ පුදුමාකාර අවුලක් වෙලා තිබ්බ කාලෙ මට හිටියෙ කවුද කියලා මට මතකයි. අන්න ඒ නිසයි මං මේ පාන්දර ඇහැරෙන්නේ.”

රුවිනි මිතුරියගේ කෙටි පණිවිඩ වලට ඇහැරී එසේ එවා තිබුණා ය. මලිතිට කඳුළු අතරින් සිනා ඉපදිණ.ඕනෑම් කරදරකාරී අවස්ථාවකදී සිනාවක් සොයාදෙන මන්තරය දන්නී රුවිනි බව ඇය හොඳින්ම දැන සිටියා ය.

“ඔයාට ශේන්යට අම්මා වෙන්න ඕන වුණානෙ? නැද්ද? “

රුවිනි අසයි. එසේ  වීම සැබෑවකි. නමුත් ආදරය කරන බව පවසන්නට ප්‍රථම තුහින මෙසේ ඇසීම මලිතිට සතුටක් නොවේ.

“ඔයා කැමතිද මගේ බබාලගෙ අම්මා වෙන්න කියලා ඉස්කෝලෙ යන කාලෙ ලියුංවල තිබ්බම ඒක මාර සතුටක් වෙලා මේක මහ අසාධාරණයක් කියලා හිතන්නෙ කොහොමද බං. තුහිනට කොහොමත් ළමයෙක් ඉන්නවනෙ. ඉතිං ඒ ළමයගෙ අම්මා වෙනවද කියලා තමා ඔය අහන්නෙ.ඒකෙ වරද මොකක්ද?”

මලිති එහි වරද ගැන සිතුවා ය. එකාතකට එහි පෙනෙන තරම් වරදක් ද නොවේ.

“මේ අපේ විදිය.ලැබෙනකම් බලන් ඉන්න සමහර දේවල් ලැබෙනව කියලා දැනගත්තට පස්සෙ අපි කරන්නෙ එහෙම වෙන්න පුලුවන්ද හිතන එකයි ඒකෙ වැරදි අඩුපාඩු හොයන එකයි. ඕන දෙයක් ලැබෙයිද ලැබෙයිද කියලා හිතනකොට තියන තිගැස්ම ලබා ගත්තට පස්සෙ නෑ. ආදරෙත් එච්චරයි.”

ඒ කතාව සමඟ සහමුලින්ම එකඟ වන්නට නොහැකි වුණත් මලිති අසා සිටියා ය. අනතුරුව ඇය සිතන දේ කියන්නට සිතුවා ය.

“තුහින මේ වෙලාවේ කරන්නෙ හිස්තැනක් පුරවා ගන්න හදන එක කියල මට හිතෙනව.”

රුවිනි මුලින්ම සිනා මුහුණු කිහිපයක් එවූවා ය. අනතුරුව ඇය යමක් ලියන අන්දම පෙනෙන්නට විය.

“ආදරේ කියන්නෙ හිතේ තියෙන හිස්තැනක් පුරවාගන්න එකට තමයි. හිතේ තියෙන හිස්තැන්  ජීවිතේ තියෙන හිස්තැන් පිරෙන හින්ද අපි ආදරේ කරනවා.”

නමුත් තුහිනට ආදරය කරන්නට හදිසි නොවෙන්නැයි තමන්ට මුලින්ම පැවසුවේ රුවිනි බව මලිතිට අමතක නොවේ. 

“ඔයාලා දෙන්නම ඉන්නෙ හොඳටම රිදෙන හින්දා හදිසි තීරණ ගන්න එපා. මෙච්චර දවසක් තුහින ඕනෙමයි කියලා ඔයාට හිතුනට දැන් හිතෙන්නේ එයාව ඕනෙ නෑ කියලනම් ඔයාට පුලුවන් එයාට ඒක කියන්න.”

රුවිනි කියන තරමට එය පහසුදැයි මලිති සිතුවා ය. දාහත් හැවිරිදි යෞවනියක කාලයේ කළ ප්‍රතික්ෂේප කිරීම තිස් වියැති ගැහැනියකට පහසු නැත. අනෙක් අතට ප්‍රේමයෙන් පරාජය වී ජීවිතය අත් හරින්නට සිතමින් සිටින මොහොතක ජීවත් වන්නට හේතු සැපයුවේ ඔහු බව අමතක කරන්නට නොහැකි ය.

“කාලය තමයි බේත. ඔයා ඕකට හා කියලා හෙට ගිහිං තුහිනලගෙ ගෙදර නවතින්න ඕන නෑනෙ. නවීන්ව අයින් කරන්න ඔයාට කාලයක් යනව.උත්පලාව හැන්ඩ්ල් කරන්න තුහිනට කොහොමත් කාලයක් යනවා. අන්න ඒ නිසා ඔයා කාලෙට ඉඩ දෙන්න.”

අවසානයේ විසඳුම සොයා දුන්නේ ද රුවිනි  ය. දික්කසාද නඩුවක සම විත්තිය වන්නට මලිතිට ඕනෑ නැත. කොහොමටත් නවීන් දැනටමත් හිඳින්නේ රනුක ගැන සැකයෙනි. එහෙව් මොහොතක ප්‍රශ්න අවුළුවා ගැනීම අනුවණ වැඩකි.රුවිනි සමඟ කතාබහෙන් පසු මලිති ඇගේ දිනපොත දිග හැර ගත්තා ය. නමුත් කිසිවක්ම ලියන්නට වචන නොවේ. ප්‍රේමය කියන්නේ ඇතැම් මොහොතක ගල් ගැසී හිඳීමදැයි ඇය අනතුරුව සිතන්නට පටන් ගත්තා ය.

“තුහින, මං ශේන්යාට ආදරෙයි. උත්පලාගෙ ව්ලොග්ස් බලන කාලේ ඉඳලම ආදරෙයි. කොහොමටත් අපිට මහන්සි දැනුණම ඔයාගේ ගෙදර දිහා බලාගෙන දූගේ දඟ වැඩ බලන එක අපේ පුරුද්දක් වෙලා තිබුණේ. එදා මම තට්ටු ගාණක් බැහැලා දුවපු විදිය ගැන අදටත් මට හරියට මතක නෑ. දූට ආදරේ නැත්නම් ඒ විදිහට හැසිරෙන්න බෑ කියලා මට හිතෙනවා. මට නවීන්ගෙ දරුවෙක්ට අම්මා වෙන හීනයක් දැන් ඉතුරු වෙලා ම නැති තරම්. ඒ වුණත් ශේන්යාට හම්බ වෙන්න කලින් මං ඔයාට ආදරේ කරන්න ඕනි නේද? මේ වෙච්චි දේවල් එක්ක මං මහම මහ හිස් කෙනෙක් වෙලා කියලා මට හිතෙනවා.දරුවෙක්ට යාළුවෙක්ට දෙන්න ආදරෙයි තුළ වෙලා තිබ්බට පාට්නර් කෙනෙක්ට දෙන්න ආදරයක් මගේ ළඟ තියෙනවද කියලා මම ඇත්තටම හිතන්න ඕන. රුවිනි මං ළඟ ඉන්නව තරම්ම යාලුකමකින් ඔයත් දුවත් ලග ඉන්න මම පොරොන්දු වෙනවා. ඒත් එකපාරට ගහෙන් ගෙඩි එනවා වගේ ඔයාට ආදරේ කරන්න මට බෑ. මට කාලය දෙන්න. ඒ කාලේ අපේ ප්‍රශ්න විසඳයි. අපි දෙන්නා ළං වෙන්න ඕනද කියලා තීරණය කරයි.”

ඒ දිගු වට්ස් ඇප් පණිවිඩය තුහිනට ලියූ මලිති නින්දට යන්නට සිතුවා ය.නිදිමරමින් කල්පනා කිරීම දෛනික ජීවිතය අඩපණ කරනවා විනා ප්‍රශ්න විසඳන්නේ නැති බව දැන් ඇය තේරුම් ගනිමින් හිඳින්නී ය.සමහරවිට කාලය සියල්ලම විසඳා දෙන බව විශ්වාස කරන්නට ඇයට ඕනෑ විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles