මල් තුහින -40

“තුහින කියලා තියන දේවල් හරි”

රුවිනි නම් ඉතා පැහැදිලිව පැවසී ය. ආදරය අවසන් වී ගිය ද බැඳීම් ඉතිරිව ගිය පසු සමහර අවස්ථාවලදී මිදී යාම අපහසු ය. මලිති ගෙවන්නේ එහෙම කාලයකි.

“ඔයා තාමත් නවීන්ට ආදරෙයි. මමත් ඒක නම් දිගටම කියනව. ඒත් වේදනාවට ආදරේ කරලා තේරුමක් නෑ කියලා ඔයාට දැන් තේරෙනවනෙ.”

රුවිනි එසේ කියද්දී මලිති කිසිවක්ම නොපවසා ඉන්නට සිතුවා ය. නවීන් හන්දා හදවත රිදී බිඳී යන බව ඇත්තකි. ඔහුගෙන් මිදුණු පසු ඔහු තනිකම දරා ගන්නේ කෙසේදැයි සිතද්දී ඇගේ හදවත ගැලවී යන තරමේ වේදනාවක් මලිතිට දැනේ. ආදරය ගිනි ජාලාවක් වී ඇයව දැවෙමින් තිබේ. මේ වේදනාවෙන් ගැලවීම පහසු නොවේ.

“ෆීනික්ස් කෙනෙක් වෙලා නැගිටින්න ගියාට සමහර වෙලාවට අපි ගින්නට පිච්චෙනවා. අපි ගෑනුනෙ. රිදෙනවත් වැඩී. ඒත් හැමදාම රිද්දා ගන්න බෑ කියලා මතක තියාගන්නකො.”

රුවිනි කතාව අවසන් කළේ එසේ ය.

තුහින සමඟ කතාබහ හන්දා මලිති සෑහෙන තරමකට සන්සුන් වී සිටියා ය. ඔහුගේ ආදරය පිළිගන්නට තරම් ඇයට සිතේ. එහෙත් ඔහු තවමත් උත්පලාගේ සැමියා ය.ඇය තවමත් නවීන්ගේ බිරිඳ ය. ආදරයට සීමා මායිම් නොතිබුණද ගැටළුව සංකීර්ණ කරගත යුතු වන්නේ නැත.

“ආදරේ කරනව කසාද බඳිනවා වගේම නොගැළපෙනවානම් ඈත් වෙන එකත් මිනිස්සු කරන දෙයක්නෙ පුතේ. ප්‍රශ්නයක් තියනවනම් ඔයාට පුලුවන් තීරණයක් ගන්න. සදාකාලෙටම රිද්දා ගන්න උවමනාවක් නෑනෙ.”

සුදු අම්මා මලිතිට එසේ කියන්නේ ඇගේ හදවතේ තිබූ සුවිශාලම වේදනාව බිම තබන්නට උදව් දෙමිනි.

“ඔයා හරි නංගි හරි ජීවිතේ ගැන තීරණයක් ගන්න එක මංවත් තාත්තවත් පපුවෙ අමාරු හදාගන්න කාරණාවක් නෙවෙයි. එහෙම පටු විදියට අපි ගැන බලන්න ඕන නෑ.”

ඇය ඉනික්බිතිව කීවා ය. සිඟිත්තියක කාලයේ තුරුලට ගත් මලිතිට සුදු අම්මා ආදරය කරන්නේ කුස ඔත් දියණියට ද වඩා ආදරයෙන් ය. නම්බුව හෝ කිසිම හේතුවක් වෙනුවෙන් මලිති රිදවා ගන්නට නුවුමනා බව වැඩියෙන්ම විශ්වාස කරන්නට කැමැත්තී ඇය ය.

“අපිට මූණ පාන්න වෙන හැම දෙයක්ම වෙන්න තිබුනු දේවල් කියල හිතෙන එකයි පහසු. ඒවට මූණ දෙන්න කලින් අපි ඒ දේවල් කරාට පස්සේ වෙන දේවල් ගැන බය වී කම්පා වෙන්න උවමනා නෑ. හැම දෙයක්ම වෙන්න තියෙන හැටියට සිද්ධ වේවි. හිත රිද්දන්න පටන් ගත්තොත්  අඬ අඬා ඉන්නවා ඇරෙන්න අපිට කිසිම දෙයක් කරන්න බැහැ පුතේ.”

කිසිම නෝක්කාඩුවක් හෝ බැන වැදීමකින් තොරව තමන්ගේ අය මේ තරමට තමන් වෙනුවෙන් පෙනී හිඳීම මලිතිට මහත් සහනයකි. ඇය හිත හදා ගන්නට පටන් ගත්තා ය.

කොහොමටත් ඉදිරියට එන්නේ එතරමට පහසු නැති ගමනකි.

ඇය ඒ මාවතේ ගමන් කරන්නට හිත හදාගනිද්දී තුහින ඔහුගේ තීරණ ක්‍රියාත්මක කරමින් සිටියේ ය. ඔහු මුලින්ම මේ සම්බන්ධයෙන් කතා කළ යුතු වැදගත්ම චරිතය සමඟ සංවාදයක් ඇරඹී ය. 

“අම්මි ආයේ මේ ගෙදරට එන්නේ නෑ. මගේ පුතු ඉන්නේ අම්මි එක්කද තාත්ති එක්කද?”

අම්මා සෑම මොහොතකම හිඳින්නේ ජංගම දුරකථනය සමග ය. තාත්තා නිවසේ නැති සෑම මොහොතකම ශේන්යාගේ ඉල්ලීම් ඉෂ්ට කර දුන්නේ තාත්තම්මා හෝ චූටි නැන්දා ය. අම්මා ගෙදර නොඑන්නට හේතුව අසන්නට ශේන්යාට ඕනෑ වූයේ නැත.

“මට තාත්තියි තාත්තම්මයි චූටි නැන්දියි ඕන”

ඇය සෘජුව කියද්දී තුහින දියණියව මෘදුව සිප ගත්තේ ය. අඩුම තරමේ අම්මා ඉල්ලා හඬන්නටවත් දැරියට ඕනෑ නැත. උත්පලා දැරිය සමග තබාගෙන ඇත්තේ එතරමට දුර සම්බන්ධතාවයකි. සමාජ මාධ්‍ය තරුවක් වීම මිස ඇයට වෙනත් සිහින තිබුණේ නැත. යූ ටියුබ් නාලිකාව සහ ෆේස්බුක් පිටුව ජනප්‍රිය කර ගැනීමේ චරිත වශයෙන් මිස  තමන් හෝ ශේන්යා ඇගේ ලෝකයට උවමනා නොවුණු බව තුහිනට පැහැදිලි ය.

“දරුවා ඉන්නේ මං ගාවනම් ඔයා බබාගේ ෆොටෝස් සෝෂල් මීඩියා දාන එක නවත්තන්න. මොඩල් කෙනෙක් වෙනවද ඇක්‍ට්‍රස් කෙනෙක් වෙනවද ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් වෙනවද වගේ තීරණ ගන්න දරුවාට තව ගොඩක් කල් තියෙනවා. මෙච්චර කාලෙකටත් මං ඔයාගේ වීඩියෝස් වලට කැමැත්තෙන් ආවට අපි බබාගෙන් ඇහුවෙ නෑනෙ එයා කැමතිද කියලා. ඔයා දැන් බබා ළඟ නැති නිසා එයාගේ ෆොටෝස් යූස් කරලා දේවල් ලියන එක නවත්තන්න.ඔයාට බබා නැතුව ඇත්තටම පාළුයි නම් කරන්න ඕන ෆේස්බුක් එකේ ලියන එක නෙවෙයි. එයාට කෝල් කරන එක. නැත්තම් ඇවිල්ලා බබාව අරන් යන එක. ඔයාට බබා ඕනෑනම් මම ලෑස්ති ඔයාට බබාව දෙන්න.”

තුහින ඊළඟ ගැටළුව විසඳන්නට උත්සාහ ගත්තේ ය.නමුත් උත්පලා කඩා පනින්නට වූවා ය.

“ගෑනියෙක් හැම වෙලාවකම දරුවෙක් එක්ක තනි වෙන්න උවමනා නෑ. ඔයා ඔය හදන්නේ බබාව මට දීලා මගෙන් ඩිවෝස් වෙලා කසාදයක් බඳින්නනෙ. ඔයාට ඒක පුලුවන්නම් මටත් පුලුවං. ගෑනු එහෙම අසරණ වෙන්නෝන නෑ. මට දරුවව එපා. මං මගේ ගමන ප්ලෑන් කරලා තියෙන්නේ. ඒ නිසා ශේන්යා එක්ක මහන්සි වෙන කාලයක් මට නෑ.”

දියණියට මවක වන ගැහැනියක මිස ඇයව ප්‍රතික්ෂේප කරන්නියක ඊළඟ තෝරා ගැනීම නොවන බව කියන්නට සිතුණත් තුහින වචනයක්වත් නොපැවසී ය. සමහර හැඟීම් සහ තීරණ වචන විය යුතු නොවේ.

(මල් තුහින ඇරඹුණු කාලයේ ලැබෙන ප්‍රතිචාර වලට වඩා දැන් ප්‍රතිචාර බොහොම වෙනස්. ඉතා ආදරයෙන් මේ නවකතාව වැළඳ ගන්නවාට ස්තූතියි.ඔබ මලිති කෙනෙක් නම් ඔබේ කතාව නිර්නාමිකව බෙදා ගන්නත් Smart Lady ෆේස්බුක් ගෘප් එක සූදානම්. අදත් ඔබේ අදහස් ලියා යන්න.) 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles